Print this Article


තරුණ පිරිස සමඟ පන්සල කටයුතු කළ යුතුයි

තරුණ පිරිස සමඟ පන්සල කටයුතු කළ යුතුයි

තරුණ සමාජය ඉදිරියට පැමිණ තම දක්ෂතා එළි දක්වන්න කැමතියි. තොරණක් සෑදීමේදී නැත්නම් වෙසක් පහන් කූඩු සෑදීමේදී හැම විටම මුල් තැන ගන්නේ තරුණ පිරිස්. ඒ අය මේ කටයුත්ත කරන්න මාස ගණනක් තිස්සෙ වෙහෙසෙනවා. අවශ්‍ය ප්‍රතිපාදන කෙසේ හෝ සපයා ගෙන එවන් උදාර කාර්යයන්හි යෙදෙනවා. නමුත් ඒ කාර්යයන් අගය කිරීම සමහරවිට අඩුයි. ඔවුන් තම ශ්‍රම ශක්තිය යොදවමින් මේ කාර්යයන් කරනු ලබන්නේ එයින් රසයක් ඔවුන්ට ලැබෙන නිසයි.

තරුණ සමාජය ඉදිරියට පැමිණ තම දක්ෂතා එළි දක්වන්න කැමතියි. තොරණක් සෑදීමේදී නැත්නම් වෙසක් පහන් කූඩු සෑදීමේදී හැම විටම මුල් තැන ගන්නේ තරුණ පිරිස්. ඒ අය මේ කටයුත්ත කරන්න මාස ගණනක් තිස්සෙ වෙහෙසෙනවා. අවශ්‍ය ප්‍රතිපාදන කෙසේ හෝ සපයා ගෙන එවන් උදාර කාර්යයන්හි යෙදෙනවා. නමුත් ඒ කාර්යයන් අගය කිරීම සමහරවිට අඩුයි. ඔවුන් තම ශ්‍රම ශක්තිය යොදවමින් මේ කාර්යයන් කරනු ලබන්නේ එයින් රසයක් ඔවුන්ට ලැබෙන නිසයි.

මේ නිසා එවැනි කාර්යයන්හිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ සැම විටම පෙරමුණ ගෙන තරුණ පිරිස් දිරි ගැන්විය යුතු වෙනවා. තවමත් අපේ ජනතාව ස්වාමින් වහන්සේට තිබෙන සැලකිල්ලේ අඩුවක් නැහැ. ඒ තත්ත්වය ඉහළින් රැක ගැනීමට තරුණ පිරිස් හරහා ගනු ලබන මේ වැදගත් කාර්යයන් උපයෝගී කර ගත යුතු වෙනවා.

උපක්‍රමශීලිව අඩුපාඩු පෙන්වා දෙමින් දිරිමත් තරුණ පරපුර සමාජගත කිරීමේ වගකීම ගමේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ වගකීමක්. වර්තමානයේ දියුණු තත්ත්වයක පවතින සියලුම පන්සල් තරුණ සමාජයේ දායකත්වය ලැබූ ඒවා බව ඒ සම්බන්ධව සොයා බැලීමේදී හොඳින් පෙනී යනවා. භික්ෂූන් වහන්සේ තරුණ පිරිස සමඟ මාස තුනක් කැපවීමෙන් කටයුතු කළහොත් විහාරස්ථානයත්, ගමත් නිවැරැදි මාවතකට යොමු කිරීම අපහසු නැහැ.

බෞද්ධයන් පමණක් නොවෙයි අනෙක් සියලු ආගමිකයන් සියලුම ජාතීන් ස්වාමින් වහන්සේට විශාල ගරුත්වයක් තිබෙන බව අප සිත්හි තබා ගත යුතු වනවා. බොහෝ අර්බුදයන් විසැඳීමට විහාරස්ථානය කේන්ද්‍ර කරගත් මේ සංස්කෘතිය ඉවහල් වන බවත් අප සිත්හි තබාගෙන කටයුතු කරනවා නම් අපට ගම පමණක් නොවෙයි රටම සංවර්ධනය කිරීම අපහසු නැහැ.

බෞද්ධයන් ආගමික බැඳීමකින් සහයෝගයෙන් කටයුතු කළ යුතු වනවා. ඒ සඳහා තරුණ පිරිස් සමඟ සම්බන්ධව කටයුතු කිරීම මෙහි ලා ඉතාම වැදගත්. පන්සල, පල්ලිය පමණක් නොව, අනෙකුත් ආගමික ආයතනත් සමඟ එකතු වී කටයුතු කරතොත් ගමට සේවයක් කිරීමට එම තරුණ සංවිධානයන්ට ශක්තියක් ලැබෙනවා. හැම දෙයක්ම රජයෙන් ඉටු කර දෙන තුරු නොසිට ගම සංවර්ධනයට පියවර ගත යුතු වනවා.

විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ, විදුහල්පති ඇතුළු ගමේ සැලකිය යුතු තැනක් ඇති පිරිස් එකතු වී සමාජයේ නිර්මාණය වන අර්බුද විසඳා ගන්න පුළුවන්.

ගමට ආදරේ කරන රටට ආදරේ කරන සියලු පිරිස් එකතු කරගෙන සමාජයේ යළි පෙර පරිදි ජන හිතකාමි පරිසරයක් කරා ගෙන යන්න පුළුවන්. ඒ සඳහා ගුණවත් හදවත් ඇති පිරිස් අප අතරේ තවමත් සිටින බව අප සිහි තබා ගත යුතු වෙනවා. හැම දරුවෙක්ම කැමතියි හොඳ වැඩක් කරන්න. නමුත් වැඩිහිටියන් විසින්ම ඔවුන්ගේ සිත් තුළ බය ඇති කර තිබෙනවා. දන්සලක් දෙන්න ඔවුන් කැමැතියි. නමුත් ඒ සඳහා පෙරමුණ ගත් විගසම අපේ කනට ඇහෙන්නේ ‘ගානක් හොයා ගන්න කරන වැඩක්’ කියන වචන ටිකයි. ප්‍රදේශයේ වගකිව යුතු අය ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පිරිස් මේ සඳහා මුල් වී ඔවුන් දිරිමත් කරන්නේ නම් එයින් සෙත සැලසෙන්නේ සමස්ත සමාජයටමයි.

මේ නිසා තරුණ පිරිසට තම අදහස් නිදහසේ කළ හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමයි කළ යුත්තේ.

බුද්ධ චරිතය හැදෑරීමේදී අපට හමුවන මඝ මානවක කතාව මේ සඳහා හොඳම උදාහරණයක් ලෙසින් ගන්න පුළුවන්. නොමඟට ගිය පිරිස් සුමඟට ගැනීමයි මඝ මානවක විසින් කරනු ලැබුවේ. අවසානයේදී රටේ රජතුමාත් මඝ මානවකගේ ක්‍රියාදාමය නිවැරැදි බව පිළිගත්තා. පිළිඅරගෙන රාජ්‍යය බාර දුන්නත් මඝ මානවක එය පිළි නොගත් තැන ප්‍රාන්තයක් බාර දුන්නා. මඝ මානවක එම ප්‍රාන්තයේ නොමඟට ගොස් සුමඟට පැමිණි පිරිස් සමඟ හොඳින් කටයුතු කළා. පංචශීල ප්‍රතිපදාව ඔහුගේ දර්ශනයේ ඇතුළුව තිබුණා.

වර්තමානයේ තරුණ භික්ෂූන් වහන්සේ දැනුමින් බොහෝ පෝෂණය ලැබූ අයයි. ඔවුන්ට තරුණ අදහස් තේරුම් ගැනීම අපහසු නැහැ. මේ නිසා රැකියා විරහිත පිරිස් පවා නිවැරැදි මාර්ගයට යොමු කරවා. ඔවුන්ව රැකියා උත්පාදනය දක්වාම ගෙන යාමට විහාරස්ථානයට හැකියාව තිබෙනවා. ගමේ සම්පත්වලින් ගමටත් රටටත් ප්‍රයෝජනවත් වන ආකාරයට කටයුතු කිරීමට හැකි වන්නේ විහාරස්ථානය මුල් වී කටයුතු කළහොත් පමණයි.

ගමේ නායකත්වය පන්සලේ ස්වාමින් වහන්සේට හිමිවන්නේ නම් ගමත් රටත් රැක ගැනීම එතරම් අපහසු නැහැ. ගමේ ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ ගමේ පිරිස් අතයි. පන්සලේ ස්වාමින් වහන්සේ කිසිදිනක ක්‍රෝධය වෛරය ඉස්මතු වන ආකාරයේ විසැඳුම් ලබා දෙන්නේ නැහැ. කරුණාව මෛත්‍රිය මුල් කරගත් අවිහිංසාවාදී පිළිතුරු ලබා දීමටයි. එහිදී කටයුතු කෙරෙන්නේ. මේ නිසා සමාජයේ අර්බුද නිරාකරණයට ගමත් තරුණ පිරිසත් නිවැරැදි මාවතේ ගමන් කරවීමෙහිලා පන්සලේ ඇති කාර්යය ඉතාම වැදගත් වනවා.

සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර