Print this Article


තෙළඟපාත පුරාණ විහාරය

තෙළඟපාත පුරාණ විහාරය

වර්තමානයේ විවිධ ජාතීන් හා විවිධ ආගම් අදහන ජනයා සමගියෙන් වෙසෙන මෙම ගමෙහි අක්කර තුනක් පමණ වන රමණීය භූමිභාගයක පිහිටි පුණ්‍යභූමිය තෙළඟපාත පුරාණ විහාරයයි. දර්ශනීය නෙළුම් විලක් මැද පිහිටි චෛත්‍යරාජයාණන් වහන්සේත්, ඉපැරැණි බෝධීන් වහන්සේ සහ අති දක්ෂ ශිල්පීන් අතින් නිමැවූ චිත්‍ර මූර්ති ඇතුළත් බුදු මැදුරත් ප්‍රදේශවාසී සැමගේ බුද්ධාලම්භනප්‍රීතියට හා ගෞරවයට පාත්‍ර වී ඇත.

සියලු විහාරාංගයන්ගෙන් සමන්විත එම පින්බිම හින්දු භක්තික ශ්‍රී රාමචන්ද්‍ර දායක මහත්මයෙකු විසින් ඉදිකරවා ඇති ආරාම වන උයනකින් හා දෙමහල් පාසල් ගොඩනැගිල්ලකින් ද යුක්තය.

කටුනායක අධිවේගී මාර්ගයත්, මීගමු පාරත් සමීපයේ පිහිටා ඇතත් නිසංසල බවට බාධා නොවන මෙම පින්බිම ඓතිහාසික සිද්ධියකට සෙවන දුන් තැනකි.

පාරුපන වාදය

1884 වර්ෂයේ දී විදුදය, විදුලකර පිරිවෙන්හි ආදි කර්තෘන් වහන්සේලා ඇතුළු විද්වත් යතිවරයන් වහන්සේලා රාශියක් ඒකරාශි වී සිවුරු පෙරවීම පිළිබඳව සංවාද පැවැත් වූ ඉපැරණි ධර්ම ශාලාවද මෙහි ඇති විශේෂ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකි. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කර සංරක්ෂණය කරයි.

සිවුරු පෙරවීම පිළිබඳ සංවාදයේ දී ඒකාංශ පාර්ශවයෙහි නායකත්වය ගෙන කටයුතු කළේ රත්මලානේ ධම්මාලෝක නා හිමිපාණන් වහන්සේ ය. උභයාංශ පාර්ශ්වයෙහි මූලිකත්වය හොබවන ලද්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. ලංකාවේ බහුශ්‍රැත කීර්තිමත් මහා නාහිමිවරුන් වශයෙන් ගරු බුහුමනට සැදුණු විවාද මණ්ඩපය සමඟ විහාරස්ථානයේ වංශකතාවට වඩාත් වටිනාකමක් එක්වී ඇත.

පුරාණයේ සිට පැවත එමින් ශාසනික සමාජ මෙහෙවරක නියැළෙන තෙළඟපාත පුරාණ විහාරයේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරන්නේ ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පස්ගොඩ විනීත නා හිමියන් ය.

එදා මෙන්ම අදත් ශාසනික ආගමික සමාජ මෙහෙවරක නියැළෙන තෙළඟපාත පුරාණ විහාරය ජාති වර්ණභේද නොතැකූ ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩ අපට කියාදෙන ලද වටිනා පූජනීය ස්ථානයකි.