පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 46
කුල්ල මහරහතන් වහන්සේ
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා
අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්මසාරථි වන
සේක. සසර නම් වූ ඝෝර කතරට වැටී කෙලෙස්වලට වසඟ වී ඉන් එතෙර වීමට නොහැකි
ව සිටි බොහෝ දෙවි මිනිසුන් ප්‍රමාණයක් අපගේ සම්බුදුරජාණන් වහන්සේ
විසින් එතෙර කොට වදාළ සේක. අනුත්තර පුරිසදම්මසාරථි වූ බුදුරජාණන්
වහන්සේගේ මහා කාරුණාව නිසාම සියලු සසර දුක් නිමා කළ කුල්ල නම් උතුම්
මහරහතන් වහන්සේගේ ජීවිතය ගැනයි අද අප ඉගෙන ගන්නේ.
ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව ජීවමානව වැඩ සිටි යුගය යි. සසරේ කළ බොහෝ
පින් ඇති කුමාරයෙක් සැවැත්නුවර එක්තරා සිටු යුවලකට දාව ඉපදුනා. ඒ
කුමාරයාගේ නම කුල්ල. සිටුමැදුරේ පංචකාම සැපයන් නො අඩුව ලබමින් ඒ කුල්ල
සිටු කුමාරයා තරුණ වියට පත්වුණා.
ඒ දිනවල අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර
ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ශ්‍රී සද්ධර්මය කුල්ල
කුමාරයාට අසන්නට ලැබුණා. ඒ ශ්‍රී සද්ධර්මයේ අර්ථ එකින් එක වැටහෙන්නට
පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ගැනත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ගැනත්
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන ශ්‍රාවක පිරිස ගැනත් කුල්ල
කුමාරයාගේ සිතේ ඇතිවුණේ විශාල ප්‍රසාදයක්.
ජේතවනාරාමයේ සිට සිටු මැදුරට පැමිණි මේ පින්වත්ත කුමාරයාට ඒ උතුම්
සම්බුදු බණ පදම සිහියට නැඟෙන්නට පටන් ගත්තා. ඔහු කල්පනා කළා “මේ ගිහි
ගෙදර කියන්නේ පිරිසුදු බඹසරට බොහෝ බාධා ඇති තැනක්. නිතරම කෙලෙස්
ඇවිස්සෙන තැනක්. නමුත් ගිහි බන්ධන අත්හැර දැමූ පැවිදි ජීවිතය කොයිතරම්
සුන්දර ද? අහස වගේ නිදහස්. ඒ උතුම් පැවිදි ජීවිතයට මටත් පත්වෙන්නට
ඇත්නම් කොයිකරම් හොඳද?” කියා. තම මෑණියන්ගෙන් හා පියාණන්ගෙන් අවසර ලැබූ
මේ කුමාරයා මහා කාරණික බුදුරජාණන් වහන්සේගේ සමීපයේ උතුම් පැවිදි බව ලබා
ගත්තා.
පැවිදි වීමට පෙර ගතකළ කාමුක ජීවිතය නිසා කුල්ල හිමියන්ට ඉතා බුහුල
වශයෙන් සරාගි සිතිවිලි ඇතිවුණා. රාගය නිසා බොහෝ පීඩා වින්දා. රාගය
හේතුකරගෙන පීඩා විඳිමින් සිටින කුල්ල හිමියන් මහා කාරුණික බුදුරජාණන්
වහන්සේට දැක ගන්නට ලැබුණා.
ඉතින් බුදුරජාණන් වහන්සේ කුල්ල ස්වාමින් වහන්සේට කතා කළා. කුල්ලය, ඔබ
තමන්ගේ කය ගැනත් අනුන්ගේ කය ගැනත් අසුබ වශයෙන් බලන්න. සුබ වශයෙන් බලන්න
එපා. කුල්ලය, නුඹ සොහොන ඇසුරු කරගෙන වාසය කරන්න. එය ඔබට අසුබ සංඥව තුළ
සිත පවත්වා ගන්නට උපකාර වේවි. කුල්ල ස්වාමින් වහන්සේ බුදුරජාණන්
වහන්සේගේ අවවාදය ඉතා හොඳින් සිතට ගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා
කොට සොහොනට ගියා. සොහොන් දමා තිබෙන කුණු වූ මළකඳන් දකින විට කුල්ල
ස්වාමින් වහන්සේගේ හිතේ රාගය නැතිවෙලා යනවා. නමුත් සොහොනෙන් බැහැර වෙලා
ගමේ පිණ්ඩපාතයේ වඩිනකොට ආයෙමත් සිත කාමරාගයෙන් වෙලී යනවා.
බුදුරජාණන් වහන්සේ අනේකප්‍රකාර වූ ප්‍රාතිහාර්යයන්ගෙන් සමන්විතවයි වැඩ
සිටියේ. ඒ ප්‍රාතිහාර්යයන් සියල්ලම අන් අයගේ යහපත උදෙසා භාග්‍යවතුන්
වහන්සේ විසින් යොදා ගත්තා. සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගිය විශ්මිත සෘද්ධි
දැක්වීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. කුල්ල ස්වාමින්
වහන්සේගේ රාග ගිනි නිවා දැමීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ විදිහේ
සෘද්ධි ප්‍රාතිහාර්යයක් සිදුකළා.
එදා පිණ්ඩපාතයෙන් අනතුරුව කුල්ල හිමියන් සොහොනට පැමිණුනා. බුදුරජාණන්
වහන්සේ ඒ සොහොනේ දැන් මැරුණාක් වැනි තරුණියකගේ මළ කුණක් මවා පෙන්වා
වදාළා. ඒ මළකුණ දකිනා විටම ජීවමාන ස්ත්‍රියක් දුටුවාක් මෙන් කුල්ල
ස්වාමීන් වහන්සේගේ සිත තුළ බලවත් රාගයක් හටගත්තා. ඒත් කුල්ල හිමියන් ඒ
ස්ත්‍රී මළකුණ දෙස බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික ඒ මළකුණ ඉදිමෙන්නට පටන්
ගත්තා. නිල් පැහැයට පත්වුණා. නව දොරෙන් සැරව ගලන්නට පටන් ගත්තා.
ඉවසගන්න බැරි තරම් අප්‍රසන්න ගන්ධයක් ඒ මළකුණෙන් දැනෙන්නට වුණා. කුල්ල
ස්වාමීන් වහන්සේට මේ රූපයේ යථාර්ථය වැටහෙන්නට පටන් ගත්තා. කුල්ල
ස්වාමින් වහන්සේට ඒ සම්බුදුරජාණන් වහන්සේගේ සුමිහිරි ස්වරයෙන් මේ
විදිහට ඇහෙනවා. කුල්ලය හොඳින් බලන්න. අසුචියෙන් පිරි අපවිත්‍ර වූ නව
දොරින් සැරව වෑහෙන මේ සිරුර දෙස. අඥාන ජනයා තණ්හාවෙන් වසඟ වුණේ මේ
අසුචි වෑහෙන සිරුරට නොවේද?
කුල්ල හිමියන් ඒ අවවාදය හොඳින් සිතට ගත්තා. අසුබ සඤ්ඤාව තුළ හිත එකඟ කර
ගත්තා. ඉතාම සුළු මොහොතකින් සියලු කෙලෙස් දුරුකොට උතුම් මහරහතන් වහන්සේ
නමක් බවට පත්වුණා. ඒ කුල්ල මහ රහතන් වහන්සේ විසිනුයි උන්වහන්සේ ගේ
අරහත්වයට පාදක වූ සිදුවීම මිහිරි ගාථාවන් ලෙසින් මේ අයුරින් වදාළේ.
කුල්ලෝ සීවථිකං ගන්ත්වා - අද්දසං ඉතිථිමුජ්ක්‍ධිතං
අපවිද්ධං සුසානස්මං - ඛජ්ජන්තිං කිමීහං ඵුවං
මගේ නම කුල්ල. මම එදා අමු සොහොනට ගියා. සොහොනේ දාලා තිබුණේ ස්තී‍්‍ර මළ
සිරුරක්. පණුවො උතුරනවා. ඒ පණුවො ඒ මළ කුණ කමින් සිටියා.
ආතුරං අසුචිං පූතිං – කුල්ල සමුස්සයං
උග්ඝරන්තං පස්ඝරතං – බාලානං අභිනන්දිතං
පින්වත් කුල්ල හොඳට බලන්න. ලෙඩදුක් හැදෙන අසුචි පිරුණ කුණු වූ ඕජා
වැගිරෙන මේ කය දිහා. අඥාන ජනතාව ආදරයෙන් වැළඳ ගත් මේ කය දෙස බලන්න.
ධම්මා දාසං ගහෙත්වාන – ඤාණදස්සනපත්තියා
පච්චවෙක්ඛිං ඉමං කායං – තුච්ඡං සන්තරබාහිරං
මම විදර්ශනා ඥානය නම් වූ කණ්ණාඩිය අතට ගත්තා. අභ්‍යන්තර බාහිර වශයෙන්
මේ තුච්ඡ වූ කය හොඳින් විමසා බැලුවා.
යථා ඉදං තථා ඒතං - යථා ඒතං තථා ඉදං
යථා අධෝ තථා උද්ධං – යථා උද්ධං තථා අධෝ
මේ කයත්, මළකුණත් දෙකම එකයි. ඒ මළකුණේ දේවල්මයි මේ කයේ තිබෙන්නේ.
උඩුකයේ තිබෙන්නෙත් අසුචිම යි. යටි කයේ තිබෙන්නෙත් අසුචිම යි. යටි කයයි,
උඩු කයයි දෙකම එකයි.
යථා දිවා තථා රත්ථිං - යථා රත්තිං තථා දිවා
යථා පුරේ තථා පච්ඡා – යථා පච්ඡා තථා පුරේ
දවල්ටත් මේ ශරීරයෙන් ගලන්නේ අසුචිමයි. රෑටත් ඒ විදිහමයි. රාත්‍රියට
ගලන්නෙත් අසුචිම යි. දවල්ටත් ඒ විදිහමයි. ඉස්සර ගැලුවෙත් අසුචි. පස්සෙ
ගලන්නෙත් අසුචිමයි. කලින් ගැලුවත් පස්සේ ගැලුවත් අසුචිම යි.
පඤ්භංගීකේන තුරියේන – න රතී හෝති තාදිසි
යථා ඒකග්ග චිත්තස්ස – සම්මා ධම්මං විපස්සතෝ ති
ඔය විදිහට හොඳට හිත එකඟ කරගෙන විදර්ශනාව වඩන්න පටන් ගත්තා. එතකොට ධර්මය
සිත ඇලී යනවා. එවැනි ඇල්මක් පංචාංගික තූර්ය නාදයකින්වත් ඇතිවෙන්නේ
නැහැ.
මහාකාරුණික වූ ශාස්තෘන් වහන්සේ නමක් ජීවමාන ව මුණ ගැසුණු නිසා ඒ අමා මහ
නිවන නම් වූ ක්ෂේම භූමියට සුවසේ පැමිණීමට කුල්ල මහරහතන් වහන්සේ වැනි
පින්වන්ත උතුමන් වහන්සේලා කී දෙනෙකුට නම් වාසනාව උදා වුණාද? මේ ආකාරයට
සෘද්ධි ප්‍රාතිහාර්ය යොදා ගනිමින් බොහෝ දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ
යහපත සලසා දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් සිතන දේ ඒ
අයුරින්ම තමන් වහන්සේගේ සිතින් දැනගන්නට පුළුවන්. ඒ ආදේශනා
ප්‍රාතිහාර්යයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනෙකුට යහපත සැලසූ ආකාරය
බුද්ධ දේශනා තුළ සඳහන් වෙනවා.
නමුත් භාග්‍යවතුන් වහන්සේ සතුව තිබූ භාග්‍යවතුන් වහන්සේ විසින් අගය කළ
විශ්මිතම ප්‍රාතිහාර්යය තමා අනුශාසනා ප්‍රාතිහාර්ය ය. ඒ කියන්නේ
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය නම් වූ අනුශාසනාවෙන් මුළුමහත් සත්ව
ප්‍රජාවට යහපත සලසා දෙනවා.ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ආශ්චර්ය
එකක්. වරක් අග්ගලවවේතීය නම් ස්ථානයේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්
අමතා වදාළා අභිඤ්ඤෙය්‍යාහං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නෝ අනභිඤ්ඤාය
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ විශිෂ්ඨ වූ
ඤාණයකින් අවබෝධ කරගෙනයි. විශිෂ්ඨ වූ ඤාණයකින් ලැබූ අවබෝධයක් නැතුව
නොවේ.
සප්පාටිහාරියං වෝ භික්ඛවේ ධම්මං දේසීස්සාමි නෝ අප්පාටිභාරියං පින්වත්
මහණෙනි, තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබන ධර්මය ප්‍රාතිහාර්ය සහිත එකක්.
ප්‍රාතිහාර්ය රහිත එකක් නොවේ. සනිදානං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නෝ
අනිදානං පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව හේතු ප්‍රත්‍යය
සහිත එකක්. හේතු ප්‍රත්‍යය රහිත එකක් නොවේ. ඒ නිසා පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් විශිෂ්ඨ ඤාණයකින් අවබෝධ කරගෙන හේතු ප්‍රත්‍යය
සහිතව ප්‍රාතිහාර්යය සහිතව දේශනා කරනු ලබන ශ්‍රී සද්ධර්මය ඇසිය යුතුයි
කියා සිතනවා නම් ඒ දහමට අනුව හැසිරිය යුතුයි කියා සිතනවා නම් එය ඔවුන්
හට බොහෝ කාලයක් යහපත පිණිස පවතින්නේ ය .
එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යවත් වූ අනුශාසනාව අදටත් ලෝකයේ
ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ අනුශාසනාව අපත් ඉගෙන ගෙන ඒ අනුශාසනාවට අනුවම
හැසිරීමට මහන්සි වෙමු. එය අපට බොහෝ කාලයක් යපහත සැපත පිණිසම හේතු වේවි.
පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 45 චක්ඛුපාල මහරහතන් වහන්සේ |