Print this Article


ඇය කුණ්ඩලකේශී වූවාය

ඇය කුණ්ඩලකේශී වූවාය

රජගහනුවර ඉසුරුමත් සිටු කුලයක ‘කුණ්ඩලකේශී’ නමින් යෞවන වියට පත් සිටුදුවක් වාසය කළා. අම්මත්, තාත්තත් බොහොම ධනවතුන් වූ නිසාම “කුණ්ඩලකේශී’ දුවට ජීවිතයේ කිසිදු අගහිඟකමක් දැනෙන්නට ඒ දෙමව්පියන් ඉඩ නොතැබූහ. මවත්, පියාත් තම දියණියට දුකක් දැනෙන්නට ඉඩ නොතිබූ නිසාම ජීවිතය පිළිබඳව වැඩි දැනුම් තේරුම් කමක් ලැබුනේ නැහැ. දුක කුමක්ද? කියන දෙය නොදැනුණාය.ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන බව නොදැන සිටියාය.

එම දරුවා වැඩිපුර සැප සම්පත් ලබමින් හැදුනත් නැණ නුවණ අතින් බොහොම දුප්පත් කෙනෙක්. මිල මුදල්, රූප සම්පත්තිය උපරිම වශයෙන් තිබුණත් අඥාන කෙනෙකි. දිනක් මරණ දණ්ඩනයට නියම වූ පුද්ගලයකු කස පහර දෙමින් දංගෙඩියට අරගෙන යන සිදුවීම්ක් සිය නිවසේ උඩුමහලේ සිටි කුණ්ඩල කේෂීට දක්නට ලැබුණාය. වැරැදිකරු වී කසපහර කමින් මරණය සඳහා දංගෙඩියට රැගෙන යන ඒ තරුණ පුද්ගලයා දෙස බලා ඔහු පිළිබඳව සිතක් ඇතිකර ගත්තාය.

වැඩි නැණ නුවණක් නැති නිසාම දුර ඈත කල්පනා කරන්නට යෙදුනේ නැත. තමන්ට සිතුන අදහස නිවැරැදි යැයි සිතමින් සිතිවිලිවලට වසඟ වූවාය. සොරදෙටුවකු වී පහරකමින් මරණීය දණ්ඩනයට රැගෙන යන තරුණයා සමඟ විවාහ වන්නට අවශ්‍ය බව කුණ්ඩලකේශී තම දෙමව්පියන්ට ප්‍රකාශ කළාය.අම්මයි, තාත්තයි ,කොතරම් කරුණු කාරණා පැහැදිලි කර දුන්නත් මේ තරුණ කුණ්ඩලකේශී දියණිය ඒ කිසිවක් විශ්වාස නොකළාය. තමන්ගේ අදහස රාජ අණසක මත මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු එම මරණීන් ගලවාගෙන විවාහයකට පත්කර ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ’. එය කොතරම් පැහැදිලි කර දුන්නද? එය පිළිනොගන්නා හිතුවක්කාර කුණ්ඩලකේශී එම විවාහය කර නොදුනහොත් තමන් සියදිවි නසා ගන්නා බවට තම දෙමව්පියන්ට ප්‍රකාශ කරනු ලැබුවාය. එම රාජ උදහසට ලක්වූ තරුණයා එයින් මුදාගැනීමේ ක්‍රමයක් පිළිබඳව එම මවත්, පියාත්, කල්පනා කරන්නට පටන් ගත්හ. එම සොරදෙටුවාගේ දෑත් පිටුපසට තබා බැඳ රතු මල් මාලාවක් කරේ එල්ලමින් දංගෙඩිය දක්වා රැගෙන යන රාජපුරුෂයන් හමුවී මෙසේ මරණයට නියම වූ වරදකරු ඉන් මුදා ජීවිත දානය දීමට ක්‍රමයක් නැද්ද? යන්න පිළිබදව එම අම්මයි, තාත්තයි සාකච්ඡා කරනු ලැබුවා. රාජ උදහසට ලක්වුණ රාජ නීතියෙන් වැරැදිකරු වුණූ මරණීය දණ්ඩනයට නියම වුණ ඒ වැරැදිකරුට මරණින් ගැලවීම සඳහා කිසිදු ක්‍රමවේදයක් නැතිබවත්, එවැනි හැකියාවක් තිබේ නම්, එය පවතින්නේ රජතුමාට පමණක් බව රාජපුරුෂයන් ප්‍රකාශ කළේය.

එම අදහස ඉෂ්ට සිද්ධ කරගන්නට බැරිවුණොත් තමන්ගේ දරුවා මැරෙනවා නේද? යැයි සිතෙන විට එම දෙමව්පියන් මේ රාජපුරුෂයන්ගේ වචනවලින් සෑහීමකට පත් නොවූහ. තවත් කුමන හෝ ක්‍රමයක් තිබේදැයි විමසා රාජපුරුෂයන්ට මසු දහසක් අල්ලස් වශයෙන් දෙන්නට දෙමව්පියන් පොරොන්දු වූහ. එම පුද්ගලයා මැරුවේ නැත්නම් තමන්ට මසුරන් දහසක් ලබාගත හැකි යැයි යන සිතිවිල්ල රාජ පුරුෂයන්ගේ හිතට ඒමෙන් පසුව ඔවුන් එම ක්‍රියාව තමන්ටත් හානියක් නොවන්න මුදලක් ලැබීමට සිදුකරන්නේ කෙසේද? යන කාරණාව නැවතත් සිතන්නට පටන් ගත්හ. රාජ නීතිය වෙනස් කරන්නට යෑමත් අවදානම්ය. මරණයට කැපවුණ පුද්ගලයා නොමරා සිටීමද නීති විරෝධිය. තමන්ගේ රැකියාවත් අහිමිවෙමින් රාජ උදහසට ලක්වන ක්‍රියාවකි. එම කරුණු කාරණා කල්පනා කරපු රාජපුරුෂයන් මසුරන් දහසට ලෝභකමින් වෙනත් පුද්ගලයකු මරලා ඒ මරණය රජතුමාට පෙන්වා මෙම සොරදෙටුවා මරණයෙන් නිදහස් කරන ලදී. වෙන පුද්ගලයකුගේ වුවමනාව මත රාජ නීතියත් වෙනස්කළා. මරණින් ගලවාගත් ඒ සොරදෙටුවා තමන්ගේ දියණියට විවාහ කර දුන්නා. බොහෝ සතුටින් මෙම යුවළ ජීවත්වෙමින් සිටින අතරතුරදී, තම බිරිඳගේ රණ්භාණ්ඩවලට ලෝභ සිතී එය පැහැරගත යුතු යැයි මොහු කල්පනා කළා. තමන්ගේ බිරිඳ සතුව තිබෙන රන්,රිදී, මසු කහවනු ආදි මුදල් වටිනා භාණ්ඩ දැක එය පැහැර ගත යුතු යැයි යන සිතිවිල්ල ඒ පුද්ගලයාගේ සිතට ආහ. නරක පැත්තට යොමුවූ සිතක් යහපත් පැත්තට හරවනවාය කියන දෙය තරමක් අමාරු වැඩකි. හොරකම් කරලා අනුන්ගේ දේවලට ආශාව උපදවාගෙන අනුන්ගේ දේ පැහැර ගැනීමට පුරුදු වී සිටි ඒ තරුණයාට තමන්ගේ බිරිඳගේ රන්භාණ්ඩ පැහැර ගැනීමට සිතුණි. ඒ තරුණයාට විවාහ ජීවිතයක් ගතකිරීමට නොවුමනා බව ඉන් පෙනී යයි. කුණ්ඩලකේශී තරුණියට එම තරුණයා හැර වෙන කිසිදු පුද්ගලයකු නොගැළපෙන බව ඇයට සිතුනි. මෙතනදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරායන විවාහයක් බව පෙනෙන්නේ ඒ දෙදෙනාගේ අදහස් එකිනෙක ගැළපීමක් නැතිකමයි. ඇය සිතන්නේ වෙන පැත්තකි. සැමියා හිතන්නෙ වෙනත් පැත්තකි. එක දවසක් මේ තරුණයා තරුණියට කතා කර “මම මරණීන් ගැලවුණ දවසේ මම සොර පවුවේදී දෙවියන්ට භාරයක් වුණා” යැයි කීය. සොර පව්ව යනු එදා සොරකමට හසුවුණ අය රාජ උදහසට ලක්වුණාට පසුව මරණීය දණ්ඩනයට ලක්වීමෙන් පසු ඒ කඳු මුදුනට රැගෙන ගොස් වැරැදිකරු කන්දෙන් පහළට තල්ලු කර මරණයට පත්කිරීමය. එසේ මරණයට පත්කරන ස්ථානයට කියන්නේ “හොරපව්ව” යනුවෙනි. තරුණයා ප්‍රකාශ කරනුයේ එදින “හොරපව්වේ” සිටි දේවතාවාට භාරයක් වූ බවය. එනම් තමන් මරණීන් ගලවා දෙන්නැයි කියා දෙවියන්ට භාරයක් වුණ බවය. තමන් මරණින් ගැලවූ නිසා එම භාරය ඔප්පුකළ යුතු බවත් ඒ වන විට එය හොඳටම ප්‍රමාද වැඩි බවත් අද අදම ඒ සඳහා යායුතු බවයි. එම පුද්ගලයා ප්‍රකාශ කරන්නේ මේ භාරය ඔප්පු කිරීම සඳහා තමන්ට තනිවම යා නොහැකි නිසා දෙදෙනාම ඒ සඳහා සහභාගි විය යුතු බව ඔහු යෝජනා කරයි.

තමන්ගේ සැමියා සමඟ හැඳ පැලඳගෙන සතුටින් මහ මඟ ඇවිදගෙන යාමට මහත්මීවරු කැමැතියි. කුණ්ඩලකේශී ඒ නිසාම කැමැති වුණාය. කුණ්ඩලකේශී තමන්ට ඇති රණ්භාණ්ඩ සියල්ල ඇඳ පැළඳගෙන තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ භාරය ඔප්පු කිරීමට අවශ්‍ය කළමනා සුදානම් කරගෙන ගමනට පිටත්විය. දෙදෙනාම සොරපව්ව මුදුණට නැගුණාට පසුව මේ සොරදෙටු තරණයාට තමන්ගේ අදහස සිහියට ආහ. තමන් මරණින් ගැලවීම සඳහා එදා ඔහු භාරයක් වූයේ නැත. ඇත්තටම ඔහු කළේ බොරුවකි. ඔහු එදා මරණින් ගැලවුණේ, කුණ්ඩලකේශිගේ දෙමාපියන් ඔහු මරණින් ගලවාගැනීම සඳහා රාජපුරුෂයන්ට සංග්‍රහ වශයෙන් මසුරන් දහසක් දීපු නිසයි. නමුත් මේ ආකාරයට වංචා සහගත ලෙස සැලසුම් කරනු ලැබුවේ කුණ්ඩලකේශී සතුවූ රණ්භාණ්ඩ පැහැරගෙන ඒ තැනැත්තිය මරා දැමීම සඳහායි. “සොර පව්ව“ මුදුනට ගියාට පසු කඳු මුදුනේ ඒ දෙදෙනා පමණක් වූහ. ඇදුම් පැලඳුම් රණ්භාණ්ඩ සියල්ල ගලවාගෙන කුණ්ඩලකේශී කන්දෙන් පහළට තල්ලුකර දමන්නයි මේ තරුණයා සැලසුම් කර තිබුණේ. ඒ නිසා දෙවියන්ට භාරය ඔප්පු කිරීම සඳහා පූජා වට්ටියක් රැගෙන දෙදෙනාම කඳු මුදුන වටේට ඇවිදින්න පටන් ගත්හ. තරුණයාගේ අදහස ක්‍රියාත්මක කිරීම සිතා ගෙන සිටියේ ඒ අවස්ථාවේදීය. කුණ්ඩලකේශී එතරම් නුවණැති තැනැත්තියක නොවුනද, ඒ මොහොතේ මේ පුද්ගලයා තමන්ගේ බඩු පැහැරගෙන මරණයට පත්කර දැමීමට යන බව වටහා ගත්තාය. මරණයද ජීවිතයද යන්න පිළිබඳව තීරණය ගත යුතු අවසාන මොහොත කුණ්ඩලකේශිගේ සිතට ආවාය. අන්තිම මොහොතේදී උපක්‍රමශීලි වූ කුණ්ඩලකේශී දේවභාරය ඔප්පු කිරීමට පෙර ඔබට තිබෙන ආදරය පෙන්වන්න එක අවස්ථාවක් දෙන්නැයි ඇය මේ තරුණයාගෙන් ඉල්ලීමක් කළාය. තරුණයා හිතුවා, මේ ගැහැනිය දැන්මට හොඳටම රැවටිල තිබෙන නිසා මගේ අදහස හරියටම ක්‍රියාත්මක කරගත හැකි යැයි සිතා තව ස්වල්ප මොහොතකින් සියලු රණ්භාණ්ඩ තමන් සතු වන නිසා ඒ අදහසට ඉඩ දුන්ණේය. කුණ්ඩලකේශී ඒ ලද අවසරයෙන් මේ තරුණයා ගලෙන් පහළට තල්ලු කර දැමීය. සිද්ධිය එසේ අවසන් වුණත්, හෙට දවසට මම කෙසේ නම් මුහුණ දිය යුතුද? නැවතත් ගෙදර යනවාද? අම්මට, තාත්තටත් වඩා වැඩියෙන් ආදරය කළ තමන්ගේ ස්වාමිපුරුෂයා තමන්ගේ අතින්ම මරණය ට පත්වුණා. නේද? මේ තරුණයා නොලැබුණොත් තමන් සිය දිවි නසා ගන්නවා යැයි එදා අම්මටත් තාත්තටත් තර්ජනය කළා නේද? දැන් මාත් මෙතනින් මැරෙනවාද? වෙනත් විකල්පලයක් තිබෙනවාද? කියා කල්පනා කළාය. කිසිවක් සිතා ගත නොහැකි වූ සිතිවිලි ඔස්සේ කුණ්ඩලකේශී ඇවිදගෙන ඇවිදගෙන ගියාය. ඇවිදගෙන යන කුණ්ඩලකේශී පරිබ්‍රාජක ආරාමයක් දුටුවාය . නිගණ්ඨනාථ පුත්තගේ නමින් කාන්තාවන් පැවිදි වී සිටින ආරාමයකි. එම ස්ථානයේ නේවාසික වූ කුණ්ඩලකේශී තමන්ගේ සිත හදාගෙන අලංකාරව වැඩුණු කොණ්ඩය කපා දා මෙහෙණක් බවට පත්වුණාය. මෙහෙණක් බවට පත්ව ඒ ආරාමය තුළ බොහෝදේ ඉගෙන ගනිමින් වාද කරන්නත් ඉගෙන ගත්තාය. වාද කර අනෙකා පරදවන ආකාරයද ඉගෙන ගත්තාය. හොඳින් ඉගෙන ගත්ත කුණ්ඩලකේශී ‘ජම්බුපරිබ්‍රාජිකා’ නමින් ප්‍රසිද්ධියට පත් වූවාය. ‘ජම්බුපරිබ්‍රාජිකා’ ඇවිදගෙන ගොස් වාද කරමින් හැම දෙනාම පරද්දගෙන යන විට දිනක් මේ තැනැත්තියට සැරියුත් හාමුදුරුවන් හමුවූහ. සැරියුත් හාමුදුරුවන් සමඟ වාදයට පැටලුණු මේ තැනැත්තිය එදා පැරදුණාය. ‘ඔබ වහන්සේගේ ගුරුවරයා මට හඳුනාදෙන ලෙසත්, මා එතන පැවිදි වන බවත්’ සැරියුත් හාමුදුරුවන්ට ජම්බුපරිබ්‍රාජිකාව ප්‍රකාශ කළා. අවසානයේ බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි බව ලබා කුණ්ඩලකේශී තෙරණින් වහන්සේ නමින් ප්‍රසිද්ධියට පත්වූවාය. තමන්ගේ ජීවිතයේ බොහෝ කරුණු කාරණා සන්සිද්ධි නැවත නැවතද මෙනෙහි කළ කුණ්ඩලකේශී ජිවිතය යනු හරිම අමුතුම අමුතු සිද්ධී දාමයක් කියන කාරණය පී‍්‍රතියෙන් සිහිපත් කරන්න පටන් ගත්තාය.