Print this Article


පින්බර වස්සානය හා භික්ෂූන් වහන්සේ

පින්බර වස්සානය හා භික්ෂූන් වහන්සේ

ධෛර්ය සම්පන්න භික්ෂු සංඝයා ද නිවන් මඟ සාක්ෂාත් කර ගනිමින් හා එය අත් දකිමින් අන්‍යයන්ට ද අත්දකින්නට මඟ පෙන්වමින් තුරිත අතුරිත චාරිකාවන්හි යොදමින් දහම් දෙසමින් චාරිකාවෙහි හැසිරුණාහ. කාලය ගැන නොසිතූහ. මාර්ගයන්හි ඇති අපහසුතා නොතැකූහ. සෑම විටම පරාර්ථය, බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මූලික කොට සැලකූහ

සොබා දහම තුළ වස්සාන ඍතුවට අමතරව හේමන්ත, ගිම්හාන ආදි වශයෙන් ඍතු දක්නට ලැබේ. ඈත අතීතයේ සිටම ඍතු වෙනස්වීම පැවැතුණි. සිදුහත් කුමාරයාට ඍතු තුනකට රම්‍ය, සුරම්‍ය,හා සුබ යනුවෙන් මාලිගා තුනක් සාදා දීමෙන් ඍතුවල පැවැත්ම හඳුනාගත හැකිය.

සංස්කෘත සාහිත්‍යයේ දීප්තිමත් ප්‍රතිභාපූර්ණ කවියකු වූ කාලිදාස ඍතු ගණනාවක්ම ඍතු සංහාර කාව්‍යයේ වර්ණනා කර ඇත. 1.ඒ අනුව ගිම්හාන සමය දැඩි අව් රශ්මියෙන් යුතු වූ හිරු රශ්මියෙන් ගහකොළ මැළවෙන ජලය වියළී යන කාලයකි. මේ නිසා මිනිසා පමණක් නොව සතා සිව්පාවුන් ද විවිධ පීඩාවන්ට ලක්වීම පොදු ලක්ෂණයකි. 2.ගිම්හාන සමයෙන් අනතුරුව වැසි සමය උදාවෙයි. දැවෙන ගහකොළවල ප්‍රබෝධයක් එක්කරමින් වැසි දිය කඩා වැටෙයි. සිව්පාවුන්ද පක්ෂීන් ද සතුටින් කල්ගෙවමින් වැසිකාලයෙහි දැනෙන ශීතලෙන් ආරක්ෂා වීමට උණුසුම් නිවහන් ඉදිකර ගනිති. මිනිස්සු ද කපා රැස් කළ ධාන්‍ය ප්‍රයෝජනයට ගනිමින් සතුටින් විවේක ගනිති. ධනිය ගෝපාලගේ කථා පුවත මෙයට කදිම නිදසුනකි.

සියලුම සතුන් විවේක ගනිමින් කල්ගෙවන අතර ශ්‍රමණ සම්ප්‍රදාවලට අයත් පිරිසුදු මිනිස්සු ද තම නිවහනට වී කල් ගෙවති. එහෙත් භික්ෂුව පමණක් ගමින් ගමට යමින් දහම් දෙසමින් කල් ගෙවයි. එයට බලපෑ මූලික හේතුව බුදුන් වහන්සේගේ අවවාදයයි.

“මහණෙනි , ඔබලා බොහෝ ජනයාට යහපත සඳහා දෙවියන්ට යහපත සඳහා තිරිසන් ගත සතුන්ට යහපත සඳහා දහම් දෙසමින් ගමින් ගමට යන්න, ධර්ම දේශනාවේ මුල,මැද, අග හොඳින් වටහා දෙන්න යනුවෙනි.

මේනිසා ධෛර්ය සම්පන්න භික්ෂු සංඝයා ද නිවන් මඟ සාක්ෂාත් කර ගනිමින් හා එය අත් දකිමින් අන්‍යයන්ට ද අත්දකින්නට මඟ පෙන්වමින් තුරිත අතුරිත චාරිකාවන්හි යොදමින් දහම් දෙසමින් චාරිකාවෙහි හැසිරුණාහ. කාලය ගැන නොසිතූහ. මාර්ගයන්හි ඇති අපහසුතා නොතැකූහ. සෑම විටම පරාර්ථය, බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මූලික කොට සැලකූහ .

මේ අතර අහිංසාවාදය ප්‍රමුඛත්වය වශයෙන් සැලකූ ආගමික සම්ප්‍රදා අතර ජෛන සම්ප්‍රදාය ප්‍රධානය. ඔවුහු ප්‍රාණින්ට හානි කිරීම, ගහකොළ වල පීඩා කිරීම බරපතල වරදක් ලෙස දුටුහ. ඒ නිසා අහිංසාවාදය අගය කළ විවිධ කණ්ඩායම් භික්ෂු සංඝයාගේ හැසිරීම හෙළා දැක්හ. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිරන්තරයෙන් ඇද වැටෙන ධාරානිපාත වැසි ගැන නොතකා ධර්මයේ නව පණිවුඩය ජනතාව අතර ව්‍යාප්ත කිරීමට උත්සුක වූහ. භික්ෂු සංඝයා පිණ්ඩපාත චාරිකාවේද ධර්ම ප්‍රචාර චාරිකාවේද වශයෙන් දෙයාකර චාරිකාවක යෙදුණාහ. මෙය දුටු වැසියෝ සිය අප්‍රසාදය මෙසේ පළකළහ. “වැසි සමයෙහි කුරුල්ලන් පවා ගස් මුදුන්හි කූඩු සාදාගෙන නොතෙමී ආහාර ගැන පවා අමතක කොට උණුසුම්ව එක තැනක වාසය කරති. එහෙත් ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ ශාක්‍ය පුත්‍රයෝ ළා තණනිල්ල වඩිමින් ආහාර පිණිස සිඟායති. ඒ අනුව වස්විසීම බුදුන් වහන්සේ වැසි සමය තුළ එක් ස්ථානයකට වී කල් ගෙවීමට අවශ්‍ය උපදෙස් ශික්ෂා පදයක් ලෙස පනවන ලදී.

“අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං දේව මා භික්ඛවෙ වස්සුපනායිකා – පුරිමාපච්ඡටිකාච, අපරජ්ජුගනාය ආසාළ්හියා පුරිටිකා උගනතබ්බා මාසගනාය ආසාළ්හියා පචඡිටිකා උපගනතබ්බා, ඉමා ඛො භික්ඛවෙ දෙව වස්සුපනායිකා ති

ඒ අනුව වස්විසීම් දෙකකි. පෙරවස හා පසුවස වශයෙනි. පෙරවස ඇසළ පොහොය දිනට පසුදින ද පසුවස නිකිණි පොහොය දිනට පසු දිනද විසිය යුතුය. යම් උපසම්පන්න භික්ෂුවක් වස් වසන දිනට සුදුසු තැනක වස් නොඑළඹුණොත් දුක්කටාපත්ති වන බව පවසමින් පහත ශික්ෂාපද පනවා ඇත.

“වස් වැස පළමු මාස තුනේදී පෙර පසු මාස තුනේදි නොසිට දහම් දෙසමින් චාරිකාවේ නොයා යුතුයි. වස් වසන දිනයෙහි සිතා මතාම ආවාසයෙන් මඟ නොහැරිය යුතුයි (ම) වස් විසීමට මුල් යුගයේ සුදුසු තැනක් නොවීය. ඒ නිසා එක් හාමුදුරු නමක් විශාල ගස් බෙනයක ද තව අයෙක් විහිදී ගිය විශාල ගස් කරුවක ද තව භික්ෂුවක් සොහොනෙහි මිණි තබන කුටියෙහි ද තව අයෙක් විශාල කුඩයක් යටද තව අයෙක් විශාල සැලියක ද වැඩ විසුවේය. තැන් තැන්වල භික්ෂූන් වහන්සේලා එළිමහනේ ස්ථානයක වස් විසූ අතර වැස්ස ඇතිවිට ගෙවල්වල පිලට විත් සිටියහ. රජගහ නුවර සිටුවරයා භික්ෂූන් වහන්සේලාට වස්විසීමට විහාරයක් සාදා දීමෙන් පසු වස්විසීමට අනුමත කළ විහාර හා විහාර අංග විය.

විහාරය ,සෙවිළි කළ ගෙය, සඳලු තල සහිත ගෙය, දිග් පහය, ගුහාව, පිරිවෙන, උපස්ථාන ශාලාව, ගිනිහල්ගෙය, ඒ සඳහා ශාලාවක්, ශික්ෂා පද නොඉක්මවූ ශාලාව, වැසිකිළි, සක්මන් කරන මළුවක්, එම මළුව සඳහා ශාලාව, ළිඳක්, ළිඳ සඳහා ශාලාව, පොකුණක්,මණ්ඩපයක් ,ආරාමයක්, වැවීමට යෝග්‍ය ඉඩමක්,

මෙයට අමතරව වස් වැසිය හැකි ස්ථාන තුනක් දැක්වේ.

ගොපල්ලන් වසන තැන, වෙළෙන්දන් වසන තැන, ගැල් පදවන්නන් වසන තැන,

ඔවුන් සමඟ වස් සමාදන්ව සිටිය දී ඔවුන් වෙන ස්ථානයකට ගිය ද එතනට යා හැකිය. ඔවුන් සමඟ වස් සාරමාසය ගතකළ හැකිය. යම් හෙයකින් ගොඩබිමෙහි යාමට හෝ මුහුදේදි නැව් ආදියෙන් යාමට හෝ සිදුවුවහොත් එසේ ගියාට කිසිදු ශික්ෂාපදයක් නොබිඳෙයි.

වස් විසීම ශාසන තුළ ප්‍රමුඛම කාරණයක් වූයේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව වැරැදි ප්‍රතිරූපයක් ගොඩනැගීම වැළැක්වීමටය. එසේම ඒ හා සමගාමීව ධර්මප්‍රචාරක කටයුතුවල බාධාවක් නොවන්නට ද කටයුතු කරන ලදී. මේ නිසා ගිහිපිරිසට මෙන්ම පැවිදි පිරිසට ද ප්‍රතිඵලදායක අයුරින් වස්විසීමේ කාරිය සිදු කිරීමට බුදුන් වහන්සේ උපදෙස් සැපයූහ.

සෙනසුන් සකසා ගැනීම

වස් විසීම භික්ෂූන්ට බෙහෙවින් ප්‍රතිඵලදායක කාරණයකි. එසේම ගිහි ජනයාට ද අපමණ පින්සිදු කරගත හැකිවේ. සෙනසුන් සොයාගැනීම ඉතාම දුෂ්කර කාර්යයකි. ඒ අනුව පස් ආකාර සෙවෙනි කළ දොර බා පියසිවලින් යුත් තැනක් වස් විසීමට සුදුසුය.

1.ඉට්ඨිකාච්ඡාදන –උළු සෙවෙනි කළ,
2.ශිලාච්ඡාදන – ගල් සෙවෙනි කළ,
3.සුධාච්ඡාදන – ගඩොල් සෙවෙනි කළ,
4.තෘණච්ඡාදන –තෘණ සෙවෙනි කළ
5.පණිච්ඡාදන – පිදුරු අතු කොළ ලෑලි සෙවෙනි කළ

මෙවැනි සෙනෙසුනක් යම් ගිහියෙක් සාදා දෙන්නේ නම් ඔහුට අපමණ පින් ජනිත වන අතර ඔවුන්ට දෙලොව දියුණුව උදාවේ. එසේම භික්ෂූන්ට ද එම සෙනසුනේ ඇසුරු කරගෙන පිළිවෙත් පුරමින් ශ්‍රමණ භාවයේ ඵල ලැබිය හැකිවේ.

2. වත් පිළිවෙත් පිරීම

වත්පිළිවෙත්වලට පැවිදි දිවියේ මූලිකත්වයෙක් හිමිවේ. වත්පිළිවෙත් නොපුරන්නා මහණ දම් ද නොපුරයි. එහෙයින් පැවිදි දිවියේ සඵලත්වය වත්පිළිවෙත් මත රඳා පවතියි.

1. විහාරය පිළදැගුම් කිරීම
2. මළු පෙත්මං ඇමදීම
3. පානීය –පරිභෝජනීය ජලය පුරවා තැබීම
4. වච්ඡිකුටිවත් පිරීම
5. ආචාර්ය උපාධ්‍යායාදී වත් පිරීම
6. සෑ බෝ ආදිය වන්දනා කිරීම
7. ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම
8. භාවනා කිරීම
9. ගිහියනට දහම් දෙසීම

මෙසේ වස් එළඹීම පැවිදි දිවියේ ඵලය වීමට හේතු වේ. එසේම වස් විසීම නිසා ගිහියනට ද වත් පිළිවෙළින් ඉටු කිරීමෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලෞකික ලෝකෝත්තර ඵල ලැබිය හැකි වේ. ඒ අනුව

1. දන් දීම
2. සිල් රැකීම
3. භාවනා කිරීම
4. වත්පිළිවෙත් සපුරාලීම
5. තෙරුවන නැමදීම
6. ධර්ම ශ්‍රවණය කිරීම

වැනි පින් ජනිත වන ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව ලැබේ. වස් එළඹීම නිසා ගිහිජනයාට ධර්මය යෙදීමට හැසිරීමට ලැබෙන අවස්ථාව සම් බහුල වේ.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අවඅටවක පෝදා (අගෝස්තු 17) පත්‍රයේ පළවේ