Print this Article


පූජාච පූජනීයානං

ඇලිකේවෙල සෝනුත්තර නාහිමි

පාතහේවාහැට ඇලිකේවෙල නම් වූ ග්‍රාමයේ මුතුබණ්ඩාර නිලමෙතුමාට දාව පළිඟුමැණිකේ මාතාව මෑණියන් කොට හත්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ලෙස උපන් පින්වත් කුමරා 1966 අපේ‍්‍රල් මස 02 වෙනි දින ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වේඬරුව පුරාණ කිරිවිහාරාධිපතිව වැඩ විසූ ඇලිකේවෙල තණ්හංකාරාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් “ඇලිකේවෙල සෝනුත්තර” නමින් පැවිදි වූහ.

හඟුරන්කෙත මාදන්වල පිරිවෙණට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1971 දී ප්‍රාචීන ප්‍රාරම්භ අ.පො. ස.(සා) පෙළද 1973 දී ප්‍රාචීන මධ්‍යම විභාගයද 1974 දී බෞද්ධ ධර්මාචාර්ය විභාගයද, 1977 දී.අ.පො.ස. (උ) පෙළ විභාගය ද 1978,79 වර්ෂවල කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විශේෂවේදී ගෞරව උපාධියද, 1984 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙන් ශාස්ත්‍රපති උපාධියද, 1993 විවෘත විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධියද සමත් වූ උන්වහන්සේ 1975 මැයි මස 25 වැනි දින උපසම්පදාවට පත්වූහ.

1981 සිට 1985 දක්වා දෙමටගොඩ ධර්මදූතාශ්‍රම විද්‍යාල පිරිවෙණෙහි ගුරුවරයකු ලෙස සේවය කළ උන්වහන්සේ, 1985,12.04 වෙනි දා පාසලේ ගුරු සේවය ඇරඹූයේ උඩුදුම්බර නුගේතැන්න මහා විද්‍යාලයෙන්ය. ඉතා පිටිසර ගමක් වූ නුගේතැන්න ගමට ආලෝකය ලබා දීමට දැරූ ප්‍රයත්නය පිළිබඳව අදත් එගම්වාසීහු ගෞරවයෙන් සිහිපත් කරති.

1989 වර්ෂයේ සිට බුද්ධ ධර්ම විෂය භාර අධ්‍යක්ෂවරයා ලෙස දෙවසරක් තුළ තෙල්දෙණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයෙන් පසුව, දැනට වේඬරුව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තනතුර හොබවන උන්වහන්සේ 1998 ජුනි මස 28 වෙනි දින ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වේඬරුව පුරාණ කිරි විහාරාධිපති තනතුරට පත්ව, ගම් ප්‍රදේශයේ සහ ශාසනයේ උන්නතිය සඳහා කැපවෙමින් කටයුතු කරති.

ඒ අනුව කිරි විහාරයේ පුරාණයේ තිබූ සංඝාවාසය නවීකරණය කිරීම, ප්‍රධාන මාර්ගයේ සිට විහාරස්ථානය දක්වා ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කර සකස් කිරීම ආදියද පුරාණ බෝධින් වහන්සේ වටා අටවිසි බුදුකුටි සහිත බෝධිඝර දෙකක් ඉදිකිරීම, ධර්මශාලාව නවීකරණය කිරීම, නව සිරිපතුල් ගෘහයක් ඉදිකිරීම, 1993 සිට වර්ෂ 18 ක් නොකඩවාම මැදදුම්බර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට පත්වීම, එවකට 27 ක් ව තිබූ දහම්පාසල් සංඛ්‍යාව 48 දක්වා වැඩිකිරීම දැනට මැදදුම්බර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති ලෙස කටයුතු කිරීම හා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මැදදුම්බර සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය දැරීම, 1987-88 යන වර්ෂවල ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ ස්ථාපිත කළ තරුණ පුහුණු මධ්‍යස්ථානයේ, අත්අඩංගුවට ගත් තරුණ පිරිස් සමාජ ගත කිරීමේ මූලිකව ආයතනය භාරව ක්‍රියා කිරීම, 2003 වසරේ සිට මැදදුම්බර සමථ මූල මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් සේවය කිරීම ආදිය උන්වහන්සේ විසින් ශාසනයට සහ සමාජයට කරනු ලබන සේවාවන් වලින් ස්වල්පයකි.

කාව්‍යමය ධර්මදේශනාවන්ට මහනුවර දිස්ත්‍රික්කය පුරාවටම ප්‍රසිද්ධියක් උසුලති.

උන්වහන්සේ ගේ මෙම සේවාවන් සහ හැකියාවන් සැලකිල්ලට ගෙන ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින්.

වේඬරුව කිරිවිහාරාධිපති,වේඬරුව විදුහල් නියෝජ්‍ය විදුහල්පති , මැදදුම්බර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ඇලිකේවෙල සෝනුත්තර ස්වාමින්ද්‍රයන් වහන්සේට

“කව්‍යාශූරී විමලකීර්ති ශී‍්‍ර තණ්හංකර “ යන ගෞරව නාමය සහිතව මැදදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර පිරිනමා ඇත.

ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය 2014 ජූලි මස 04 වෙනි දින පස්වරු 2.30 ට මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරයීය උපෝසථාගාරයේදී තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නයේද, මැති ඇමැතිවරුන්ගේද සහභාගිත්වයෙන් සිදු කැරිණි.


කපුදුව සිරි ගුණාලංකාර නාහිමි

මෙයට එකසිය එක් වසරකට පෙර එනම් 1913 ජූනි මස 28 වන දින ජන්ම දායාදය ලබා හෙළ ජන හදවත් එළිය කරන්නට සමත් වාසනා ගුණ මහිම ලබා, සිරිගුණාලංකාර නමින් උතුම් පැවිදි ශීලය මනා සේ සුරකිමින්, බුදු පිළිවෙතින් ජනතාව සුවපත් කළ සංඝ පීතෘන් වහන්සේ නමකි.

මහා කාරුණික වූ අල්පේච්ඡතාවයෙන් ප්‍රගුණ වූ උන්වහන්සේ තෙසැත්තෑ වසරක් මේ මනුලොව සුපේශල ශික්ෂාකාමී භික්ෂූන්වහන්සේ නමක් වශයෙන් ජීවත් වුවද දියුණු මනසින් දෙව්ලොව බෝසත් දෙවියන් පමණක් නොව භූත, ප්‍රේත ලෝකයන්හි රැඳුනු සත්ත්ව කොට්ඨාසයද මනාසේ හැඳින පයුරු පාසානය සිදු කළ බෝධිසත්ව උත්තමයෙකු බවද සිහි කළයුතුය.

දකුණු සිරිලක, කපුදූව නම් රමණීය ගම් පියසේ ජන්ම දායාදය ලබා, පැවිදි ශීලය පිළිපැදි උන්වහන්සේගේ දසුන පවා දුකට පත් වූවනට දිව ඔසුවක් බඳු විය. තෙරුවන් සහිත පංච ශීලය සුරැකීම තරම් වෙනත් උතුම් දායාදයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

බුදදහමේ සත්‍යතාවය තම තමා විශ්වාසයෙන් ජීවිතයට ළඟා කර ගත යුතු බව උන්වහන්සේ පැහැදිලිව දක්වා ඇත. සරු දේ සරු ලෙසද නිසරු දේ නිසරු ලෙසද, තෝරා බේරා කටයුතු කිරීම බෞද්ධයාට නියමිත දෙයකි.

මිථ්‍යා මතවල එල්බ ගැනීම නිසා ශ්‍රේෂ්ඨ බෞද්ධ ජනතාව මිසදිටු දීන ජාතියක් බවට පත්වන බව හා එහි භයානකත්වය නියම අයුරින් පෙන්වා දුන් භික්ෂූන් වහන්සේ නමක් ලෙස බෝධිසත්ව ගුණෝපේත සිරිගුණාලංකාර මාහිමියන් හඳුන්වා දිය හැකි ය.

සිරිගුණාලංකාර ස්වාමීන්වහන්සේ හඳුන්වා දුන් බුදු පහනේ වටිනාකම උන්වහන්සේ නිසි පරිදි පැහැදිලි කර දී ඇත. පොල්තෙල් පහන් දැල්ලේ ඇති ගැඹුරු වූත්, චිත්තාකර්ෂණීය වූත් සම්බන්ධීකරණය අතිශයින් විද්‍යානුකූලය. පොල්ගෙඩියෙන් ලබා ගන්නා තෙල්වල බලය උත්පාදනය වන අයුරුත් එම පහන දැල් වූ විට දිව්‍ය දේව, භූත, ප්‍රේත හැමටම චිත්ත ශක්තිය විකාශනය වන අයුරුත් උන්වහන්සේ මනාව විග්‍රහ කර ඇත. පහන් දැල්ලට එකතු වූ බුදු බණ හෝ ශක්තිමය වචන පෙළක් නොමිනිහාට මෛත්‍රියෙන් ගැසීමට ආධාරකයක් විය.

විද්‍යානුකූලව ඉන් ප්‍රතිඵල ලබන අන්දමත් එසේ නොවුන විට පහන දැල්වීමෙන් ලබන විපාක ගැනත් අප උගත්තේ උන්වහන්සේගෙනි. බලි බිලි තොවිල් ආදියේ දී තබන විලක්කු පන්දම් එළි වලින් ලබන විපාකයත් ඒවායේ තාවකාලික බවත් උන්වහන්සේ මනාව පැහැදිලි කරති.

ජීවිතයේ කවර ගැටලුවකට වුවද බුදු පහන් පිළිවෙතේ පැහැදිලි පිළිතුරක් ඇත. එම පහන් ක්‍රමයන් සෙත ශාන්තිය ලබා ජීවිතයට යාව ජීවව එය සම්බන්ධ කර ගත් ලක්දිව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වත්පොහොසත්කම් පමණක් නොව විශේෂයෙන් නිරෝගී සම්පත් හිමිකරගෙන ඇත. පන්සිල් ආරක්ෂා කර ගෙන පින්කම් සිදු කර ගනිමින් මේ පවිත්‍ර වූ, අර්ථවත් වූ, බලවත් වූ පහන් ක්‍රමය පිළිපැද ජීවිත සැපවත්ව අර්ථවත් කරගෙන ඇත. බුදුපිළිවෙතින් පමණක් ලෙඩ සුවපත් කර නොමිනිහා බැඳි මිනිහා වෙන් කර ගත්තේ ය.

සිරිගුණාලංකාර ස්වාමීන්වහන්සේගේ ගුණ සමරු පින්කම් 17 ක් සිරිලක සොළොස්මස්ථාන සිසාරා අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබුවේ එක් වරකට ජනතාව 4000, 5000 තෙක් සිල් සමාදන් කර විවිධ විචිත්‍ර පූජා පවත්වමිනි. 18 වන වසරේ සිට දීප දස්සන නමින් ආරම්භ කොට 2014 ජූනි 28 දා අනුරාධපුර ඓතිහාසික අභයගිරිය මහා සෑ රඳුන් වහන්සේ අභියස සිදු කිරීමට නියමිතව වූයේ දීප දස්සන 11 වන මහා පින්කමය. ගුණ සමරු පින්කම් ලෙස 28 වන පින්කමය.