Print this Article


විශ්වාසයේ පදනම ඇරැඹිය යුත්තේ නිවසින්

ඕනෑම සමාජයක ස්ථාවරත්වය රඳා පවතින්නේ විශ්වාසය පදනම් කරගෙනය. බෞද්ධ දර්ශනය තුළ දෙආකාරයකින් විශ්වාසය ගැන කතා කරනු ලබනවා. ඉන් පළමුවැන්න ශ්‍රද්ධාවත් සමග අර්ථ දැක්වෙන විශ්වාසයයි. දෙවැන්න භක්තියත් සමඟ අර්ථ දැක්වෙන විශ්වාසයයි.

භක්තිය සමග ගොඩනැගෙන අර්ථ දැක්වෙන විශ්වාසය බුදුදහමින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය සැබෑ විශ්වාසයක් නොවන බවයි බුදු දහමේ දැක්වෙන්නේ. යථාර්ථය නිවැරැදි දේ නොදැක, නොදැන තබාගන්නා විශ්වාසය භක්තිය යනුවෙන් හදුන්වා දීමට පුළුවන්. එය අන්ධ පුද්ගලයාට කිරි හඳුන්වා දුන්නා සේ යන උදාහරණයෙන් හඳුන්වා දීමට පුළුවන්. පාරේ ගමන් කරමින් සිටි උපතින්ම අන්ධ පුද්ගලයකුට දන්නා අඳුනන අයකු හමුවුණා.

‘ඔබ කොහෙද යන්නෙ?’’මම නෑ ගමනක් යනවා’ ‘එසේනම් මොනවා හෝ රැගෙන යනවා. ඇති’

‘ඔව් මම මුදවපු කිරි රැගෙන යනවා’

‘මුදවපු කිරි මොන වගේද?’ ‘මුදවපු කිරි සුදුපාටයි?’ .සුදුපාට මෙන්න වගේද?’ ‘කොකාගෙ පාටනෙ’ ‘කොකා මොන වගේද?’’කොකා මෙන්න මේ වගේ’ කියූ මගියා කිරි හට්ටිය බිම තබා තම දෙඅත් වැලමිටි අත්ල සමීපයෙන් නවා පෙන්නුවා. අන්ධ පුද්ගලයා අත ගා බලා ‘කිරි කන එකත් මහ අමාරැ වැඩක් හැම තැනම වංගු තියෙනවා යනුවෙන් පැවසුවා.

භක්තියත් මේ හා සමානයි. නිසි පරිදි යථාර්ථය වටහා නොගෙන ඇති කර ගන්නා විශ්වාසය එය බව අපට වටහා ගන්න පු‍්‍රළුවන්. ශ්‍රද්ධාව, භක්තියට වඩා හාත්පසින්ම, වෙනස්. ශ්‍රද්ධාව යනු ඇත්ත ඇති සැටියෙන්ම දැනගෙන තබා ගන්නා වූ, ඇතිකරගන්නා වූ විශ්වාසයයි.

චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේදී වනයේ සිටින විශාලතම හස්තියා කවුරුන්දැයි නිවැරැදිව දැන ගන්නා සේ එම ඇත් අඩියට සෙසු සියලුම සතුන්ගේ පාද අඩි ඇතුළු කළ හැක්කාසේ චතුරාර්ය සත්‍යයට ලොව සියලුම සත්‍යය ඇතුළු කළ හැකිවනවා. එසේ නොමැතිව අන්ධයන් අලියාගේ හැඩරුවද කීවාක් මෙන් අඳුරේ අතපත ගෑමෙන් සත්‍යය වටහා ගන්නට බැහැ.

අප බොහෝ විට යම් අයකු කෙරෙහි විශ්වාසය තබාගන්නේ ඔහු හරිහැටි හඳුනාගෙන නොවේ. ඔහු විශ්වාසයක් තබාගෙන යැයි සිතා සිටියත් එතැන ඇත්තේ භක්තියක් පමණයි. භක්තිය සහ සැබෑ විශ්වාසය අතර වෙනස වටහා නොගැනීම නිසයි සෑම විටම ගැටලු හටගෙන තිබෙන්නේ. නොදැකපු නොදන්නා දෙවියකු ඉදිරියේ හඬාවැටීම විළාප තැබීම වරප්‍රසාද ඉල්ලීම තමා කෙරෙහි පවා නිසි විශ්වාසයක් නොමැතිකම නිසා හටගත් මතවාදයක්..

බුදුරජාණන් වහන්සේ එය සමාන කෙළේ නගරයක උසින් වැඩිම ගොඩනැගිල්ලකට නැගීමට ඉණිමගක් තනන පුද්ගලයකුටයි.

ඔහු එම ගොඩනැගිල්ලේ උස හෝ එය තිබෙන ස්ථානය හෝ දන්නේ නැහැ.

එසේ නොදන්නා ගොඩනැගිල්ලකට නැගීමටයි. ඔහු ඉණිමගක් තනන්නේ. මෙය සැබෑ විශ්වාසයක් නොවෙයි.

ගෘහ ජීවිතයේ සියලුම ගැටලු උදෙසා අප විශ්වාසයේ පදනම්ව කටයුතු කළයුත්තේ එම නිසයි. ඇත්ත ඇති සැටියෙන් නිවැරදිව දැකීමයි. එයින් අදහස් කරන්නේ ඔබ විවාහ වන සහකරු හෝ සහකාරිය තෝරා ගත්තේ කෙසේද? ඇතැම් විට ඇය ඔබ සේවය කරන කාර්යාලයේ සේවය කරන නිසා. නැත්නම් යහළුවකුගේ යෙහෙළියකගේ මිතුරකු මිතුරියක නිසා. විනෝද ගමනකදී, උත්සවයකදී හමු වූ නිසා. විශ්ව විද්‍යාලයකදී හමු වූ නිසා. ඒ විශ්වාසය ඔබ විසින් ඇතිකරගෙන ඔබ විසින්ම තහවුරු කරගත් විශ්වාසයකි.

විශ්වාසය පළුදු වූ විට ඔබ පවසන්නේ. “මේ තැනැත්තා කාල බලල අඳුරගන්නද’ කියලා. කිසිවකු එසේ අඳුනාගැනීමට හැකියාවක් නැහැ. විශ්වාසයක් තබන්නට බැහැ.

නමුත් අප යම් දෙයක් කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ දහමට අනුවයි. බුදු දහමේ දැක්වෙන්නේ විශ්වාසය ශූන්‍යයෙන් සිට (බින්දුවෙන්) ආරම්භ කරන ලෙසයි. නමුත් අද සිදුවන්නේ විශ්වාසය උපරිමයෙන් අන් අය ඇසුරු කරනවා. උපරිමයෙන් කටයුතු කරනවා. කිවු පමණින් හෝ යෝජනාවකදී හෝ බාහිර රූපය රැකියාව ,ඇඳුම පැළඳුම ආදිය දෙස බලා උපරිම විශ්වාසයෙන් කටයුතු කරනවා. ආවාහ විවාහ දක්වා මේ තත්ත්වයන් වර්ධනය වනවා. අවසානයේදී සියයට සියයක් වූ විශ්වාසය වැඩිවනවාද? ආවාහ විවාහ වී මාස කිහිපයක් යන විට එය 90% ක් දක්වා අඩුවනවා. වසරක් දෙකක් පමණ යන විට එය අඩකටත් අඩුයි. අද සමාජයේ ගැටලු රැසකට මුල් වී තිබෙන්නේ. විශ්වාසය බින්දුවේ සිට ඇරැඹූ විට විශ්වාසවන්ත බව හෝ නැතිබව වටහා ගැනීම අසීරු නැහැ.

විශ්වාසයේ පදනම ඇරැඹිය යුත්තේ කොතැනින්ද ? එය නිවසින් ඇරැඹිය යුතුවනවා. නිවසේ සිටින්නේ ඥාතීන් මේ ඥාතින් ඔබට විශ්වාසද? විශ්වාස කිරීමට ඔබ යොදා ගන්නා සාධකය, මාධ්‍යය කුමක්ද? බුද්ධ දේශනය මේ සඳහා මුල්කර ගත යුතුවනවා.

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං

ධම්ම පදයේ මෙම ගාථාවෙන් දැක්වෙන්නේ ‘පරම ඥාතියා විශ්වාසය’ බවයි. එනම් පරම ඥාතියා විය යුත්තේ විශ්වාසවන්තයායි. කොහොම විශ්වාසවන්තයාද? නිති පන්සිල් සුරකින පොහොය අටසිල් සුරකින තැනැත්තා හොඳම විශ්වාසවන්තයායි.

ඒ තැනැත්තා කෙරෙහි උපරිම විශ්වාසය රඳා පවත්වන්නට පුළුවන්. එබැවින් ඔබ සොයා බැලිය යුත්තේ රැකියාව කුලය හෝ රූපය ආදිය නොව පන්සිල් රකිනවාද යන්නයි.

බෞද්ධ සමාජයේ සෑමවිටම මුල්තන්හි ලා ගැනෙන්නේ පංචශීලයයි. උත්සවයකදී මෙන්ම උදෑසන පාසල් ඇරැඹීමේදී පවා පංචශීලය සමාදන්වීමෙන් වැඩ කටයුතු අරඹන්නේ ඒ නිසයි. පංචශීලය රකින, එහෙත් එකිනෙකා සමග උරණ වූ පුද්ගලයන් දෙදෙනකු එකම ස්ථානයක සිටියත් ඔවුන් දෙදෙනා තුළම අනෙක් තැනැත්තා කෙරෙහි විශාල විශ්වාසයක් තිබෙනවා.

පන්සිල් රකින තැනැත්තා කිසිවිට මා සතුදේ සොරකම් නොකරාවි, ඔහු, මාගේ ජීවිතයට කරදර නොකරන බව මම දනිමි. බොරුව , සුරාව ආදියට ඔහු තැනක් ලබාදී නොමැති බවත් මගේ අඹූ දරුවන්ට ඔහුගෙන් හානියක් නොවන බවත් මම දනිමි.

තමන්ගේ මිතුරකු නොවන අයකු වුවත් නිති පන්සිල් රකිනවානම් ඔහු විශ්වාස කළ හැකි බව මෙයින් ඉතා පැහැදිලි වනවා.

බුදුදහම පදනම් කරගෙන තිබෙන්නේ පංචශීලයයි. එසේම විශ්වාසවන්තයා සතුව දානය, පි‍්‍රයවචනය, සමානාත්මතාව හා අර්ථචර්යාව යන සංග්‍රහ වස්තුන් තිබෙනවා.

ඔබ අන්‍යතාවයන් වෙනුවෙන් අත්හරින (දානය දෙන) අයෙක් නම් වචනය තවත් අයකුට අපි‍්‍රය නොවේ නම් සියලු දෙනාටම එක සමාන සැලකිලිමත් වනවා නම් සැමට සෙත සලසන්නේ නම් ඔහු පංචශීලය මුල්තන්හිලා සලකන අයෙක් බව සිහි තබාගත යුතුවනවා.

තම පෙම්වතා හෝ පෙම්වතිය තමාට බොරු වදනකින් සංග්‍රහ කරන්නේනම් ඔබ වහාම ඒ සම්බන්ධව තේරුම් ගත යුතුවනවා. පි‍්‍රයවචනය නම් සත්‍යයම විය යුතු වනවා. තම පෙම්වතාට හෝ පෙම්වතියට සත්‍යය වසන් කරනවානම් ඔහු කෙරෙහි තැබිය හැකි විශ්වාසය කුමක්ද? එහෙත් අපේ සමාජයේ තරුණ තරුණියන් ඒ දෙස දකින්නේ වැරැදි දෘෂ්ටියකින්. ‘එයා මට හදා ගන්න පුළුවන්’ ‘මට විශ්වාසයි එයා මම කියන දේ අහනවා ‘ ඔබට තවත් අය එසේ හදා ගැනීමේ හැකියාවක් ඇත්නම් කළ යුත්තේ ඒ සඳහා උචිත වූ අංශයේ රැකියාවක් තෝරා ගැනීමයි. එසේ නොමැතිව පෙම්වතා හෝ පෙම්වතිය හදාගැනීමේ ක්‍රමය මත ඇසුරැ කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට බැහැ. එය මුලාවක් පමණයි. අවසානය බොහෝ විට තම දිවි එපා වන තරමට ඔහු, ඇය පත්වනවා.

තමන්ගෙන් පළිගන්නා තරමටම සමාජයේ විශ්වාසය නැතිවෙලා. විශ්වාසය ඇතිකර ගැනීමට හැකි තරම් ධර්මයට යොමු කළ යුතුවනවා. ධර්මය පමණක් නොව ආත්ම ශක්තිය ඇති කර ගත හැකි තත්වයක් ඔහු ඇය තුළ තිබිය යුතුවනවා.

එමෙන්ම සියලු දෙනා ක්‍රීඩා සඳහා යොමු විය යුතුයි. අද අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රීඩා එක් කර ඇත්තේද එහෙයිනි. ක්‍රීඩා කරන විට තම ආත්ම ශක්තිය ගැන හැඟීමක් ඇතිවනවා. එසේම විශ්වාසය තහවුරු කර ගැනීම පිණිස කතාකිරීම මෙන්ම ඇහුම්කන්දීමත් තිබිය යුතුවනවා.

එමෙන්ම ආවේගයක් ඇතිවූ පුද්ගලයෙක් සමඟ තර්ක කිරීමෙන් සිදුවන්නේ විශ්වාසය රැක ගැනීම නොව ගැටුම් ඇති වීමයි. මේ තත්ත්වය මැනවින් තේරුම් ගෙන සමාජයක දිවිගෙවන්නේ නම් ඒ සමාජයේ කිසිදිනක ගැටලු ගැටුම් වාර්තා වන්නේ නැහැ. අප උත්සාහ කළ යුතුවන්නේ එතැනට ගමන් කිරීමටයි.

සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර