Print this Article


තිලොවටම ශ්‍රේෂ්ඨ රත්නය

තිලොවටම ශ්‍රේෂ්ඨ රත්නය

රාග,ද්වේෂ, මෝහයෙන් යුත් සිත්වල ස්වභාවය බාහිර සරණ රැකවරණය ඇතැයි විශ්වාස කිරීමය. එය පුහුදුන් සත්ත්වයන්ගේ කල්පනාවයි. ඒ තාක් ඔවුන් බියෙන් තැතිගැනීමෙන් යුතුව අසරණව අනාරක්ෂිතව කල් ගෙවති. ලොව්තුරා බුදුන් වහන්සේ දවසද විවිධ ඇදහිලි ක්‍රමවේද තුළින් සරණ, රැකවරණය පිරිසුදුවීම , සිදුවෙතැයි, මිත්‍යා දෘෂ්ඨිගතව සරණ පැතුවෝ ජීවත්විය. එයින් කිසිවෙකු ජරා, ව්‍යාධි, මරණයෙන් නොමිදුණහ.

රක්ෂිත ස්ථානයක් සලසා නොගත්තාහ.

බහුං වෙ සරණං යන්ති– පබ්බතානි වනානි ච
ආරාම ,රුක්ඛ, චෙත්‍යානි– මනුස්සා භයතජ්ජිතා”
නෙතං ඛො සරණං ඛෙමං – නෙතං සරණමුත්තමං
නෙතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති”

අවිඳු අඳුරින් යුතු සත් කැල, බියෙන් තැති ගැනීම් වලින් දුරුවීම පිණිස පර්වත වන ලැහැබ ඇසුරු කළහ. ගස්ගල්වලට විවිධඇදහිලි ක්‍රමවේදයන් සිදු කළහ. එහි බලගතු දෙවියෙක් ඇතැයි දේවාල සකසා පුද පඬුරු සිදුකර කන්නලව් කර සරණ පැතුවේය. සියල්ල දෙවියන් විසින් සිදුකර දෙනු ඇතැයිද දේව නිර්මාණ තුළින් සියල්ල මවන ලද්දේ යැයි දෘෂ්ඨිගතව බාහිර සෙත ශාන්තිය රැකවරණය බලාපොරොත්තු විය.

පින්කම්කොට දෙවියන් ඉදිරියෙහි බලි පූජා පවත්වා එයින් සතුටුවන දෙවියන් පව් කළ අයට සමාව දෙනු ඇතැයි බලවත් විශ්වාසයක් ඇතිකර ගත්හ. එහෙත් ඒ කිසිවකින් සරණක් ,රැකවරණයක් සෙතක් නොවන බවත්, සියලු දුකින් නිදහස් වීමට නොහැකි බවත් ඉහත ගාථා රත්නයෙන් මනාව පැහැදිලිය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙර වූ දෙයක් කියන්නෙමියි භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කළ සේක. දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගත්තේය. සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් අමතා යමක් ප්‍රකාශ කරන ලදී. එය කවරේද? නිදුකාණෙනි, යුද්ධයට ගිය ඔබට යම් හෝ තැතිගැන්මක් බියක් ලොමුදැහැගැන්මක් ඇතිවූ විට මාගෙ කොඩිය (ධජය) අග්‍රය බලන්න. එසේ බලන ඔබට ඒ සියලු උපද්‍රව නැතිවී ආරක්ෂා සෙත සැලසෙන්නේය. මාගේ කොඩියේ අග නොබලා නම් පජාපතිස්ස දෙව්රජුගේ කොඩියේ මුදුන බලව. එසේ බලන ඔබහට සියලු උපද්‍රව පහව යන්නේය. පජාපතිස්ස දෙව්රජුන්ගේ කොඩියේ මුදුන නොබලන්නේ නම් වරුණතිස්ස දෙව් රජුන්ගේ කොඩියේ මුදුන බලව. එසේ බලන තොපට සියලු උපද්‍රව දුරු වී ආරක්ෂාව සෙත සැලසෙන්නේය. සතුරු අන්ත්‍රාවන් පහව යන්නේය. වරුණස්ස දෙව් රජුන්ගේ කොඩිය මුදුන නොබලන්නේ නම් ඊසාන නම් දෙවි රජහුගේ කොඩිය අග්‍රය බලව. එසේ බලන තොපට සතුරු පීඩා දුරු වී ආරක්ෂා සෙත සැලසෙන්නේය යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේය. මහණෙනි, සක්දෙව් රජහුගේ හෝ පජාපතිස්ස දෙව් රජහුගේ හෝ, වරුණස්ස දෙවි රජහුගේ හේ ඊසානස්ස දෙවිරජහුගේ හෝ කොඩියේ අග (මුදුන) බලන්නවුන්ට කෙසේවත් භය තැතිගැන්ම පහනොවන්නේය. සතුරන්ගෙන් රැකවරණයක් නොවන්නේය. එයට කාරණා කවරේද? මහණෙනි, සක්දෙව් රජු ඇතුළු දෙවිරජවරු, රාගය, ද්වේශය, මෝහය පහ කර නැත්තේය. සතුරන් මැද ඒ රජහුද බියෙන් පලා යන්නේය. වෙසෙසින් පලායන්නේය. තැතිගන්නේය. ක්ලාන්ත වන්නේය. තව්තිසා වැසි දෙවියන්ට කිසිදු රැකවරණයක් නොවන්නේය.

මහණෙනි, කමටහන් වැඩීම පිණිස වන ලැහැබට යන්නේ හෝ ජනශූන්‍ය ස්ථානයක් කරා යන්නේ හෝ හුදකලාව රාත්‍රිකාලය ගතකරන විට යම් හෝ තැතිගැන්මක ,බියක්, ලොමුදැහැගැන්මක් ඇතිවූ විට තථාගතයන් වහන්සේ සිහි කරමු. ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් මනාකොට දේශනා කරන ලදී. ඒ නව ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කළාවූ මාගේ ලොව්තුරා බුදුන් වහන්සේ අරහං වන සේක. සම්‍යක් සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ නම් වන සේක. සුගතනම් වන සේක.ලෝක විදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක. දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක. බුද්ධ නම් වන සේක. මෙසේ ගුණයන් සිහිපත් කරනවිට සියලු භය තැතිගැනීම් දුරුවී හාත්පසින්ම සෙත ශාන්තිය රැකවරණය සැලසෙන්නේය. ඉදින් මාගේ ගුණයන්, මෙනෙහි නොකරන්නේ නම් ශ්‍රී සද්ධර්මය සිහිපත් කරමි. ඒ උතුම් අනුසස් ඇති අකාලික ගුණයන් සිහිපත් කරන ඔබහට යම් හෝ බියක් තැතිගැන්මක් වේ නම් ඒ හැම දුරුවී සර්වාරක්ෂණය සැලසෙන්නේය. ඒ තරම් මහානුභාව ගුණයෙන් සපිරි වන්නේය. ඒ උතුම් ගුණ සමුදාය නොමෙනෙහි කරන්නේ නම් ආර්ය ශ්‍රාවක ගුණයන් මෙනෙහි කරව්. එවිට සියලු භය, ත්‍රාසය, පලායන්නේය. මනාසේ සෙත රැකවරණය සැලසෙන්නේය.

මහණෙනි, මෙසේ භය ත්‍රාසය (බිය ගැනීම් තැතිගැනීම්) පලායන්නේ කවර හේතු නිසාද? තථාගතයන් වහන්සේ රාග,ද්වේෂ, මෝග සහමුලින්ම ප්‍රහාණ කරන ලද්දේය. සතුරන් මැද භය නැත්තේය. තැතිගැනීම් නැත්තේය. පසුතැවිල්ලක් නැත්තේය.බියේ පලා නොයන්නේය. කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවත් වන ලෝකයාට ප්‍රථමයෙන් බුද්ධානුස්සති භාවනාව වැඩීම ඉතා වටින්නේය. හාත්පසින් රැකවරණය සෙත සැලසෙන්නේය. අසීමිත බුදුගුණ බිඳක් සිහිපත් කිරීම සතුරු පීඩාවන් දුරුවී සුවසෙත සලසා ගැනීමට භාග්‍ය උදාවන්නේය. තුන්ලෝක ධාතුවෙහිම තථාගතයන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ රත්නයක් නැත්තේය.

යො ච බුද්ධං ච ධම්මං ච
සංඝ ච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති’

තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා මනා ලෙස සිව් ආර්ය සත්‍ය විදර්ශනා නුවණින් අවබෝධ කොට ගෙන සර්ව රක්ෂණය සලසා ගන්නේය. ජරා,ව්‍යාධි, මරණ ඇත්නම් ඒ තුළ ආරක්ෂාවන් නැත්තේය. ජරා, ව්‍යාධි, මරණය ගෙන දෙන ඇස ආදි අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි තෘෂ්ණාව ඡන්දරාගය ප්‍රහීණ වූවා නම් සියලු දුකෙන් නිදහස් වූවක් වන්නේය . (එහි රක්ෂණය කළ යුත්තේ නැත්තේය)

තමා සරණ කොටගෙන ,දීපයක් කොට රැකවරණය සලසා ගන්නෝ සුවසේ වසත්, අසරණ වන්නේ ලෝභ, ද්වේෂ මෝහ කෙලෙස් වර්ධනය කර ගත්විටය. එවන් පුහුදුන් සත්ත්වයෝ මෙලොව පරලොව දෙලොවම අසරණ වන්නේය. දස අකුසලයම සසර අනාථ භාවයට පත්වන්නේය. සෙතක් ශාන්තියක් රැකවරණයක් පැතුවාට නොලැබෙන්නේය. තථාගත අනුශාසනාවෙන් බැහැර වූවන්ට කරන ලද පාප කර්මය තැවීමට සිදුවේ. භය තැතිගැන්මෙන්ම ජීවත්වීමට සිදුවන්නේය. මරණාසන්න මොහොතේදී පවා කළ අකුසලය බලවත් වී පිළිසරණක් නැතිව කලුරිය කොට සතර අපායට වැටෙන්නේය. සුව කැමැත්තෝ විදසුන් වඩා සදාතනික සුවය අත්පත් කරගන්නේය.