ගිහි ගෙයින් නික්මුනු සේක
ගාල්ල මලිගස්පේ සුභද්‍රාරාමාධිපති,
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි
දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතල වදාළා මහණෙනි, මම (ගිහිකල) දුක්
නැත්තෙක් වීමි. අතිශයින් ම දුක් නැත්තෙක් වීමි. නිරන්තරයෙන්ම දුක්
නැත්තෙක් වීමි. මහණෙනි, මාගේ පියාගේ නිවසෙහි එක් එක් වර්ගයට අයත්
පොකුණු තනවා තිබුණි. එකෙක නිලුපුල් පිපෙයි. එකෙක හෙළ පියුම් පිපෙයි.
එකෙක රත් පියුම් පිපෙයි. මේ සියල්ල මා උදෙසා කරවන ලදී. මහණෙනි, මම
වනාහි සියුම් නොවූ සඳුනක් නොම ගැල්වීමි, මාගේ හිස් වෙළුම ද අතිශය
සියුම් ය. මා පොරවන ලද කබාය ද ඉතා සියුම් ය. මා හැන්ද වස්ත්‍ර ද සියුම්
විය. උතුරු සළුව ද සියුම් ය. රාත්‍රියෙහි හා දවාල යන දෙක්හි ම ශීතය,
උෂ්ණය, දූවිලිය, තෘණ වර්ගය, පිනිය, යන මේවායින් මට හිරිහැරයක් නොවන සේ
මාගේ හිසට සේසත් නංවා තිබුණි.
ඉහත කී පරිදි තමා ගිහිකල සැප වින්ද හැටි දේශනා කළ බුදුරජාණන් වහන්සේ
එකල වින්ද ගිහි සැප පිළිබඳව තව දුරටත් මෙසේ සඳහන් කරන සේක. මහණෙනි,
හේමන්ත, ගිම්හාන, වස්සාන යන සෘතු තුනට හිරිහැරයක් නැතිව මට විසීමට
සුදුසු මාලිගා තුනක් පියා විසින් මා සඳහා තනවා තිබුණි. හිම සමයෙහි
විසීමට තනවන ලද පහය මහල් නවයකින් යුක්තයි. ගිම්හාන සෘතුවට තැනූ පහය
මහල් පසකින් යුක්තයි. වස්සාන සෘතුවට තැනුන පහය මහල් සතකින් යුක්තයි. නව
මහල් පහයෙහි එක් එක් මහල එකිනෙකට මිටිවන සේ තනා තිබුණි. එහි දොර,
ජනෙල්, කවුළු, සුව එලවන සේ තැනුණි. පහය අවට පොකුණු තනවා තිබුණි. සිදුරු
රහිත බිත්තිවල අඳින ලද සිතුවම් නරඹන්නට පෙනෙනුයේ තැනින් තැන තබනලද
ගිනිගොඩවල් ලෙසිනි. බුමුතුරුණු කම්බිලි වස්ත්‍රවලින් තනවා තිබුණි. හඳනා
පොරෝනා වස්ත්‍ර හා හිස බඳනා තලප්පාදියත්, වා කවුළු ආදියත් වැසි සමයේ
උෂ්ණත්වය ආරක්ෂා වන සේ සකස් කර තිබුණි. එසේම දිවාකාලයෙහි වා කවුළු ආදිය
විවෘත වත් රාත්‍රී කාලයෙහි වසා දමාත් තිබුණි.
මහණෙනි, ගී‍්‍රෂ්ම සෘතුව සඳහා තනවනලද මාලිගය පස් මහල් වූවකි. ඒ තුළ ශීත
ගුණය ආරක්ෂා වීමට අවශ්‍ය පරිදි මහල් එකිනෙකට උසස්වන සේ තනා තිබුණි. එහි
ඇතුළත හිස් විය. දොර, ජනෙල්, වඩාම සුව දනවන ස්පර්ශයෙන් තොරව විවෘතව
දැල්සහිතව තනා තිබුණි. මානෙල්, සුදු නෙළුම්, රතු නෙළුම් වලින් සිතුවම්
කරන ලදී. බුමුතුරුණු දුහුල් පිළිවෙලින් අතුරා තිබුණි. තිර, වියන්, හඳනා
පොරෝනා හිස්වෙළුම් ආදියද දුහුල් පිළිමය විය. වා කවුළු සමීපයෙහි අලුත්
සැළි තබා දිය පුරවා මානෙල් ආදි මල්වලින් පුරවා තිබුණි. ගෙවත්තෙහි ඒ ඒ
තැන්වල ජලයන්ත්‍ර තබා වසින්නාක් මෙන් දියධාරා නික්මිණි. පහය ඇතුළත මඩ
පිර වූ සැළි තැන තැන තබා පස්වණක් පියුම් රෝපණය කර තිබුණි. පහය මතුයෙහි
වියළි මහිස හම් බැඳ යන්ත්‍රයකින් වහළ මතට ගල් ගෙන ගොස් විසුරුවා
තිබුණි. ඒවා පෙරෙලෙන ශබ්දය මේඝ ගර්ජනාවක් බඳු විය.
මහණෙනි, වස්සාන සමයට උචිත පහය සත් මහල් විය. ශීත උෂ්ණ යන සෘතු දෙකේම
කාලගුණය ආරක්ෂා වන සේ එකිනෙක වඩාත් උස හෝ වඩාත් මිටි හෝ නොවන සේ තනා
තිබුණි. සමහර වාකවුළු මනාව වැසෙන සේ ද සමහරක් විවරව තිබෙන සේ ද තනා
තිබුණි. එහි වූ සමහර සිතුවම් සමහර තැනෙක ගිනිගොඩවල් මෙන් ද සමහරවිට
පොකුණු වශයෙන් ද කරවා තිබුණි. බුමුතුරුණු කම්බල හා දුහුල් යන දෙවගෙන් ම
මිශ්‍රව තනා තිබුණි. සමහර වා කවුළු දොරවල් රෑ විවර වද දාවල වසා ද
තිබුණි. සමහර ඒවා දාවලට විවෘතව ද රෑට වසාද තිබුණි. මෙසේ තැනූ ප්‍රාසාද
තුනම උසින් සම ප්‍රමාණ භූමිවල විවිධත්වයෙන් තනන ලදී.
මහණෙනි, මෙසේ ඒ ඒ සෘතුවලට අනුව සුවසේ වසන මට රාජ්‍යය පවරා දී රජසිරි
විඳිනු දකිනු කැමැති වූ පියා තම පුතණුවන්ට විවාහ කරදීමට සුදුසු
කුමාරිකාවන් සිටින රජ පවුල්වලට හසුන් යැව්ව කුමාරිකාවන් එවන්න කියා. එම
හසුන් පත් කියවූ කෂ්ත්‍රිය රජවරු සිදුහත් කුමරු රූපසම්පන්නයි. එහෙත්
කිසි ශිල්පයක් නොදන්නා නිසා බිරිඳක් පෝෂණය කිරීමට නොදන්නේ යයි කියා සිය
දියණිවරුන් එවීමට නොහැකි බව දන්වා යැවූහ. සුදොවුන් රජු සිදුහත් කුමරුට
ඒ බව කීවිට විවිධ ශිල්ප දැක්වූ පසු එය දුටු සෙසු රජවරු තම දූවරුන් සරසා
සුදොවුන් රජ මැදුරට එවූහ. (වැඩි විස්තර අං.නි. අට්ඨ කතාවෙන් කියවන්න මේ
අවස්ථාවේ සිදුහත් කුමරා ලොව එදා තිබුණ සියලුම ශිල්ප දැක්වූ බව අට්ටකථාව
කියයි. සිදුහත් කුමරු වෙත එවු රාජකන්‍යාවෝ හතළිස් දහසක් වූහ. එතැන් සිට
සිදුහත් කුමරහු අභිෂේක ලබා හතළිස් දහසක් නාටිකාංගනාවන් සමඟ දෙවියෙකු
මෙන් ත්‍රිවිධ පහවල සැපවිඳිමින් එකුන් තිස් වසක් විසූහ.
බුදුරජාණන් වහන්සේ තව දුරටත් දේශනා කරමින් මහණෙනි, කිසි දුකක් නැතිව මෙ
බඳු පුණ්‍ය සෘද්ධියෙන්, මෙ බඳු සිවුමැළිකමින් දිවි ගෙවන මා හට මෙ බඳු
සිතක් පහළ වුණා. එබඳු සිතක් මට පහළ වූයේ මා මේ විඳින සැප සම්පත්
පිළිබඳව මාගේ කිසිම ආශාවක් කැමැත්තක් නොතිබුණ හෙයිනි. මා ඒ සැප සම්පත්
පිළිබඳව පි‍්‍රය නොකොට ඒවායේ ඇති නිස්සාර භාවය නිතර නිතර මෙනෙහි කළෙමි.
එහෙත් මහණෙනි, නූගත් පුහුදුන් පුද්ගලයන් තමා ද ජරාවට පත්වන තැනැත්තකුව
සිටිමින් එසේම ජරා ධර්මයෙන් නොමිදුනු පුද්ගලයකුව සිටිමින් ඒ බව දැන දැන
තමා දඑම ස්වභාවයට පත්වන බව නොසිතා ජරාවට පත් වූ අන්‍යයකු (අසල්වැසියා)
දැන ඒ ගැන සිත සිතා ඔහු පිළිකුල් කරමින් වෙහෙසට පත්වෙනව. ලජ්ජා වෙනව.
එසේ සිතීම තමා වැනි ජරාවට පත්වන්නකුට නොහොබින බව නොසිතයි. එසේම ඔහු
තමාගේ කරුණාව නිසා උපන් මදයෙන් මත් වී මම ජරාවට පත් නොවන්නෙක් මී. යන
මානයෙන් මත්වෙල සදාකල් ජීවත් වන්නකු මෙන් කය, වචනය, මනස යන තිදොරින්
දුසිරිත්වල යෙදෙනව. පව්කරනව. එහෙත් මහණෙනි, මාගේ (ඉහත කී තරුණ
අවධියෙහි) තරුණ වයසෙහි එබඳු මානයක් මා තුළ ඇති නොවීය. තරුණ මදයක්, තරුණ
මානයක් මා තුළ තිබුණා නම් එය සම්පූර්ණයෙන් දුරුවෙලයි තිබුණේ. (තරුණ මදය
තරුණ මානය සම්පූර්ණයෙනි ප්‍රහීන වන්නේ අරහත් මාර්ගඥානයෙනි. මේ
සූත්‍රයෙහි දී එය දුරුවීයයි කියේ සම්පූර්ණයෙන් යටපත් වූ බවයි.
එසේම මහණෙනි, ව්‍යාධිය හෙවත් රෝගීවීම ස්වභාව කොට ඇත්තේ, ඉහත කී ජරාව
ස්වභාව කොට ඇත්තා මෙන් රෝගී වූ වෙනත් පුද්ගලයකු දැක මොහු මහ
කාලකන්නියෙක්, රෝගී වුණාම අනෙක් අයගෙන් වෙන්ව පැත්තකටවෙල ඉන්න ඕන නේද?
යනාදී වශයෙන් නින්දා අපහාස බස් කියමින් වෙහෙසට පත් වෙනව. ලජ්ජා වෙනව.
පිළිකුල් කරනව. එහෙත් මහණෙනි, මා එබඳු අය දැකල හිතුව මාත් ඔවුන් මෙන්
රෝගී වෙනව. එබඳු මා රෝගියකු දැකල පිළිකුල් කිරීම මා වැන්නකුට සුදුසු
නැහැ. කියා නුවණින් සිතා බළල මා තුළ කිසියම් ආරෝග්‍ය මදයක් (නිරෝග භාවය
නිසා ඇතිවන මත් වීමක් හෙවත් උඩඟු කමක්) වී නම් එය සම්පූර්ණයෙන්ම
දුරුවුණා. ඒ සේම මහණෙනි, අනුවණ පෘථජ්ජන පුද්ගලයා මරණ ස්වභාවය කොට
ඇත්තෙකුව සිටිමින් මරණය නොඉක්මවූවකුව සිටිමින් මළා වූ වෙනත් පුද්ගලයකු
ගේ මෘත ශරීරය දැකල ඒ පිළිබඳව අසුබවාදීව සිතල පීඩාවට පත් වෙනව. ලජ්ජා
වෙනව. පිළිකුල් කරනව. එහෙත් මහණෙනි, මළ අයකු දැකල එසේම සිතීම මැරෙන
සුළු මරණය ස්වභාව කොට ඇති මා වැනි කෙනෙකුට තරම් නොවේ. යයි සිතන විට
මාගේ ජීවිත මදය (දිගු කලක් ජීවත් වීම නිසා ඇතිවන මත්වීම) සම්පූර්ණයෙන්ම
දුරුවීය. යි වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාළහ.
මහණෙනි, යෞවන මදය, ආරෝග්‍ය මදය හා ජීවිත මදය යන ත්‍රිවිධ මදවලින් මත්වූ
අනුවණයෝ කය වචනය සිත යන තුන්දොරින් ප්‍රාණඝාතාදී දශ අකුශල් කොට මරණින්
පසු දුකසේ ඇද වැටෙන නිරයෙහි උපදිති. මේ අතර මේ ත්‍රිවිධ මදයෙන් මත් වූ
අනුවණ මහණ හුද තමා ලබා සිටින අත්‍යුත්තම පැවිදි ජීවිතය ද එසේම තමා
සමාදන්ව සිටින උතුම් ශික්ෂාව ද ඉවත දමා ගිහිබව නමැති පහත් තත්ත්වයට
වැටිල දුකට පත් වෙන බව වදාරා අනතුරුව මේ ධර්මය සම්පිණ්ඩනය කොට ගාථා
පසකින් මෙසේ වදාළහ.
ව්‍යාධි ධම්මා ජරා ධම්මා අථො මරණ ධම්මිනො
යථා ධම්මා තථා සන්තා ජිගුච්ජන්ති පුථුජ්ජනා
ව්‍යාධිය හෙවත් රෝගී වීම ස්වභාව කොට ඇති, ජරාව හෙවත් වයස්ගත වීම ස්වභාව
කොට ඇති, මරණය ස්වභාවකොට ඇති පෘථජ්ජනයෝ ව්‍යාධි ආදී විපත් තුනෙන්
(නිවන් පසක් කිරීමෙන්) නොමිදුනා හුම එම තත්ත්වයට පත් වෙනත් අයකු දැක
පිළිකුල් කරති.
අහං චෙතං ජිගුච්ජෙය්‍ය එවං ධම්මෙසු පාණිසු
න මෙ තං පතිරූපස්ස මම එවං විහාරිනො
බුදුන් තමා ගැන සඳහන් කරගනිමින් මම ද මේ බඳු ව්‍යාධි ආදි ත්‍රිවිධ
දුක්වලින් පෙළෙන ප්‍රාණින් දැක පිළිකුල් කරන්නෙම් නම් මෙවැනි උතුම්
පැවැතුම් ඇති මට එය සුදුසු නොවේ.
සො අහං එවං විහරන්තො ඤත්වා ධම්මං නිරූපධිං
ආරෝග්‍ය යොබ්බනස්මිඤ් චජ්විකස්මිඤ්ච යෙ මදා
ඉහත කී පරිදි සිත සිතා මෙසේ වාසය කරන විට මම නිර්වාණ ධර්මය දැන
නිරෝගිකමේද තරුණ කමේ ද ජීවත්වීමේ ද යන කරුණු තුන නිසා කිසියම් මත්
වීමක් වී නම්,
සබ්බෙ මදෙ අහහොස්මි නෙක්ඛම්මෙ දිට්ඨු ඛේමතං
තස්ස මෙ අනු උස්සාහො නිබ්බාණං අභිපස්සතො
නිර්වාණයෙහි ඇති සුරක්ෂිත බව දැක ඉහත කී සියලු මද මර්දනය කොට නිවන පසක්
කිරීමට මා තුළ උත්සාහය ඇතිවිය.
නාහං හබ්බො එතරහි කාමානි පතිසෙචිතුං
අනිවත්තිභ විස්සාමි බ්‍රහ්ම චරිය පරායනො
සිදුහත් කුමරු හිතනව දැන් මම කාම සම්පත් සෙවීමට (කම්සැප විඳීමට) සමත්
(සුදුස්සෙක්) නොවෙමි. එම නිසා අතරමඟ නොනැවතීම (පසු බට නොවීම) මාර්ග
බ්‍රහ්ම චරියාව (සෙවිය යුත්තෙක්) පිහිට කොට ඇත්තෙක් වෙමි. මට දැන්
කම්සැප විඳින්න කාලය නොවෙයි. මාර්ග බ්‍රහ්ම චරියාව පිරීම කළ යුතු
කාලයයි. එනම් පැවිදිව (ගිහිගෙය අත්හැර) නිවන් සෙවීමට කාලයයි. සිතා
ගිහිගෙයින් නික්මුණු බව වදාළසේක.
ඉහත සඳහන් සුකුමාල ධර්ම දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ තමා සිදුහත්
කුමාරව රජමැදුරේ සිටි විසිනව වසින් තරුණ අවදියෙහි තමාට ලැබුණු අපමණ සැප
සම්පත් නිසා කිසිම දුකක් නැතිව ඉතාම සියුමැලි සැප සම්පතින් පිරුණු
දිවියක් ගත කළ බවත් තමන් ජරාවට පත්වන බවවත් ප්‍රකටව නොපෙනෙන සේ තරුණ
ස්වභාවයෙන් ම පසු වූ බවත් එසේම රෝග පීඩාදියෙන් තොරව මා සෞඛ්‍ය
සම්පත්තියෙන් යුක්තව දිගු කලක් (වසර 29) සිය දිවිය සතුටින් ගෙවූ බවත්
එසේම එම තත්ත්වයෙන් උදම් නොවී සාමාන්‍ය ජනතාව මෙන් තමා ද ජරා ව්‍යාධි
මරණ ස්වභාවයට පත්වන්නකු බව නුවණින් සිතා කාම සම්පත්වල නො ඇලී උඩඟු
කමින් උදම් නොවී ගතකළ බවත් මෙයින් හෙළි කරන සේක.
ඔබත් මමත් අප හැමෝම එකම රථයේ දිගුගමනක් යන්නන් බව නුවණින් සිතා අන්‍යයා
හා තමා අතර වෙනසක් නොදකින සමානාත්මතාවයෙන් දකින නුවණැති පුද්ගලයන් සේ
කටයුතු කිරීමට ඉටා ගැනීම බෞද්ධ වූ හැමගේම පරම යුතුකමයි. මේ බුද්ධාවවාදය
ඔබ අනුගමනය කරන්නෙමි එය දකින අනෙකා ද අඩු වැඩි වශයෙන් ඒ මඟට පිවිසිය
හැකිය. එය සමස්ත සමාජයේම මෙලොව පරලොව දෙලොව යහපතට මෙන්ම තවදුරටත්
උත්සාහය අත්නොහැර පවත්වා ගෙන ගියොත් සදාකාලික නිවීම වන නිවණින් ද
සැනසීම ලබා ගන්නට ඔබට අපහසු නොවේ. |