Print this Article


අසිරිමත් සිද්ධීන්ගෙන් සමන්විත ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහා පෙරහර මංගල්‍යය

අසිරිමත් සිද්ධීන්ගෙන් සමන්විත ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහා පෙරහර මංගල්‍යය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරානුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී අකු ධාතුන් වහන්සේ දෙනමත්, ලලාට ධාතුන් වහන්සේ , ගී‍්‍රවා ධාතුන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතුන් වහන්සේලා අබ පියල් මුන් පියල් ප්‍රමාණයට ඉතිරිවූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදි ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ. එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොවද, එකනමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්) එකනමක් ගන්ධාර දේශයේද, එකනමක් කලිඟු රටේ ද වැඩ වසති. මේ අනුව නාගපුරයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ සෝමවතී චෛත්‍යය රාජයා තුළද එක නමක් වර්තමාන පකිස්තානයේ කෞතුකාගාරයක සුරක්ෂිතව වැඩ වෙසෙති. වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතුමැණික් වලින් සමන්විතව සියැසින් දැක බලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන සේක.

අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ, ඛේම නම් මහරහතන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජුට භාරදීමෙන් පසුව දන්තපුරයෙහි ගුහසීව රජුගේ භාරකාරත්වයට පත්වීමෙන් පසු පඬුවස්නම් රජ මෙම දළදා වහන්සේ විනාශ කිරීමට ගින්නට දැමීය. ඉන් අනතුරුව දළදා වහන්සේ කිණිහිරක් මත තබා කුළුගෙඩියකින් තැලීය. ගැඹුරු වළකට දමා පස් පුරවා ඇතුන් ලවා පෑගවිය. කුණු කසලින් පිරිනු වළකට දැමීය. ඒ සෑම අවස්ථාවකම දළදා වහන්සේ අහසට පැන නැගී නෙළුම් මලක් මත චන්ද්‍ර රේඛාවක් හෙවත් අඩසඳ සේ දිස් වූ ආකාරය දාඨා වංශය ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ. එයින් ද සතුටට පත් නොවූ පඬුවස් රජුට ජලය මතට දැමූ දළදා වහන්සේ රන්වන් හංසයෙකු සේ දියමත පීනන්නට විය. පොළොව පළා මතුවූ විශාල පියුමක් මත වැඩහුන් දළදා වහන්සේගේ මෙවන් ආශ්චර්යයමත් සිද්ධීන් දැක අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත් වූ පඬුවස් රජු දළදා වහන්සේට නිති දිනපතා තුන්වේලේ පුද පූජා පැවැත්වීය. ඛීරධාර රජ දළදා වහන්සේ ලබා ගැනීමේ අරමුණින් යුද්ධ කළේ නමුත් ගුහසීහ රජු වෙත දළදා වහන්සේ භාර කළේය. ඛීරධාර රජුගේ බෑණාවරු දෙදෙනෙක් දළදා වහන්සේ ලබා ගැනීමට දන්ත පුරයට පැමිණි මොහොතේ ගුහසීව රජ බෑණා වන දන්ත කුමරු හා හේමමාලා දියණිය කැඳවා තමන් පරාද වුවහොත් මෙම දළදා වහන්සේ ලක්දිවට ගෙන ගොස් මහසෙන් රජුට භාරදෙන ලෙස දැන්වීය.

එහිදී ගුහසීව රජු මරණයට පත්වීය. දළදා වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩමවා රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදීමෙන් අනතුරුව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන පී‍්‍රතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුද පෙරහර පවත්වමින් මුළු ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදි ග්‍රන්ථයන් හි සඳහන් වේ.

එතැන් පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත් කොට සෑම රජ කෙනෙක්ම ස්වකීය මාලිගාවේම තබමින් පුද පූජා පවත්වනුයේ බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේද විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදි රජවරුද ඒ ආකාරයෙන්ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත්වීය. කාලිංග මාඝ චන්ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙන ගිය අතර භික්ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපුගහක සගවා බුරුමයට පැන ගියේය. 2. වන පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාලිගාව සමීපයෙහිම දළදා මාලිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වූ අතර, පරසතුරු, ආක්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසාත් දළදා වහන්සේ රැගෙන ගම්පොලට ද එයින් කෝට්ටේටද ගෙන ගිය අතර, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ රත්නපුරය කුරුවිට දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන් ගලයට සඟවා තබමින් රහසිගතව පුද පූජා පැවැත්වීය.

පළමු රාජසිංහයන් නිසා ඇතිවූ සම්බුද්ධ ශාසනයේ විනාශයත් එකදු උපසම්පදා භික්ෂුවක්වත් නැති වූ අතර ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථද විනාශයට පත්විය. නැවත රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමා කන්ද උඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවාගෙන රජුගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතුන් වහන්සේ නිදන්කොට පෝයමළු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්ෂූන් වහන්සේ 355 නමක් ඇති කොට ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි කටයුතු සැලැස්වූ ආකාරය මහා වංශයේ 92 පරිච්ඡේදයෙහි දැක්වේ.

පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේදී දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්ෂූන් වැඩමවා පුද පූජා පැවැත්වූ ආකාරයද මැනවින් සඳහන් වේ.

මේ අයුරින් දළදා වහන්සේට පුදපූජාවන් පවත්වන අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය වන විට එකඳු උපසම්පදා භික්ෂුවක්වත් නැතිව සම්බුද්ධ ශාසනයත්, ධර්ම ශාස්ත්‍රයත් අන්ත පරිහානියට පත්වූ වකවානුව වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේගේ හා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ ශ්‍රද්ධාවත්, අනුග්‍රහයත්, බලවත් උත්සාහයත් නිසාම ලක්දිවින් කෝට්ටේ යුගයේදි සියම්රටට රැගෙන ගිය උපසම්පදාවත් බුදුපිළිමයත්, බෝධින් වහන්සේත්, ත්‍රිපිටකයත් වැඩ වසන බව දැනගෙන නැවතත් සියම්රටෙන් උපාලි හිමියන් ඇතුළු පිරිස ගෙන්වා රාජ්‍ය වර්ෂ 1753 ජූලි 15 වන දින ඇසළ පොහෝදා රජතුමාගේ මල්වත්ත පූජා කොට එහි ඉදිරිකරවන ලද රජතුමාගේ රාජස්ථාන ශාලාවම විසුංගාම පෝයසීමාව බවට පත් කොට පළමු වරට කොබ්බෑකඩුවේ, වැලිවිට, තිබ්බටුවාවේ යන හිමිවරු ඇතුළු පෝයමළු විහාරයෙන් පස් නමක්ද අස්ගිරි විහාරයෙන් නාවින්නේ හිමියන් ද යන සය නම උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනය ආරම්භ කළ අතර, එතැන් පටන් ලක්දිව නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණි සාමණේරයන් වහන්සේලා මල්වතු විහාර උපෝෂථාගාරයේද ඉන් අනතුරුව 1762 සිට අස්ගිරි විහාර උපෝෂථාගාරයේද උපසම්පදා කරමින් අද දක්වාම සම්බුද්ධ ශාසනය පැවැත්වීමට කටයුතු සැලැස්වීය.

ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා විහාරයීය භික්ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහර බලන අවස්ථාවේදී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරණ ලද යෝජනා හා අදහස්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස්වීය.

දළදා වහන්සේ උදෙසා මෙවන් පෙරහරක් ක්‍රි.ව. 112 දී ගජබා රජතුමා සොලීන් විසින් පැහැරගෙන ගිය පාත්‍රා ධාතුන් වහන්සේ හා දේවාභරණත් සිංහලයන් 12000 ක් හා මැරූ අය වෙනුවට ගෙනා සොලීන් 12000 යන 24000 ක් ගෙනවුත් පුද පෙරහර පැවැත් වූ ආකාරය පූජාවලිය, රාජාවලිය, හා පැරකුම්බා සිරිතේ සඳහන් වන අතරම එකී ගජබා රජතුමා විසින් ක්‍රි.ව. 112 දී සෝමවතියේ පිහිටුවා ඇති සෙල්ලිපියේ සඳහන් අයුරින් එම විජයග්‍රහණයෙන් සතුටු වූ භික්ෂූන් වහන්සේ “යුද්ධ ජයග්‍රාහක” යන ගෞරව නාමය එකී රජතුමාට පිරිනැමූ ආකාරය එම සෙල්ලිපියේ සඳහන් වන අතර, රජතුමා රාජකීය ඇළක් කප්පවා එම ප්‍රදේශය මණිඅගිය හෙවත් සෝමවතී විහාරයට පිදු බව සඳහන් වේ.

මේ අයුරින් වර්ෂ 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ මෙම පෙරහර බ්‍රිතාන්‍ය පාලකයන් නැවැත්විය. එකල දැඩි නියගයක් ඇති විය. මෙයට හේතුව පෙරහර නොපැවැත්වීම නිසා යැයි භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත් එසේ නම් පෙරහර පවත්වා වැසිවස්සන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේය. මල්වතු අස්ගිරි විහාරයීය භික්ෂූන් වහන්සේත් බෞද්ධ පිරිසත් එකතුවී චාරිත්‍රානුකූලව පෙරහර පටන් ගෙන දෙවන දිනයේම දැඩි නියඟය අවසන් කරමින් මහා වැසි ඇද හැලී මහා ගංවතුරක් ඇතිවූ ආකාරය දළදා වතුර නම් ග්‍රන්ථයේ මේ අයුරින් සඳහන් වේ.

“මුනිසඳ එදිනේ වැඩමවන දිනේ මාළිගය තුළිනේ දොරටුව ලෙසිනේ
ගඟනයනේ මල්වැසි වසිනේ පුදකරණ මෙනේ සුරදෙව් විසිනේ
මෙනෙග ගෙනේ කුඩ කොඩි එදිනේ අල්වා සිටිනේ දළ ඇතු පිටිනේ
නුවර සැනේ පෙරහැර වඩිනේ මුණි සුරිඳු මෙනේ ගිජිදුන් පිටිනේ (දළදා වතුර 3)

මෙසේ මල්වැස්සක් මෙන් පටන් ගත් වැස්ස මහා ධාරානිපාත වැස්සක් බවට පත්විය.එමෙන්ම දළදාවලිය නම් කාව්‍යයේද දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගණනාවක්ම සඳහන් වේ. දඹදෙණි යුගයේ විජයබාහු රජතුමාට මල් සොයා ගැනීමට නොහැකිවූ අවස්ථාවක ගලක් පිපිරී අරුම පුදුම ගල්මලක් මතු විය. එම රජතුමා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට පුසුල්පිටිය නම් ස්ථානයෙන් කරඬුව රැගෙන යන විට දළදා වහන්සේ අහසට පැන නැගි ආකාරයත් සඳහන් වේ.

මල්වතු මහා විහාරයේ වැඩ විසූ වැලිවිට ශී‍්‍ර සරණංකර මහ නාහිමියන් දළදා වහන්සේ තැන්පත් කොට ඇති කරඬුවෙන් රන් රිදී කෙදි හා සමානව බුද්ධ රශ්මි ධාරාවක් මාලිගාවේ රන්කොත සමීපයෙහි අහසට පැන නැගී අහස්කුස බබුලවමින් වැඩ සිටිය ආකාරය සඳහන් කිරීමත් මේ අයුරින් දළදා වහන්සේගේ ආශ්චර්යයමත් සිද්ධීන් සියැසින් දැක ගැනීමට හැකිවූ අවස්ථා සඳහන් වේ.