Print this Article


සීල විසුද්ධිය 10 කොටස භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ඇසුර

සීල විසුද්ධිය 10 කොටස

ඔබ බොහෝ දෙනා කියවා ඇති ‘චූල ගෝසිංහ සූත්‍රය’. ගෝසිංහ සල් වනයේදී වදාළ කුඩා දෙසුම. භාග්‍යවතුන් වහන්සේ ඒ සල් වනයට වැඩම කරන කොට ඒ සල් වනයේ අනුරුද්ධ, නන්දිය, කිම්බිල, කියන ඒ ස්වාමින්වහන්සේලා තමයි වැඩ වාසය කළේ.

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කර පිළිසඳර කථා කළා. ඒ ස්වාමින් වහන්සේලා ආසන පනවා වන්දනා කර පැත්තකින් වාඩි වුණා. ඉන්පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනවා ‘ පින්වත් අනුරුද්ධ, කොහොමද සැප සනීප. පහසුවෙන් ඉන්නවා නේද? පිණ්ඩපාතෙන් කරදරයක් නැහැ නේද?.

එවිට අනුරුද්ධ හිමියන් වදාළ ‘භාග්‍යවතුන් වහන්ස, අප සනීපෙන් ඉන්නවා. භාග්‍යවතුන් වහන්ස, අප පහසුවෙන් ඉන්නවා. ස්වාමිනි, ඒ වගේම අපට පිණ්ඩපාතෙනුත් කරදරයක් නැහැ’.

ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනවා ‘පින්වත් අනුරුද්ධ කොහොමද සමඟිය එහෙම? සමඟිව වාද විවාද නැතිව නේද ඉන්නේ? එකිනෙකා කිරියි දියයි වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා නේද? කියා අසා සිටියා.

එසේනම් ඔබ කල්පනා කරන්න භාග්‍යවතුන් වහන්සේ අප කරා වැඩම කළොත් අපෙන් අහන්නේත් මේ විදිහට තමා. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් ලෙස ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකළ යුතු කියන පණිඩිය අප නිතර නිතර සිහිපත් කළේ ඒ නිසයි. එසේම භාග්‍යවතුන් වහන්සේ අප කරා වැඩම කළොත් අපෙනුත් මේ ආකාරයෙන් අසා සිටියි. ‘ඒ නිසා අපත් සමඟියෙන් වාසය කරන්නට ඕනෑ කියා අපට සිහිවෙන්ට ඕන. ඔබ ශ්‍රාවකයින් නම් මේ විදියටයි කල්පනා කරන්නට ඕන. ඒකයි මේ ධර්මය අතීතයට, වර්තමානයට, අනාගතය කොයි කාලෙදීවත් ප්‍රතිඵල රහිත නො වන්නේ. ඒකයි මේ ධර්මය අතීතයට ගිය ධර්මයක් නො වන්නේ. කාලයට අනුව වෙනස්වෙලා නො යන්නේ.

ශ්‍රාවකයන් මේ ආකාරයට කල්පනා කළොත් ඒ අයගේ හදවතේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ අය නිතැතින් සංවර වෙනවා. සිත අසංවර කරන මාන්නය නැති කර ගන්නවා. යමෙක් අසංවර වුණොත් අසංවර වෙන්නට බලපාන දරුණුම එක තමා ‘මාන්නය’. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දුන් ධර්මය පවා සමහර අය පාවිච්චි කරන්නේ ‘මාන්නය’ දියුණු කර ගන්නට යි. අප සාමාන්‍ය ලෝකයේ දැනුම ඉගෙනගෙන ඒකෙන් මාන්නයක් ඇතිකර ගත්තා කියා ලොකු හානියක් සිදුවෙන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ නමක් දේශනා කරන්නේ සත්ත්වයාගේ පිරිසුදුභාවය ඇතිකර ගන්නට වුවමනා ධර්මය යි. දුකින් නිදහස් වීම පිණිස උපකාරිවන ධර්මය යි. දුකෙන් නිදහස්වෙන ඒ ක්‍රමවේදය භාග්‍යවතුන් වහන්සේ නමක් අවබෝධ කරන්නේ ඉතා දුෂ්කරව යි. ඒ සඳහා සාරසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් අපේ භාග්‍යවතුන් වහන්සේ පෙරුම් පිරුවා. සක්විති පදවිය අතහැරියා. ඊළඟට අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළා. මාරසේනාව පරාජය කළා. ඒ ආකාරයට ඉතාමත් ම දුෂ්කරව තමා මේ ධර්මය අවබෝධ කළේ. අවබෝධ කළ ඒ ධර්මය කියා දුන්නෙත් විශාල මහන්සියක් අරගෙනයි. ගමක් ගමක් ගානේ පයින් වැඩම කළා. අසනීපවෙලා සිටිද්දී පවා පයින් වැඩම කළා. උන්වහන්සේට අවස්ථාව තිබුණා තමන් වහන්සේ ගේ සෘර්ධි ප්‍රාතිහාර්යෙන් වඩින්න. නමුත් උන්වහන්සේ එසේ කළේ නැහැ. එසේ නො කළේ දෙවි මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්. ඒ අයට යහපත පිණිස පයින් වැඩම කළා. එසේ වැඩම කර මේ ධර්මය අප උදෙසා ම දේශනා කොට වදාළා.

උන්වහන්සේ ඒ ආකාරයට කටයුතු කළේ මේ ශාසනය චිරාත් කාලයන් පවත්වා ගැනීම පිණිස යි. එහෙමනම් දෙවියන්ගේ මිනිසුන්ගේ සැපත පිණිස, නිවන පිණිස, දුකෙන් නිදහස්වීමේ කැමැත්තෙන් ‘මේ ශාසනය බොහෝ කලක් පවතීවා!’ කියන අදහසින් ම භාග්‍යවතුන් වහන්සේ මේ ශික්ෂාව පනවා වදාළේ. මේ ධර්මය වදාළේ. එසේනම් අප තුළ ඒ ධර්මය මුල්කරගෙන, ඒ ශික්ෂාව මුල් කරගෙන මාන්නයක් හටගන්නවානම් ඒකට ඉඩ නො තැබීම තමා පළමුවෙනි ම ගුණාංගය වෙන්නේ. ඒ ගුණයේ පිහිටා අපට පුළුවන් ධර්ම මාර්ගයේ ඉහළට ගමන් කරන්නට. ඒ ගුණය නැතිකෙනාට ඉහළට යන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ ශික්ෂාව මුල්වෙලා ‘අප ලෝකයට ප්‍රකට වුණා ප්‍රසිද්ධ වුණා’ කියන අදහස වැඩක් නැහැ. අපේ ශික්ෂාව රකිනවා යන්න ලෝකය දැන ගත්තා කියා අපට එහි ප්‍රයෝජනයක් නැහැ. අපේ ශ්‍රාවකත්වය හොඳින් පිහිටා තිබෙනවාද කියා දැන ගැනීමයි අපට බොහෝ උපකාරි වෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින් ළඟට ගියාම විමසන්නේ කුමක්ද කියලා. පින්වත් අනුරුද්ධ කොහොමද සැප සනීප, පහසුවෙන් ඉන්නවා නේද? පිණ්ඩපාතෙන් කරදයක් නැහැ නේද? කියලයි.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයින් ගැන හොඳින් සොයාබලා මේ ශාසනය හොඳින් පිහිටුවා වදාළා. ඒ නිසා ශ්‍රාවකයින්ට පහසුවෙන් යැපෙන්න පුළුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය පිහිටුවා වදාළේ නැතිනම් නවාංග ශාස්තෘ ශාසනය පිහිටුවේ නැත්නම් ශික්ෂාපද පැනෙව්වේ නැත්නම්, ප්‍රාතිමෝක්ෂය දෙසීම අනුදැන වදාළේ නැත්නම් මේ වනවිට ශාසනය අතුරුන්ද වෙලා. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම කෙසේනම් ඇතිකරගත යුතුද කියා කල්පනා කරන්න.

අපට ඒ භාග්‍යවතුන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දුන්න වැඩපිළිවෙල හඳුන්වා දුන්නේ කවුද? යන කාරණයත් සිහි කරන්නට ඕනෑ. ඒ උපකාරය කල්පනා කරනවා නම් අප හීන තත්ත්වයට පත්වෙන්නේ නැහැ. ඒ කියන්නේ ‘මම දන්නවා’ කියා උඩඟු වෙන්නේ නැහැ. තමන්ට ලැබුණ උපකාරය දන්නාකම තමා ‘කළගුණ දන්නාකම’ කියන්නේ. කළගුණ දන්න පුද්ගලයා තුළ මාන්නය එන්නේ නැහැ. ඇයි? ඔහු දන්නවා ‘මම අනුන්ගේ උපකාරයෙන් යැපෙන කෙනෙක්’ කියා මට අසවලා මෙහෙම කියා දුන්නා. මට අසවලා මේක කියා දුන්නේ. මට අසවලා මේ විදිහට සැලකුවා’ ඔහු දන්නවා. එවිට ඉස්මතුවෙන්නට වෑයම් කරන්නේ නැහැ. ඔහු චෛත්‍යයක කොත ඉස්මතු කර පෙන්වනවා වගේ තමාට උපකාර කළ කෙනා ඉස්මතු කරනවා. බලන්න චෛත්‍යයක කොත පහතින් තියෙනවා ද? ඉහළ ම මුදුනේ තමා තියෙන්නේ. කොත බලාගෙන ලෝකයාම සාධුකාර පවත්වන්නේ. ඈත සිට කොත දිහා බලාගෙනයි ළඟට එන්නේ. චෛත්‍යයේ පේසා වළලු බලන්නේ ළඟට ඇවිල්ලයි. මේ වගේ සද්පුරුෂයා වෙහෙරේ කොත ඉස්මතු කර පෙන්වනව වගේ, තමාට උපකාර කළ පුද්ගලයා ඉහළින්ම තබා ගන්න එක. එවිට ලෝකයාම දකින්නේ ඒක. ලෝකයට පිහිට පිළිසරණ එතැනින් ලැබෙනවා. නමුත් දුර්ගුණ කෙනා ඒ කොත පහතින් තියා පේසා වළලු ඉහළින් තියන්නට කල්පනා කරනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. එවිට චෛත්‍යය කඩාගෙන වැටිලා නැසෙනවා. එයත් නැසෙනවා. අනිත් අයත් නැසෙනවා. ලෝකයට වැඳුම් පිදුම් කරන්නට ලැබෙන්නේත් නැහැ.

ඒනිසා කල්පනා කරන්න වෙහෙරක කොත උස්සා තබන්නේ යම් සේද, කොත ඉස්මතු කර සියලු ලෝකයාට ප්‍රදර්ශනය වෙන ආකාරයට පවත්වන්නේ යම් සේද, ඒ වගේම ගුණවත් පුද්ගලයා තමාට උපකාර කළ කෙනාවයි ඉස්මතුකර පෙන්වන්නේ. ‘මට අසවලා උපකාර කළා. ඒ උපකාරයෙන් තමා මා ජීවත් වෙන්නේ’ කියා ඔහු කල්පනා කරනවා. එවිට නිහතමානී වෙනවා. ඔහු පිරිසේ සංසිඳීම පිණිසයි. පිරිස බිඳීම පිණිස, පිරිස නො සන්සුන්වීම පිණිස සමාදන් කරවන්නේ නැහැ. ඒ ආකාරයට ඔබලාත් කල්පනා කර කළගුණ දන්නා අය බවට පත්වෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා පිළිගෙන, අප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ ඉන්නේ කියා කල්පනා කරන්න. එතැනදී භාග්‍යවතුන් වහන්සේගේ අවවාද රැව් පිළිරැව් දෙනවා.’ භාග්‍යවතුන් වහන්සේ අප කරා වැඩම කළොත් මෙහෙමයි අපෙන් අහන්නේ. එවිට අප මෙසේ උත්තර දෙන්නේ’ කියා කල්පනා කරන්න. එසේ වාසය කරන කෙනා සංසිඳෙනවා ම යි.

අප ඒ ආකාරයට කල්පනා කරනවානම් අප සමඟියට කැමැති වෙනවා. ඒ නිසා අපත් සමඟිව වාසය කරන්නට පුරුදු වෙන්නට ඕන. මෙය භාග්‍යවතුන් වහන්සේගේ උපේක්ෂාව. ශ්‍රාවකයා කියා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව ඉටුකරන පුද්ගලයාට යි. ඒ අවබෝධය අදහාගෙන මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට යි. එසේ ම භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කරන්නේ සමඟි සිතින්, වාදවිවාද නැතිව කිරියි වතුරයි වගේ පි‍්‍රය ඇසින් බලමින් එකිකෙනා වාසය කරනවා’ යන්නයි.

කිරියි, වතුරයි එකතු වුණා වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා’ කියන දෙයින් කුමක්ද වැටහෙන්නේ? පිරිසත් සමඟ වාසය කරන්නට ඕනෑ කියන එක. පිරිසක් විදිහට ඉතා සමඟිව ඉන්නට ඕනෑ කියන විට අපට අන් අය කෙරෙහි අපි‍්‍රය ඇසින් බලමින් වාසය කරන්නට බැහැ . වාද විවාද ඇතිවෙනවා කියා අප පිරිසෙන් අයින්වෙන එක නොවේ නිවැරැදි දේ. අප ඒ පි‍්‍රය ඇසින් බලන්නට බැරි ස්වභාවය දුරු කරගන්නට ඉගෙන ගන්න ඕන. ඒකටයි ධර්මය තිබෙන්නේ. අපට මේ පිරිස එක්ක ඉන්නට බැහැ කියා ගැටෙනවා. එයට විසඳුම පිරිසෙන් වෙන්වීමද? නැහැ. සමහරුන්ට පිරිස එක්ක ඉන්න බැහැ. සමහර අයට රාගය එනවා. එහෙම නැත්නම් ගැටෙනවා. එහෙම නැතිනම් යම් යම් ගැටලු ඇතිවෙනවා. සංසිඳීමක් එන්නේ නැහැ. එහෙම වෙන්නේ ඒ අකුසලය දුරු කරන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් කියා දන්නේ නැතිකම නිසයි. එහෙම නැතුව පිරිසෙන් වෙන්වුණ පමණකින් අකුසලයෙන් වෙන් වෙන්නේ නැහැ. පිරිසෙන් වෙන් වුණා කියා අකුසලයෙන් වෙන් වෙනවා කියන කාරණය කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ.

ඒ නිසා අප සියලු දෙනාටම ඉතාම සෙනහසින් සෙත් පතන්න කැමැතියි සමඟිය වාද විවාද නැතිව, එකිනෙකා කිරියි දියයි මෙන් පි‍්‍රය ඇසින් බලමින් වාසය කිරීමට සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා!

නයනා නිල්මිණි


සීල විසුද්ධිය 9 කොටස සේඛබල පුරුදු කිරීම තුළින් සීල විසුද්ධියට