Print this Article


අර්ථවත් උපාසක ජීවිතය

අර්ථවත් උපාසක ජීවිතය

ඉතා සරලව විග්‍රහ කරන්නේ නම් බෞද්ධයා යනු තෙරුවන් සරණ පිළිගත් පුද්ගලයාය. බෞද්ධයා සිල්වත් අයෙකු බවට පත්වන්නේ පංච ශීලය අනුගමනය කිරීමෙන්ය. .මෙසේ තෙරුවන් සරණ පිළිගත් සිල්වත් බෞද්ධයා තෙරුවන් සමීපයෙහි ඇසුර ලබන හෙයින් උපාසක උපාසිකා යනුවෙන් හඳුන්වනු ලැබේ.

එම උපාසක භාවය දියුණුවන හා පරිහානියට පත්වන කරුණු දහයක් අංගුත්තර නිකායේ උපාසක චණ්ඩාල සූත්‍රයෙහි දැක්වේ. මෙම කරුණු විමසීමෙන් බෞද්ධයෙකුට උපාසක චණ්ඩාලයකු නොවී උපාසක රත්නයක්, උපාසක පද්මයක් හා උපාසක පුණ්ඩරීකයක් බවට පත්වීමට අවශ්‍ය ගුණ වර්ධනය කරගැනීමට හැකියාව ඇතිවේ. එම කරුණු ඉඩ ලැබෙන පරිද්දෙන් එකිනෙක විමසා බලමු.

ශ්‍රද්ධාවෙන් යුක්ත වීම

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බවත්, ධර්මය ස්වාක්ඛාත බවත්, සංඝයා සුපටිපන්න බවත් සකාරණව තේරුම්ගෙන පිළිගැනීම හා විශ්වාස කිරීම ශ්‍රද්ධාවයි. සසුන් මගේ ආරම්භක පියවර ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති තැන සසුන් පිළිවෙතට යොමුවීමේ අවශ්‍යතාව ඇතිවේ. ශ්‍රද්ධාවෙන් ආරම්භ කෙරෙන ප්‍රතිපදාව ප්‍රඥාවෙන් පරිසමාප්තියට පත්වේ. බෞද්ධ ජීවිතය අර්ථවත් කෙරෙන ශක්තිමත් පදනම ශ්‍රද්ධාවයි. එබැවින් එය උපාසක ජීවිතය පවිත්‍ර පියුමක් බවට පත්කෙරෙන මූලික ගුණාංගයයි. ශ්‍රද්ධාව නොමැති තැන බුදුසමයෙහි දැක්වෙන ප්‍රඥාවේ උදාවක්ද සිදුනොවේ. පුද්ගලයෙක් බෞද්ධයෙකු බවට පත්කරන්නේ ශ්‍රද්ධාවෙහි පිහිටීමෙන්ය. එකී උත්තම පුරුෂාර්ථය ආධ්‍යාත්මික ජීවිතයෙන් ඉවත් වූ කල්හි බෞද්ධ බව හෝ උපාසක බව නාමික වූවක් බවට පත්වේ.

සීලයෙන් යුක්ත වීම

මානසික දුර්වලතා ප්‍රකාශ වන්නේ චර්යාව මගින්ය. එම දුර්වල හා අයහපත් චර්යාවන්ගෙන් පුද්ගලයා බැහැර කොට යහපත් කායික හා වාචසික චර්යාවන්ට යොමුකෙරෙන පුහුණුව ශීලයට අයත් වේ. සිල්වත් වීම යනුවෙන් අර්ථවත් කෙරෙන්නේ කයින් වචනයෙන් යහපත් හැසිරීමකින් හා හැදියාවකින් යුක්ත වීමයි. විමුක්ති මාර්ගයේ ආරම්භක පියවර ශීලයයි. එය චිත්ත සමාධියටත් චිත්ත සමාධිය ප්‍රඥාවටත් පදනම් වේ. මිනිසා හා තිරිසනා අතර ඇති වෙනස ශීලයයි. උපාසක ජිවිතයේ ශික්ෂණය ඇති කෙරෙන මූලික ශීලය පංචශීලයයි. නිත්‍ය ශීලය ලෙස හැඳින්වෙන එයින් දෛනික ශික්ෂණය ආවරණය කෙරේ. සෑම පුද්ගලයෙක් තුළම කිසිදු භේදයකින් තොරව පැවතිය යුතු මූලික හැදියාව විනය ගරුක බව හා ශික්ෂණය ඇති කෙරෙන්නේ පංච ශීලය ආශ්‍රයෙන්ය. උපෝසථ දිනයෙහි සමාදන්වන ශීලයෙන් පංචකාම ලෝකය අත්හැරීමට අවශ්‍ය පුහුණුව ලබාදේ. එය සාංසාරික පැවැත්මෙහි පවතින යථා ස්වභාවය වටහා ගැනීමට උපකාරි වේ. උපාසක ජීවිතයට මෙම නිත්‍ය ශීලයෙන් මෙන්ම උපෝසථ ශීලයෙන් ද හික්මීමක් හැදියාවක් විනයගරුක බවක් එකතුකරගත යුතුවේ.

කොතුහල මංගලික නොවීම

තිසරණයෙහි පිහිටි බෞද්ධයා වෙනත් බාහිර ආගමික නොවන ඇදහිලි විශ්වාස හා අභිචාර විධි නොපිළිගනී. එයට හේතුව උපාසක භාවයට පත්වීමත් සමග ම තථාගත බෝධිය පිළිබඳ ඇති කරගන්නා වූ විශ්වාසයයි. ශ්‍රද්ධාවෙහි පිහිටා සිටින හෙයින් කොතුහල මංගලික යනුවෙන් හැඳින්වෙන විවිධ මිථ්‍යා විශ්වාස, භූතවිද්‍යා, ගුප්ත ශාස්ත්‍ර ආදිය පිළිගැනීමෙන් වැළකෙයි. මෙම සූත්‍රයෙහි දැක්වෙන කොතුහල මංගලික යන්න තරමක් පැහැදිලි කළ යුතුවේ. කෝතුහල මංගලික යන්නට අර්ථ දක්වන ශබ්දකෝෂ ග්‍රන්ථවල එයින් අදහස් කරන්නේ මංගල සම්මත අභිචාර විධි, පෙර නිමිති, අනාවැකි , භූත විද්‍යා, ඉරණම් පලාපල ආදියයි. අට්ඨකතා වල එයින් අදහස් කරන්නේ දිට්ඨ, සුත, මුත යනුවෙන් අදහස් කෙරෙන මංගල සම්මත දේවල්ය. මේ සියල්ල සරල අර්ථයෙන් වටහාගත් විට තෙරුවන් සරණගිය උපාසකයෙකු මෙකී දේවල් පිළිගැනීමෙන් හා අනුගමනය කිරීමෙන් ඔහු හෝ ඇය උපාසක බවින් පිරිහීමට හේතුවේ. මේ කරුණ අනුව තිසරණයෙහි පිහිටි තැනැත්තා ඉහතින් දැක්වූ විශ්වාස නොපිළිගනී. දහම් පිළිබඳ අවබෝධයෙන් තිබෙන හෙයින් තමා මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න දෙස ප්‍රතීත්‍ය සමුත්පාදයට අනුව දැකීමේ හැකියාව ඇතිවේ. මෙනිසා ගුප්ත ඇදහීම් හා විශ්වාස මගින් තම ජීවන ප්‍රශ්නවලට විසඳුම් නොසොයා ගැටලුවෙහි මූලය නුවණින් විමසා වැරදුන තැන අවබෝධකරගෙන නිවැරදි මගට යොමුවී අර්බුදවලින් නිදහස් වෙයි. සම්බුදු සසුනෙහි උපාසක භාවයට පත්වීම සුවිශේෂි වූවකි. දහම් සම්බන්ධයෙන් සාමාන්‍ය අවබෝධ මට්ටම අබිබවා ගිය අවබෝධයක් උපාසක භාවයට පත් වීමත් සමඟ ඇතිවේ. මෙම අවබෝධය හේතුවෙන් විමුක්තිය පිණිස පමණක් නොව සාමාන්‍ය ජීවිතය මුහුණ දීමට සිදුවන විවිධ ප්‍රශ්න හා ගැටලු විසඳ ගැනීමෙහිලා බුදුදහම අනුගත ක්‍රමවේද පමණක් උපයෝගී කරගනී.

ක්‍රියාව මිස සුබ නිමිත්ත නොබැලීම

සිව්වන කරුණ යටතේ දැක්වෙන්නේ සුබා සුබ හෝරා බලමින් කාලය ගත නොකර ක්‍රියාවට හා කළයුතු දෙයට මුල් තැන දීමයි. ධර්මය පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙකුට තම සිත පිරිසුදුව තබාගත හැකිනම් සෑම මොහොතක්ම සුබ හෝරාවක් වේ. මෙනිසා උපාසක භාවයෙහි පිහිටි තැනැත්තා සුබ හොරාව හෝ සුබ නැකත පිළිබඳ උනන්දු නොවන අතර එම අවස්ථාවෙහි කළ යුතු කාර්ය කෙරෙහි අවධානය යොමු කරයි. වර්තමාන බෞද්ධ ජීවිතය සම්බන්ධයෙන් මෙම කරුණු දෙක බොහෝදුරට විවාදාපන්න බව පිළිගැනීමට සිදුවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එළඹි මොහොත අත් නොහළයුතු බවයි. විමුක්තිය සාක්ෂාත් කළ ශ්‍රාවක ශ්‍රාවිකාවන් පමණක් නොව දහම වටහාගත් සාමාන්‍ය ගිහි ශ්‍රාවකයෝ ද තම ලෞකික අභිවෘද්ධිය සකස්කරගෙන තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තුළින්ය.

මෙම ගෞතම ශාසනයේත් පරිබාහිර වෙනත් දක්ෂිණාර්යෙකු නොසොයා පළමුව එම දක්ෂිණාර්යන්ටම සැලකීම

තිසරණයෙහි පිහිටීමෙන් උපාසක භාවයට පත් වූ තැනැත්තා මේ ගෞතම බුදුසසුනෙන් බැහැර වෙනත් දක්ෂිණාර්යෙකු සෙවීම හෝ බුදුසසුන අතහැර වෙනත් ආගමක හෝ දහමක සාමාජිකයෙකු හෝ අනුගාමිකයෙකු බවට පත්වීම සිදු නොකරයි. එසේම කොතරම් ලෞකික ලාභ ප්‍රයෝජන ලැබුණද ඔහු හො ඇයගේ බෞද්ධ ස්ථාවරය හෝ දෘෂ්ඨිය වෙනස් නොකර ගනී. ත්‍රිවිධ රත්නය කෙරෙහි මමායනය ඇති කරගෙන තිබෙන හෙයින් බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ධර්මයත් ශ්‍රාවක සංඝයාත් තම අයත් වටිනා වස්තුවක් සේ සලකා ගරු සත්කාර දක්වයි. තිසරණ කෙරෙහි මමායනය ඇති කරගනී. ගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ යම් යම් පෞද්ගලික දුර්වලතා කොතෙක් දුටුවත් ඔහු හෝ ඇය බුදුරදුන්ගේ සම්මා සම්බුද්ධත්වයත් ධර්මයේ නෛර්යානික බවත් පිළිගන්නා හෙයින් සසුන් පිළිවෙතින් බැහැර නොවී තම විමුක්තිය පිණිස ගෞතම බුදු සසුනට අයත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පරිසටම අයත් දක්ෂිණාර්යෙකු ම තෝරා ගනිමින් එම උතුමන් වෙත සිව්පසයෙන් උපස්ථාන කරමින් තම උපාසක ජීවිතය පද්මයක් බවට පත්කරගනී.

අංගුත්තර පංචක නිපාතයේ දැක්වෙන උපාසක චණ්ඩාල සූත්‍රයේ ඇතුළත් උපාසක රත්නයක් බවට පත්කෙරෙන කරුණු පහ පිළිබඳ පමණක් මෙහි සාකච්ඡා කර තිබේ. මෙමගින් උපාසක රත්නයක් හා උපාසිකා රත්නයක් බවට පත්වන්නේ කෙසේ දැයි පැහැදිලි කරේ. මෙම සූත්‍රය ආරම්භයේදී දැක්වෙන්නේ උපාසකයෙකු උපාසක චණ්ඩාලයෙකු බවට පත්වීමට බලපාන කරුණුය. ඉහතින් විස්තර කළ කරුණු පහ අනුගමනය නොකිරීමෙන් උපාසක චණ්ඩාලයෙකු බවට පත්වේ.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව කෙනෙකු වසලයෙකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ. ඒ අනුව උපාසකයකු චණ්ඩාලයකු වන්නේ ඉහතින් දැක්වු කරුණු පහ අනුගමනය නොකිරීමෙන්ය. බුදුරජාණන් වහන්සේගේ වදාළ ප්‍රතිපදාව අනුගමනය කිරීම පිණිසය. බෞද්ධ උපාසක ජීවිතය පංචකාම ලෝකය නමැති මඩ සහිත විලෙහි හටගෙන එයින් උඩට විත් දිය හා නොගැටී ලෝකය සුන්දර කරන පිරිසුදු පියුමක් වැනිය. බෞද්ධ ජීවිතය පද්මාකාර වූවකි.