මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි
පිළියන්දල
සද්ර්මාලෝක ධර්ම
නිකේතනයේ අනුශාසක
පිටිගල
ගුණරතන හිමි
අපගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ සසර අවුල ලිහාගෙන සසර
දුකින් එතෙරවීම පිණිස ගතයුතු මාර්ග ප්‍රතිපදාව පිළිබඳව දේශනා කළ ගාථා
ධර්මයන් මූලික කරගෙනයි අපේ විසුද්ධි මාර්ගය නමැති දහම් පුස්තකය
නිර්මාණය වී තිබෙන්නේ.
මනුෂ්‍යයා විසින් සීලයක පිහිටා ප්‍රඥාවෙන්, වීර්යෙන්, සිහියෙන් වැඩිය
යුතුª වැඩපිළිවෙල තුළ සියලු අවුල් නිරාකරණය කරගෙන සසර කතරින් එතෙර විය
හැකි බව අවධාරණය කොට තිබෙනවා. මේ දේශනාව තුළ නුවණැතිව උපන් මිනිසෙක්
ගැන කියවෙනවා. ඔබට බොහෝම පළපුරුදු දහම් පාඨයක් තිබෙනවා
‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නො දුප්පඤ්ඤස්ස” මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට
ය. දුෂ්ප්‍රාඥයින්ට නොවේ. මෙයින් අදහස් කරන්නේ පෙර කී අදහසම යි. සමාජය
තුළ යම් දැක්මක් තිබෙනවානම්, දැන උගත්කම් ඇති නොයෙක් නොයෙක් ශිල්පීය
ඤාණ ඇති අයටත් එසේ නොමැති අයටත් මගේ ධර්මයෙන් පිහිටක් නැහැ කියා
කවුරුන් හෝ කියනවානම්, හිතනවා නම් එහි ලොකු අඩුවක් වැරැද්දක් වෙනවා. අප
අතීතය සිහිකර බැලුවොත් සුනීත, සෝපාක, රජ්ජුමාලා, උත්තරා, රාධා වැනි
අසරණවෙලා තිබුණ ජීවිත මතක්කර ගන්න පුළුවන්. මේ ජීවිත දිහා බැලුවාම ඒ
කියන දැන උගත්කම් ශිල්පීය ඤාණ තිබුණේ නැහැ. ඒ වගේම චූල්ලපන්ථක
හාමුදුරුවන්ට පොඩි ගාථාවක් මාස හතරක් තුළ පාඩම් කර ගන්න බැරිවුණා. ඔබ
මන්ද බුද්ධිකයෙක්, දුෂ්ප්‍රාඥයෙක්, මේ ශාසනයට කිසි ඵලක්, පිහිටක් නැහැ.
ගෙදර ගිහින් දනක් පිනක් කර ගන්න කියා රහතන් වහන්සේ නමක් වූ තම සහෝදරයා
වන මහාපන්ථක හාමුදුරුවෝ චූල්ලපන්ථක හිමියන්ට කියා සිටියා. නමුත් එබඳු
දුෂ්ප්‍රාඥභාවයක්, මන්ද බුද්ධිකභාවයක් ඇතැයි තීරණය වුණත් චූල්ලපන්ථක
හිමියන් ළඟත් ප්‍රඥාාවන්තභාවයක් සැඟ වී තිබුණා. මහා කාරුණික බුදුරජාණන්
වහන්සේ ඒ සැඟවුනු දේ ඉස්මතු කර ගන්න දක්ෂයෙක්. ඔබ ඔබ දිහා බැලුවොත්
සතරපද ගාථාවක් බැරිවුණත්, හතරපද කවියක් මාස හතරක් පාඩම් කරගන්න ඔබට
බැරිකමක් නැහැ. එතරම් අඥානබවක් අනුවණ බවක් ඔබ ළඟ නැහැ. එනිසා එබඳු
අයටත් මේ ශාසනයේ පිහිට ලබන්නට පුළුවන්කම තිබෙනවා. එසේ තිබියදීත්
චූල්ලපන්ථක හිමියන් සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් වුණේ කොහොමද
කියා ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඉපදෙන විටම අපට ලැබෙන
නුවණක් තිබෙනවා. එයට පිළිසිඳ ප්‍රඥාව කියනවා. උත්පත්තියෙන්ම එබඳු
හැකියාවක් තිබෙන්න ඕන. ඒ හැකියාව නැති කෙනෙකුටයි දුෂ්ප්‍රාඥයා කියා
කියන්නේ.අප උදාහරණයක් ගත්තොත් අප වගාවක් කරනවා. නැවත නැවත එය කරනවා. ඒ
වගාවන් කිරීමේදී සුදුසු බීජ පිළිබඳව අප සැළකිලිමත් වෙනවා. ඒ සුදුසු බීජ
වැපුරුවේ නැත්නම්, අපේ වගාව සරු වෙන්නේ නැහැ. එනිසා අප බීජ ගැන
සැලකිලිමත් වෙනවා. වගාවේදී මේ බීජ කියන්නේ මොනවාද? වී වගාව ගත්තොත් හැම
වී වගාවක්ම බීජ බවට පත්කරන්න සුදුසු නැතිබව ගොවියෝ දන්නවා.
එනිසා ගොවියෝ බීජ සඳහා සුදුසු කෙත කුමක්ද කියා හඳුනාගෙන එහි බීජ රෝපණය
කරන්නේ. බීජ සඳහා තෝරාගන්නා වී කැඩිලා, කුණු වෙලා, බොල් වෙලා තිබෙන්නත්
බැහැ. වාතයෙන්, සුළඟින් හොඳට වියළි තිබෙන්නත් ඕන. සාරවත්ව වැඩුණු
සැපවත්ව හැදුනු වගාවකින් තෝරාගත් වී වෙන්න ඕන. වී බවට පත්කර ගන්න. දැන්
බීජ වශයෙන් සුදුසු කොටසක් තිබෙනවා. බීජවලට ගන්න බැරි කොටසකුත් තිබෙනවා.
බීජ වශයෙන් ගත නොහැකි දේ එදිනෙදා පරිහරණයට ගන්න පුළුවන්. නමුත් ඒක
වපුරන්නේ නැහැ. බීජ සඳහා සුදුසුයි කියා අප වෙන්කරන එක මේ කාර්යයන්
දෙකටම කරන්න පුළුවන්. පෙර කී ලෙස කෑමට ගැනීමට හෝ නැවත ප්‍රතිවගාවන්
සඳහා බීජ ලෙස යොදන්නත් පුළුවන්. සරු බීජ ලෙස අප තෝරා ගන්නේ මේ බීජමය
හැකියාව ඒ තුළ තිබෙනවාම් පමණයි. මේ බීජමය හැකියාව නැති බීජයක් සරු
බීජයක් ලෙස වැපුරුවොත් පැළ නො වෙන්නත් පුළුවන්. පැළ වුවත් අස්වැන්න නො
ලැබෙන්න පුළුවන්. ඒනිසා බීජයට තිබෙන්න ඕන වගාවන් සඳහා යොදා ගන්නා බීජමය
හැකියාවක්. ඒ වගේ ඔබ මම ඉපදෙන විටත් වඩන්න දියුණු කරන්න පුළුවන්
හැකියාවක් ඇතුළතින් පිහිටා නො තිබුණොත්, මහාකාරුණික මහ ප්‍රඥාවෙන්
අගතැන්පත් බුදුරජාණන් වහන්සේලාටත් ඔබට මට පිහිට වෙන්න බැහැ. එහෙම
වෙනසක් නැතුව පිහිට වෙන්න පුළුවන්වූවානම් හිමිදිරි උදෑසන මහාකරුණා
සමාපත්තියට සමවැදිලා අද මම පිහිට වෙන්නේ කාටද කියා බලන්න ඕනෑ නැහැ.
උන්වහන්සේ මහා කාරණිකභාවයට පත්වෙලා කාටද? අද පිහිට වෙන්නේ කියා බල බලා
පුද්ගල නාමත්වයන් හඳුනාගෙන ඒ ඒ අය කරා වැඩම කළේ සියල්ලටම පිහිටවෙන්න
බැරි නිසා. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්තයන් දුෂ්ප්‍රඥාවන්තයන් ලෙස
හඳුන්වන්නේ උපන්නට පස්සේ ඇතිකර ගත් දැනුම් සම්භාරයන් බලා නොවේ. වඩන්නට
දියුණු කරන්නට පුළුවන් හැකියාවක් අධ්‍යාත්මිය චිත්ත සංතානය තුළ ඇත්නම්
එබඳු කෙනෙකුට මේ ධර්මයේ පිහිට තිබෙනවා. ඒ හැකියාව නැත්නම් කාටවත්
ගොඩවෙන්න පුළුවන්කමක් නැහැ.
හැම අම්මා තාත්තා කෙනෙකුටම තම දුව පුතා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක්,
ගණකාධිකාරිවරයෙක්, විද්‍යාඥයෙක් කර ගන්න ඕනකම තිබෙනවා. එයට කැමැතියි. ඒ
සඳහා මුල්‍ය හැකියාවන් තිබෙන්න පුළුවන්. නමුත් ඒ හැකියාව ඕනෑකම තිබුණාට
හැම දරුවෙකුටම එතැනට එන්න බැහැ. ඒ දරුවා එතැනට එන්න මූල්‍යමය හැකියාව,
බීජමය හැකියාව නැත්නම් ඒක ගහක් ලෙස පොහොර දමා වර්ධනය කර ගන්න බැහැ. ඒ
වගේ අප තුළත් හැකියාවක් තිබුණොත් පමණයි මල්ඵල දරන මහ රුකක් බවට
පත්වෙන්න පුළුවන් වන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම
ප්‍රඥාවන්තයන්, දුෂ්ප්‍රඥාවන්තයන් වෙන්කර හැඳීන්වූවා.
ඔබ සිතන්න පුළුවන් අප ගිහි ගෙදර ඉන්න අය අකුරු ශාස්ත්‍රය දන්නේ නැහැ.
ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන නැහැ. මේ ගම්භීර ධර්මය අපට ගලපා ගන්න බැහැ
කියා හීනමානයක් ඇතිකර ගන්න එපා. සමහර විට චුල්ලපන්ථක හිමියන්ගේ
තත්ත්වයේ ඔබත් ඉන්න පුළුවන්. සිව්සිඹිලියාපත් මහා රහතන් වහන්සේගේ ඤාණ
ශක්තිය වඩන්න දියුණු කරන්න පුළුවන් හැකියාව යම් යම් මෙලොව බාධක නිසා
සැඟ වී තිබෙන්න පුළුවන්. එනිසා මේ තීරණ වැරදි මතයක්. මේ නිසා අප
කවුරුවත් මේ ධර්මය ගැඹුරුයි මේ ධර්ම විෂය කරන්න ගලපන්න අමාරුයි. අපට
දානයක් දී පින් රැස්කර ගන්නවා හැර වන්දනාවක්, පූජාවක් කර ගන්නවා හැර මේ
ශාසනයේ වෙන කර ගන්න දෙයක් නැහැ කියා බාල අදහසක් ඇතිකර ගන්න එපා. නිතර
ඔබ සතරපද ගාථාවක් පාඩම් නොවූ චුල්ලපන්ථක හාමුදුරුවන්ට පුළුවන් වුණානම්
සෝපාක, සුනීත දරුවන්ට පුළුවන් වුණානම් දාසියක් වූ උත්තරා, රජ්ජුමාලාට
පුළුවන්වුණානම් මහමඟට වැටුුන රාධා, සෝපාකට පුළුවන් වුණානම් ඇයි මට
බැරි. ඒ අයට විතරද වීරිය, සිහිය, නුවණ තිබෙන්නේ. මටත් වීර්ය, නුවණ,
සිහිය තිබෙනවා. මමත් මේ සසර කෙටිකර ගන්නවා කියා අදහසක් අධිෂ්ඨානයක් අප
තුළ ජනිත කරගෙන බුදුරජාණන් වහන්සේ වෙතට අප පිවිසෙන්න ඕන.භාවනාව කියනකොට
එහි අදහසක් තිබෙනවා වඩනවා දියුණු කරනවා ප්‍රගුණ කරනවා කියලා. මොනවද
වඩන්නේ? මොනවද දියුණු කරන්නේ? මොනවද ප්‍රගුණ කරන්නේ? අප හැමෝගේම සිතට
උත්තරයක් තිබෙනවා සිතයි වඩන්නේ. සිතයි දියුණු කරන්නේ සිතයි ප්‍රගුණ
කරන්නේ. නමුත් මේ උත්තරය සැබෑ නිවැරැදි උත්තරය නොවේ. භාවනාව මඟින් සිත
වැඩීම, සිත භාවිතා කිරීම සිත ප්‍රගුණ කිරීම ලෝකයේ හැමදාම තිබුණා. ලෝකයේ
හැමදාම භාවනාව ලෙස නම්කළේ ඒ දේයි. එයට කියනවා චිත්ත භාවනාව කියා. මේ
භාවනාව බුදුන් වහන්සේ ලෝකයේ පහළවෙන්න කලිනුත් ලෝකයේ තිබුණා. අනෙක්
භාවනා ක්‍රමය ප්‍රඥා භාවනාව යි. ප්‍රඥා භාවනාවයි අපට විශේෂ වන්නේ.
අපේ මේ ජීවිතයට දැක්මක් දර්ශනයක් ඉලක්කයක් ඕන. ඒ ජීවිතයට ඒ දර්ශනය
ඉලකක්ය හරි දිසාවට මෙහෙයවන්න පුළුවන් වෙන්නේ ශක්තියක් දැන උගත්කමක්
තිබුණොත් පමණයි. ඒ දැනුම ඒ නුවණ ලෝකය තුළ විවිධ දැන උගත්කම් හැමෝටම
ලැබෙන්නේ නැහැ. එය ලබාදෙන්නේ භාවනාමය පුණ්‍ය විපාකය යි. මේ ජීවිතයට
පුණ්‍ය විපාකයෙන් ළඟාවෙලා තිබුණානම් එතැන තිබෙනවා බුදුවරුන්ගේ මහ
කරුණාවක්. ඒ ජීවිතය තුළ තිබෙනවා දැක්මක්. දර්ශනයක්. යමක් තේරුම්ගන්න
පුළුවන් හැකියාවක්. මේ සුදුසුකම් ටික අද අපට ලැබෙන්නෙ පෙරත් එය කර
තිබෙන නිස යි. පෙර මේ දේ නොකර සිටියානම් අද මම මිනිසෙක් වුණත් ධර්මයක්
තේරුම් ගන්න හැකියාවක් නැහැ කියා තීරණය කළොත් එය කාගේවත් අඩුවක් නොවේ.
ඒක නො කර තිබීමේ අඩුවක්.
එහෙමනම් අද මට පැවැරෙනවා මට මනුස්සයෙක් වෙලා උපදින්න පුළුවන් වුණත් පෙර
යම් දුරකට හෝ සිල් රැකපු නිසා කාට හෝ යමක් දුන් නිසා අනුන්ට අත පාන්නේ
නැතිව යමක් උපදවාගෙන ජීවත්වෙන්න පුළුවන් තරමට මට ලැබෙනවා. ඒත් මට දැන
උගත්කමක්, නැණ නුවණක් නැහැ. මේ දහමේ අර්ථය වටහා ගන්න මට බැහැ. එසේනම් ඒ
ටික බැරිවුනේ මේ දේ නොකළ නිසා. එසේනම් මට නොතේරුණේ මගේ අඩුවෙන්. මම
එදාවත් ඒ දේවල් නොකළ නිසා ඒ නිසා මම අද සිට වැඩි වැඩියෙන් ඒ භාවනාව
කෙසේ හෝ පුරුදු කළයුතුයි කියා අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතු වෙනවා.
නයනා නිල්මිණි |