Print this Article


දෙස් විදෙස් ජනතාවගේ වැඩිම අවධානයට නතුවන්නේ පෙරහර මංගල්‍යයයි

දෙස් විදෙස් ජනතාවගේ වැඩිම අවධානයට නතුවන්නේ පෙරහර මංගල්‍යයයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එම ධුරයට පත්ව මෙවර පෙරහර සංවිධානය කරනු ලබන්නේ දසවන වරටය. පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කිරීමේ වගකීම දියවඩන නිලමේතුමන්ට පැවරෙන අතර මෙවර ඇසළ පෙරහර සංවිධාන කටයුතු පිළිබඳව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* පෞරාණික චාරිත්‍ර ගරු කරමින් වඩා විචිත්‍රවත්ව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මෙරට ජනතාවට සුවිශේෂි වන්නේ ඇයි.

දළදා වහන්සේට වන්දනාමාන කරන්නේ ජීවමාන බුදුහාමුදුරුවන්සේ සලකලයි, දළදා තේවා කටයුතුවලදී තේවාව භාර නායක හිමිවරු එදා ආනන්ද තෙරුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කළ උපස්ථාන අදත් ඒ ආකාරයෙන්ම සිදුකරනවා. මුව දෝවනය, දැහැටි පූජාව, ශ්‍රී මුඛය පිරිසුදු කිරීම ඇතුළු සෑම කටයුත්තක්ම පැරැණී රජ කල පටන් අදත් ශ්‍රී දළදා මැදුරේ දී සිදු කෙරෙනවා. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ දළදා වහන්සේ බවට තර්කයක් නැහැ. මේ දළදා සමිඳුන්ට පූජෝපහාරයක් ලෙස පවත්වන මංගල්‍යය හතරක් වාර්ෂිකව දළදා මැදුරේ පැවැත්වෙනවා. අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය එම මංගල්‍යය හතරයි. මේ සිව් මංගල්‍යයින් අතරින් දෙස් විදෙස් ජනතාවගේ වැඩිම අවධානයට නතුවන්නේ පෙරහර මංගල්‍යයයි. අතීත රජ දවස රාජ්‍යත්වයේ සංකේතය වුණේ දළදා වහන්සේයි. එදා රජු ජනතාව සම්බන්ධ කරගෙන ඉතා ඉහළින් පෙරහර මංගල්‍යය සිදු කළේ දළදා වහන්සේ කෙරහි උපරිම භක්තිය පෙරදැරිවයි. අදත් එය ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. දළදා වහන්සේ තරම් වටිනා වෙනත් උතුම් වස්තුවක් එදත් අදත් කවදත් අපට තිබුණේ නැහැ. ඒ නිසා හැකි උපරිමයෙන් කවදත් මේ දළදා වහන්සේ උදෙසා කරන්නා වූ පූජෝපහාරය සංවිධානය කෙරුණා. ඒ ඔස්සේ මෙය හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැඳින්වූවා.

* මෙවැනි පෙරහරක් සංවිධානය කිරීම භාරධූර වගකීමක් නේද?

දළදා වහන්සේ හා සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පූජෝපහාරයක් ලෙස පවත්වන පෙරහරට සම්බන්ධ සියලු කටයුතු සිදුකෙරෙන්නේ පෞරාණික චාරිත්‍රවලට හා නැකත්වලට අනුවයි. කප් සිටුවීමේ සිට පෙරහර කරඬුව ගන්ධ කුටියෙන් පිටතට වැඩමවීම, පෙරහර පිටත්වීම, පෙරහර ගෙවදීම ඇතුළු සියල්ල සිදුකරන්නේ නැකැත් අනුවයි. මෙයට අමතරව පෙරහරට කලා ශිල්පීන් 2500ක් පමණක් අලි ඇතුන් 100ක් පමණක් සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ පෙරහරට පමණක් රුපියල් ලක්ෂ 400ක් පමණ වැය වෙනවා. ජනපතිතුමන් පෙරහර සඳහා අවශ්‍ය පහසුකම් නිරතුරුව ලබා දෙනවා. ප්‍රවාහනය, සෞඛ්‍යය ආරක්ෂක අමාත්‍යාංශ ඇතුළු අංශ ගණනාවකින් අනුග්‍රහය මීට ලැබෙනවා. මේ තත්ත්වයන් තුළ පෙරහර මංගල්‍යය දවල් පෙරහරද ඇතුළුව වීදි සංචාරය කරන දින 11 තුළ සාර්ථකව පවත්වා අවසන් කිරීම මගේ වගකීමයි. ජනපති මැදිහත්ව ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අද රටේ පවතින සාමාන්‍ය වාතාවරණය පෙරහර සංවිධානය කිරීම සඳහා විශාල පහසුවක් බව මෙහිදී කිව යුතුයි.

* පාරම්පරික කලා ශිල්පීන්ගේ හිඟය අනාගතයේ පෙරහර පැවැත්වීමට බාධාවක් වෙයිද?

පෙරහර තුළ විශාලතම කාර්යභාරයක් ඉටුකරන්නේ කලාශිල්පීන් විසිනුයි. පෙරහර අඛණ්ඩව පවත්වාගෙන යෑමට අනිවාර්යයෙන්ම ඔවුන් ආරක්ෂා විය යුතුයි. නිසි පිළිගැනීමක් නොමැති නිසා පාරම්පරික කලා ශිල්පීන්ගේ දරුවන් අද මේවායින් ඈත් වෙනවා. ඔවුන් වෙනත් රැකියාවලට යොමු වෙනවා. අතීතයේ දී කලා ශිල්පීන් පෙරහරට දායකත්වය ලබා දුන්නේ රජු පැවරූ වගකීමක් ඉෂ්ට සිද්ධ කිරීමටයි. ඒ සඳහා රජු ඔවුන්ට නොයෙක් වරප්‍රසාද ලබා දුන්නා. පාරම්පරික කලා ශිල්ප රැකගැනීමට කටයුතු කරන පිරිස් සඳහා නිසි පිළිගැනීමක් හා වෘත්තීය වටිනාකමක් ලබාදිය යුතුයි. එවිට ඔවුන් මෙම කලා ශිල්ප අනාගත පරපුර වෙනුවෙන් රැක ගනීවි.

* පෙරහරට එක්කරන නර්තන අංගයන්හි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම ඉතා භාරධූර කාර්යයක් නේද?

දියවඩන නිලමේ ධුරයට මා පත්ව මෙවර පෙරහර සංවිධානය කරන්නේ දසවන වරටයි. වසරින් වසර මහනුවර ඇසළ පෙරහරේ සාම්ප්‍රදායික බව ආරක්ෂා කර ගනිමින් ගුණාත්මක බව විචිත්‍රත්වය ඔප්නංවන්න මා විශේෂ අවධානයක් යොමුකර කටයුතු කළා. මා පත්වීමට පෙර ළදදා පෙරහරේ නටන්න බැරි අයත් නර්තන කණ්ඩායම්වලට එක්ව පෙරහරේ ගියා. ඉතා අඩු මුදලක් ගෙවීමේ අරමුණ ඇතිව කුඩා ළමුන් පෙරහරට සහසම්බන්ධ කරගත්තා. මා ඒ සියල්ල වෙනස් කළා. අද දළදා මාලිගා පෙරහරේ නටන්න බැරි අය නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. මමත් හොඳ නැට්ටුවෙක්. මට බොරු කරන්න බැහැ. පෙරහරට සම්බන්ධ වන නවකයින් සියලු දෙනා මා පෞද්ගලිකව අධීක්ෂණය කරනවා. හොඳ නැට්ටුවෙක් නම් ඔහුට නැටුමට අමතරව ගායන හා වාදන හැකියාවත් තිබිය යුතුයි. මම මේ අංශ තුන කෙරෙහිම අවධානය යොමුකර තමයි පෙරහරට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නේ. වෙස් නැටුම, නයියඩි, පන්තේරු, උඩැක්කී හා රබන් උඩරට සම්ප්‍රදායික නැටුම් අංගයි. ලී කෙළි ඇතුළු ජන නැටුම් අනිත් අංශයයි. පාරම්පරික ශිල්පීන් මඟ යන ඔවුන්ගේ ගෝලයින් සාම්ප්‍රදායික නැටුමට යොමුවන නිසා එම අංශයේ දක්ෂයින්ගේ දායකත්වය පෙරහරට ලබාගත හැකියි. නමුත් ජන නැටුම් ඉදිරිපත් කරන බොහෝ පිරිස් නිසි පුහුණුවීමක් නොකර නර්තන ඉදිරිපත් කරනවා. ඊට හේතුව එම නර්තන ඉදිරිපත් කිරීමට වෘත්තිය කලාකරුවන් යොමු නොවීමයි. මේ නිසා ජන නැටුමේ රිද්මය, තාලය පෙරහර තුළ පවත්වාගැනීමට සැබෑ දක්ෂයින් පෙරහරට එක්කර ගත යුතු යි. මීට පිළියමක් ලෙස මාලිගාවේ මාස තුනක පුහුණුවක් ලබාදුන් ජන නැටුම් කණ්ඩායම් තුනක් දළදා මාලිගා පෙරහරට මෙවර එක්කරනවා. මහනුවර පාසල්වල දක්ෂ දරුවන් තෝරාගෙන සංචිතයක් ඇතිකර නිසි පුහුණුවක් ලබා දී මෙම කණ්ඩායම් තුන පෙරහරට එක්කරන අතර ඔවුන් මිශ්‍ර ජන නැටුමක්, බුලත් පදය හා කොතල පදය පෙරහරේ ඉදිරිපත් කරනවා.

* අතීත රජ දවස පටන් පැවති සම්ප්‍රදායන් අදත් මහනුවර ඇසළ පෙරහර තුළ ආරක්ෂාවී තිබෙනවා නේද?

මෙරට සංස්කෘතියේ එක් පැතිකඩක් පෙරහර තුළින් ගම්‍යවෙනවා. අඛණ්ඩව සියවස් ගණනාවක් ගලායන පෙරහර සංස්කෘතියක් රට තුළ නිර්මාණය කරන්නට මේ මහා කලා මංගල්‍යයට හැකිව තිබෙනවා. පාරම්පරික සිරිත් විරිත් හා පෞරාණික සම්ප්‍රදායන්ට මූලිකත්වය දෙමින් දළදා පෙරහර කැරවීම එදා සිටම මුල්බැසගත් වගකීමක් වුණා. එම කාර්යය මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, අනුනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ දෙපාර්ශ්වයේ විංශද්වර්ගික කාරක සංඝ සභික මහා සංඝරත්නය හා දියවඩන නිලමේවරුන් විසින් නොඅඩුව ඉටු කළා. අදත් එය ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. මෙරට තුළ උඩරට, පහතරට හා සබරගමු ලෙස නර්තන සම්ප්‍රදායන් තුනක් පැවතියත්, මහනුවර ඇසළ පෙරහරට එක් කරගනු ලබන්නේ උඩරටට ආවේණික කලා අංග පමණයි. උඩරට නර්තනයේ අග්‍රඵලය වෙස් නැටුමයි. පෙරහරේ වෙස් නැටුම දැකිය හැක්කේ දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා ඉදිරිපසින් හා දියවඩන නිලමේ ඉදිරිපසින් පමණයි. දේවාල පෙරහරේ දී දේව ආභරණ හස්තිරාජයා හා බස්නායක නිලමේතුමන් ඉදිරිපසයි. මේ සම්ප්‍රදායන් පැරණි රජ දවස පටන් අදත් ආරක්ෂා වී තිබෙනවා. ශ්‍රී දළදා මාලිගා පෙරහරෙත්, නාථ, විෂ්ණු කතරගම දේවාල පෙරහරවලත් කාන්තා සහභාගීත්වයක් නැහැ. නුවර පෙරහරේ එකම කාන්තා සහභාගීත්වය ඇත්තේ පත්තිනි දේවාල පෙරහරේ පමණයි. හාස්‍ය දනවන හෝ අසංවර නර්තන කිසිවක් පෙරහරට එක්කර ගන්නේ නැහැ.

* පෙරහරේ දී ජනතාවගේ සුවිශේෂී අවධානය යොමුවන්නේ අලි ඇතුන්ටයි. අද සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණය පෙරහර සාර්ථක කර ගැනීමට තරම් ප්‍රමාණවත් ද?

පෙරහරේ ගාම්භීරත්වය ප්‍රකට කෙරෙන්නේ ඊට සහභාගිකරවන අලි ඇතුන් ප්‍රමාණය මතයි. පෙරහර නරඹන්න පැමිණෙන කුඩා ළමුන් පමණක් නොව වැඩිහිටියන් පවා අලි ඇතුන් සංඛ්‍යාව ගණන් කරනවා. අලි ඇතුන් සංඛ්‍යාව වැඩි නම් පෙරහර හොඳ බව ඔවුන්ගේ සාමාන්‍ය අදහසයි. පෙරහර සඳහා මා පත්වූ දා සිට අලි ඇතුන් 80 කට වැඩි සංඛ්‍යාවක් මා සෑමවිටම සම්බන්ධ කරන්න උත්සාහ කළා. දැනුත් සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව ප්‍රමාණවත් වුණත් ඉදිරියේ දී පෙරහර පැවැත්වීමට යම් යම් ගැටලු මතුවිය හැකියි. වර්තමානයේ පවතින තදබලම ගැටලුව පෙරහර කරඬුව වැඩම කරන්න පුළුවන් මංගල හස්තිරාජයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැතිවීමයි. දැනට කරඩුව වැඩමවිය හැකි දළ ඇතුන් ඉන්නේ ලංකාවටම හතරදෙනයි. නඳුන්ගමුවේ රාජා, කතරගම වාසනා, දළදා මාලිගාවේ ඉන්දි රාජා, මිල්ලන්ගොඩ පොඩි ඇතා මේ ඇත්තු හතරදෙනයි. මේ අතරින් මිල්ලන්ගොඩ පොඩි ඇතාගේ කම්බුල් තෙමිලා නිසා පෙරහරට එක්කර ගන්න බැහැ. අනිත් ඇත්තු තුන්දෙනා අතරින් නඳුන්ගමුවේ රාජා උසින් වැඩියි. එයා කරඬුව වැඩමවන විට වාසනා හා ඉන්දිරාජා දෑලේ ගමන් කරවන්න පුළුවන්. ඒත් වාසනා හෝ ඉන්දිරාජා කරඩුව වඩමවනවිට නඳුන්ගමුවේ රාජාට දෑලේ යන්න බැහැ. උස වෙනස්වන නිසයි. මේ නිසා මෙවරත් ඉන්දිරාජාට පෙරහර කරඬුව වැඩමවන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි.

* දළදා මාලිගාව සතුව ඇත් පන්තියක් තිබෙනවා නේද?

දළදා මාලිගාව සතුව අලි ඇතුන් 12 ක් ඉන්නවා. ඇත් පැන්තියේ දළ ඇතුන් 12 ක් හිටියත් කරඬුව වැඩමවන්න පුළුවන් ඉන්දිරාජාට විතරයි. බුරුම ඇතුන් උසින් අඩුයි. කර¾ඩුව වැඩම කරන්න පුළුවන් මංගල ලක්ෂණ සහිත දළ ඇතුන් අපිට ගන්න පුළුවන් එකම රට ඉන්දියාවයි. පැටව් ගෙනල්ලා ලොකු කරන්න තරම් කාලයක් අපට ඉතිරිවෙලා නැහැ. ඒ නිසා හොඳින් වැඩුණු දළ ඇතුන් අඩු තරමින් දෙන්නෙකුවත් ඉන්දියාවෙන් ගෙන්වා ගන්න කටයුතු කළ යුතුයි.

* මෙවර කුඹල් පෙරහරේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කරන්න ඔබ කටයුතු කර තිබෙනවා නේද?

කප් සිටුවා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසු එදා රජ දවස කුඹල් පෙරහර වීදි සංචාරය කර තිබෙන්නේ වැඩි විචිත්‍රත්වයක් නොමැතිවයි. දියවඩන නිලමේතුමන් සුදට හුරු උඩරට නිලමේ ඇඳුම අඳිනවා. අලි ඇතුන්ට අන්දවන්නෙත් සුදට හුරු ඇඳුම වර්ණ ඇඳුම් එකතු වී පෙරහර විචිත්‍රවත් වන්නේ රන්දෝලි පෙරහර ආරම්භවීමත් සමඟයි. පසුකාලීනව මෙම තත්ත්වය වෙනස් වුණා. කුඹල් හා රන්දෝලි පෙරහර අතර වෙනසක් දකින්න නොමැති ලෙස කුඹල් පෙරහරේ විවිධ නර්තන අංගවලට වර්ණ එක්වුණා. පෙර පැවති සම්ප්‍රදායින් ආරක්ෂා කර ගනිමින් මෙවර කුඹල් පෙරහර සඳහා සුදු හා ඊට ගැළපෙන රන්වන් වර්ණයෙන් පමණක් හැඩගැන්වූ රෙදි භාවිතා කිරීමට පියවර ගත්තා. දළදා මාලිගා පෙරහර සඳහා අවශ්‍ය සියලු ඇඳුම් මේ ආකාරයට අලුතින්ම මැස්සුවා. ඉන්දියානු ශිල්පීන්ගේ ආභාසය තුළින් ඇඳුම්වලට නොයෙක් දිලිසෙන වර්ණ හා සීකුයින්ස්, පබළු වැනි දේ එක්වුණා. මෙමඟින් එතෙක් පැවති අලි ඇඳුම් හැඩකරන දේශීය කලා නිර්මාණ යම් ප්‍රමාණයකට පෙරහරින් ඈත්වුණා. මෙවර අපි අලි ඇඳුම් හැඩ කරන්න පිත්තල, තඹ, රිදී වලින් සකස් කළ බොක්කාල වැනි නිර්මාණ යොදා ගත්තා.

* පෙරහර නැරඹීමට එන ජනතාවට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?

මෙය සැණකෙළියක් නොව පූජෝත්සවයක් කියන එක අප නිතරම සිහියේ තබාගත යුතුයි. පෙරහර නැරඹීමට එන සැමගේ ආරක්ෂාව රජය විසින් තහවුරු කර තිබෙනවා. බියක් සැකක් නොමැතිව පෙරහර නරඹන්න එන්න කියා මා ජනතාවගෙන් ඉල්ලනවා.


ශ්‍රී දළදා ගමනයත් සමඟ පෙරහර මංගල්‍යය සංස්කෘතියට එකතුවූ වැදගත්ම අංගයකි

හෙළ සංස්කෘතියේ මහා මංගල්‍යය වන අසිරිමත් ඇසළ පෙරහර නිමිති කර ගනිමින් බුදුසරණ පුවත්පත මෙම නිකිණි පුරපසළොස්වක කලාපය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අප වෙත දන්වා ඇත. එබැවින් ඒ පිළිබඳ සුභාශිංසන පණිවුඩයක් ලබා දෙන්නේ ඉමහත් සතුටිනි.

මහනුවර නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත්තේ වෙන කිසිවක් නිසා නොව ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් වැඩසිටින අසහාය දංෂ්ඨා ධාතුන් වහන්සේ නිසාමය. ශ්‍රී දළදා ගමනයත් සමඟ අප සංස්කෘතියට එක්වූ වැදගත්ම අංගයකි. පෙරහර මංගල්‍යය, ඇසළ පෙරහර නමින් ලොව පුරා ප්‍රසිද්ධත්වයක් දරන ශ්‍රීමත් දංෂ්ඨා ධාතුන් වහන්සේ මුල්කරගෙන සිදුකරන එම පෙරහර මංගල්‍යය මෙවරද අතීත සම්ප්‍රදායානුකූල හෙළ සිරිත් විරිත් වලට මුල් තැනක් දෙමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

මෙම දළදා පෙරහර සංස්කෘතිය මුල් කරගනිමින් ඒ හා බැඳුනු සිරිත් විරිත් පහදා දෙමින් බුදුසරණ පුවත් පත නිකිණි පුර පසළොස්වක කලාපය වෙන්කිරීම පිළිබඳ අපගේ ප්‍රසාදය හිමි වෙයි. අප සංස්කෘතියේ වැදගත්කමක් ඇති සෑම අවස්ථාවකම ඒ වැදගත්කම බොහෝ දෙනාට නිවැරැදි ලෙස අවබෝධ කර දීමෙහිලා බුදුසරණ පුවත් පත මුල් තැනක් ගෙන ක්‍රියා කරයි. එය අප කාගේත් ප්‍රශංසාවට පාත්‍ර විය යුතු කරුණකි.

මෙහිලා බුදුසරණ පුවත්පතෙහි වර්තමාන කර්තෘත්වය දරන සීසර් සුදුසිංහ මහත්මා ඇතුළු කර්තෘ හා සංස්කාරක මණ්ඩලයේ කැපවීම අගය කරන අතර ඒ සියලු දෙනාටත්, දැනුම ප්‍රදානය කිරීමෙහිලා දායකත්වය දරන සියලු දෙනාටත් මේ යහපත් කටයුතු චිරාත් කාලයක් සිදුකරගෙන යෑමට උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


සතර මංගල්‍යයන් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නා සම්බුද්ධ පූජා චාරිත්‍රයකි

භූගෝලීය වශයෙන් භාරතයට සමීපව ශ්‍රී ලංකාව පිහිටීමෙන් අප ලද විශිෂ්ටතම දායාදය වනුයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙසිරිලකට ලබාදුන් නිර්මල බුදුදහමේ පණිවිඩයයි. කල්ගතවන විට බුදුපියාණන් වහන්සේගේ ශාරීරික හා පාරිභෝගික ධාතූන් වහන්සේලාද අප රටට වැඩම වූ අතර එයින් සුවිශේෂී පූජනීය වස්තුවක් වූයේ ශ්‍රීමත් දළදා වහන්සේයි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මෙරටෙහි රාජධානි අනුක්‍රමයෙන් වෙනස්වීමත් සමඟම ශ්‍රීමත් දළදා වහන්සේද ඒ රාජධානි වෙත වැඩම කළ අතරම ලක් රජදරුවන් විසින් උන්වහන්සේ පූජනීයත්වයේද, රාජ්‍යත්වයේද විශිෂ්ටතම සංකේතය ලෙස සළකා කටයුතු කළ ආකාරයද ප්‍රකට කරුණකි.

මහනුවර රාජධානියේ සමාරම්භකයා වූ පළමු විමලධර්මසූරිය රජුගේ රාජ්‍ය උදාවත් සමඟ එතෙක් සබරගමුවේ දෙල්ගමු විහාරයේ සුරක්ෂිතව සඟවා තිබූ දළදා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩමවා ප්‍රථමයෙන් සෙංකඩගලපුර ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර අනේකවිධ පූජෝපහාර පවත්වා තිබේ. ඉන්පසු ශ්‍රී දළදා මාලිගාව ගොඩනැඟීමෙන් අනතුරුව එහි වැඩමවාගෙන ගොස් එවකට වැඩ සිටි මහා සංඝරත්නයේ මඟපෙන්වීම මත මහරජදරුවන්ගේ අනුග්‍රහයෙන් රාජකීය පුදසිරිත් පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.

මෙසේ රාජරාජ මහාමාත්‍යාදීන්ගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍රවූ ශ්‍රීමත් දළදා වහන්සේට වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය වූ කලී දළදා මැදුරෙහි පැවැත්වෙන සතර මංගල්‍යයන් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නා සම්බුද්ධ පූජා චාරිත්‍රයකි. ආරම්භයේදී සෙංකඩගලපුර දේවපූජා චාරිත්‍රයන් වශයෙන් පැවති මෙම පෙරහර පසු කාලය වන විට දළදා වහන්සේටද පවත්වන සම්බුද්ධ පූජා චාරිත්‍රයක් බවටද පත්වී දේවාල පෙරහරවල් ද සමඟ ඒකාබද්ධ වී ඇසළ පෙරහර හෙවත් සිරි දළදා පෙරහර ලෙසින්ද ව්‍යවහාරයට පැමිණ තිබේ. අද්‍යතන යුගයේ දී එය ශ්‍රී ලාංකීය හෙළ සංස්කෘතියේ ප්‍රෞඪත්වයට මෙන්ම අභිමානයට ද ඉවහල් වී ඇති අතරම එය අප රටෙහි එදාමෙදාතුර සිදුකරනු ලබන උසස්ම හෙළ සංස්කෘතික කලා මංගල්‍යය බවටද පත් වී ඇති බැවින් ඒ කෙරෙහි බොදු සැදැහැතියන් තුළ පවතිනුයේ අප්‍රමාණ ගෞරවයකි.

ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර අද දක්වාම ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන එන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන මෙම සිරි දළදා පෙරහර දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්වී ඇති අතර එය මතු පරපුරට සුරක්ෂිත කොට තැබීමද අප කාගේත් වගකීමකි. 2014 වසරේ පැවැත්වෙන මෙම ඇසළ පෙරහර මංගල්‍යය ඉතා සාර්ථකව සිදුකර ගැනීමට ඒ හා සම්බන්ධ සැමදෙනාටම හැකිවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.