Print this Article


දම්පද මිහිර

අකුසල් විපාකය ගෙන දෙයි දෙලොව සෝකය

මිනිස් ‘සිත’ තමයි ලෝකෙ තිබෙන මහා පුදුමය. අපේ වර්තමානය හදල තියෙන්නෙ සිතේ අතීත ක්‍රියාකාරිත්වය විසින්’ අනාගතය හැදෙන්නෙත් වර්තමාන ක්‍රියාකාරිත්වයට අනුව . භව ගණනාවක් පුරා පාරමිතා පුරමින් දියුණු කළ සිතක උපරිම ඵලය වන ‘සර්වඥතා ඤාණය’ පහළ වෙන්නෙත් මිනිස් සිතක, සිත දියුණු කිරීමේ පිළිවෙත් මගත් ඉන් ලැබෙන ඵලයත් ප්‍රත්‍යක්ෂ කරගෙන, මුල මැද අග පැහැදිළිව හෙළිදරව් කරල දෙන්නෙ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි උන්වහන්සේ තමයි ‘සිත’ නමැති ‘පුදුමය’ ලෝකයට පෙන්වා දෙන්නෙ.

ඔබෙත්, මගෙත් හිත තමයි හැම දේටම මුල, සිත විසින්ම තමයි අපේ කය වචන දෙක හසුරවන්නෙ. හිත නරක් වුනොත් කායික, වාචසික ක්‍රියා සියල්ල නරක් වෙනව. ඒ වෙනුවෙන් හැදෙන කර්මය වෙනස් කරන්න පුළුවන් බලවතෙක් ලෝකෙ කිසිදු තැනක නැහැ. විපාක ලැබෙන කොට විඳවන්න වෙන්නෙත් තමාටමයි .බේරගන්න කවුරුත් නෑ. සිතේ ඇති මේ පුදුම සහගත බව අසිරිමත් බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන කරන මේ හෙළිදරව්ව හුදු ගෞරවය හා විශ්වාසය නිසාම නොවෙයි තමා තුළින්ම දැක ගනිමින් පාපයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න.

සැවැත් නුවර හිටිය "මහා සුවන්න" කියල ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ වැඩිමල් පුතාගෙ නම "මහාපාල", බාල පුතා "චූලපාල", මේ දෙදෙනාම විවාපත් වූ අය. පවුල් දෙකේම අය බොහෝම සමගියෙන් සතුටෙන් ජීවත් වුණා.

මේ කාලෙ බුදුහාමුදුරුවො වැඩහිටියෙ ජේතවනාරාමයෙ හවස් වෙන කොට බුදු බණ අහන්න මහා පිරිසක් පන්සල් ගියා. එක දවසක් මහාපාලටත් හිතුන පන්සල් යන්න. ඔහු පන්සලට ගිහිල්ල පිරිස කෙලවරක වාඩිවෙලා නිහඬව බණ අහගෙන හිටිය. බුදුහාමුදුරුවො ඔහු සතුව ඇති උපනිශ්‍රිය සම්පත් දැකල අනුපුබ්බී කතාවෙන් ධර්මය දේශනා කළා.

ඔහුගේ හිතේ ටිකෙන් ටික ශ්‍රද්ධාව වැඩෙන්න පටන් ගත්ත. සැපයි කියල හිතාගෙන ඉන්න හැම දේකම සැඟවී තිබෙන දුක පිළිබඳ වැටහෙන්න ගත්ත. සත්‍යාවබෝධය නැතිකම නිසා නිසරු දේම සරුයි කියල හිතන, සරු දේ නිසරුයි කියල හිතන, තමාගෙ ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා. ඔහු ගෙදර ගියේ වෙනදට වඩා ලොකු සතුටකින්. ගෙදර ගිහිල්ල පවුල් දෙකේම සියලු දෙනාටම කතා කළා. මල්ලිගෙ මූණ දිහා බලල මෙහෙම කිව්ව.

“මල්ලී ,අපේ කුල පරම්පරාව සතු පණ ඇති පණ නැති සියලුම දේපළ ඔබට පවරන්න මා තීරණය කළා. මේ දියලු දෙනාම හොඳින් රැක බලාගෙන ඔබ සාමයෙන් සතුටින් ජීවත්වෙන්න. මම බුදුහාමුදුරුවො ළඟ මහණ වෙන්න යනව. ඒක මට ලැබෙන මහා භාග්‍යයක්. “ මේ වචන වලට සවන් දීගෙන හිටිය සියලු දෙනාටම, ඔහුගෙ වෙනස්වීම මහා වේදනාවක්, ඒත් ඔහුගේ නික්ම යාම වළක්වන්න බැරි වුනා. සියලු භෞතික බැඳීම් අත් හැරල පහන් සිතින් ඔහු ඒ ගමන ගියා.

බුදු සෙවනේ මහණ වුණා. පුරා වසර පහක්, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙ ඇසුරෙ. ධර්ම විනය ඉගෙන ගත්තා. වස් කාලය එළඹෙන කොට, මහාපාල ස්වාමින් වහන්සේට මෙහෙම හිතුන “මම මහණ වුණේ වැඩිහිටි වයසෙදී, අවුරුදු පහක් තිස්සේ ධර්ම විනය ඉගෙන ගත්ත. ඒ ධර්මය පුහුණූකිරීමයි වැදගත් වෙන්නෙ. සමථ විදර්ශනා නුවණ දියුණුූ කරන්නයි දැන් ඕන” බුදුරජාණන් වහන්සේගේ පා කමල් වන්දනා කරල, උන්වහන්සේගෙන් රහත් ඵලය දක්වා කමටහන් ලබා ගත්ත. බවුන් වඩන්න සුදුසු තැනක් සොයාගෙන වනගත වෙන්න සූදානම් වුණා.

තවත් ස්වාමින් වහන්සේලා හැට නමක් ඒ ගමනට එකතු වුණා.දුෂ්කර මගක් ගෙවාගෙන බොහෝ දුර යන කොට උන්වහන්සේලාට, සුන්දර වනරොදක් ආශි‍්‍රත ගම්මානයක් හමු වුණා. සඟ මහලු පිළිවෙළින් පිඬුසිඟා වඩින උන්වහන්සේලාගෙ දර්ශනය හරිම ප්‍රසන්නයි. ගම්වැසියො බොහෝම පැහැදුනා. ඒ ගමේ වස් තුන් මාසය ගත කරන්න කියල බොහෝම ගෞරවයෙන් ආරාධනා කළා. උන්වහන්සේලා ආරාධනාව පිළිගත්ත. ඉක්මණින් කුටි සෙනසුන් පිළියෙල වුණා. උන් වහන්සේලා වස් සමාදන් වුණා. සැදැහැති ගම්වැසියන්, එය තමන්ට ලැබුණ මහත් ලාභයක් ලෙස සලකමින් තිසරණයෙහි පිහිටා සිල් ආරක්ෂා කළා. දන් පින් කර ගත්ත. ධර්මෝපදේශ ලබා ගෙන, තම ජීවිත තවත් යහපත් කරගන්න පෙළඹුණා.

මහාපාල හාමුදුරුවො දැඩි වීර්යයකින් යුක්තයි.තුන් ඉරියව්වෙන් පමණක් වස් කාලය ගත කරමි’යි අදිටන් කරගෙන බවුන් වඩන්න පටන් ගත්ත. එක දවසක් වත් සැතපුනේ නැහැ. ඒ නිසාම උන්වහන්සේගේ ඇස්වල වේදනාවක් හටගෙන කඳුළු ගලන්න පටන් ගත්ත. ගමේ දක්ෂ වෙද මහත්තයෙක් උන්වහන්සේට බෙහෙත් කරන්න ඉදිරිපත් වුණා. බෙහෙත් ගල්වන්න කීවෙ සැතපෙන ඉරියව්වෙන් ඉඳගෙන. ඒ වගේම දෑස සනීප වෙන්න නම් දවසකට ටික වේලාවක් හෝ සැතපීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්න.

ඒත් උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. “සසර පුරා මොන තරම් මට ඇස් ලැබෙන්න ඇද්ද, කෝ දැන් ඒව, විනාශ වී ගිහිල්ල, ඒත් ප්‍රඥාවේ ඇස තාම මට ලැබුණද? නැහැ. ප්‍රඥාවෙ ඇස ලැබෙන්නෙ දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනයක් ඇති කාලෙක පමණයි. ඒත් බුද්ධ ශාසන කීයක් මට මේ සංසාරෙ මුණ ගැහෙන්න ඇත්ද, මේ ඇස් නැති වුනාවෙ. මම අප්‍රමාදීව ප්‍රඥාවෙ ඇස පාදා ගන්නව”.

හිතට තවත් දිරිය ගත්ත. දිවා රෑ දෙකේදීම එක වගේ විර්ය වැඩුව, නොබෝ කලකින්ම, උන්වහන්සේට සියලු කෙලෙස් ප්‍රහීණ කරල අරහත්වයට පත් වෙන්න භාග්‍යය ලැබුණ. ඒත් එක්කම දෑසත් සදහටම අඳුරු වුණා. මහාපාල හාමුදුරුවො එදා ඉඳල ප්‍රසිද්ධ වුණේ චක්ඛුපාල හාමුදුරුවො කියල.

අනෙක් ස්වාමින් වහන්සේලා වගේම ගම්වැසි සැදැහැතියනුත් උන්වහන්සේට ඉතා හොඳින් ඇප උපස්ථාන කළා. අනෙක් සඟ සැට නමත් වීර්ය ඇතිව බවුන් වඩල, වස් කාලය නිමා වෙන

කොට, සිව්පිළිසිඹියා පත් රහතන් වහන්සේලා බවට පත්වුණා.

මේ සියලු දෙනා වහන්සේම වස් කාලය අවසානයෙ බුදුරජාණන් වහන්සේ දකින්න යන්න සූදානම් වුණා.

ඒත් චක්ඛුපාල හාමුදුරුවො ඒ පිරිසට බරක් වෙන්න කැමති වුණේ නැහැ. ටික වේලාවක් බුදු ගුණ මෙනෙහි කළා. “සාදු සාදු මගේ නමින් ඔබ වහන්සේලා බුදු පා පියුම් වන්දනා කරන්න. මගෙ සොහොයුරාට මා ගැන තොරතුරු දැනුම් දෙන්න. එතකොට කවුරුන් හෝ පිනැතියෙක් ඒවි මාව එක්කරගෙන යන්න”.

උන්වහන්සේලා දෙව්රම් විහාරයට වැඩම කළා. බුදු පා පියුම් වන්දනා කළා. පසුවදා පිණ්ඩපාතයේ වැඩම කළේ චක්ඛුපාල ස්වාමින් වහන්සේගේ සොහොයුරා සිටින දිසාවට, චක්ඛුපාල හාමුදුරුවන්ගේ පණිවුඩය සොහොයුරාට දැනුම් දුන්න. පවුලෙ හැම දෙනාම ගොඩක් දුක් වුණා. උන්වහන්සේ වැඩම කරගෙන ඒමට ඤාති පුත්‍රයෙකු යොමු කරන්න තීරණය කළා. ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි, ගමනේ පහසුව පිණිස තාවකාලිකව ඔහු පැවිදි කළා. අත්‍යවශ්‍ය ඇවතුම් පැවැතුම් පමණක් දෙසතියක් තුළ ඉගැන්නුව. ඊට පස්සෙ මග සලකුණූ කියාදීල ඒ නවක තරුණ ස්වාමින් වහන්සේ පිටත් කර යැව්ව. උපදෙස් ලැබුණූ පරිදි උන්වහන්සෙත් මග දුර ගෙවාගෙන චක්ඛුපාල රහතන් වහන්සේගේ කුටිය වෙත ළඟා වුණා. දින කිහිපයක් එතන නතර වෙලා උන්වහන්සේට ඇප උපස්ථාන කරල චක්ඛුපාල ස්වාමින් වහන්සේගේ සැරයටියේ කෙලවරක් අතින් අල්ලගෙන දෙව්රම් වෙහෙරට යන්න පිටත්වුණා.

මේ ගමන දුෂ්කරයි. තරුණ නවක භික්ෂුවගේ නොදියුණූ සිත, විවිධ අරමුණු කෙරෙහි විසිරෙන්න පටන් ගත්ත. වන රොදක් මැදින් යද්දි. දර කඩන තරුණියකගේ ගායනා හඬක් ඇහිල, සිතේ ඇල්මක් හටගත්ත. සැරයටිය අතහැරල, රහතන් වහන්සේටත් බොරුවක් කියල, සීල විපත්ති ගැන නොදන්න මේ නවක භික්ෂුව හෙමින් හෙමින් ඒපැත්තට ගමන් කළා. ටික වේලාවකින් ගී හඬ නැතුව ගියා. ඔහු නැවත පැමිණියේ සිල් බිඳගෙන කියල චක්ඛුපාල හාමුදුරුවන්ට වැටහුණා. ඔහු නැවත සැරයටිය අල්ලගන්න හැදුවත්,උන්වහන්සේ ඒකට ඉඩ දුන්නෙ නැහැ. වරදෙහි බැඳුණු තරුණ භික්ෂුවගේ උපකාරය, තදින්ම ප්‍රතික්ෂේප කළා. ඒ තරුණ භික්ෂුවත් ඒ නිසාම මහත් වේදනාවකට පත්වුණා. චක්ඛුපාල හාමුදුරුවො එතනම නතර වුණා. නවක භික්ෂුවත් ටික වේලාවක් බලා ඉඳල යන්න ගියා. මේ බව දැනගත් සක් දෙවිඳු ඉක්මණින්ම මගී වෙසක් මවාගෙන උන්වහන්සේට උපකාර කරන්න ඉදිරිපත් වුණා. චක්ඛුපාල හාමුදුරුවො දෙව්රම් විහාරයට වැඩම කළේ සක් දෙවිඳුත් එක්ක, දෙනෙතින් බුදුරුව නොදැක්කත් සිතින් බුදු සුවඳ විඳ විඳ බුදු පා පියුම් යුග වන්දනා කළා.

දවසක් චක්ඛුපාල හාමුදුරුවො සක්මන් භාවනාවෙ යෙදෙන කොට පොළොවෙන් මතුවෙන සත්තු වගයක්. උන්වහන්සේගෙ පයට පෑගිල මිය ගිහින් තිබුණ.මේක දැකපු ස්වාමින් වහන්සේලා පිරිසක් චක්ඛුපාල හාමුදුරුවන්ට චෝදනා කරමින්, මේ සිද්ධිය ගැන පැමිණිලි කරන්න හිතාගෙන බුදුන් වහන්සේ ළඟට ගියා. මේ තමයි බුදු හාමුදුරුවො දුන් පිළිතුර “මහණෙනි, කෙලෙස් නැසු ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාට ,මරණ චේතනා පහළ නොවෙන නිසා,උන්වහන්සේට පවි සිදු වුණේ නෑ”

චක්ඛූපාල ස්වාමින් වහන්සේගේ රහත් භාවය ගැන නොදැන සිටි උන්වහන්සේලා සංවේගයට පත් වුණා. “ස්වාමිනි, චක්ඛුපාල ස්වාමින් වහන්සේගේ ඇස් අන්ධ වීමට සැකසී තිබූ අකුශල කර්මය මොකක්ද”

බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දකිමින් ඒ අතීත කර්මය විස්තර කරල දුන්න. චක්ඛුපාල හාමුදුරුවො අතීත භවයක දක්ෂ අක්ෂි වෙද්‍යෙවරයෙක්. තරමක් ඇස් නොපෙනෙන කාන්තාවක්. මේ වෙද මහත්තය ළඟට ආව බෙහෙත් ගන්න. ඇවිත් පොරොන්දුවක් වුනා” අනේ වෙද මහත්තයෝ මා ළඟ මුදල් නැහැ. මගේ ඇස් දෙක සුවකරල දෙන්න. ඒ වෙනුවට මගේ දූ දරුවන් සමඟ මම ඔබේ දාසියක් වෙනව“ කියල.

වෙද මහත්තයා ඇයගෙ ඇස් දෙක සුව කළා. ඒත් පොරොන්දුව ඉටු කරන්න වෙන නිසා , තාම ඇස්දෙක පේන්නෙ නෑ කියලයි මේ කාන්තාව වෙද මහත්තයට කිව්වෙ. වෙද මහත්තයට තරහ ආවා. එහෙනම් මේ බෙහෙතෙන් හොඳ වේවි කියල විස බෙහෙතක් ඇස්වලට දාල නැවතත් දෑස අන්ධ කළා.

ද්වේශ සිතින් කළ ඒ කාය කර්මයේ විපාකය තමයි, අවසන් අත්බවේදී මේ විපාක දුන්නෙ.

“මහණෙනි ,සිත හැම දේටම මුල් වෙනව. මේ සිත නරක් වුනොත් වචනත් අකුසල් හදනව. ක්‍රියාවෙනුත් අකුසල් හැදෙනව. ගැල් අදින ගොනු පස්සෙ කරත්ත රෝදය කැරකි කැරකි වද දිදී එනව වගේ අකුසල් විපාකය පස්සෙන් එනව. ඒ විපාක විඳින්න වෙන්නෙත් කවදහරි තමන්ටමයි”

මේ දේශනාව අවසන් වෙනකොට බොහෝ දෙනෙකුට ධර්මාවබෝධය ලබන්න පුළුවන් වුණා.

සිත මුලය හැම තැ න
සියලුම දහම් උපදි න
සෙටු වන ගුණ අගු න
සිතමය කියා දනු මැ න

කිලිටි වූ විට සිත
මුවග විස විහිදෙනු ඇත
කිලිටි වී තම ගත
දායාද වී පවම එනු ඇත

රියෙහි බර නම් දොස
යොමුව එයි රියසක දෙස
පව් ඵල ද එම ලෙස
දුක් දි දී එයි තමා පසුපස

මේ දහම දත්තෝ
පවට බිය ඇතිකර ගත්තෝ
සිත කිළිටි නැත්තෝ
සසර බිය නැති දිවිය ඇත්තෝ