Print this Article


සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න පුප්ඵගන්ධො පටිවාතමෙති
න චන්දනං තගරං මල්ලිකා වා
සතං ච ගන්ධො පටිවාතමෙති
සබ්බා දිසා සප්පුරිසො පවාති

චන්දනං තගරංවා ‘පී
උප්පලං අථ වස්සිකී
එතෙසං ගන්ධ ජාතානං
සීල ගන්ධො අනුත්තරො

සැදැහැවත්නි,

ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථාවන් ධම්මපදයේ පුෂ්ඵ වග්ගයට අයත්වේ. ඒවායෙහි සිංහල අර්ථ මෙසේය.

මල් සුවඳ ද සඳුන් තුවරලා ඉද්ද මල් යන මේවායෙහි සුවඳ ද උඩු සුළඟට නොයයි. සද්පුරුෂයන් ගේ සීලාදී ගුණ සුගන්ධය වු කලි උඩු සුළඟට ද යයි. සද්පුරුෂ තෙමේ ගුණ සුවඳින් හැම දිසාවන් පුරා ප්‍රකට වෙයි.

සඳුන් සුවඳ ද තුවරලා සුවඳ ද මහනෙල් සුවඳ ද දෑසමන් සුවඳ ද යන මෙකී හැම සුවඳ සමූහයකට වඩා සිල් සුවඳ උතුම්ය.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවන් දේශනා කළේ ආනන්ද තෙරුන් වහන්සේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි. දිනක් බුදුරජාණන් වහන්සේ මූලගන්ධ හෙවත් මුල්වල සුවඳ ,සාරගන්ධ හෙවත් සඳුන් ආදී අරටුවල සුවඳ හා පුප්ඵගන්ධ හෙවත් මල්වල සුවඳ යැයි උතුම්සුවඳ වර්ග තුනක් ගැන දේශනා කළහ.

එකී සුවඳ වර්ග සියල්ලක්ම අනුවාතයට හෙවත් සුළඟ හමන අතට යයි. පටිවාතයට හෙවත් උඩු සුළඟට නොයයි. මෙම සුවඳ වර්ග අතර උඩු සුළඟට යන සුවඳකුත් ඇද්දැයි ආනන්ද තෙරණුවෝ පසු අවස්ථාවක කල්පනා කළහ. ඉක්බිතිව බුදුරදුන් වෙත මෙම ගැටළුව යොමු කළහ.

“ස්වාමීනි, සුවඳ වර්ග තුනක් ඇත. ඒ සෑම සුවඳක්ම සුළඟ හමන අතට යයි. උඩු සුළඟට නොයයි. උඩු සුළඟටත්, යටි සුළඟටත් එකසේ ගලා යන සුවඳකුත් ඇද්ද?” පසුව බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නය විසඳමින් අනුවාත හා පටිවාත යන දෙපැත්තටම එක සේ ගලා යන සුවඳක් ඇත. යම් ගමක, නියම් ගමක සිටින ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේද දහම් සරණ ගියේද, සඟුන් සරණ ගියේ ද ප්‍රාණඝාතයෙන් , සොරකමෙන් වැරදි කාමසේවනයෙන්, මුසාවාදයෙන්, හා රහමෙර පානයෙන් වැළකී සිටින්නේ ද, සිල්වත් යහපත් පිළිවෙතින් දුරු කළ මසුරු මල කෙලෙස් ඇති සිතින් ගිහි ගෙයි වසන්නේද පරිත්‍යාගය සඳහා මුදා හළ වස්තු සම්පත් ඇති, දීමෙන්, පිරිසුදු අත් ඇති, දන්දීමෙහි යෙදෙන යාචකයන්ට දන්දෙන, දාන සංවිධානයෙහි යෙදෙන පිළිවෙත්වලින් යුක්ත නම් ඔහු හෝ ඇය පිළිබඳව දිසා අනුදිසාවල සිටින ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ වර්ණනා කරති. දෙවිදේවතාවෝ ද ගුණ වර්ණනා කරති. මෙසේ ගුණ වැණුම් නමැති සුවඳ වර්ගය දිසා අනුදිසා සැම තැනෙකමත්,අනුවාතයෙහිත් පටිවාතයෙහිත්, අනුවාතපටිවාත, දෙකෙහිත් හමා යයි” යනුවෙන් වදාරා මෙම ගාථාවන් දේශනා කළහ.

තව්තිසා දිව්‍ය ලෝකයේ පරසතු ගස දිගින් හා පළලින් යොදුන් සියයකි. එහි මල්වල ප්‍රභාවය පනස් යොදුනක්ද, සුවඳ යොදුන් සියයක් ද පුරා පැතිරෙයි. එම සුවඳ වුවද ගමන් කරනුයේ සුළං හමන පැත්තටය. උඩු සුළඟට අඟල් භාගයක්වත් නොයයි. මේ අයුරින් මල් සුවඳ පටිවාතයට නොයයි. “චන්දනං යනු සඳුන් සුවඳයි. සුවඳින් අග්‍ර වු රත්සඳුන් වල ද, තුවරලා බෝලිද්ද යන මල් වර්ගවල සුවඳ ද සුළං හමා ගෙන යන පැත්ත අනුවම යයි. උඩු සුළඟට හමා නොයයි. බුදු,පසේ බුදු මහරහතන් වහන්සේලා ගේ සිල් සුවඳ සුළං හමා එන උඩු සුළඟෙහි පවා හමා යයි. එසේම සද් පුරුෂයා තම සිල් සුවඳ සියලු දිසාවන් හි පතුරුවා හරීද, ඒ නිසාම ඔහු ගේ සිල් සුවඳ උඩු සුළඟටත් හමා යන්නේ යැයි, වටහා ගත යුතුය. මේ සියලු සුවඳින් අනූන සිල්වත් සද්පුරුෂයන්ගේ සිල් සුවඳ අනෙකුත් සියලු සුවඳ වර්ග වලට වඩා උතුම්ය.

මේබැව් මැනවින් වටහාගෙන දාන, සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හි යෙදීමන් පස් පව් දස අකුසලයෙන් වැළකී මනා සිල්වතුන් සේ ක්‍රියාකොට මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීම කෙරෙහි සෑම දෙනෙක්ම උත්සාහ ගත යුතු වන්නාහ.