UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 44 කුමාරකස්සප මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 44

කුමාරකස්සප මහරහතන් වහන්සේ

සංසාර ගමනේ සැරිසරා යන අයෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකිනි.ඒ මනුස්ස ජීවිතයට බුදු කෙනෙකුගේ දහමක් මුණ ගැසෙන්නේ ඊටත් වඩා කලාතුරකිනි. මේ දෙකම එකට එක්වූ කල එයට ක්ෂණ සම්පත්තිය යැයි කියනු ලැබේ. ඒ ක්ෂණ සම්පත්තිය ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක (ඛණා වෝ මා උපජ්ජගා) මේ ක්ෂණ සම්පත්තිය අත්හැර ගන්නට එපා. (ඛණතීතා සෝචන්ති නිරයම්හි සමප්පිතා) ක්ෂණය අහිමි වූ අය නිරයේ ඉපදිලා බොහෝ සෙයින් ශෝක කරනවා. නමුත් ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. වරින්වර ක්ෂණ සම්පත්තිය මුණගැසී අවසානයේ ගෞතම බුදු සසුනේ මුණගැසුනු ක්ෂණ සම්පත්තියෙන් ඵල නෙලා ගත් කුමාරකස්සප නම් උතුම් රහතන් වහන්සේගේ ජීවිතය ගැන අද අප ඉගෙන ගන්නේ.

මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන දෙව් මිනිස්් ලෝකයෙන් බැබලුණා. එකල ත්‍රිවේධ පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් වාසය කළා. දිවා විහරණයෙන් පසු වීදියේ ඇවිදිමින් සිටි මේ බ්‍රාහ්මණයාට ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් වැඩ සිටින ශ්‍රාවක ගණයා පිරිවැරූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. ඒ දැක්මෙන්ම සිත පහන් වී ගිය මේ බ්‍රාහ්මණයා දහම් අසනු පිරියෙන් පසෙකින් වාඩිවුණා. දහම් දෙසීමෙන් අනතුරුව ලෝකනාථයන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිස අතරින් එක් භික්ෂුවක් විචිත්‍ර ධර්ම කථිකයන් අතුරින් අග්‍රස්ථානයට පත්කොට වදාළා. ධර්ම ශ්‍රවණයෙන් හටගත් පී‍්‍රති සිත් ඇති බ්‍රාහ්මණයාට මේ සිදුවීම හොඳින්ම හිතට වැදුණා. ඔහුගේ සිතේත් අනාගත බුදු සසුනක විචිත්‍ර ධර්ම කථිකයන් අතුරින් අග්‍රස්ථානයට පත්වීමේ කැමැත්තක් ඇතිවුණා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සහ ශ්‍රාවක සංඝරත්නයට දන් පැන් පුදමින් සිල් ගුණදහම් ආරක්ෂා කරමින් ඔහු බොහෝ පින් රැස් කළා. මරණින් පසු සැප බහුල දෙව්ලොව උපත ලැබුවා. බොහෝ කාලයක් ගෙවී ගොස් මේ මහා භද්‍ර කල්පය උදාවුණා. මිනිසුන්ගේ ආයුස අවුරුදු විදිහසක් වූ සමයේ කාශ්‍යප අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුසසුන ලොව බැබලුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් බුදු සසුන පිරිහෙන්නට වුණා. එකල දෙව් ලොවින් චුත වී මනු ලොව උපත ලැබූ හෙතෙම් කාශ්‍යප බුදු සසුනේ පැවිදිව තවත් සහෝදර භික්ෂූන් හය නමක් සමඟින් මෙසේ කතිකා කර ගත්තා. ‘ඇවැත්නි, අපගේ කාශ්‍යප බුදුරජුන්ගේ උතුම් බුදු සසුන ලෝකයෙන් වැකී යන්නට මත්තෙන් අපිටත් වෙර වීරිය වඩා මේ ලද ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන අරගන්නට ඕන. ඒ භික්ෂූන් හය දෙනාම විශාල ගල් පර්වතයක් මතට නැගී දන් පැන් වැළදීම පවා පසෙක ලා වෙර වීරිය වැඩුව ද, මේ ස්වාමින් වහන්සේට මාර්ගඵල නො ලබාම මිය යන්නට සිදුවුණා. නමුත් පිරූ සිල් ගුණදම් බලයෙන් දෙව් ලොව උපත ලැබුවා. යලිත් ඔහුට ගෞතම නම් බුදුරජුන්ගේ ශාසනය මුණ ගැසුණු අයුරු පුදුම සහගතයි.

ඒ මේ මහා භද්‍ර කල්පයේ ම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ යුගය යි. දෙව් මිනිස් ලෝකය ඒකාලෝක කරන මහත් වූ ආලෝකයක් බඳු වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගය යි. එකල රජගහනුවර ඉතාමත්ම ශ්‍රද්ධා සම්පන්න සිටු දියණියක් වාසය කළා. ඇය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වීමට බොහෝ සෙයින් ආසා කළා. මව්පියන්ගෙන් කොතෙකුත් අවසර ඉල්ලුවද ඒ අය තදින්ම විරුද්ධ වුණා. අවසානයේ දෙමව්පියන් විසින් ඇයට එක්තරා සිටු තරුණයෙකුට විවාහ කර දුන්නා. විවාහ වුණත් ඇය කැමැති වුණේ පැවිදි ජීවිතයට යි. නමුත් අඹුසැමියන් ලෙසින් ජීවත්වෙද්දී ඇගේ කුසේ දරු ගැබක් පිහිටියා. පදුමුත්තර බුදු සසුනේ පටන් පින්දහම් පිරූ මහා පින්වන්තයෙක් තම කුසේ පිළිසිඳ ගත් බව ඈ දැන සිටියේ නැහැ. තම කාරුණික සැමියාගේ පැවිද්ද පිණිස අවසර ලැබූ ඇය නොබෝ කලකින්ම ගෞතම බුදු සසුනේ භික්ෂුණී සංඝයා අතරේ උතුම් පැවිදි බව ලැබුවා.

පැවිදි වී ටික කලක් ගත වෙද්දී ඒ ගැබ මෝරන්නට වුණා. මේ බව දැනගත් අනෙක් භික්ෂුණින් ඇයට දේවදත්තයන් ළඟට කැඳවාගෙන ගියා. කිසිදු කරුණක් නො විමසා දේවදත්තයන් ‘මේ පාපී භික්ෂුණිය දැන්මම සිවුරු හරවා ගෙදර යැවිය යුතුය’ දොස් පැවසුවා. හොඳටම අසරණ වුණ ඒ භික්ෂුණිය භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් හඬ හඬා බුදුරජාණන් වහන්සේට සියළු කරුණු නො සඟවා පැවසුවා. භාග්‍යවතුන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ කැඳවා මේ භික්ෂුණියගේ කුසේ කලලය පිහිටියේ පැවිදි වීමට පෙරදැයි සොයා බැලීමට යොමු කළා. ඉතින් උපාලි මහ රහතන් වහන්සේ කොසෙල් රජුගේ රාජකීය වෛද්‍යවරියන් සහ විශාඛා මහෝපාසිකාව ලවා මේ භික්ෂුණිය පරීක්ෂා කෙරෙව්වා. අවසානයේ ඇය නිර්දෝෂි බව භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයාටම දැන ගැනීමට සලස්වා ඒ අර්බුදය සංසිඳවුවා.

පසුකලක ඒ භික්ෂුණිය මෙහෙණි ආරාමයේදීම මහ පින්වන්ත පුත් කුමාරයෙක් බිහි කළා. කුඩා කල පටන් කොසොල් රජුගේ පුතෙකු ලෙසින් ඒ කුමාරයා හැදී වැඩුණා. ඔහු කාශ්‍යප නමින් හැඳින්වූවා. හත් අවුරුදු වියේදී ගෞතම බුදු සසුනේ සිඟිති ස්වාමින් වහන්සේ නමක් ලෙසින් පැවිදි වුණා. රජමැදුරේ රජ කුමාරයෙකු ලෙස හැඳී වැඩුණු නිසා මේ ස්වාමින් වහන්සේට කුමාර කස්සප නමින් අනෙක් ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කළා. මේ කුමාර කස්සප හිමියන් ඉතාමත් මැනැවින් වත් පිළිවෙත් ඉටු කරමින් ධර්ම විනය හොඳින් ඉගෙන ගනිමින් වැඩ වාසය කළා.

ඒ වෙනකොට කුමාර කස්සප හිමියන්ගේ වයස අවුරුදු දොළහයි. අන්ධ වනයේ කුටියකයි උන්වහන්සේ වැඩ වාසය කළේ කාශ්‍යප බුදු සසුන පවතින සමයේ එකට වෙර වීරිය වැඩු භික්ෂූන් අතරින් එක නමක් අනාගාමි ඵලයන්ට පත්වී බඹලොව ඉපදී සිටියා. ඒ බ්‍රහ්ම රාජයා තමන්ගේ අතීත මිත්‍රයා වූ කාªමාරකස්සප හිමියන් දුටුවා. එදා රාත්‍රියේ අන්ධ වනය ඒකාලෝක කරගෙන උන්වහන්සේ ළඟට පැමිණි ඒ බ්‍රහ්ම රාජයා කුමාර කස්සපයන් වහන්සේගෙන් ප්‍රශ්න පහලොවක් විමසා සිටියි. ඒ ප්‍රශ්නවලට පිළිතුªරු සොයා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිය කුමාරකස්ප හිමියන් අරභයා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ‘වම්මක සූත්‍ර දේශනාව‘ (මජ්ක්‍ධිම නිකාය 1) දේශනා කොට වදාළා. දේශනාව අවසානයේ දොලොස් හැවිරිදි කුමාර කස්සපයන් වහන්සේ සියලු කෙලෙස් දුරු කොට උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළා.

දිනක් කුමාරකස්සප මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිමින් සිටියා. උන්වහන්සේ මෑණියන් වූ භික්ෂුණිය උපන් දා පටන් තම පුතණුවන් නො දැක දුක සේ තමා සිටියේ. එදා කුමාරකස්සප මහ රහතන් වහන්සේ දකිද්දී ඇයට වාව ගන්නට බැරුව ගියා. දරු සෙනෙහස නිසා මව්කිරි ගලා ආවා. ‘අනේ මගේ පුතේ’ කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමින් වහන්සේගේ අතින් අල්ලා ගත්තා. ඇය දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් බව. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හට ගත්තා. මව් භික්ෂුණියට සිහිය උපද්දවන අදහසින් අත ගසා දැම්මා. ‘මොකක්ද මේ හැසිරෙන විදිහ? තාමත් බැරි වුණාද ඔය විකාර දරු සෙනෙහෙ නැතිකර ගන්න?’ ඒ වචන යෙන්ම මව් භික්ෂුණියගේ දරු සෙනෙහස සිඳී ගියා. ඇය සිත දැඩිකර ගත්තා. මට තියෙන්නේ මගේ පිහිට විතරමයි කියා හිතට ගත්තා. ඒ හේතුවෙන්ම වීරිය වඩා නොබෝ කලකින්ම රහත් භික්ෂුණින් වහන්සේ නමක් බවට පත්වුණා. මේ ආකාරයට තමන් මෙලොවට බිහි කළ. මෑණියන්ටත් සිහිය උපද්දවා සසර දුකින් එතෙර කරවන්නට කුමාර කස්සප මහරහතන් වහන්සේ සමත් වුණා.

එකල ‘පායාසී’ නම් මිත්‍යාදෘෂ්ටික මත දැරූ රජෙක් වාසය කළා. ඔහුගේ මිසදුටු අදහස් දුරු කිරීීමට හැකි වුණේ කුමාර කස්සප රහතන් වහන්සේටම යි. ඒ පායාසී රජු සමඟ ඇති වූ සංවාදය දීඝ නිකායේ පායාසි සූත්‍රයේ සඳහන් වෙනවා. මේ අයුරින් කුමාර කස්සප මහරහතන් වහන්සේගේ විචිත්‍ර වූ කථිකත්වය ගැන සිව්වනක් පිරිස අතරේ ම පැතිරි ගියා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ විසින් පින්වත් මහණෙනි, මේ පින්වත් කුමාර කස්සපයන් වනාහී මාගේ ශ්‍රාවක වූ විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් අතරින් අග්‍රභාවයට පත්වෙනවා’ යැයි අග තනතුරට පත්කොට වදාළා.

ඒ අති උතුම් කුමාර කස්සප මහරහතන් වහන්සේ විසින් තමා මේ උතුම් ගාථාවන් ප්‍රකාශ කොට වදාළේ’

අහෝ බුද්ධා! අහෝ ධම්මා! අහෝ නෝ සත්ථු සම්පදා!
යත්ථ ඒතාදිසං ධම්මං සාවකෝ සච්ජිකාහීති

ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්ය යි! මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්ය යී! ශාස්තෘ සම්පත්තිය (ශාස්තෘන් වහන්සේ නමක් මුණ ගැසීම) ආශ්චර්ය යි! එනිසාමයි ශ්‍රාවකයන්ට මේ ආශ්චර්යවත් ධර්මය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන්නේ.

අසංඛෙය්‍යෙසු කප්පේසු සක්කායධිගතා අහු
තේසමයං පච්ජිමතෝ චරිමෝයං සමුස්සයෝ
ජාතිමරණ සංසාරෝ නත්ථිදානි පුනබ්භවෝ

මේ පංච උපාදානස්කන්ධ ජීවිතයට අසංඛ්‍යෙය කල්ප ගණනක් තිස්සේ ම මට ලැබුණ එකක්. ඒ ජීවිත අතරින් මේ ජීවිතේ විතරයි අවසාන ජීවිතය වුණේ. මේක මගේ අන්තිම සිරුර. ඉපදෙන මැරෙන සංසාරය හැදෙන පුනර්භවයක් නම් මට ආයෙමත් නැහැ.

බුදු සසුනත් මිනිසත් බවත් එකට මුණ ගැසීම කෙතරම් වාසනාවක් ද? නමුත් කුමාරකස්සප මහරහතන් වහන්සේගේ අතීත ජීවිතය දෙස බලද්දී පදුමුත්තර බුදු සසුනත්, මිනිසත් බවත් එකට මුණ ගැසුණා. එනමුත් ඒ බුදු සසුනේ ස්ථිරසාර පිළිසරණක් ලබා ගන්නට බැරිවුණා. යළිත් බුදු සසුනත්, මිනිසත් බවත් එකට මුණ ගැසෙන්නට කල්ප ලක්ෂයක් ගතවුණා. කෙසේ නමුත් උන්වහන්සේ ඒ ලද හැම බුදු සසුනකමදීම මනාකොට ජීවිතයට පින්දහම් රැස්කර ගන්නට වාසනාවන්ත වුණා. ඒ නිසාමයි ගෞතම බුදු සසුනේ ලද ක්ෂණ සම්පත්තිය උන්වහන්සේගේ ජීවිතය පරිපූර්ණ වශයෙන් සැපවත් කර ගැනීම පිණිස හේතු වුණේ. ඒ නිසා අපටත් ඒ දුර්ලභ බුදු සසුනත්, ඒ දුර්ලභ මිනිස් බවත් මුණගැසී තිබෙනවා. මේ ක්ෂණ සම්පත්තිය කොයි මොහොතේ අහිමි වේවි දැයි අප දන්නේ නැහැ. ඒ නිසා අප නො පමාව පින් දහම්, කුසල් දහම් රැස් කරමින් ඒ ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජන ලැබීමට අප කාටත් වාසනාව උදාවේවා!


පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු - 43 චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk