Print this Article


තමා විසින්ම අවබෝධ කර ගතයුතුය

තමා විසින්ම අවබෝධ කර ගතයුතුය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අස්සද්ධෝ අකතඤ්ඤුච
සන්ධිච්ජේදෝ චයෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ
සවෙ උත්තම, පොරිසො


ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

මාතෘකා කළ ගාථා පාඨය අයත් වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ අර්හත් වග්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ ලොව්තුරුදහම් තමා ප්‍රත්‍යක්ෂකොට මුත් අනුන් කී පමණින් නොඅදහන නිවන දන්නා සංසාර සන්ධි සිඳලු නැවත සසර ඉපදීම නැතිකළ තෘෂ්ණාව දුරුකළ රහතන්වහන්සේ කෙනෙක් වෙද්ද හේ ඒකාන්තයෙන්ම උතුම් පුරුෂයෙකි. යනුවෙනි.

මෙම ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේ අරභයා දේශනාකළසේක.

ආරණ්‍යගතව වැඩවාසය කළ භික්ෂූන් වහන්සේ තිස්නමක්, දිනක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර එකත් පස්ව හුන්හ. මෙම භික්ෂූන්වහන්සේ තිස්නමට රහත්වීමේ වාසනාව ඇතිබව බුදුරජාණන් වහන්සේ දුටු සේක. එම භික්ෂු පිරිසට සිදුවන මෙම යහපත දුටු බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන්වහන්සේ අමතා “සාරිපුත්ත වඩනලද පුනපුනාම වඩන ලද ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිවනට ඇතුළත්ව පවතී. එය නිවන කෙළවර කොට ඇත. මාකියන මෙය ඔබ පිළිගන්නේද? අසා වදාළ සේක. එයට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

“ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ශ්‍රද්ධාඉන්ද්‍රිය නිවනට ඇතුළත් ය. එය නිවන කෙළවර කොට ඇත යනුවෙන් මම පිළිගනිමි. මා එය පිළිගන්නේ ඔබවහන්සේගේ කතාව අදහා ගැනීමෙන් නොවේ. මම අනුන් කීවක් නොපිළිගනිමි. තමන්ට නොවැටහෙන තමන්ගේ නුවණට ගොදුරු නොවන යමක් අනුන් කී නිසාම පිළිගැනීම නුසුදුසු ය. යනු මගේ වැටහීමයි. ස්වාමීනී, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, යම් කෙනෙක් එම කාරණය ඒකාන්ත වශයෙන් නොදන්නේනම්, නොදැක්කේ නම් ප්‍රත්‍යක්ෂවශයෙන්ම නොදත්තෝනම් නුවණින් ස්පර්ශ නොකළෝ නම් එබඳු අය මෙම කරුණෙහිලා අනුන් කීවක් අසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිවනට ඇතුළත්ය. ජිවිත කෙළවරකොට ඇත යනුවෙන් අදහාගන්නෝය. මම අනුන් කී තරමින් යමක් පිළිනොගනිමි. යනුවෙන් පිළිතුරු දුන්හ. මෙය අසාසිටි තිස්නමක් පමණ භික්ෂූන් වහන්සේ “සාරිපුත්ත තෙරුන් තවම මිසදිටුබව හැරනැත. බුදුරජාණන් වහන්සේගේ වචනය ද ඔහු නොඅදහන්නේය” යනුවෙන් ප්‍රකාශ කළහ.

එම භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, එසේ නොකියන්න, සාරිපුත්ත තමන් දැනගත් උපදවාගත් ධ්‍යාන, විදර්ශනා මාර්ගඵල ධර්මයන්හි අනුන්ගේ කීම් පිළිගෙන ඇදහීම් කරන්නෙක් නොවේ. සාරිපුත්ත එය තමන් විසින්ම දැක අවබෝධ කළ අයෙකි. දුන්දෙයක, කළ දෙයක විපාකත්, බුද්ධාදීන්ගේ ගුණයත් නොඅදහන්නෙක් නොවේ. සාරිපුත්ත එය තමන් තුළින්ම දුටු අයෙක් හෙයින් එම අයට උපවාදයක් නැත.” යනුවෙන් ධර්මදේශනා කළ සේක.

මෙම ගාථාවෙහි සඳහන් අසද්ධෝ යනු ඇදහීමක් නැති යන්නයි. මාර්ගඵල, නිර්වාන, ධ්‍යාන, විදර්ශනා යන ලෞකික ලෝකෝත්තර ගුණධර්ම අන්‍ය ශාස්තෘන් කෙසේ විග්‍රහ කළද, බුදුරජාණන් වහන්සේ හැර අන්‍ය ශාස්තෘන් ඇදහීමක් මඟඵල අවබෝධ කළ අයවෙත නැත.

වසවත්මරුන් බුදුවෙස්ගෙන අහසෙහි සිට ආත්මයක් ඇත. එය නිත්‍යය, ඒකාන්තය, ශුභය, සැපය, ස්ථිරය යනුවෙන් පැවසුවද, මාර්ගඵල ලාභීන් එය නොඅදහන්නේ ය. එය තමන් විසින්ම අවබෝධකර ඇති බැවින් බුදුවෙසින් පෙනී සිටියද ඔවුහු එය පිළි නොගත්හ.

කේසපුත්ත නියම්ගම්වැසි කාලාම වැසියන් දිනක් බුදුරජාණන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ. “ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, විටින් විට අප නියම්ගමට එන නොයෙක් අන්දමේ අදහස් ඇති මහණ බමුණෝ තම තමන් ගත් ලබ්ධීන් හුවා දැක්වීමට අන්‍ය ලබ්ධීන් පහත්කොට ප්‍රකාශ කරති.

මෙම නිසා කවුරු කියන දෙය සත්‍යද, කවුරු කියනදෙය අසත්‍ය ද යනු අප තුළ මහත් විචිකිච්ඡාවක් පවතී යයි පැවසූහ. “කාලාමයන්, ඔබගේ එම විමතියේ වරදක් නැත. තමන් තුළ එම සැකය ඇතිවීම ස්වාභාවිකය. කාලාමයනි, ඔබලා කිසිවකුගේ කථාවක්, දහමක්, ආරංචියක්, පරම්පරාවෙන් පැවත එන දෙයක් වශයෙන් අනුන් කියනහෙයින් පිළිනොගතයුතු ය. තර්කානුකූලය, න්‍යායානුකූලය, යහපත්ය අපගේ ඇදහීමට සමානය යනුවෙන් සිතා පිළිනොගත යුතු ය. මේ මාගේ ගුරුවරයාය. මේ උගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකි යනුවෙන් සිතා කියූ දෙය පිළිනොගත යුතු ය. යම් දහමක්, ලබ්ධියක් තම බුද්ධියට අනුරූපවේනම් නුවණින් සලකා බලා පිළිගත යුතු ය. ස්ව බුද්ධියෙන්ම විමසා පිළිගත යුතු ය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

කවුරු කුමක් කීවත් එය තමන් විසින්ම තර්කානුකූලව සිතා තමන් විසින්ම ප්‍රත්‍යක්ෂකර අදහන්නේ නම් අන්‍යලබ්ධික රැහැනට ගොදුරු නොවනු ඇත. සත්‍ය කුමක් ද යනු හොඳින් ගවේෂණය කර තීරණයට එළඹෙන්නේ නම් එය මෙලොව, පරලොව, දෙලොවම සැපයට හේතුවේ.

ඔබ සැමට තෙරුවන් සරණයි.