Print this Article


භවය හා භව දුක්ඛය

භවය හා භව දුක්ඛය

බුදුදහමේ මූලික අරමුණ වූයේ භවගත සත්වයාගේ දුක නැති කිරීමේ ක්‍රමවේදය ඔවුනට පැහැදිලි කර දීමයි. නිවන යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙම දුක නැති කිරීමයි. එනිසා නිර්වාණයට දුක්ඛක්ඛය යනු තවත් නමකි. එය මොක්ඛ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද දුකෙන් මිදීම යන අර්ථයෙන් වන අතර නිරෝධ යනු ද දුක්ඛ නිරෝධයම වේ. අනික් අතින් නිවන සැපක් ලෙස සලකනුයේ ද එහි දුක නැති නිසා ය.

බුදුන් වහන්සේ තම පළමු දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් හෙළි පෙහෙළි කරන ලද්දේ ද විශ්වයේ සත්වයා විඳින දුක නමැති අත්දැකීම පිළිබඳව සහ එය හට ගැනීමට හේතුවත් එයින් මිඳීම හා ඒ සඳහා වූ ඒකායන මාර්ගයත් පිළිබඳවය. බුදුදහම දුක පිළිබඳව මෙබඳු දැඩි අවධානයක් යොමු කොට ඇත්තේ දුක හා සැප නමැති මායාවේ සත්වයා මුළා වී ඇති නිසා ය. අනෙක් අතින් භවගත වූ සත්වයා දුකම විඳිමින් දුකෙහිම නිමග්නව දුකටම ශාප කරමින් දුක් ඇති දෙයක්ම සොයමින් අනාර්ය වූ පර්යේෂණයක නිරතව සිටී. මේ නිසා ඔවුනට තමා සිටින තැන එනම් භවයත්, එම භවයේ සනාතනික ධර්මතාව වන දුක ජය ගන්නා ආකාරයත් පැහැදිලි කළ යුතු වේ.

භවගත වූ සත්වයෙකුට මුහුණපෑමට සිදුවන දුක භව දුක්ඛය හෙවත් භව දුක නමින් හැඳින්වේ. මෙම භව දුක හඳුනා ගැනීම සඳහා “භව“ යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කර ගැනීම අවශ්‍යය. භවය යන පදයත් සමඟ දුක යන අත්දැකීම ද එකට බැඳී ඇත. එකක් අනෙකෙන් වෙන්කොට විග්‍රහ කළ නොහැකි ය. අනෙක් අතින් භවය හා ජාතිය (ඉපදීම) යන පද දෙකෙන් ජාති දුක්ඛය තේරුම් ගැනීම පහසු වන අතර භව දුක්ඛය තේරුම් ගැනීම එතරම් පහසු නැත. එහෙයින්ම ‘භවදුක්ඛ’ යන යෙදුම බුද්ධ දේශනාවේ බහුලව යෙදී නැත. ඒ වෙනුවට භවතණ්හා, භවනෙත්ති යනාදී පදවලින් භවය විස්තර කොට දුක්ඛ යන තනි පදයෙන් සමස්ත භවයම දුකක් බව පෙන්වා දී ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස “ මහණෙනි, ස්වල්පමාත්‍ර වූ ද අශුචි දුගඳ වේ, මහණෙනි, මෙබඳු වූ භවය ස්වල්ප මාත්‍රයක් වත්, ඇසිල්ලක් තරම් කාලයක්වත් වර්ණනා නො කරමි” යනුවෙන් බුදුරදුන් විසින් කරන ලද ප්‍රකාශය දැක්විය හැකිය. භවය දුකක් වන්නේ කෙසේදැයි ආගමික දාර්ශනික හා මනෝවිද්‍යාත්මක ආදී පසුබිම් ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.

වාග්විද්‍යාත්මක ක්‍රමයට ‘භවො (භවය) යන පදය භූ ධාතුවෙන් සෑදුණකි. වීම ( to be) , පැවතීම (to exist) , හට ගනීම (to behave) , යන අර්ථ මෙහි ඇත. භවො යන්න කර්තෘකාරක හෝ කර්මකාරක පදයක් නොවේ. මෙය ව්‍යාකරණානුකූලව භාවකාරක පදයකි. එහෙයින් යමක අස්තිත්වයක් මෙයින් ප්‍රකාශ නොවේ. එනිසාම ජාති යන්නෙන් කියැවෙන පුද්ගලයෙකුගේ නැතහොත් සත්වයෙකුගේ ඉපදීම යන අර්ථය භව යන්නෙහි නැත. ඒ අනුව භව හා ජාති යන දෙකෙහි සියුම් වෙනස පැහැදිලි ය. මේ පද දෙකෙන් අදහස් වන්නේ සත්වයෙකුගේ සංසාර චක්‍රයෙහි අවස්ථා දෙකක් බව කිව යුතු ය. මේ අනුව ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ විසින් සැලකීමේ දී මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ එය භාව කාරකයෙන් යෙදීමයි. මේ අනුව සත්වයෙකු වශයෙන් පෙනී සිටීමට පෙර අවස්ථාවක් ලෙස භවයන්න හැඳින්විය හැකිය. වෙනත් විධියකින් කිවහොත් භවයක් ලැබීම යනු ඉපදීම නොවේ. ඉපදීමට තැනක් ලැබීමයි. මේ නිසා භවය යනු ඉපදෙන තැන යනුවෙන් තේරුම් ගැනීම සුදුසු ය.

අටුවාකථාචාර්යවරු ද භවය යන්න විවිධ නිරුක්තිකථන මගින් විවරණය කිරීමට උත්සාහ දරා ඇත. මහානිද්දේස අට්ඨකථාවෙහි “ භවොති සම්පත්ති අභවොති විපත්ති, තථා භවොති වුද්ධි අභවොති හානි” යනුවෙන් දක්වා ඇත. ඒ අනුව භව යන්නෙන් සම්පත්තිය ද අභව යන්නෙන් විපත්තිය ද අදහස් වේ. මේ අනුව භව යන්නෙහි සම්පත්තිය හා වැඩීම යන අදහස ගැබ්වේ. භවගාමී සත්වයා සසර වැඩීමට ඉවහල් වන පරිදි කර්ම රැස් කරමින් තෘෂ්ණා මාන දෘෂ්ටි හා බැඳුණු සම්පත් භුක්ති විඳී. (භවන්ති වඩ්ඪන්ති සත්තා එතෙනාති භවො) භවය සුබ සුඛ වශයෙන් ගෙන ක්‍රියා කිරීම භවගාමී වූවෙකුගේ ලක්ෂණයයි. එය භවදිට්ඨි යන නමින් හැඳින්වේ. මෙයට ප්‍රතිවිරුද්ධ පදය වන්නේ අභවදිට්ඨි යන්නයි. එනම් මරණින් මතු ඉපදීමක් නැත. එහෙයින් මෙම භවයේ දී කම්සැප වළඳමින් ජීවත්වීම යෙහෙක යන දෘෂ්ටිය ඇති වේ. මෙය උච්ඡේද දෘෂ්ටියට වැටේ. මේ අනුව ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීමේ දී භවය යනු තවත් දෙයක ඵලයකි. එම ඵලයේ හේතුව උපාදානය බව එහි දාර්ශනික පසුබිම විමසීමෙන් පැහැදිලි වේ.

භවත්‍රය

ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල භව යන්නෙහි දාර්ශනික විග්‍රහය විවරණය කොට ඇත. බුද්ධ දේශනාව අනුව 1. කාමභව, 2. රූප භව, 3. අරූපභව යනුවෙන් භවත්‍රයක් වේ. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය හා අපාය සතර යන ලෝක එකොළහ කාමභව නම් වේ. රූප භවය නම් රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය වන අතර අරූපාවචර බ්‍රහ්මලෝක සතර අරූපභව නම් වේ. තවද සඤ්ඤීභව, අසඤ්ඤීභව හා නෙවසඤ්ඤීනාසඤ්ඤීභව යනුවෙන් භව තුනක් ගැන ද අභිධර්මයේ කියැවේ. එසේම භව ගතිය සත්වයන්ගේ වාසස්ථාන නවයක් නව සත්තාවාස නමින් බුදුදහමෙහි ඉගැන්වේ. සම්පූර්ණයෙන් ක්ලේශයන් ප්‍රහාණය නො කළ සත්වයාට විශ්වයේ කවර හෝ තැනක කර්මානුරූපව ලැබුණු ඉහත කී මනුෂ්‍ය දිව්‍ය අසුර ප්‍රේත තිරශ්චීන ආදී කවර ස්වරූපයකින් හෝ පෙනී සිටීමට සිදුවේ. සමහර විට මොවුහු හස්ති අශ්ව ආදි මහත් රූප වශයෙන් පෙනී සිටින අතර තවත් විටෙක පියෙවි ඇසට නොපෙනෙන සූක්ෂ්ම භූත කොටස් ලෙස පෙනී සිටිති. භවය යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද යන්න එක පදයකින් පැහැදිලි කිරීම අපහසු හෙයින් අර්ථකතාකරුවන් ඒ පිළිබඳ විග්‍රාහාත්මක අර්ථකථනය රුචි කළ බව පෙනේ. නොයෙක් අරුත් අතර භව යන්නෙහි පින, අවකාශය, ස්කන්ධය යනා දී විවිධ අරුත් දක්නා ලැබේ. සියලු අරුත් සලකා බැලූ කල්හි තෘෂ්ණා මාන දෘෂ්ටි සහිතව සංසාරයෙහි වීම හෝ පැවතීම භව යන්නෙහි අන්තර්ගත වන බව පෙනේ. මෙය සංසාරය ලෙස නම් කිරීමෙහි ද වරදක් නැත.

භවය වූ කලි කර්මභවය හා උප්පත්ති භවය යනුවෙන් දෙවැදෑරුම් වේ. මෙහි කර්මයම භවයක් වීම කර්ම භවය නම් වන අතර උප්්පත්තිය එහි සිදුවන හෙයින් උප්්පත්ති භවය නම් ද වේ. භවයට කර්මය සාධනීය කරණයක් වන නිසා කර්ම භවය නමින් හැඳින්වේ. කර්මය සුඛය වන නිසා බුදුවරුන්ගේ උපත සුඛයක් ලෙස “ සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දක්වා ඇත. නො එසේ නම් ඉපදීම යන්න දුකක්ය සනාතනික සත්‍යයකි. උප්්පත්තිය සිදුවන හෙයින් උප්්පත්ති භවය ලෙස සැලකේ. කර්මයත් උපතත් යන දෙකේ අඛණ්ඩ පැවැත්ම සංසාරය ලෙස සැලකේ. මේ නිසා භව යන්නෙහි සංසාරය යන අදහස ද විද්‍යාමාන වන බව සාම්ප්‍රදායික අර්ථකථනවල දක්නා ලැබේ.

“ ඛන්ධානං පටිපාටි, ධාතු ආයතනානි ච

අබ්හොච්ජින්නං වත්තමානා - සංසාරොති පවුච්චතීති” චුත්තලක්ඛණො සංසාරොපි භවො, භවෙ දුක්ඛං භව දුක්ඛං, භවෙ සංසරන්තො ති ඉමානෙතස්සත්ථස්ස සාදකානි වචනානි” යනුවෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම සංසාරය නම් වන බවත් එකී ලක්ෂණ ඇති සංසාරයද භවය නම් වන බවත් භවයෙහි දුක භව දුක්ඛ නම් වන බවත් එම පාඨයෙන් කියැවේ. මෙය වැඩිදුරටත් විග්‍රහ කරන අටුවාකරු සංසාරයට භවය යන යෙදුම යෝග්‍ය වන්නේ කවර හෙයින්දැයි ප්‍රශ්න නගා පිළිතුරු දෙයි. එනම් රෑප වේදනා සඤ්ඤා සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ හා ධාතු ආයතනාදීන්ගේ සමවායෙන් සිදුවන සම්මුති ප්‍රඥප්තියක් වන සත්වයාගේ පහළවීම මෙහි සිදුවන නිසා මෙම සංසාරයට භවය යැයි කීම ද සුදුසු ය.

භවදුක

මීළඟට විමසිය යුතු ප්‍රශ්නය වන්නේ භවය දුකක් ද යන්නයි. එසේ දුකක් නම් කාම භවය මෙන්ම රූප හා අරූප භව ද දුකක් විය යුතු ය. ජාති ජරා ව්‍යාධි මරණ දුක් විමසීමෙන් මෙය පැහැදිලිව තේරුම් ගත හැකි වුවත් ජාතිය හා භවය දෙකක් වශයෙන් සැලකීම වඩා ධර්මානුකූල හෙයින් කාම රූප හා අරූප භවයන්ගේ දුක්ඛය විමසීම සුදුසු යැයි හැඟේ.

කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද, මනුෂ්‍ය ලෝකය ද, දිව්‍ය ලෝක සය ද අයත් වේ. නරක, තිරිසන්, පේත, අසුර යන සතර සතර අපායයි. අපාය ද එක්සිය සතියකට බෙදා ඇත්තේ ය. මෙම අපායෙහි ඉපදීම වූ කලී අතිශය භයංකර වූ ආදීනව ඇත්තේ ය. “පුඤ්ඤසම්මතා අයා යෙභුය්‍යෙන අපගතොති අපායො” යනුවෙන් එන විග්‍රහය අනුව යම් තැනක් පුණ්‍යය හෙවත් පවිත්‍ර යැයි කියන ලද අභිවෘද්ධියෙන් පහ වූයේ නම් එය අපායයි. කෙටියෙන් කිවහොත් සැපයෙන් පහවූ තැන අපායයි. සතර අපා අතුරෙන් නරකය සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යනුවෙන් අට වැදෑරුම් වේ.

ඉතිරි කොටස ජූලි 19 වනදා පත්‍රයේ පළවේ