Print this Article


සදහම් මාවතේ සැබෑ ලෙස ගමන් කරමු

සදහම් මාවතේ සැබෑ ලෙස ගමන් කරමු

අපේ බොහෝ දෙනෙකුට කොපමණ භාවනා කළත් තවම පී‍්‍රතියක්, සැපයක් ඇති නොවන්නේ මේ අත්හැරීම නිසි ලෙස කරගත නොහැකි වීම නිසා ය. එමෙන් ම තමන් බොහෝ බලාපොරොත්තු තබාගෙන භාවනාවට

වාඩි වන නිසා ය. අප සැහැල්ලුවෙන් මේ මනසට සන්සුන් වීමට ඉඩ හැරියොත් අපට බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකි වේ

තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම තුළින් සියලු ලෝ වැසියන්ට විමුක්තිය උදාකර දීමේ මාවත විවර විය. විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපට ගමන් කිරීමට ඒ තුළින් අවකාශය උදා විය. මේ මාවත තුළ සැබෑ ලෙස ගමන් කොට විමුක්තිය සලසාගැනීම අපගේ අභිලාෂය යි. එහෙත් වර්තමානයේ ධර්මය තුළ ගමන් කරනවා යැයි කියා එහි නියැළෙන බොහෝ දෙනෙකුගේ ක්‍රියා කලාපය විමර්ශනය කරන විට පෙනී යන්නේ ඔවුන් ධර්මයට පටහැනි වූ මාවතක විමුක්තිය සොයා පියමං කරන බව යි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ දෙවන මාර්ගාංගය නම් සම්මා සංකප්පයය යි. සම්මා සංකප්පය නම් නෙක්ඛම්ම සංකප්පයය, අව්‍යාපාද සංකප්පය හා අවිහිංසා සංකප්ප යි. නෙක්ඛම්ම සංකල්පනාව යනු කාමයන්ගෙන් වෙන්වීම යි. නි+කාම යන වචන එකතු වීම තුළින් නෙක්ඛම්ම යන්න සෑදී තිබේ.

පංච කාමයන්ගෙන් වෙන්වීම නෙක්ඛම්ම යි. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම යන ඒවායින් වෙන්වීම කාමයන්ගෙන් වෙන්වීම යි. විශේෂයෙන් ම කාමයන් ගෙන් වෙන් වීම සඳහා අප භාවිතා කළ යුතු ආර්ය සත්‍ය ක්‍රම වේදයය නම් තුන් වන ආර්ය සත්‍ය ක්‍රම වේදය යි. එනම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි. එහි දී අපට ඉගෙන ගැනීමට ලැබෙන්නේ අත් හැරීම යි. අල්ලා ගැනීම නොවේ. අප භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය විස්තර කරන්නේ මෙසේ ය:

“කතමා ච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරියසච්චං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ” යනුවෙනි. “පින්වත් මහණෙනි, දුක නැති කිරීම නම් කුමක් ද? පරිත්‍යාග කිරීම, අත් හැරීම, මිදීම හා ආලය අත් හැරීමයි,” එසේ නම් අප විසින් විවිධ පුද්ගලයන් හා විවිධ දේවල් පිළිබඳව අත්හැරීම පුරුදු විය යුතුයි.

විශේෂයෙන්ම අප බොහෝ විට පුරුදු වී සිටින්නේ දෙවන ආර්යය සත්‍යයට අනුව කටයුතු කිරීමට යි. එනම් තණ්හාවට අනුව කටයුතු කිරීමට යි. තණ්හාව මූලික කරගත් චින්තනයකට අනුව කටයුතු කිරීමට යි. එවිට අපි අත්හැරීමට නොව ඇලීමට හුරු වෙමු. ඒ තුළින් විමුක්ති මාර්ගය සලසා ගත නො හැකිය. නෙක්ඛම්ම සංකල්පනාව ඇති කර නොගත හොත් අප හට සාමය, සැනසීම, සැපය, පී‍්‍රතිය ඇති කර ගත නොහැකි ය. කාමය යනු මස් වැදැල්ලකි. ගිනි අඟුරු ගොඩකි. එහෙත් සාමාන්‍ය පුද්ගලයාට හෙවත් පෘතග්ජනයාට එය දිව්‍ය විමානයකි. කන්කලු නාද, මිහිරි ගීත, මිහිරි ආහාර පාන, ඇඳුම් පැළඳුම්, විවිධාකාර පහස ආදිය තුළින් තෘප්තිමත් වීම පෘතග්ජන මනසේ ස්වභාවය යි. එයට ඇළුණු පුද්ගලයාට කාමයන් ගෙන් වෙන් වී ලබන සැපයක් ගැන සිතා ගැනීමටත් අපහසු ය. අපගේ වාසනාවට ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ නිසාම සැපය පිළිබඳව අපට දේශනාකොට වදාළ සේක, උන්වහන්සේ වීතරාගී වූ වීත දෝෂීව, වීත මෝහීව ඒ නිරාමිස සුව විඳිමින් ම ඒ නිසාම සැපය අපට කියා දුන් අතර තම ශ්‍රාවකයන් එවැනි සැපයකට කැමැති පිරිසක් බවට පත් කොට ඒ සැප අත් දකින පිරිසක් බව ට පත් කළ සේක. ඒ නිසා සැබෑ සැපය පී‍්‍රතිය කාමයන් ගෙන් වෙන් වූ විට ලැබෙන බව උන්වහන්සේ පෙන්වා දී වදාළ සේක. “විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේ හි ධම්මේ හි සවිතක්කං සවිචාරං විවේකජං පී‍්‍රති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහරති” කාමයන් ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් පී‍්‍රතිය හා සැපය සහිත ප්‍රථම ධ්‍යානය ලැබ වාසය කරන ආකාරය උන්වහන්සේ පෙන්වා වදාළ සේක.

එමෙන්ම දෙවන, තුන්වන හා හතර වන ධ්‍යාන ලබාගෙන වාසය කරන ආකාරය උන්වහන්සේ දේශනා කොට වදාළ සේක. කාමයන් හි ඇලී ගැලී සිටින කෙනෙකුට මෙම සැපය ලබා ගැනීමට නොහැකි ය. මෙම පී‍්‍රතිය ලබා ගැනීමට නොහැකිය. කාමයන් තුළින් වෙන් වී ගිය කෙනෙකුට පමණි මෙම අත්දැකීම් ලබා ගත හැකි වන්නේ. එබැවින් අප අත්හැරීමට පුරුදු විය යුතු ය. අත් හරින තරමට අප හට සැපය ලබා ගත හැකි ය. මෙහි දී පුද්ගලයන් ට ඒ ඒ දේවල්වලට තිබෙන තණ්හාව අත්හැර දැමීම යි.

ඒ නිසා අප දේවල් බලාපොරොත්තු වන තාක් කල් දේවල්වලට ඇලෙන තාක් කල් දේවල්වලට බැඳෙන තාක් කල් ඒවා ලෞකික වේවා ලෝකෝත්තර වේවා සැපය සැනසීම පී‍්‍රතිය ලබා ගත නොහැකි ය. අප භාවනාවේ දී වුවද සිදු කළ යුතු වන්නේ මෙම අත්හැරීම යි. සමහරු භාවනාවට ඉඳ ගන්නේ “මට ඉක්මනින්ම සමාධිය ලැබේවා!” “මට ඉක්මනින් ම ධ්‍යාන ලැබේවා, “මට ඉක්මනින්ම මාර්ග ඵල ලැබේවා” යන අදහසිනි. ඒ අයුරින් භාවනා කිරීමට යාමේදීත් අප කර තිබෙන්නේ තණ්හාවෙන් ඇලීමකි. අප අලෞකික වශයෙන් තිබෙන ධ්‍යාන, මාර්ග ඵල සමාධි ආදියට තණ්හාව ඇති කර ගෙන තිබේ. නමුත් තුන්වන ආර්ය සත්‍යයට අනුව අප භාවනා කරන විට අපේ ආකල්පය සකස් වන්නේ සියල්ල අත් හැරීමට ය. අප භාවනාවේ දී එහි ප්‍රතිඵල පිළිබඳව ද තණ්හාව ඇති කර ගත යුතු නොවේ. අපට අවශ්‍ය කරන්නේ එම ක්‍රියාවලිය තුළ නිරත වීම යි. අප සන්සුන්ව කිසිදු අපේක්ෂාවකින් තොරව මනසට යම් භාවනා අරමුණක් ඔස්සේ සන්සුන්වීමට ඉඩ දිය යුතුය. එවිට එය සන්සුන් භාවයට තැන්පත් භාවයට පත් වේ. අප දැඩි උනන්දුවකින් තණ්හාවකින් මනස පාලනය කිරීමට ගියහොත් අපේ මනස තැන්පත් කරගැනීමට සන්සුන් කරගැනීමට නොහැකි ය. අප මනසට සන්සුන් වීමට ඉඩදිය යුතුය. එයට බලපෑම් එල්ල නොකරන විට එය පහසුවෙන් තැන්පත් වේ. භාවනාවේ දී විශේෂයෙන්ම වර්තමානය තුළ සිත පිහිටුවිය යුතුය. එහිදී අතීතයේ සිදු වූ සිදුවීම් නම් වැරහිලි අත් හැර දැමිය යුතුය. එමෙන්ම අනාගතය නම් වූ අනපේක්ෂිත භාවය අත්හැර දැමිය යුතුය. ඒවා අත්හැර දැමීම තුළින් වර්තමානය තුළ සිත පිහිටුවා ගත හැකිය. එවිට තමා තෝරා ගත්තා වූ භාවනා අරමුණ තුළ ගැඹුරටම ගමන් කළ හැකි ය. ඒ තුළ සිත සන්සුන් කළ හැකි ය. තැන්පත් කළ හැකි ය. ජලාශයක තිබෙන බොර ගතිය නැති වූ විට හොඳින් හිරු එළිය ඒ ජලය මත පතිත වන විට එහි පතුළ විනිවිද දැකීමට හැකි සේ මේ මනස ද ඉතා පවිත්‍ර වේ.

එවිට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච හා විචිකිච්ඡා යන නීවරණ යටට ගොස් මනස සමාධිමත් භාවයට පත් වේ. එය සිදු වන්නේ අප මනසට බලපෑම් නොකොට කටයුතු කිරීම තුළිනි. මෙයට හොඳම උදාහරණය නම් අප කැමැති හොඳ ධර්ම දේශනාවකට සවන් දීමේ දී අපි බලහත්කාරයෙන් සිත දමනය කිරීමට උත්සාහ නොකරමු. අප ධර්ම දේශනාවට ඉතා කැමැත්තෙන් සවන් දී සිටින විට එය අපට ඉතා රසවත් එකක් බවට පත් වේ. අප එහි දී අතීතය ගැන හෝ අනාගතය ගැන කල්පනා නොකොට මේ මොහොතේ සිදුවන එම ක්‍රියාවලියට අවධානයය යොමු කරන විට නොදැනීම අපට විශාල සතුටක් පී‍්‍රතියක් ඇතිවේ. එහිදී සිදුවන්නේ අපේ දැඩි ආයාසයකින් තොරව ස්වභාවිකවම මනස පාලනය වීම යි. එහිදී පංච නීවරණවල ක්‍රියාකාරිත්වය නැති වී අපට පී‍්‍රතියක් සැපයක් හට ගනී.

අපේ බොහෝ දෙනෙකුට කොපමණ භාවනා කළත් තවම පී‍්‍රතියක්, සැපයක් ඇති නොවන්නේ මේ අත්හැරීම නිසි ලෙස කරගත නොහැකි වීම නිසා ය. එමෙන් ම තමන් බොහෝ බලාපොරොත්තු තබාගෙන භාවනාවට වාඩි වන නිසා ය. අප සැහැල්ලුවෙන් මේ මනසට සන්සුන් වීමට ඉඩ හැරියොත් අපට බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකි වේ. එබැවින් ආර්ය අෂ්ඨටාංගික මාර්ගය තුළ නෙක්ඛම්ම සංකල්පනාව අප දියුණු කර ගත යුතු වේ. ඔබ සියලු දෙනාම ධර්ම මාර්ගය තුළ නිවැරැදිව ගමන් කොට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේවා!