Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 45 චක්ඛුපාල මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 45

චක්ඛුපාල මහරහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ විසින් ඉතා දුෂ්කර ලෙස ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගත් ජාති, ජරා,

මරණ, ශෝක , වැළපීම්, දුක් දොම්නස්,

සුසුම් හෙළීම් වලට ඒකායන විසඳුම වූ අමාමහ නිවන ගැන දෙවි මිනිසුන්ට මනාකොට පහදා දුන්නා. නිවන පතාගෙන සසරේ බොහෝ කලක් පිරූ මහා පින් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ඒ අමාමහ නිවන අවබෝධ කර ගත්තා

අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ ධර්මාවබෝධය කිරීමට වාසනාව තිබූ බොහෝ ප්‍රඥාවන්ත මිනිසුන් ඉපදී සිටියා. බුදුරජාණන් වහන්සේ විසින් ඉතා දුෂ්කර ලෙස ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගත් ජාති, ජරා, මරණ, ශෝක ,වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලට ඒකායන විසඳුම වූ අමාමහ නිවන ගැන දෙවි මිනිසුන්ට මනාකොට පහදා දුන්නා. නිවන පතාගෙන සසරේ බොහෝ කලක් පිරූ මහා පින් ඇති ප්‍රඥාවන්ත මිනිසුන් ඒ අමාමහ නිවන අවබෝධ කර ගැනීම පිණිස ගත් වීරිය ඉතා ආශ්චර්ය යි. අසීමිත වීරියකින් ධර්මයේ හැසිරී ඒ පරම සුන්දර නිවන අවබෝධ කළ චක්ඛුපාල මහරහතන් වහන්සේගේ උතුම් ජීවිතය යි අද ඉගෙන ගන්නේ.

ඒ කාලයේ සැවැත්නුවර ‘මහාසුවණ්න’ කියා ධනවත් ව්‍යාපාරිකයෙක් සිටියා. ඔහුට දරුවන් දෙදෙනක් සිටියා. වැඩිමහල් පුතාගේ නම මහාපාල. බාලයා චූලපාල. මේ සහෝදරයෝ දෙදෙනා කුඩා කාලයේ පටන්ම ඉතාම සමඟියෙන් කටයුතු කළා. අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් ගම් නියම්ගම් සිසාරා චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කරන කාලයේ මේ චූලපාල, මහාපාල දෙදෙනා විවාහ වී සතුටින් කල්ගත කරනවා. දවසක් මහජනතාව බණ ඇසීමට දෙව්රම් වෙහෙරට යන හැටි මහාපාල බලාගෙන හිටියා. ඔහුටත් බණ ඇසීමට ආශාව ඇතිවුණා. ඔහු දෙව්රමට ගියා. කෙළවරකට වෙලා බණ ඇසුවා. අර්ථ මෙනෙහි කළා. ටික ටික තේරුණා. ඒ හේතුවෙන් ඔහු ශ්‍රද්ධාවට පැමිණිලා තෙරුවන් සරණ ගියා. අවසානයේදී පැවිදි වීමට තීරණය කළා.

මහාපාල ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පැවිදි වුණා. උපසම්පදා වුණා. ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාට කීකරුව පස් වසරක් ධර්ම විනය ඉගෙන ගත්තා. ඊට පස්සේ හුදෙකලා වාසයට කැමැතිවෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ආදරයෙන් වන්දනා කර කියා සිටියා ‘ස්වාමිනි, මට ධර්මය හදාරමින් දිගටම කල් ගෙවන්න කාලයක් නැහැ. මා කැමැතියි ධ්‍යාන වඩන්න. මා කෙරෙහි අනුකම්පා කොට ඒ සඳහා මා හට අවවාද කරන සේක්වා!’ කියා උපදෙස් ලබාගෙන තව ස්වාමින් වහන්සේලා හැට නමක් සමඟ චාරිකාවේ පිටත්වුණා. යොදුන් ගණන් වැඩම කළා. ඉතා යහපත් ඉරියව් ඇති වත් පිළිවෙතින් සරු මේ ස්වාමින් වහන්සේලා දැකගත් පින්වතුන් මහත් සේ පැහැදුනා. සතුටු වුණා. දන් පැන්වලින් ඇප උපස්ථාන කළා. ඒ ගමේම වස් වැසීම පිණිස ආරාධනා කළා.

ඉතින් වස්වසන දවසේ මහාපාල ස්වාමින් වහන්සේ අනෙක් ස්වාමින් වහන්සේලා ඇමතුවා. ‘පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මේ තුන් මාසයේ ඔබ ඉරියව් කීයකින් කල් ගෙවන්නද හිතාගෙන ඉන්නේ? ‘ස්වාමිනි, සතර ඉරියව්වෙන්ම අප කල් ගෙවනවා’.

’පි‍්‍රය ආයුෂ්මතුනි, මම සිතුවා මේ ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් තරම් කැප වෙනවා කියා. අපට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. මේ උතුම් ධර්මය උන්වහන්සේගේ මුවින්ම අසන්නටත් ලැබුණා. ශ්‍රද්ධාවත් ඇති වුණා. ක්ෂණ සම්පත්තිය ලැබුණා. දැන් ඉතින් ප්‍රමාද වීම අනතුරුදායක යි. ප්‍රමාද වූ සත්ත්වයන්ට සතර අපාය තමන්ගේ මහගෙදර වගෙයි. ඒ නිසා මම ඉරියව් තුනකින් කල් ගෙවන්න තීරණය කළා. මේ තුන් මාසයේ දීී මම සැතපෙන ඉරියව්ව අත් හරිනවා’ යැයි කියා සිටියා.

ඉතින් මහාපාල ස්වාමින් වහන්සේ පළමුවෙනි මාසයේ හොඳට භාවනා කළා. දෙවැනි මාසයේ මුල් සතියේම ඇස් රෝගයක් හට ගත්තා. සිවුරු වූ කළයකින් වෑහෙන වතුරක් වගේ ඇස් දෙකෙන් කඳුළු වෑහෙන්න පටන් ගත්තා. මහාපාල ස්වාමින් වහන්සේගේ ඇස්වලින් රූරා හැලෙන කදුළු ධාරා දුටු ස්වාමින් වහන්සේලා මහාපාල ස්වාමින් වහන්සේ වෙද මහත්මයෙක් ළඟට කැඳවාගෙන ගියා. ඒ වෙද මහතා ඉතා වටිනා තෙලක් මහාපාල ස්වාමින් වහන්සේට දුන්නා. ‘ස්වාමිනි, මේ තෙල අපේ වෙද පරම්පරාවේ නම්බුව රැකපු මහානුභාව සම්පන්න තෙලක්. දැන් ඔබවහන්සේ ඔය තෙල් වලින් බිංදුව ගානේ උදේ වරුවේ හාන්සිවෙලා ඇහැට දමන්න ඕන’.

නමුත් මහාපාල ස්වාමින් වහන්සේ කුටියට වැඩම කොට ඒ තෙල ඇස්වලට දැම්මේ වාඩිවෙලාම යි. ටික දවසකින් වෙද මහත්තයා ස්වාමින් වහන්සේගෙන් ඇහුවා ‘ස්වාමිනි, දැන් ඇස් රෝගය කොහොම ද?’ කියා. ‘පින්වත් උපාසක, තවම ඇස්වල වේදනාව තිබෙනවා’. ‘ ස්වාමිනි, ඒක වෙන්න බැරි දෙයක් නෙව. ඔය තෙල එකවතාවෙන්ම ඇස් රෝගය සනීප කරන එකක්. ස්වාමින් වහන්සේට මෙහෙම වුණේ මොකද? ස්වාමිනි ඔබවහන්සේ තෙල් වත් කළේ වාඩිවෙලා ද? හාන්සි වෙලාද?’ එවිට මහාපාල හිමියන් නිශ්ශබ්ද වුණා. නැවත නැවත ඇසුවා. පිළිතුරු දුන්නේ නැහැ. වෙද මහත්තයා පසුවදා ස්වාමින් වහන්සේ වැඩ සිටින කුටියට ගියා. හැමතැනම වටපිට බැලුවා. සැතපෙන තැනක් සොයා ගන්නට නැහැ.

ඉතින් වෙද මහත්මයා ස්වාමින් වහන්සේට පැවසුවා ‘අනේ ස්වාමිනි වාඩිවෙලා ඔය තෙල ඇසට දමන්න එපා. ශරීර සෞඛ්‍යය හොඳට තියා ගත්තොත් තමා හොඳට මහණදම් පුරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හාන්සිවෙලාමයි ඇස් දෙකට තෙල් දැමිය යුත්තේ’. එවිට ‘පින්වත් උපාසක මම මේ ගැන කතා කරන්නම්’ කියා මහාපාල ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා. වෙද මහතා පිටත්වුණා. මහාපාල හිමියන් කා සමඟ කතා කරන්නද? නෑදෑයෝ කවුරුවත් නැහැ. ස්වාමින් වහන්සේ තමන්ගේම කයත් සමඟ කතා කළා.

’එම්බා පාල, නුඹම කියාපන් නුුඹට වටින්නේ ඔය ඇස් දෙකද? නැත්නම් දුර්ලභව ලද බුද්ධ ශාසනය ද? නුඹ අනන්ත සංසාරේ ඉපිද ඉපිදී මැරි මැරී යද්දී කෙළවරක් නැතුව ඇස්, කණ් ලැබිල තිබෙනවා නේද? ඔය අතරේ බුදුරජාණන් වහන්සේලා කොයිතරම් ලෝකයේ පහළ වෙලා පිරිනිවන් පෑවාද? ඒ එක බුදුරජාණන් වහන්සේ නමක් ළඟදීවත් නුඹට ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නට බැරිව ගියා. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට බැරිව ගියා. මේ ජීවිතයේදීවත් මේ අවස්ථාව මඟහැර ගන්නට නුඹ කැමැති ද? නුඹ මේ තුන් මාසයේ හාන්සි වෙන්නේ නැහැ, තුන් ඉරියව්වෙන් කල්ගත කරනවා කියා අධිෂ්ඨාන කර ගත්තා නේද? එසේනම් නුඹේ ඇස් නැතිවෙනවා නම් නැති වී ගියාවේ. බුද්ධ ශාසනය දරා ගනින්’ කියා තම හිතටම අවවාද කර ගත්තා.

මහාපාල ස්වාමින් වහන්සේ තම සිරුරත් සමඟ ඔය කතාබහ කොට නිමවා වාඩි වෙලාම ඇස් බෙහෙත් දැම්මා. ස්වාමින් වහන්සේ ඇස් රෝගය එන්න එන්නම වැඩිවුණා. වස් කාලය අවසන් වන රාත්‍රියේ මහාපාල ස්වාමින් වහන්සේගේ ඇස් දෙක සදහටම අන්ධ වුණා. ඒ මොහොතේ ම සියලු කෙලෙසුන්ගෙන් සිත නිදහස් වුණා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. දෑස් අන්ධ වූ නිසාම උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ ‘චක්ඛුපාල ස්වාමින් වහන්සේ’ කියල යි. ඒ චක්ඛුපාල රහතන් වහන්සේගේ වීරියවන්ත වූ උපදෙස් ලබා අනෙක් හිමියන් සියලු දෙනාත් අරහත්වයට පත්වුණා.

තමන්ගේ සහෝදර ස්වාමින් වහන්සේගේ ඇස් අන්ධ වූ බව දැනගත් චූලපාලට උන්වහන්සේ සැවැත්නුවරට වඩම්මවාගෙන උපස්ථාන කිරීමට වුවමනා වුණා. තමන්ගේ ඤාති සහෝදරයෙක් ඒ ගමට පිටත් කරන්නට තීරණය කළා. ඉතා දිගු ගමනක් යා යුතුව තිබෙනවා. හොර හතුරන් ඉන්නවා. මේ සඳහා හොඳම දේ නම් ගිහි වශයෙන් නොව පැවිද්දෙක් වශයෙන් යන එකයි. ඉතින් මේ ගමන වෙනුවෙන් ඒ තරුණයා පැවිදි වුණා. ඒ ගමට වැඩම කළා. දෑස් අන්ධ වූ චක්ඛුපාල මහ රහතන් වහන්සේ වඩම්මවාගෙන සැවැත් නුවරට ඒම පිණිස පිටත්වුණා. වනාන්තර මැදින් පාළු ගම්මාන මැදින් යන මේ ගමනේදී භාවනාවෙහි නො යෙදෙන භික්ෂුවකගේ සිත නොයෙක් අරමුණුවල අතරමං වෙනවා. ඒ වනයේදී මිහිරි හඩින් ගී ගයමින් දර කඩන ස්ත්‍රියකගේ කටහඬට මේ නවක භික්ෂුව වසඟ වුණා. චක්ඛුපාල තෙරුන් ටිකකට නවතා ඒ ස්ත්‍රිය සිටින දෙසට ගමන් කළා.මේ භික්ෂුව ගමන් කරන්නේ සිල් බිඳෙන ගමනක් බව චක්ඛුපාල මහරහතන් වහන්සේට වැටහුණා. ඉතින් උතුම් බඹසර බිඳගෙන දුස්සීලයෙකු ලෙසින් පැමිණි ඔහුත් සමඟ එතැනින් එක පියවරක් හෝ ඉදිරියට වැඩම කරන්නට චක්ඛුපාල මහරහතන් වහන්සේ කැමැති වුණේ නැහැ. ඒ මොහොතේ දී පාපී භික්ෂුව අමතා උන්වහන්සේ මේ විදිහට ගාථාවක් වදාළා.

අනොධෝහං හතනේත්තෝස්මි- කන්තාරද්ධානපක්කන්තෝ
සයමානෝපි ගච්ඡිස්සං -න සභායේන පාපේනාති

ඇස් දෙක ම වැනසී ගිය නිසා මා දැන් අන්ධයි. ඉතා දුර කාන්තාර ගමනකට යි මේ ඇවිත් ඉන්නේ. මට යා ගන්නට නොහැකි නම් නිදා ගන්නවා. ඒ වුණත් ගතිගුණ නරක උදව්කාරයෙක් එක්ක නම් මම මේ ගමන යන්නේ නැහැ.ඉතින් අවසානයේ උන්වහන්සේ ගේ උතුම් ජීවිතය දැක සක් දෙවිඳු දේවානුභාවයෙන් චක්ඛුපාල මහරහතන් වහන්සේ සැවැත්නුවරට කැඳවාගෙන ආවා.දුර්ලභ මනුස්ස ජීවිතයක් ලද මොහොතක ඊටත් වඩා දුර්ලභව මුණ ගැසුණු උතුම් බුදු සසුනක අමා මහ නිවන ලබනු කැමැත්තෙන් නො පසුබසිනා වීරියෙන් ධර්මයේ හැසිරුණු ඒ රහතුන්ගේ උදාර ජීවිත අපට ආදර්ශයක්. අපත් ගුණයෙන් ප්‍රමාණ කළ නොහැකි වූ ඒ උතුම් රහතන් වහන්සේලා ගැන අපේ සිත පහදවා ගනිමු.


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 44 කුමාරකස්සප මහරහතන් වහන්සේ