Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 39 සැදැහැති සිත් සතන් තුළ ස්වර්ණමය සිහිවටන

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 39

සැදැහැති සිත් සතන් තුළ ස්වර්ණමය සිහිවටන

අප ශිෂ්‍යය දායක ඥාති මිත්‍ර සෑම දෙනාට ම කරන නිවේදනයයි. අප දැන් සිටින්නේ සුවාසු අවුරුදු වයසේය. අපට ඉදිරියට ජීවත්වීමට ඇත්තේ මද කලකි. අපගේ මරණය සිදුවූ විටෙක ශරීරය ගැන පිළිපැදිය යුත්තේ මෙසේය. දැන්වීම් ලියුම් ආදිය යවා මරණය ප්‍රසිද්ධ නොකළ යුතුය. කිසිම සැරසිල්ලක් නොකළ යුතුය. මරණය සිදු වූ විටෙක දේහය කැමති කෙනෙකුට දැක ගැනීම සඳහා විශේෂ සැරසිල්ලක් නැතිව අප දවල් කාලයේ වෙසෙන කුඩා ඇඳ මත තබන්න...

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ පිවිතුරු සද්ධර්මය සරලව පහදා දී දිවිමඟ වසාගත් අඳුර දුරලීම වෙනුවෙන් තම භික්ෂු ජීවිතය කැප කළා වූ මහෝත්තමයාණන් වහන්සේ අපවත් වූ සේක!

සංසාර මහා සාගරයේ රළු රළ රැළි හා පොරබදිමින් අතරමං වූ මිනිසාට සයුරු තීර්ථය වෙත පිහිනා එන්නට මඟ කියාදීම වෙනුවෙන් නිබඳ ආලෝක කදම්බයන් මුදා හළ ඒ මහාප්‍රදීපයේ ආලෝකය නිවී ගිය සේක.

මං මුළාවූවන්ට මඟ හසර පෙන්වූ මෙවන් විශිෂ්ට යුග පුරුෂෝත්තමයකුගේ වියෝව දරා ගැනීමට නොහැකි වූ වාතලය නැවතත් කම්පා වූ නිසා දෝ මුළු ප්‍රදේශයම අඳුරු කරලමින් නැවතත් විදුලිපහන් නිවී ගියේය.

බුදුන් වහන්සේගේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසානයේ දස සහශ්‍රී ලෝක ධාතුවම අතිශයින්ම කම්පාවීය. දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ මහත් වූ ආලෝකයක් පහළ විය.

ඒ එදා ධර්මාලෝකය පහළ වූ දාය. පින්වත් කොණ්ඩඤ්ඤ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධකරගත් දාය.

මෙදා බුදුන් වහන්සේගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මතම පිහිටමින් අතිශයින්ම පිවිතුරු පරමාදර්ශී උතුම් භික්ෂු ජීවිතයක් ගත කළා වූ රේරුකානේ චන්දවිමල නම්වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අපවත්වන මොහොතේ ආලෝකය නිවීගියේ ආලෝකයේ අගය මොන තරම් නම් වටින්නේ දැයි පසක් කර ගැනීමට නම් නිබඳව අඳුරේ තරම මෙය යැයි අවබෝධ කරගත යුතු නිසාවෙන් යැයි සිතෙයි. “කවුරුන් විසින් පිළිගත්තද නොපිළිගත්තද අපගේ විශ්වාසයනම් පරම පූජනීය වූ රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ සසර දුක කෙළවර කරගත්බවය “

ඒ සංවේදී ශෝකී දර්ශන පෙළ අවසානයේ ධම්මානන්ද හිමියන් තම අධ්‍යාත්මයෙන් නිරුත්සාහයෙන් පැන නැගුණු ප්‍රකාශනය මුදා හැරියේ එසේය.

රේරුකානේ චන්දවිමල මහානා හිමිපාණන් වහන්සේ අපවත් වූ සේක යැයි නිවේදනය කළ පමණින් තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.

ඒ ශෝකී වදන් පෙළ ඇසුණු සැනින් කම්පාවන ලක්වැසි මෙන්ම ලෝ වැසි බෞද්ධ ජනතාව දේහය දැක හෝ සැනසීමට අවසන් ගරු බුහුමන් දැක්වීමට පෙළ සැදී පෙරහරින් පැමිණෙනු නියතය.

ඒ පූජනීය දේහය මහජන ගෞරවය සඳහා අවම වශයෙන් දවස් තුන 4 ක් වත් වටිනා රන්සිවි ගෙයක තැන්පත්කර තැබිය යුතුය. අසුරු සැනින් සන්නිවේදනය ලක්දිව්තලය සතර දිගන්තය පුරා ප්‍රචාරය කිරීම පහසු නිසා මහමැදුරේ දුගීපැලේ වීදි මාවත් ගණනේ පසල් දනව්වේ කහ කොඩි එසවෙනු නියතය.

පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙතෙක් භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් ඉදිනොකළ තරමේ අතිරමණීය චිතකයක් නිර්මාණය කිරීමට ඕනෑම මල් ශාලා හිමියකු, තම ව්‍යාපාරයට එය මහත් අභිමානයක් මෙන්ම මතු ප්‍රතිලාභයක්ද වන බැවින් මේ කාර්යය නොමිලේම කරදීමට සූදානම් වනු නියතය.

පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ප්‍රභූ , නායක මහානායක උත්තමයන්ගේ ආදාහන කටයුතු සිදු කෙරෙන අභිමානවත් භූමි වූ නිදහස් චතුරශ්‍ර භූමිය හෝ ගාලුමුවදොර පිටිය හෝ නැතිනම් අවශ්‍ය ඕනෑම සුදුසු ස්ථානයක් ලබාදීමට වගකිවයුතු රටකරවන ඇත්තන් කිසිවකුත් නොපැකිලව ඉදිරිපත් වනු නියතය.

දැන් ලහි ලහියේ කළ යුත්තේ මහා හරසර පිදිය යුතු අවමංගල්‍යය උත්සව සභාවේ කටයුතු සංවිධානය වීමය.

එහෙත් දේහය පිළිබඳ අවසාන කටයුතු ඒ විදියට කිරීමට නො හැකිවිය. පුදුමයකි! එහෙත් එය එසේ කිරීමට නොහැකි වූයේ හරහට වැටී තිබුණු මහා කඩුල්ලක් නිසාය. මෙසේ වැටකඩොලු අතුරන කුමන්ත්‍රණ කාරයින් කවුරුන්දැයි විමසා බැලිය යුතුය.

කුදු මහත් ජන සමාජයේම සමස්ත ලාංකේය ජන හදවතකම පරම පූජනීය ගෞරව බහුමානයෙන් පිදුම්ලද මේ උත්තමයාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදුකෙරුනේ දේහය හොරු රැගෙන ගිය පරිද්දෙන් වීම පුදුමයකි.

රේරුකානේ මහා නා හිමියන් මේ වන විට ලාංකේය බිම සුවඳවත් කළ පුද හරසර ලද පූජනීය පොදු වස්තුවක් බවට පත් වී හමාරය. ඒ නිසා දේහය පිළිබඳ අවසාන කටයුතු එසේ සිදුකිරීමට පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව කිසිවකුටත් ඉඩක් නැත. එහෙත් එය එසේ සිදුවූයේ ඇයි? ඔබ පෙළෙන කුකුස ඵලවා හැරීමට නම් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් තම අත් අකුරින්ම ලියා තිබූ අවසන් කැමති පත්‍රය කියවිය යුතුව තිබේ. උන්වහන්සේ එය ලියා තැබුයේ මීට වසර 16 කට පමණපෙර මහා නා හිමියන්ගේ වයස අවු 84 වියේදීය.

‘මරණං නියතං’

අප ශිෂ්‍යය දායක ඥාති මිත්‍ර සෑම දෙනාට ම කරන නිවේදනයයි.

අප දැන් සිටින්නේ සුවාසු අවුරුදු වයසේය. අපට ඉදිරියට ජීවත්වීමට ඇත්තේ මද කලකි. අපගේ මරණය සිදුවූ විටෙක ශරීරය ගැන පිළිපැදිය යුත්තේ මෙසේය. දැන්වීම් ලියුම් ආදිය යවා මරණය ප්‍රසිද්ධ නොකළ යුතුය. කිසිම සැරසිල්ලක් නොකළ යුතුය. මරණය සිදු වූ විටෙක දේහය කැමති කෙනෙකුට දැක ගැනීම සඳහා විශේෂ සැරසිල්ලක් නැතිව අප දවල් කාලයේ වෙසෙන කුඩා ඇඳ මත තබන්න.

සමීපයේ පහන් දෙකක් තුනක් දල්වා තැබීම පමණක් කරන්න. පන්සල්වත්ත අයිනක දර සෑයක් තනා එය අවසන් වූ විටක දවාලෙහි හෝ රාත්‍රියෙහි හෝ ලෑලි තට්ටුවක දේහය තබා ගෙනගොස් දර සෑයට ඇතුළු කොට ගිනිදල්වන්න. ආදාහනය කිරීමට දිනයක් වේලාවක් කලින් නියම නොකර ගත යුතුය. වේලාව දර සෑය තනා අවසන් වන වේලාවයි. ආදාහනයෙන් පසු අපවත් වූ බවත් අප විසින් නියමකර තැබූ පරිදි ආදාහනය සිදු කළ බවත් පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න.

මෙසේ කිරීම අපගේ කැමැත්තය. අපගේ කැමැත්ත පරිදි මෙය එසේම නොකොට අන් අයුරකින් කරතහොත් එය අපට කරන අවමානයක් අගෞරවයක් බවද සැලකිය යුතුය. මෙය මෙසේම සිදුවේවා!

ඉහත අවසන් කැමති පත්‍රය උන්වහන්සේ ලියන ලද්දේ 1981.01.10 වැනි දිනයේදීය. එසේ ආදාහන කටයුතු කළ යුත්තෙ ඇයි දැයි මහා නා හිමිපාණන් වහන්සේ පැහැදිලි කළේ මෙසේය.

කෙනෙක් මැරුණහම ජීවත්වෙලා ඉන්න අය දින ගණනක් රෑ දවල් දෙකේම මහා පීඩාවක් විඳිනවා. සමහර අවස්ථාවල දින 4,5 , මළමිනිය තියාගෙන සිටින තැන් අප දැකලා තියෙනවා. ඒ වාගේම නිෂ්ඵල වියදම් කරනවා. සැරසිලි වලට චිතකයට ලොකු වියදම් දරනවා. සමහර තැන්වල ලක්ෂ ගණනින් වියදම්කරනවා. ගිහිපැවිදි දෙපක්ෂයම අද ඒක තරගයට කරනවා. ඒක නිසා මම මැරුණහම අනුන්ට පීඩා නොවන්නටත් නිෂ්ඵල වියදම් නොකරන්නටත් හිතාගෙනයි මේ විදියට ලියල තියෙන්නේ.

මේකට සමහරු බොහොම විරුද්ධ වන්නත් පුළුවන්. සමහරු බොහොම කැමතිවෙලා ආදර්ශයට ගන්නත් පුළුවන්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම අන්තිම කැමැති පත්‍රය ප්‍රකාශයට පත්කර දින කීපයකදී හිතවත් මහත්මයෙක් එය දැක විමතියට පත් වී මහා නා හිමියන්ගෙන් ඒ පිළිබඳ විමසුවේය.

”නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ අපවත් වුණාම ආදාහන කටයුතු ඔය ආකාරයට කිරීමට ලියා තැබුවේ ඇයි?” ගරු කළ යුත්තන්ට ගරු කිරීම නේද යුතුකම”

එවිට මහා නා හිමියන් ප්‍රශ්නයක් ඇසීය. “මහත්තයාගේ ගෙයි කුණු ගොඩක් තියෙනවා. නම් මොකද කරන්නේ”

“තියාගෙන ඉන්නවද? ඉවත් කරනවද?” “කුණුගොඩ ඉවත් කරනවා”

මහත්තයාගේ පිළිතුර විය .

”කුණුගොඩක් ගෙයි තියාගෙන ඉන්න බැරි නිසා ඉවත් කරන්න ඕනෑ” “ ඉතින් කුණුගොඩක් ඉවත් කරන්නට උත්සව පවත්වන්න ඕනෑ නෑ නේද?”

මහානා හිමියන්ගේ පිළිතුර එයවිය.

එදා නා හිමියන් අපවත් වූයේ රාත්‍රි කාලයේ බැවින් දර සෑය සෑදීම අපහසු විය. පසු දිනයේදී එනම් 1997 ජූලි මාසයේ පස්වැනිදා දර අඩුක්කර සෑය සාදා දේහය පිළිබඳ ආදාහන කටයුතු පස්වරුවේ සිදුකෙරුනේ අවසන් කැමති පත්‍රයේ සඳහන් ව තිබූ ආකාරයටම මහා නා හිමියන්ගේ කැමැත්තට ගරු කිරීමක් වශයෙනි.

අධ්‍යාත්මය පිවිතුරු නො වුණු බොහෝමයක් හිස් මිනිසුන් වෙනුවෙන් අහස් කුස පරයා නැගෙන තොරණ බැනර්, කොඩි සැරසිලි ආදිය මියගිය මිනිසාට කරන ගෞරවාදරයට වඩා ජීවත් වී ඉන්නා මිනිසුන්ගේ උස් මිටිකම් මනින මිනුම් දඬු පමණක් යැයි සිතෙයි.

උත්තමයන් ගිය මඟ සුවඳය. අධ්‍යාත්මයෙන් උපනත් ආලෝකය සුසානයක් වැනි වූ සසර කතර අඳුරට එරෙහිව සදා දැල්වී නොනිමී පවතිනු නියතය. ආත්මීය සුවඳ කිසිදා වියැකී නොයනු ඇත. එවන් උත්තමයන්ගේ ගුණ සුවඳ සැදැහැති මානව සිත් සතන් තුළට කිඳා බැස ස්වර්ණමය සිහිවටන ඵලක තැනෙන්නේ එවන් පිවිතුරු මිනිසුන්ගේ හදවත් තුළය.