Print this Article


සිතේ නිදහසට නැගෙන බාධා

සිතේ නිදහසට නැගෙන බාධා

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි වැදගත්ම හා අවසන් අරමුණ වන්නේ සිත නොසෙල්වෙන පරිදි නිදහස්කර ගැනීමයි. සිත නිදහස් කරගැනීම යනුවෙන් අදහස් කරන්නේ එය දුකට හා පුනර්භව වක්‍රයට යොමුකරන බැඳීම් සියල්ලන්ගෙන් නිදහස් කරගැනීමයි. සිත ලෞකික නැතහොත් පුහුදුන් මට්ටමෙන් මුදාගෙන උත්තරීතර ලෝකෝත්තර තත්ත්වයට පත්කිරීම සඳහා එයට බාධකවන සියලු මානසික දුර්වලතා ඉවත්කළ යුතුවේ. ආධ්‍යාත්මික දියුණුවට බාධක වන මානසික දුර්වලතා කිලෙස, උපක්කිලෙස, ආදීව, නීවරණ. ආදීනම් වලින් හඳුන්වන අතර ඒවා සමූහ වශයෙන් දැක්වේ. එවැනි එක් මානසික දුර්වලතා ගොනුවකි. එනම් පංච නීවරණ ආධ්‍යාත්මික දියුණුවට බාධා පමුණුවන නීවරණ ධර්ම පහකි.

1.කාමච්ඡන්ද (ඉන්ද්‍රියමය ආශා)
2. ව්‍යාපාද (වෛරී සිතිවිලි)
3. ථීනමිද්ධ (නිදිමත බව හා කුසීතභාවය)
4.උද්ධච්ච – කුක්කුච්ච (නොසන්සුන් කම හා පසුබට බව)
5.විචිකිච්ඡා (සැකමුසු බව)

බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථයන්හි චිත්ත ඒකාග්‍රතාව , චිත්ත ශාන්තිය හා ප්‍රඥාවට බාධකවන අයහපත් මානසික ධර්මතා නීවරණ (නී-ආවරණ නීවරණ) යනුවෙන් දැක්වේ. එම අකුසල ධර්මතා සිත අපිරිසුදු කෙරෙන (චිත්තුපක්කිලෙස) ප්‍රඥාව දුර්වල කෙරෙන, කුශලයට බාධක වන , ප්‍රඥාවේ උදාව වළක්වන වර්ධනය වූ ඤාණමය තත්ත්වයන්ද විනාශ කිරීම යන ලක්ෂණ මුල්කොට පවතී.නීවරණ පුද්ගලයා අන්ධ භාවයට පත් කරන අතරම නිවන් අවබෝධය ද වළක්වා ලයි. විසුද්ධිමග්ග දක්වන්නේ සිත අවුරන වසන් කරන, මුවහ කරන අරුතින් කාමච්ඡන්ද ආදී පස නීවරණ නම් වන බවයි. නීවරණ යන්න හැඳින්වීම පිණිස ආවරණ හා අකුසල රාසි යන පරියාය පද යෙදී ඇති අතර එයින් තවදුරටත් අභ්‍යන්තරය චිත්ත සමාධිය හා ප්‍රඥාවේ අවදි වීමට බාධක මානසික ධර්මවල ස්වභාවය පැහැදිලි වේ. මේ අනුව නීවරණ යනුවෙන් හැඳින්වෙන ධර්මතාවයන්ගේ පොදු ලක්ෂණය වන්නේ චිත්ත පාරිශුද්ධත්වයට මෙන්ම ප්‍රඥාවේ උදාවටද බාධාකාරි ලෙස ක්‍රියාත්මක වීමයි. නීවරණ සියල්ල ප්‍රඥාව හෙවත් යථාවබෝධ දුර්වල කරන මානසික දුර්වලතාය.

බුදු දහමට අනුව ආධ්‍යාත්මික දියුණුව ඇති කෙරෙන භාවනාව දෙයකාරය. සිත සංසුන් කෙරෙන සමථ භාවනාව හා සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය හා පැහැදිලි දැක්ම සළසාලන විපස්සනා භාවනාව එම දෙයාකාරයයි. ධ්‍යාන අවස්ථාවෙහි සිත සම්පූර්ණයෙන්ම සංසුන් වන අතර ඒ සඳහා නීවරණ මැඩ පවත්වා ගැනීම අවශ්‍ය වේ. තාවකාලික වශයෙන් වුවද නීවරණ ධර්ම මැඩ පවත්වා නොගැනීමෙන් සිතේ සංසුන් බවක් අපේක්ෂා කළ නොහැකිය. පංච නීවරණ පිළිබඳ නිතර සඳහන් කෙරෙන්නේ ධ්‍යාන ප්‍රතිලාභය සම්බන්ධයෙන්ම ධ්‍යාන යටතේ වර්ධනය කෙරෙන මානසික ධර්ම ධ්‍යානංග ලෙස දැක්වේ. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යනුවෙන් දැක්වෙන මෙකී ධ්‍යානංගවලට බාධක වූ නීවරණ ධර්මයක්ද පවතී. එමඟින් එම ධ්‍යානංගය වර්ධනය වීම වළක්වාලනු ලැබේ. ධ්‍යාන පමණක් නොව එයට වඩා අඩු මානසික ඒකාග්‍රතාව ඇති වීමෙහිලා නීවරණ ධර්ම බාධක වශයෙන් කි‍්‍රයාත්මක වේ. ධ්‍යාන තත්ත්වයට පත්වීමේ ආරම්භය වශයෙන් පිළිගැනෙන උපචාර මෙන්ම ඛණික සමාධිය ඇතිකරගැනීමෙහිලා ද නීවරණ බාධක ධර්ම වේ. නීවරණ බැහැර කිරීමේ ප්‍රයත්නය හුදෙක්ම භාවනාව ආරම්භ කිරීමෙන් පමණක් සිදුවිය යුත්තක් නොවේ’. එය සාමාන්‍ය අවස්ථාවලදීත් පාලනය කරගත යුතු අකුසල මානසික ධර්මයන්ය. ධ්‍යාන සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස සැළකෙන නීවරණ බැහැර , කිරීමෙන් අනතුරුව පුද්ගල සන්තානයේ, ඇතිවෙන වෙනස නිදසුන් මගින් සාමඤ්ඤඵල සූත්‍රයෙහි එහි අටුවාව වන ‘සුමංගලවිලාසිනියෙහි’ පැහැදිලි කෙරේ. සමස්තයක් ලෙස නිවරණ බැහැර කිරීමෙන් පුද්ගලයෙකු අත්පත්කරගන්නා කායික හා මානසික නිදහසේ ස්වභාවය එම විස්තරවලින් පැහැදිලි වේ. ණය ගන්නා පුද්ගලයෙක් එමඟින් තම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගෙන අනතුරුව ණය ගෙවා දමා නිදහස් වෙයි. එපමණක් නොව තම ලාභයෙන් සාර්ථක පවුල් ජීවිතයක්ද පවත්වාගෙන යයි. කාමච්ඡන්දයෙන් නිදහස් වීමත් ඒ හා සමාන වේ. කාමච්ඡන්දයෙන් යුක්ත පුද්ගලයා ණයකරුවෙකු මෙන් පීඩාවට පත්වන අයුරු ‘සුමංගල විලාසිනි අට්ඨකථාවෙහි” දැක්වේ. ණය ගෙන ව්‍යාපාර අසාර්ථක වූ තැනැත්තාට ණය හිමියන්ගේ සියලු තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුවේ. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ණය ගැනීමේ හේතුවෙන්ය. කිසිවෙකු යම් අයෙකු කෙරේ කාමාශාවෙන් බැඳුනේ ද එම තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි පවතින තෘෂ්ණාව හේතුවෙන් සියලුම ආකාරයේ දුක්වේදනා විඳදරාගැනීමට ඔහුට හෝ ඇයට සිදුවේ. එපමණක් නොව වහලෙකු මෙන් එම තැනැත්තා හෝ තැනැත්තිය සතුටු කිරීම සඳහා කටයුතු කළ යුතු වේ. ඔහු හෝ ඇය මෙම තත්ත්වයට පත්වී තිබෙන්නේ කාමාශාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ අනුව කාමච්ඡන්දය ණය බරින් වාසය කිරීමක් හා සමානය.

කිසියම් රෝගයකින් පෙළෙන කෙනෙකුට, ඒ හේතුවෙන් තමන් ගන්නා ආහාරපාන පත්‍ය නොවී සිරුරද දුබල බවට පත්විය හැකිය. එහෙත් කලකට පසුව රෝගයෙන් මිදී ආහාර පත්‍ය වී යළි ශරීර ශක්තිය ලබා ගනී. ව්‍යපාර නීවරණයෙන් නිදහස් වීම එසේ රෝගයකින් සුවය ලැබීමක් හා සමාන වේ. පිත හා සෙම හේතුවෙන් රෝගී වූවෙකුට කොතෙක් රසවත් දේ ලැබුණත් එහි රසවත් බවක් නොදැනේ. එමෙන්ම කෝපයෙන් යුක්ත තැනැත්තාට කොතෙක් යහපත් උපදෙස් ලැබුණත් ඔහු හෝ ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. එමෙන් කෝපය නමැති ව්‍යාධියෙන් පෙළෙන්නා ධ්‍යාන මඟින් ලැබෙන සතුට හා සැපතට හිමිකම් නොකියයි. ව්‍යාපාද නීවරණයෙන් සිත නිදහස් කරගැනීම රෝගයකින් සුවපත් වීමක් හා සමානය.

ථීනමිද්ධ නිවරණයෙන් මිදීම සිරගත වූවෙකු එයින් මිදීමක් හා සමානකොට දැක්වේ. සිරෙන් නිදහස් වූ තැනැත්තාගේ බිය පහවගොස් ආරක්ෂාව පිළිබඳ සැකයක් නොමැති නිසා පී‍්‍රතියට පත්වේ. සුමංගල විලාසිනී අටුවාවෙහි ථීනමිද්ධ නීවරණය සිත්ගන්නා නිදසුනකින් පැහැදිලි කරයි. කිසියම් උත්සවයක් පැවැත්වෙන කාලයකදී යමෙකු සිරගත කළහොත් එම තැනැත්තාට උත්සවය පිළිබඳ අත් දැකීම් ලබාගත නොහැකි වනු ඇත. උත්සවය අවසානයේදී ඔහු නිදහස් කළ පසුව සෙසු අය එම උත්සවය පිළිබඳ පී‍්‍රතියෙන් කථා කරන විටෙක ඔහුට ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකිව තුෂ්ණිම්භූතව සිටීමට සිදුවෙයි. එමෙන්ම ධර්මයට සවන් දෙන්නෙකු එම අවස්ථාවෙහි කුසීත බවින් හා නිදිබර ගතියෙන් යටපත්ව සිටියේනම් ඔහුට එම ධර්ම දේශනයේ මුල,මැද අග නොවැටහෙයි. ධර්ම දේශනයෙන් අනතුරුව කෙරෙන සාකච්ඡාවලදී ධර්මයට මනාලෙස සවන් යොමු නොකිරීම නිසා ඔහුට ඒ පිළිබඳ අත්දැකීම් සෙසු අය හා බෙදාගත නොහැකි වේ. මේ අනුව ථීනමිද්ධ නීවරණය භාවනාවට පමණක් නොව සාමාන්‍ය අවබෝධයට බාධාවක් බව පැහැදිලිය.

කිසියම් පුද්ගලයෙකු කලක් වහලෙකු වූයේ අන්‍යයන්ගේ යටතෙහි වහල් සේවයෙහි යෙදී අපමණ දුක් වේදනා විඳ පසුකලෙක වහල් බවින් මිදී තම නිවහල් බව නිසා සතුටු වෙයි. අසහනය හා කුකුස යන මානසික ධර්මතාවන්ගෙන් නිදහස් වූ පුද්ගලයාද වහල් බවින් මිදුණු අයෙක් ලෙස දැක්වේ. සුමංගල විලාසිනි අටුවාව මෙය විවරණය කිරීමේදී භික්ෂුව මූලික කරගෙන කරුණු දක්වයි. විනය ශික්ෂාපද පිළිබඳ අවබෝධයකින් තොරව ආරණ්‍ය වාසයට යන භික්ෂුවට කැප අකැප දෑ පිළිබඳ නිරන්තරයෙන්ම සැකය හා කුකුස ඇතිවේ. නිතර එයින් පීඩාවට පත්වන භික්ෂුව එම ගැටලු නිරාකරණය කරගැනීම සඳහා විනයධරයන් වෙත යයි. විනය පිළිබඳ අවබෝධයක් නොමැති නිසා ඇතිවෙන මෙම තත්ත්වය ආධ්‍යාත්මික විවේකය අත්පත්කරගැනීමට බාධාවක් වේ. දහම මෙන්ම ලෝකය පිළිබඳවත් නිවැරැදි අවබෝධයක් නොමැති නිසා ආධ්‍යාත්මික විවේකය නැතිකරගන්නා අතර එය වහල් බවක් හා සමාන කොට දැක්වේ.

ධනයෙන් පොහොසත් මිනිසෙක් දුර්ග මාර්ගයක ගමන් කරන්නේ බොහෝ අනතුරු සහිත ප්‍රදේශ පසුකර ආරක්ෂිත ස්ථානයකට පැමිණ සතුටු වන්නාසේ සැකය හෙවත් විචිකිච්ඡාව මනසින් බැහැර වීමෙන් අකුශල ධර්ම නිසා සිදුවන බලපෑමෙන් සිත නිදහස්වේ. පංච නීවරණ බැහැර වීමෙන් සතුට ඇතිවේ. සතුට හේතුවෙන් පී‍්‍රතිය ඇතිවේ. සිත පී‍්‍රතියෙන් යුක්ත තැනැත්තාගේ සිත, කය දෙකම සංසිෙඳයි. සංසිඳුණු සිත, කය ඇති හෙයින් සුවය වින්දනය කරයි. සුව විඳින්නාගේ සිත සමාධිගත වේ. මේ අනුව නීවරණ බැහැර වූ සිත සමාධිය සඳහා පදනම්වේ.