ගාරව සූත්‍රය
ගාල්ල මලිගස්පේ, සුභද්‍රරාමාධිපති
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග
මහා පණ්ඩිත,
පල්ලත්තර සුමනජෝති නාහිමි
මෙලොව හැම සත්ත්වයන්ටම එකම පිහිට බුදු සසුන බව සිතා එයම අනුව යමින් සදා
සැනසීම ළඟා කරගන්න උත්සාහ කරන්නේ නම් ඔබ ලැබූ දුර්ලභ මිනිස් බවින්
උපරිම ඵල නෙළා ගත්තා වේ.
“අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවංචෙතසො පරිචිත්තතො උදපාදි.
දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො, කන්නු, ඛො අහං සමණං වා බ්‍රාහ්මණං
වා සත්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරේයන්ති.”
ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ පළමු වන
ධර්ම සංගායනා අවස්ථාවේ එහි ප්‍රධානත්වය දැරූ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ
ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කළහ. ඇවැත්නි, එක්තරා අවස්ථාවක
භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආසන්නයේම පළමු කොටම උරුවෙල්
දනවුවෙහි නේරංජනා නදී තීරයෙහි අජපල් නුගරුක මුල වැඩසිටියහ. හුදෙකලාව
චිත්ත විවේකයෙන් වැඩසිටි උන්වහන්සේට කිසිවකු ගුරුවරයකු වශයෙන් තබා
නොගෙන, එසේම කිසිවකු දෙටුතන්හි තබා නොගෙන විසීම දුකයි, කියල
බුද්ධත්වයෙන් පස්වන සතියෙහි මෙබඳු විතර්කයක් ඇතිවුණා. එසේම උන්වහන්සේ
හිතුව මම කවර නම් ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ සත්කාර කොට ගුරු කොට
ඇසුරු කොට වසන්නෙම්ද? (මෙබඳු විතර්කයකුයි පහළ වුණේ. ගාරව සූත්‍රය දේශනා
කිරීමට හිතුන අවස්ථාව පිළිබඳ නිදානයයි මේ කීවේ. මේ සූත්‍රය ඇතුළත්
වන්නේ සංයුක්ත නිකායේ හය වන බ්‍රහ්ම සංයුක්තයටයි. බු.ජ.පු. ප්‍රථම
භාගයෙහි 252 පිටුව)
දිනක් නේරංජනා නදී තීරයෙහි හුදෙකලාව වැඩ සිටි බුදුරජාණන් වහන්සේට මෙසේ
සිතුණ. මාගේ අසම්පූර්ණ ශීලස්ඛන්ධය (තිබේනම්) සම්පූර්ණ කර ගැනීම පිරිස
කවර නම් අන්‍ය මහණකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ සත්කාර කොට, ගුරු කොට, ඇසුරු
කොට වසම්නෙම්ද? (දිවසින් බැලුව ඒ සඳහා සුදුසු කෙනෙකු ලොව සිටිනවාද?
කියල) තමන් වහන්සේට වඩා ශීල ගුණයෙන් වැඩි තරම් (උත්තරීතර) වූ මහණකු
බමුණකු ලොව සිටී දැයි බැලූ විට එබඳු අන්‍ය ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු
හෝ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත
ප්‍රජාවෙහි කිසිවෙකුත් දක්නට නොලැබුණි. (සැ.යු. මෙහි ශීලයයි කීවේ
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත
ශීලය, ආජීව පාරිසුද්ධි ශීලය යන සතර සංවර ශීල හා කෙලෙස් ධුතාංගයි. එනම්
ආර්ය ශීලයයි.) තවද බුදුරජාණන් වහන්සේ දම්සක් පැවැත්වීම සඳහා ඉසිපතනයට
වඩින අතර මඟදී හමු වූ උපක ආජීවකට වදාළ “න මේ ආචරියො අත්ථි සදිසො මේ
නවිජ්ජ්ති. සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො” යනුවෙන් ආජීවකය,
මා අවබෝධ කරගත් සිවුසස් දහම් අවබෝධ කර ගැනීමට මට ගුරුවරයෙක් නොවීය.
එමෙන්ම මා හා සම කළ හැකි (රහතෙක්) කෙනෙකු ද නො පෙනේ. දෙවියන් සහිත
ලෝකයෙහි මා වැනි තවත් පුද්ගලයෙකු නොදකිමි යි කරන ලද විවරණය සිහි කරන්න.
මෙසේ තමන්ට වඩා උත්තරීතර ශීලස්ඛන්ධයෙන් යුත් ගුරුතන්හි ලා ඇසුරු කිරීමට
සුදුස්සකු නොදුටු මම අනතුරුව මාගේ අසම්පූර්ණ සමාධිස්න්ධයක් ඇත්තේ නම්
එය සම්පූර්ණ කර ගැනීමට සමාධියෙන් මට වඩා උත්තරීතර කෙනෙකු ගුරු කොට
ඇසුරු කිරීමට ලොව සිටිද්දැයි බැලීමීයි වදාළ. එහෙත් එබඳු කෙනෙකුත් ලොව
නොමැති බව මට පෙණුන. (මෙහි සමාධියයි කීවේ සමථ භාවනාවේ දී වඩන දස අසුබ
දස කසිනාදී සම සතළිස් කර්මස්ථානයි. එවා අතුරින් සුදුසු කර්මස්ථානයක්
අරමුණු කොට එය වැඩීමෙන් ලබන චිත්ත සමාධියටයි. එනම් කුසල් සිතේ
ඒකාග්‍රතාවටයි. නාම, රූප,අරූප යන තුන් භවයෙහිම මේ කුසල් සිත් ඇති වේ.
මේ ‘චේතො සමාධිය’ විදර්ශනාවට මහෝපකාරී වේ. සමථ භාවනාවන් ප්‍රථමාදී රූපා
වචර සමාධි හා ආකාසානච්චායතනාදි අරූපාවචර සමාධි යන අෂ්ට සමාපත්ති ලැබීමට
හෙවත් සමාධි ලැබීමට ඉවහල් වේ. මේවා ලෞකිකයයි. ලෞකික සමාධියට ප්‍රථමයෙන්
ඇතිවන චිත්ත ඒකාග්‍රතාව උපචාර සමාධියයි. සෝතා පත්ති ආදී ආර්ය මාර්ගයේ
දී සිතේ ඇතිවන ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. ජලාශයක පැතිර තිබෙන
සෙවෙල් පසකට තල්ලු කොට පිරිසුදු ජලය ගතහැකිවන්නාක් මෙන් ධ්‍යාන
ශක්තියෙන් හිතේ තිබෙන කාමච්ඡන්දාදී කෙලෙස් පහ වී තදංග වශයෙන් සිත
සමාධිගත වේ. අනතුරුව සමාධිගත සිතේ ප්‍රඥාව වැඩීමෙන් වික්ඛම්භණ වශයෙන්
කෙගෙස් සම්පූර්ණයෙන් විනාශ වී වික්ඛම්භණ ප්‍රහානය සිදුවේ. එනම් මාර්ගඵල
පසක් වේ.
තෙවනුව අසම්පූර්ණ ප්‍රඥාස්ඛන්ධය සම්පූර්ණ කර ගැනීම පිණිස යමකු සත්කාර
කොට ගුරු කොට ඇසුරු කොට විමසීමට සිතා තමන්ට වඩා ප්‍රඥාස්ඛන්ධයෙන්
උත්තරීතර ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලොව සිටි දැයි බැලුවෙමි.
එහෙත් සත්කාර කොට ගුරුකොට ඇසුරු කිරීමට තමන්ට වැඩ තරම් ගුණයෙන්
උත්තරීතර කිසිවකු ලොව නො දුටු මම අනතුරුව විමුක්තිස්ඛන්ධයෙන් යුක්ත
කෙනෙක් ලොව සිටී දැයි බැලුවෙමි. මෙයට පෙරාතුව ප්‍රඥාස්ඛන්ධ යයි කීවේ
ලෞකික හා ලෝකෝත්තර ප්‍රඥාවටයි. එනම් සෝතා පන්නතාදී මාර්ග හා ඵල
ප්‍රඥාවයි. එනම් පඤ්චස්ඛන්ධය පිළිබඳ යථාස්වභාවය නුවණින් දැකීමයි. ලෞකික
ප්‍රඥාව නම්, කාමාවචර, රූපාවචර, අරූපාවචර, යන ත්‍රිවිධ භවයන්හි සිත්වල
යෙදෙන කුසල හා අව්‍යාකෘ ත ප්‍රඥාවයි. එය ලෞකිකයි. අට වැදෑරුම් මාර්ගය
හා ඵල සිත් වල යෙදෙන ප්‍රඥාවයි. එය ලෝකෝත්තරයි. අවිද්‍යාව දුරු වන්නේ ද
ප්‍රඥාවෙනි. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින නුවණ ද
ප්‍රඥාවයි. මෙයද ලෞකිකයයි. මාර්ග හා ඵල සිත්වලදී අවිද්‍යාව නසමින්
උපදින නුවණ ලෝකෝත්තර ප්‍රඥාවයි. එනම් අර්හත් ඵලප්‍රාප්තියයි. ( මේ කියන
ප්‍රඥාව වටහා ගන්නට නම් ඔබත් මාත් යටත් පිරිසෙයින් සෝතාපත්ති ඵලයටවත්
පත්විය යුතුයි.) මෙම ප්‍රඥාස්ඛන්ධය පිළිබඳව තමන් වහන්සේ ට වඩා අධිකතර
කිසිවෙකු ලොව නොදැක අනතුරුව මම අසම්පූර්ණ විමුක්තිස්ඛන්ධය සපුරා ගැනීම
සඳහා කිසියම් මහණකු බ්‍රාහ්මණයකු ගුරු තන්හි තබා සත්කාර කොට ගරුකාර කොට
ඇසුරු කොට වසන්නේ නම් මැනැවැයි සිතා එබඳු කෙනෙක් ලොව සිටී දැයි
බැලුවෙමි.
විමුක්තිස්ඛන්ධය නම්, මාර්ග චිත්තයට අනතුරුව ඉතිරිවී තිබෙන සාංසාරිකව
සිතේ තියෙන කෙලෙස් පුරුදුයි. අනාදිමත් කාලයක් තුළ සිතේ පවතින රාගාදී
කෙළෙස් මාර්ගඥානයෙන් නැසුනත් ඒ කෙලෙස්වල පුරුදු තවදුරටත් ඉතිරිවී තිබේ.
ගිනිගොඩක් නිවා දැමුවත් ඒ ස්ථානයේ ගිනි රස්නෙ තවදුරටත් ඉතිරිව
තිබෙන්නාක් මෙන් ක්ලේශ වාසනා ද ඉතිරිව තිබේ. එම ක්ලේශ වාසනා දුරුවන්නේ
මාර්ගඵලඥානයෙනි. එයට විමුක්තිස්ඛන්ධයයි කියති. “සවාසනා සකලක්ලේශයන්
නැසූ බුදුරජාණන් වහන්සේ යයි අප කියන්නේ මේ ක්ලේශ වාසනා දුරුකළ එකම
පුද්ගලයා වන බුදුරජාණන් වහන්සේට පමණකි.
එහෙත් විමුක්ති ස්ඛන්ධ ඥානයෙන් තමාට වඩා උත්තරීතර ශ්‍රමණයකු හෝ බමුණකු
හෝ ලොව නුදුටු මම මාගේ අසම්පූර්ණ විමුක්තිඥාන දර්ශනස්ඛන්ධයාගේ සම්පූර්ණ
කරලීමට අන්‍ය වූ මහණ, බමුණකු සත්කාර කොට ගුරුකොට ඇසුරු කොට වාසය
කෙරේනම් යෙහෙකැයි සිතා තමාට වඩා එම ඤාණයෙන් උත්තරීතර කෙනෙකු ලොව
සිටීදැයි බැලුවෙමි. එහෙත් එබන්ඳෙක් නොදුටු මම තවදුරටත් එබන්ඳෙකු සෙවීම
අත්හැර යම් ඒ ධර්මයක් මා විසින් (බෝ මැඩ දී) මනාකොට අවබෝධ කරන ලද ඒ
ධර්මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නේ නම් මැනැවැයි තීරණය
කෙළෙමි යි වදාළහ.
ඒ අවස්ථාවෙහි සහම්පතී මහා බ්‍රහ්මතෙමේ තම සිතින් බුදුන් වහන්සේගේ චිත්ත
විතර්කය (සිතිවිල්ල) දැන බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නට හෝ
දිගු කළ අතක් හකුළුවන්නට හෝ පෙරාතුව බඹලොවින් අතුරුදන් ව බුදුරජාණන්
වහන්සේ ඉදිරියෙහි පහළ විය. සහම්පති මහා බ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කොට
ගෙන බුදුන් වහන්සේට නමස්කාර කරගෙන මෙසේ සැලකළහ. භාග්‍යවතුන් වහන්ස, ඔබ
වහන්සේ ධර්මය ගුරු කොට ඇසුරු කිරීමට බැසගත් තීරණය හරියට හරි. ස්වාමීනි,
අතීත කාලයෙහි කිසියම අර්හත් සම්බුදු කෙනෙක් විසුවේද උන්වහන්සේත්
ධර්මයටම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූසේක. ස්වාමීනි, අනාගතයෙහි
කිසියම් සම්මා සම්බුදු කෙනෙක් පහළ වනසේක් ද උන්වහන්සේත් ධර්මයටම සත්කාර
කොට ගුරු කොට ඇසුරු කොට වාසය කරනසේක. ස්වාමීනී, දැනුදු භාග්‍යවත්
අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේත් ධර්මයම සත්කාර කොට ගුරු කොට ඇසුරු
කොට වාසය කරන සේක්වායි කී සහම්පති මහා බ්‍රහ්ම රාජයා පහත සඳහන් ගාථා
තුනෙන් මෙසේ ද සැළකළා.
යෙ චබ්භ තිතා සම්බුද්ධා යෙ චබුද්ධා අනාගතා
යො චෙතරහි සම්බුද්ධො බහුන්නං සොත නාසනො
අතීත කාලික වූ සම්බුදු කෙනෙක් වූයේ ද අනාගත කාලීන වූ යම් බුදු කෙනෙක්
පහළ වන්නේ ද බොහෝ දෙනාගේ සෝකය නසන යම් සම්බුදු කෙනෙක් දැන් සිටිද්ද
(එසේම)
සබ්බෙ සද්ධම්ම ගරුනො විහංසු විහරන්ති ච
අථොපි විහරිස්සන්ති ඵසා බුද්ධාන ධම්මතා
ඒ සියලු බුදුවරුන් වහන්සේ සද්ධර්මය ම ගරු කොට විසූහ. දැනුදු වසනසේක.
වැළිදු මතුද වනසේක. මේ බුදුවරුන් වහන්සේගේ ධර්මතාවයයි. ස්වභාවයයි.
තස්මා හි අත්ථකාමෙන මහත්ත මහිකඩ්බතා
සද්ධම්මො ගරුකා තබ්බො සරං බුද්ධානසාසනං
හෙයින් (තමාට) වැඩ කැමැති (එමෙන්ම) තමාගේ මහත් බව ( මහන්තත්වය)
ප්‍රාර්ථනා කරන පුද්ගලයා විසින් බුදුන් වහන්සේගේ අනුශාසනාව (අවවාදය)
සිහිකරමින් ශ්‍රී සද්ධර්මය ම ගුරු කොට පිළිගෙන විසිය යුතුයි. මෙසේ කියූ
සහම්පති මහා බ්‍රහ්ම තෙමේ අතුරු දන්ව බඹලොවට ගියේ ය. මහබඹු මේ අවසන්
ගාථා තුනෙන් මෙම අවවාදය කළේ අපට කරන අවවාදයක් වශයෙන් බව සිතන්න. මෙලොව
හැම සත්ත්වයන්ටම එකම පිහිට බුදු සසුන බව සිතා එයම අනුව යමින් සදා
සැනසීම ළඟා කරගන්න උත්සාහ කරන්නේ නම් ඔබ ලැබූ දුර්ලභ මිනිස් බවින්
උපරිම ඵල නෙළා ගත්තා වේ.
|