Print this Article


බරණැස වන්දනීය ඉසිපතනය

බරණැස වන්දනීය ඉසිපතනය

දඹදිව බරණැස්නුවර “මිගදාය” කියු සැනින් අපගේ මතකයට නැගෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ ආකාරයයි. බුදුරජාණන් වහන්සේ ඉසිපතනය මිගදායේ දී ධර්ම දේශනා කළේ, පස්වග තවුසන් වෙතය. ශාසන ඉතිහාසයේත් බුද්ධ ශාසනයේත්, පළමුවෙනි ධර්ම දේශනාව ලෙස මේ ධර්ම දේශනාව දැක්විය හැකිය. දම්සක් පැවතුම් සූත්‍රය හෙවත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරන්නට තීරණය කරගත්තේ පස්වග තවුසන් සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වය දක්වා යන උතුම් ගමනේ යම් යම් සන්ධිස්ථානවලදී හමුවී තිබූ නිසාය. ඒ දැන හැඳුනුම්කම අනුව පස්වග තවුසන්ට ධර්ම දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ තීරණය කරන ලදී. බුදුරජාණන් වහන්සේ එහෙම තීරණය කළත් ධර්ම දේශනාව සඳහා පස්වග තවුසන් සමීපයට බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවේදීවත් තවුසන් කිසිම කෙනකු දැනගෙන හිටියෙ නැහැ.මේ උතුමන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් උතුමෙක් බව. බුද්ධත්වය අවබෝධ කරගත නොහැකිව නැවත සොයාගෙන එනවායැයි ඒ අය සිතුහ. නමුත් බුදුරජාණන් වහන්සේ සමීපයට වඩින විට උන්වහන්සේ ශාක්‍ය කුලයෙහි උපන් කෙනෙක් නිසාත්, ඉන්දියාවේ කුල මළ දැඩිව ඉහළින්ම පිළිගත් නිසාත්, ශාක්‍ය කුලයේ කෙනාට සැළකීම සඳහා අසුනක් පිළියෙල කරමුයි කියා පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේ වඩින බව දැකලයි තීරණය කළේ. එම තීරණයේ ඒ ආකාරයටම හිටියත්, බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සමීපයට එන්න එන්න, පස්වග තවුසන්ට තමන් පෙර ගත් තීරණයෙහි සිටින්නට පුළුවන්කමක් නොලැබුණේය. ඒ අය විසින්ම ඒ අය ගත් තීරණය වෙනස් කරමින් බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරන්නට යුහුසුළු වුණා. එහෙම යුහුසුළු වුවත් ඒ අය පිළිගත්තේ නැහැ. මේ උත්තමයා බුදු වූ උතුමෙක් කියලා. එහෙම පිළිගත්තේ නැත්තේ මේ අයත් බුදුවීම සඳහා උත්සාහ ගනිමින් සිටි නිසාය. ඒ වෙන විටත් බුද්ධත්වය යන අදහස සමාජයේ තිබුණත්, බුදුවූ උත්තමයකු දක්නට නොසිටි නිසා. බෝධිසත්වයන් වහන්සේ බුදුවී යැයි කියන කාරණාව ඒ අය විශ්වාස කළේම නැති නිසා ඇවැත්නි යනුවෙන් ආමන්ත්‍රණය කළා. “ඇවැත්නි” කියන්නේ යහළුවේ කියන වගේ කියන වචනයකි. වැඩිමහලු හාමුදුරුවන් තරමක බාල ස්වාමින් වහන්සේ නමකට කතාකරන විට හෝ සම වයසේ භික්ෂූන් වහන්සේ නමක් තවත් ස්වාමින් වහන්සේ නමකට කතාකරන විට හිතවත් කමටත් එක්ක “ඇවැත්නි” යන වචනය පාවිච්චි කරනු ලබයි. “ඇවැත්නි” යනුවෙන් බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන විට බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට කියලා දුන්නා . “ඇවැත්නි” යනුවෙන් ප්‍රකාශ කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මම බුද්ධත්වයට පත්වෙලයි ඉන්නේ කියලා.

ඔබලා අපේ පරණ මිත්‍රත්වය මත ඇවැත්නි කියලා කිව්වට මම ඊට වඩා බොහොම ඉහළ මානසික තත්ත්වයකට පත් වූ කෙනෙක්ය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ දේශනා කරනු ලැබුවත් තමන් බුදුවුණාය කියන කාරණය තමන්ගේ යහළුවන්ට කියලා දෙන්නත් බොහෝ වේලාවක් ගිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එතැනින් පෙනෙන තවත් පැත්තක් තිබෙනවා. තමන් සමඟම සිටිය යහළුවන් තව කෙනකු ඉහළම තලයකට ගියත් ඒ අය කැමැති නැහැ තමන්ගේ මිත්‍රයා ඉහළම තලයකට ගියාය කියන කාරණාව පිළිගන්න.

එදා සමාජය තුළ දැනුම තිබුණත්, හරියට අවබෝධයක් නැති සමාජයකට දුක කියන සංකල්පය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. දුක කියන සංකල්පය පැහැදිලි කිරීමට පෙර බුදුරජාණන් වහන්සේ කළේ එදා සමකාලීන සමාජය තුළ තිබූ ආගමික ඇදහිලි විශ්වාස මතිමතාන්තර සියල්ලම එකතු කොට කොටස් දෙකකට බෙදපු එකයි. භාරතීය සමාජය තුළ පැවති සැටදෙකක් පමණ වූ දෘෂ්ඨි වාදයන් සියලුම ආගමික මතවාද හා දෘෂ්ටිවාද එකට එකතු කරල කොටස් දෙකට බෙදා ඒවාට නම් ලබාදුන්නා. එයින් එක නමක් ලෙස අත්තකිලමථානුයෝගය හඳුනාගත හැකිය. තමන්ගේ ශරීරය වෙහෙසට විඩාවට පත් කිරීම තුළින් තමන්ට ප්‍රඥාව ලැබිය හැකි යැයි කියන විශ්වාසය පිළිගැනීම අත්තකිලමථානුයෝගය අනුගමනය කිරීම ලෙස හඳුන්වයි. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතිකේෂේප කළා. අත්තකිලමථානුයෝගය ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ එහි අසුබ හෙවත් ආදීනව වදාළා. හීනෝ (හීනයි) ගම්මෝ, (ග්‍රාම්‍යයයි) පොථුජ්ජිනිකො ( පුහුදුන් ජනයා මෙය අනුගමනය කරන්නේ( අනරියෝ) ආර්යය මාර්ග නොවේ (අනත්ත සංහිතෝ ) අනර්ථය පිණිස හේතුවනවා) යන කාරණා පහට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ අත්තකිලමථානුයෝගය. පැහැදිලි කිරීමට වගේම කාමසුඛල්ලිකානුයෝගය වන ශරීරයට සැප සම්පත් දීම සුකාශ්වාදයට පත්කිරීම තුළින් ප්‍රඥාව ලැබිය හැකියැයි කියන මතය පැහැදිලි කිරීමට අත්තකිලමථානුයෝගයත්, කාමසුඛල්ලිකානුයෝගයත් කියන නම් දෙක යෙදුවේ බුදුරජාණන් වහන්සේමයි. ඒ දෙකෙනුත් වඩාත්ම අයහපත් දෙය ලෙස පැහැදිලි කළ අවසථාවේදී කාමසුඛල්ලිකානුයෝගය බුදුපියාණන් වහන්සේ හඳුන්වනු ලැබුවා. කාමසුකල්ලිකානුයෝගයට තමයි පෙර සඳහන් කළ වචන පහම ඇතුළත් වෙන්නේ. හීනො, ගම්මෝ, පෝථුජ්ජනිකෝ අනත්ත සංහිතෝ කියන වචන පහම අත්තකිලමථානුයෝගය අයහපත් දෙයක් ලෙස දේශනාකළත් කාමසුඛල්ලිකානුයෝගයත්, අත්තකිලමථානුයෝගයත් යන දෙකම සන්සන්දනය කර බලන විට වඩාත්ම අයහපත් දෙය ලෙස කාමසුඛල්ලිකානුයෝගය හඳුන්වනු ලැබුවා. අත්තකිලමථානුයෝගය පිළිබඳව කතාකරන විට බුදුහාමුදුරුවන් එයත් අයහපත් දෙයක් ලෙස දේශනා කරනු ලැබුවේ ඒ මාර්ගය තුළ ගමන් කිරීමෙන් ප්‍රඥාව ලබාගත නොහැකි නිසයි. දුක්ඛෝ (දුක්සහිතයය අනරියෝ අනාර්යයි) අනත්ත සංහිතෝ (අනර්ථය පිණිසයි)

මේ ආකාරයට එදා සමාජය තුළ පැවැති සියලුම ආගමික දර්ශන ආගමික ලක්ෂණ ආගමික මතවාද ඇදහිලි හා විශ්වාස සියල්ල මේ කොටස් දෙකට බෙදුවා.

මේ ආකාරයට කොටස් දෙකකට බෙදලා එසේ බෙදීම් ආදී තවත් පැහැදිලි කරල මේ ක්‍රම දෙකම අන්ත හැටියට දැක්වූවා. අන්ත තුළින් නිවන් මාර්ගයට යන්න බැහැ. කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මෙහෙම පැහැදිලි කළ බුදුපියාණන් වහන්සේ ඊට පසුව තමන් වහන්සේ අවබෝධ කරගත් දහම කුමක්ද කියලා පැහැදිලි කරන්න පටන් ගත්තේ. ඒ දහම “මජ්ක්‍ධිමා පටිපදා” හෙවත් මැදුම් පිළිවෙත ලෙස වදාළා. බුදුපියාණන් වහන්සේ මැදුම් පිළිවෙත ලෙස වදාළේ අවබෝධයෙන් යුක්තව යන ගමනක් වීම මිස සැපේ එල්ලීම හෝ දුකේ එල්ලීම කරන්නේ නැතිව දුක සැප සමව දරාගෙන උපේක්ඛා සහගතව අවබෝධයෙන් සමාජ අවබෝධයෙන් කටයුතු කිරීම නිවන් මගට අවතීර්ණ වීම හෙවත් නිවන් මාර්ගයේ ගමන් කිරීම මජ්ඣිමා පටිපදා කියලා.

“මඣිම පටිපදාව“ පැහැදිළි කිරීම සඳහා බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය යොදා ගනු ලැබුවා. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය යනු චතුරාර්ය සත්‍යය ධර්මයයි. මෙය හතරක් ලෙස දැක්වුවත්, අපට පැහැදිලිව දක්නට තිබෙන්නේ එකයි. එය දුක හෙවත් දුක්ඛ සත්‍යයයි.

අනෙක දුකට හේතුව වන සමුදය සත්‍යයය. ඊළඟට දේශනා කරනු ලැබුවේ දුකෙන් මිදීමේ මාර්ගය වූ නිරෝධ සත්‍යයයි. ඊළඟට දුකෙන් මිදීමේ මාර්ගය හෙවත් මාර්ග සත්‍යයයි. සත්‍යය හතරක් ලෙස දේශනා කරනු ලැබුවත්, මේ හතර එක හා බැඳුනු හතරක් ලෙස පවතී. දුක මත පිහිටි දුක හා සම්බන්ධ කරුණු හතරක්. දුකෙන් මිදීමේ මාර්ගය පෙන්වාදීමේදී බුදුපියාණන් වහන්සේ කරුණු අටකින් සමන්විත මාර්ගයක් ලෙස එය ආර්යය අෂ්ඨාංගික මාර්ගය පෙන්වා දෙනු ලැබුවා. උතුම් නිවන සඳහා ගමන් කරන කරුණු අටකින් යුක්ත මර්ගය අරි අටඟි මඟ ලෙසද හඳුන්වනු ලබනවා.

බුදුපියාණන් ව හන්සේ බරණැස් නුවර ඉසිපතනයේදී ලෝකය වෙත මුලින්ම මෙය වදාරනු ලැබුවා. එසේ වදාළ බුදුපියාණන් වහන්සේ නැවතත් පැහැදිලි කරනු ලැබුවේ, මම මේ මාර්ගයේ ගමන්කර තිබෙන බවත්, මම ඒ ගිය මාර්ගය පිළිබඳවයි ඔබලාට පැහැදිළි කරනු ලැබුවේ. බොහෝ දෙනා අනෙක් අයට පෙන්වන පාරවල පාර පමණයි තමන් ගමන් කර නැහැ. මම ඒ මාර්ගයේ ගමන් කළා. මම ඒ මාර්ගය දන්නා බවත් ඒ මාර්ගය දුටු බවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා. ඒ මාර්ගයේ ගොස් සියල්ල අවබෝධ කරගත් නිසා මම ඔබලාට මෙසේ වදාරනවා.

“ඤාණංච පන මේ දස්සනං උදපාදී”
අකුප්පා මේ චේතෝ විමුක්ති

අයමන්ති මා ජාති නත්ථි දානි පුනබ්භවො මට ඤාණය පහළ වුණා. ඤාණ දර්ශනය පහළ වුණා. මේ කරුණ වෙනස් කළ නොහැකිය. කණපිට හරවන්න බැහැ. මෙය නිශ්චිතයි. ස්ථිරයි. මේ නිශ්චිත වූ ස්ථිර වූ ධර්මයක් අවබෝධ කරගත් නිසා නැවතත් මගේ උපතක් නැහැ. මම උපදින්නේ නැති නිසා මැරෙන්නේ නෑ.නූපන් කෙනකු මැරෙන්න විදිහක් නැහැ. මේ මාගේ අන්තිම උපතයි. නැවත හටගැනීමක් නැහැ කියන ප්‍රකාශයයි.

බරණැස්නුවර අභීත පුරයක් හැටියට තේජාන්විත, සිතිවිලි වලින් යුක්ත, අභිමාණාත්මක ජවයක් බෞද්ධ සිත්සතන් තුළ ඇතිකරන පුණ්‍ය භූමියක් ලෙස අපට දක්වන්නට පුළුවන්කම ලැබෙන්නේ ලෝක ඉතිහාසයේත්, ලෝක චින්තන ඉතිහාසයේත්, ලෝක දාර්ශනික ඉතිහාසයේත්, ලෝක ආගමික දාර්ශනික ඉතිහාසයේත්, කිසිදු පුද්ගලයකු මෙවැනි අභීත තේජාන්විත ප්‍රකාශයක් කර නැති නිසා. එය කළේ ප්‍රථම වතාවට සහ එකම වතාවට. බුදුපියාණන් වහන්සේ පමණක් වන නිසා. උන්වහන්සේ එය දේශනා කරනු ලැබුවේ බරණැස් නුවර මිගදායේ ඉසිපතනාරාමයේදී වූ නිසා. බරණැස් නුවර එදත් අදත් හෙටත් පූජනීය වන්නේ ඒ අභීත ප්‍රකාශය නිසයි.

සටහන
හේමමාලා රන්දුනු