Print this Article


තථාගතයන්වහන්සේ

තථාගතයන්වහන්සේ

තුන් ලෝක ධාතුවම මහා කරුණාවෙන් තෙමා වදාළ වූ ලොව්තුරා බුදුන්වහන්සේ තරම් උතුම් රත්නයක් ලොව නැත්තේ ය. ඒ අසීමිත දස බලධාරී උත්තමයන් වහන්සේගේ ලොව පහළවීම අසිරිමත් මංගල්‍යයකි. සමස්ත ලෝකයාට මහත් වූ ශාන්තියකි.

තුසිත දෙව්ලොවින් නික්ම මනා සිහිනුවණින් යුතුව මව්කුස පිළිසඳ ගැනීම සිදුවිය. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බඹුණත් සහිත සත්ත්ව ප්‍රජාවෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම වූ අප්‍රමාණ එළියක් ලොව පහළ විය. යටින් පිහිටත් නැති ඇස් අඳුරු කරන මහත් ගනඳුරු ඇති යම් වූ ලෝ ඇඳිරි නිරයෙක් ඇත්ද? මේසා මහත් තෙද ඇති හිරු සඳු දෙදෙනාගේ එළියෙන් අඳුර දුරැලන්නට නොහැකි වූ දෙවියන්ගේ එළිය ඉක්මැ වූ අපමණ එළියෙන් පහළ වෙයි. එහි යම්කිසි සත්ත්වයෝ උපන්නේද, මෙම එළියෙන් භවත්නි, මෙහි උපන් තවත් සත්වයෝ ඇතැයි ඔවුනොවුන් හඳුනා ගනිත්. දස දහස් ලෝක ධාතුව සැලෙයි. හාත් පසින් සැලෙයි. වෙසෙසින් සැලෙයි. එතර මේ මහත් ආලෝකයක් ඇතිවෙයි. සම්බුදු උපතේ බලමහිමය, මහානුභාවය මෙම කාරණයෙන්ම වැටහෙයි.

දසමසක් දින ඇවෑමෙන් උපන් නොබෝවේලෙහි දෙවියන් සේසත් දරනු ලබත් ම සමපියෙන් පොළොවේ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් ඉදිරියටයෙත්. හැම දිසා බලා අභීත සීහ නාදය කරත්, එහි ගම්භීරත්වය මහත් තෙද බල ඇත්තේ වෙයි. සිහිපත් කිරීම මහත් සැනසිල්ලක් ගෙන දෙයි.

“අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨො හමස්මි ලෝකස්ස
සෙට්ටෝ හමස්මි ලෝකස්ස
අය මන්ති මා ජාති නත්ථි දාන පුනබ්භවොති”

මම ලොවට අග්‍රවෙමි, මම ලොවට දෙටුවෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ජාතියයි. මෙලෙස සියලු යසඉසුරින් වැඩී සිප්සතර කෙළවර කොට සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතයේ යථාර්ථය මැනවින් තේරුම්ගෙන දුකින් මිදීමේ මාවත සොයා යන්නේ ය. පංචකාමයන්ගේ ආශ්වාදය, ආදීනවය, නිස්සරණය නුවණින් විමසා ගිහිගෙයි අත්හැර වන ගත වීම සිදුවන්නේ ය. මෙය මහා බෝසතාණන්වහන්සේලාගේ බලවත් වීර්යය පාරමිතාවය වේ. මහාඋත්තමයන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ සංකල්පනාව වේ.

අන්ත දෙක පිළිබඳ ආර්ය පර්යේෂණයක් කොට අත්හැර නිවැරදි මාවතට ප්‍රවේශව (මැදුම්මාවත) ත්‍රිවිද්‍යා ලැබ සම්මා සම්බෝධියට පැමිණෙන්නේ ය. බුදු පදවිය ලබනු පිණිස නේරංඤජරා ගංතෙර ඇසතු බෝධි මුලයෙහි වැඩ හිඳ දසමරුන් පරදවා සවිකෙලෙස් නසා වෙසක් පුන්පොහෝදින අරුණ නැඟ එන මොහොතේ, පෙර සම්මා සම්බුදුපියාණන් වහන්සේලා පවත්වන සිරිත දැක පී‍්‍රති උදානය කරන ලද්දේ ය.

“අනේක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං
ගහ කාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්ප්‍රනං
ගහකාරක දිට්ඨෝසී
පුන ගේහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛ්තං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගාතිතී”

සංසාරය නමැති දුක් සසරට වැටී නැවත නැවත ගෙය සදන වඩුවා සොයා ගැනීමට නොහැකිව සසර ඇවිදින ලදී. සියලු මාර බැඳි සිඳ තණ්හාව නමැති ගෘහය සිඳ මරුවා පරාජය කළහ. නැවත සසරට නොවැටෙන සේ මාගේ සිත විසංඛාර බවට පත් වූහ.

“පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි”

“පෙර නො ඇසූ විරූ ධර්මයන් නිමිතිකොටගෙන දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. කෙලෙස් සිඳ දමන විදුණැන පහළ විය. මොහොඳුර නසන ආලෝකය පහළ විය, දස සහශ්‍රී ලෝක ධාතු කම්පිත විය. හාත්පසින් කම්පිත විය.

මහණෙනි, සතර ආර්යය සත්‍යයන් අනුබෝධ නොකළ හෙයින්, ප්‍රතිවේධ නොකළහෙයින්, මාගේද, තොපගේද මෙසේ දික් කලක් සසර දීර්ඝ විය. අනේක විධ දුක් ගැහැට වින්දේය. සසර ම හැසිර විය.

මහණෙනි, ඒ දුක්ඛ ආර්ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ සමුදයාර්ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදී. දුක්ඛනිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදී. භව තෘෂ්ණාව මුල් සිඳින ලදී. භව තෘෂ්ණා රැහැන ක්ෂිණ විය. දැන් යළි භවෝත්පත්තියක් නැත.

මහණෙනි, ඒ ආර්යය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධය, ප්‍රතිවිද්ධය, ඒ ආර්යය සමාධිය මා විසින් තොප විසින් ද අනුබුද්ධය, ප්‍රතිවිද්ධය, ආර්ය ප්‍රඥාව මා විසින් තොප විසින් ද, අනුබුද්ධය, ප්‍රතිවිද්ධය. භව තෘෂ්ණාව සිඳුනා ලදී. භවනෙත්තිය කෂිණ විය. දැන් පුනර්භවයෙක් නැතැයි වදාළහ.

ලොව්තුරු ශීලයද, ලොව්තුරු සමාධිය ද, ලොව්තුරු ප්‍රඥාවද ලොව්තුරු විමුක්තිය ද යන දහම්හු මා විසින් අනුබෝධ කරන ලදහ.

අනඳයෙනි, මම දැන් පිරිණියෙමි. මහලුයෙමි. පැසීම වියට පැමිණියෙමි. මා දැන් අසූවෙක් වෙයි. දිරූ ගැලක් විවිධ බන්ධනයේ පිළිසකර කොට යැපෙන්නේ ද, තථාගතයන් වහන්සේ කය රහත්ඵල සමවත් නමැති පිළිසකරින් යැපෙන්නේ, ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ රූපාදී නිමිති නොමෙනෙහි කිරීමෙන් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත විමුක්තියට පැමිණ වෙසේ. එසමයෙහි තථාගතයන් වහන්සේගේ කය අතිශයින් පහසු ඇතියෙන් වෙයි. එහෙයින් තෙපි තමන් පිහිට කොටගෙන තමන් සරණ කොටගෙන, බාහිර සරණක් නැත්තෝ වසවූ, කෙසේ ද එසේ වාසය කරන්නේ ද සතර සතිපට්ඨානයෝ මනා සිහිනුවණින් යුතුව වැඩිමෙන් ය. සියලු කෙලෙස් සිඳ අග්‍ර තත්ත්වයට පත්වන්නාහ.

පන්සාළිස් වසක් ලෝකයට පතළ කරුණාවෙන් අනුශාසනා සිදුකර ආයු සංස්කාර හැරලීමට චාපාල චෛත්‍යය වෙත වැඩම කරන ලදී. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන බව ප්‍රකාශ කරන කල්හි ද මරහු විසින් මඬනා සිතැතිව අනඳ තෙරුණුවන්ට දැනගන්නට නොහැකිවිය. සුගතයන් වහන්ස, කල්පයක් හෝ කල්පාවශේෂයක් සියලු සත්ත්වයාට හිතසුව පිණිස වැඩම කරන සේක්වායි නොයැදූහ. (සියයක් හෝ එකසිය විස්සක් යන අදහසයි)

විවිධ අවස්ථාවන්හි මරුගේ ඉල්ලීම්ද ප්‍රතික්ෂේප කරන ලදී. සිව්වනක් පිරිසම විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධම්මානුධම්ම ප්‍රතිපන්න වූ සාමිචී ප්‍රතිපන්න වූ, අනුධර්මචාරි ව නෛය¸ාණික කොට දහම් නොදෙසන තාක් තථාගතයන් වහන්සේ පිරිනිවන් නොපාන්නෙමි යි වදාරණ ලදී. අවසානයේ දී සිව්වනක් පිරිස්ම ශාසන බ්‍රහ්මචර්යය සමෘද්ධිමත්වීමෙන්, වෘද්ධිප්‍රාප්ත වීමෙන්, වහන්ස, දැන් භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන්නටකල් යැයි ප්‍රකාශ කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයාට, ඔබ මන්දොත්සාහිව අපහසු නොවම්, තථාගතයන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් පිරිනිවන් පෑවයි වදාළ සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහිදී මනා සිහිනුවණට ඇතිසේක්, මහා නුවණින් දත්තා සේක්, ආයු සංස්කාරය හළ සේක. එවිට, ලොමු දහගන්වන මහත් භූමිකම්පාවක් විය. එකල්හි ආනන්ද තෙරණුවෝ භවත්නි, අද්භූතය, මේ භූචලනය අතිමහත්ය. තථාගතයන් වහන්සේ වෙත පැමිණි හේතු ප්‍රත්‍යය කවරැදැයි විමසන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ආනන්දයෙනි, භූමි කම්පනය වන හේතු අටකි. ප්‍රත්‍යය අටකි. කවරේද?

1. මහපොළොව දිය ආධාර කොට පිහිටියේ වෙයි. දිය වාතය ආධාර කොට පිහිටියේ වෙයි. වාතය අහසෙහි පිහිටියේ වෙයි. මහාවාතයේ හමන්නාහු දියසෙළෙවෙත්, දිය සෙලැවුණේ පොළොව එසේ වූ කාලය වෙයි. මේ පළමු හේතුව ප්‍රත්‍යයද වේ.

2. සෘද්ධිමත් චික්තවශිකලත්, මහණෙක් හෝ බමුණෙක් වෙයි ද ? මහානුභාව ඇති දෙවිකෙනෙක් වේද, ඔහු විසින් පෘථිවි සංඥාව (පඨවි) මදලෙස වඩන ලද්දේ, ආපෝසංඥාව අප්‍රමාණකොට වඩන ලද්දේ වේද, හෙතෙම මේ පොළොව සොලොවයි. මේ දෙවන හේතු ප්‍රත්‍යය කරුණු වෙයි.

3. බෝසත් තෙම තුසිත දෙව්ලොවින් සැව, සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවුකුස, දී, පොළව සැලෙයි. වඩ වඩාත් සැලෙයි. මෙය තෙවන කරුණ වෙයි.

4. මව්කුසින් සිහි නුවණ ඇතිව බිහිවේද, සතරවන කාරණාව වෙයි.

5. තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යයක් සම්බෝධියට පත්වේද එකල්හී පොළොව සැලෙයි. වෙවුලයි. මහද්කම්පාවට පත්වෙයි. එය පස්වන කරුණවෙයි.

6. යම් කලෙක තථාගතයන් වහන්සේ තිරුත්තර දම්සක් සුතුර පවත්වාද එකල්හි පොළොව සැලෙයි. වඩාත් සැලෙයි.

7. මනා සිහිනුවණින් යුතුව ආයු සංස්කාරය හරීද, පොළොව හාත්පසින් සැලෙයි. කම්පනය වෙයි. මෙය හත්වන කරුණයි.

8. ආනන්දයෙනි යම් කලෙක තථාගතයන්වහන්සේ අනුපාදිසේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙයිද එකල පොළොව සැලෙයි වඩාත් සැලෙයි. මහද් භූමිකම්පනය වෙයි.

මේ කරුණු තුළින් ඒ අසීමිත ගුණ සාගරයක් වූ, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ජරා මරණය කරා පමුණුවන කෙලෙස් වගා නොකරගෙන, සසර බිය තේරුම් ගෙන ඇස ආදි ඉඳුරන් කෙරෙහි කළකිරීම ප්‍රකට කොට ගෙන, විරාගය තුළින් නිරෝධය දැකීමට සමථ විදර්ශනාවෙන් සිත වඩන්නට උත්සාහවත් වන්න.

යෙසං සම්බෝධි අංගේසු - සම්මා චිත්තං සුභාවිතං
ආදාන පටිනිස්ස ගේ – අනුපාදාය යෙ රතා
ඛීණාසවා ජුකින්තෝ - තෙ ලොකෙ පරිනිබ්බුතාති,

“මනා සිහිනුවණින් යුතුව (අප්‍රමාදව) සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා මම මාගේ යයි දැඩි කොට නොගෙන නිවනෙහි සිත් ඇලුනේ ද, නැණ තෙදින් බැබළෙන ඒ නිකලෙස් උතුමෝ ලොව පිරිනිවීයාහු වෙත්.”