Print this Article


යථාර්ථය තේරුම් ගැනීම

යථාර්ථය තේරුම් ගැනීම

මෙම ලිපියෙහි මුල් කොටස ජුනි 26 වනදා  පත්‍රයේ පළ විය

කොපමණ කැමැති වුණත්, කොපමණ අකැමැති වුනත් අපට සිදුවනවා ලෝක යථාව තේරුම් ගන්නට මෙම ගාම්භීර ප්‍රකාශනයෙහි ගැඹුර ස්පර්ශ කොටගෙන එය උපැස් යුවලක් සේ භාවිත කොටගෙන ලෝක යථාව වටහාගැනීමට භාවිතා කිරීමයි.ලෝක යථාව වටහාගැනීමට නිශ්චිතව හැකිවන ප්‍රකාශයක් ලෙස අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ’ යන්න භාවිත කළ හැකිය. ජීවිතයේ අතීත සිදුවුණු සිදුවීම් වල සත්‍යය වටහාගන්නට අපට සිදුවුණොත් එය මහා අවාසනාවන්ත සිදුවීමක්ද නැතහොත් එය ලෝක යථාව තේරුම් ගැනීමට ලැබෙන අවස්ථාවක් දැයි සිතන්න.

බුදුපියාණන් වහන්සේගේ දේශනාවක දැනෙන ඇත්ත වටහාගැනීමට අපට පුංචි ඉඩකඩක් හෝ ලැබෙනවා නම් කිසියම්ම ආකාරයක ඒ සත්‍යය තේරුම් ගැනීමට ඒ එක වචනයක් ප්‍රමාණවත්, (බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය ලබා ධර්මදේශනා කරන්නට ආරම්භ කළ අවධියේදී උපතිස්ස හා කෝලිත යන පරිබ්‍රාජකයන් දෙපොළට

යේ ධම්මා හේතු පභවා
තේ සං හේතුං තථාගතෝ ආහ.
තේ සංචයෝ නිරෝධෝ
ඒවං වාදී මහා සමණෝ

යන එක ගාථාවක් ප්‍රකාශයට පත්කරනු ලබන අවස්ථාවේදීම ආරම්භක වචන තුන හතර ප්‍රකාශ වෙන කොටම උපතිස්ස පිරිවැජියා නිර්වාණ මාර්ගයට පිවිසුනා,සෝවාන්භාවයට පත්වුණා. කියලා අප අසා තිබෙනවා. මුහුකුරා ගිය ලෝකය පිළිබඳව විවෘත වුණ විවර වුණ මනසක් ඇති කෙනකුට යම්කිසි පොඩි ප්‍රකාශයක් ඇති ලෝකය දැකීමට හා නිවන සාක්ෂාත් කරගැනීමට නිවන් දැකීමට බෞද්ධ වෙන්නම අවශ්‍ය නැහැ. නිවන් දකින්නට දීර්ඝ කාලීනව සිල් සමාදන් වීම අත්‍යවශ්‍ය අනිවාර්යය කාරණාවක් ලෙස අවධාරණය කොට නැහැ. නිවන් දැකීම සඳහා පුංචි වාක්‍යයක් වුවත් තේරුම් ගැනීම අදාළ වෙනවා. නිවන් මගේ ගමන් කිරීම උදෙසා පොඩි වාක්‍යයක් වුණත් තේරුම් ගැනීම අවබෝධය අවශ්‍ය වෙනවා. ‘අනිච්චා වත සංඛාර යන්න ඇත්තක්ද? ඒක එහෙම වෙන්නේ කොහොමද යන්න නිහඩ නිසංසල සෑම මොහොතකදීම කල්පනා කළ හැකි නම්, “උප්පාද වයධම්මිනෝ’ ඇතිවන්නේ නැතිවීම ස්වභාව කොටගෙනය කියන කාරණාව නිහඬව නිසංසලව සිටින වේලාවක දීර්ඝ වේලාවක් කල්පනා කර කර ඉන්නට තරම් ඔබට හැකියාව ලැබේ නම්, කොතරම් යථාව බෝධයක් ඔබට ලැබේද? ඒ අවබෝධයත් සමඟම තියෙන්නේ සියල්ල ම දාල යන්න නම්,අසීමිත ලෙස බණ්ධනය වී සිටීම , අසීමිත ලෙස ඇලී සිටීම,අසීමිත ලෙස ගැලීසිටීම අතහැර යා නොහැකි තරමටම දැවැන්ත ලෙන්ගතුකමක්, පේ‍්‍රමයක්,ආරම්භ කරගෙන තිබෙනවා නම්, එය කොතරම් දුරට පසුකලෙක කනගාටුවට හේතුවෙයිද? “පේමතීජායතී සෝකෝ “ තණ්හාය ජායතී සෝකෝ” කවුරු හෝ ස්ත්‍රියක් පුරුෂයකුට හෝ පුරුෂයෙක් ස්ත්‍රියකට හෝ පේ‍්‍රමවන්ත වීම නිසා දුක හිතෙනවාය කියනවා. වගේ අර්ථයක්. සාමාන්‍ය පේ‍්‍රමයකදී විරහ වේදනාවක් වෙන එකට කියන ලද ප්‍රකාශයක් වගෙයි කියලා ඕනෙ පුද්ගලයෙකුට එලෙස සිතාගත හැකියි. ඒත් මෙහි කියවෙන්නේ එයම නොවෙයි.

“තණ්හාය ජායතී සෝකෝ” යනු

බැෙඳනවා කියන්නේ ගැලවෙනවාය කියන අවස්ථාවේ ආරම්භයයි. සංයෝගය වියෝගයෙහි ආරම්භයයි. සංයෝගය වියෝගය අවසානය කොට ඇත්තකි. “සංයෝගෝ වියෝගත්තා” ඇත්තටම පටන් ගන්නවා යනු ඉවර වෙන එකමයි.

පේමති ජායතී සෝකෝ එවැනි දෙයකි. පේ‍්‍රමයේ ආරම්භය පේ‍්‍රමයයි.අවසානය ශෝකයයි. තණහාව ජායතීසෝකෝ තණ්හාව නිසා ශෝකය හටගන්න පුළුවන් ස්ත්‍රියක් පුරුෂයකුට හෝ පුරුෂයකු ස්ත්‍රියකට හෝ ඇතිකර ගනු ලබන එම රාග මිශි‍්‍රත වූ කිසියම් ආකාරයක මානසික අවශ්‍යතාවයක් උදෙසා හා කායික අවශ්‍යතාවක් උදෙසා ඇතිවෙන සහාය සම්බන්ධය ගිහි සබඳතාවය කවදා හෝ දවසක දුකින් කෙළවරවනවාය කියන එක විවාහ වනවාය කියනදෙය සරල රේඛාවක ගමන් කරන කාරණාවක් නොවෙයි “ සංයෝගෝ වියෝගංතා “ ප්‍රකාශයෙන් ප්‍රකාශ කරන ප්‍රකාශයම තමයි,පේමතෝ ජායතී සෝකෝ කියන්නේ “ තණ්හාය ජායතී සෝකෝ “ කියන්නේ. එයම තමයි “උප්පාද වයධම්මිනෝ” කියන්නේ ඔබ හුදකලාව වෙසෙනා ඕනෑම මොහොතක සිතන්න කොතරම් කාලයක් අපට මේ වෙන්න තියෙන දේවල් තියෙනවද කියලා. අතට හසුවන මායිමේත් ඇසට හසුවන මායිමේත් අප නෙත ගැටෙනවාත් අපේ ගත ගැටෙනවාත් මේ දේවල් කොතරම් කාලයක් අපත් සමග ඉන්නවද? අපගේ ආදරණීය අප්පච්චියි, අම්මයි මේ වන විට ඉන්නවා ඇති සීයයි,ආච්චියි මේ මොහොත වන විට ජීවත්වන්න හෝ ජීවත් නොවන්න පුළුවන්. ඒ අයගේත් ආච්චිලා සීයලා ජීවතුන් අතර නැතිව ඇති. ඒ පරලොව සැපත් ආත්තල මුත්තලා ගෙ අම්මලා අප්පච්චිලා ජීවත්වෙලා ඉන්න ඇතිවුණත් දැන් ජීවතුන් අතර නැතිව ඇති. මේ යන ගමන මහා දැවැන්ත ගමනක්. දීර්ඝ ගමනක්. පෙරහරක්. එම පෙරහර ගමන් කරන මාර්ගයේ කිසියම් පාලමක් පසුකරමින් යන්න තිබෙනවා නම් ,අනිවාර්යෙන්ම පාලමෙන් එහා පැත්තට යා යුතුමයි.

ගමනේ යන ගමනක්

ඒ වගේ මේ ශරීරය දරාගෙන සිටින අපි කිසියම් ගමනක් යනවා. කුඩා අවධිය, තරුණ අවධිය, මැදිවිය පහුකරගෙන ලෙඩ දුක් වලට ස්වභාවයෙන්ම මුහුණ දෙමින් මරණ ධර්මයට පත්වෙනවා. කිසියම් පුද්ගලයකු පෙරහරේ එකිනෙකා පිටුපස දීර්ඝ පෝලිමක් සෑදී ගමනක් යන විට හැම දෙනාම ඒ පාලම පසුකරගෙන යනවා. ඒ වගේම ආත්තල, මුත්තල, කිත්තල, කිරිකිත්තල, ඒ ගමන ගියා. ශරීරය අතහැරියා. ආච්චිල සීයලා ශරීරය අතහැරියා. අම්මල තාත්තල ඒ ශරීර අතහරීවි. නැන්දල මාමලත් ඒ ශරීරය අතැහර යන ගමනේ ඉදිරියෙන්ම ගමන් කරනවා. අක්කල අයියලා ඒ ගමනේ පසුපසින් ගමන් කරනවා. නංගිලා, මල්ලිලා ඊළඟට ඒ ගමනේම පසුපස සිටිනවා. එකම ගමනයි. හැමෝම ඒ ගමන යනවා.අපට අපේ ගමන නිමාවන පාලම පසුකරනකම් පාලම පසු කරපු ගමන්ම ඔවුන් ශරීරය අතහරිනවා. ඔවුන් පාලමෙන් එගොඩ වන්නේ වෙනත් ශරීරයක් ලබාගෙනයි. එම ලබාගත් ශරීරය රැගෙන නැවත ඔවුන් දිගු ගමනක් යනවා. ඒ ගමනේදී ඔවුන්ට තවත් පාලමක් හසුවනවා. ඒ අවස්ථාවේදීත් පෙර ලෙසම එම ශරීරය අතහැර දමා වෙනත් ශරීරයක් රැගෙන නැවත ගමන පටන් ගන්නවා. මෙය ශරීරය අතහරිමින් සහ ශරිර ලබාගනිමින් ගමනේ යන ගමනක්. කවදාවත් එකම ශරීරයක් පමණක් අතහරින්නේ නැහැ. ඔබ ඉපදුන අවුරුද්දේ සිට එක වසරක් පසුපසට ගමන් කලොත් ඔබට තිබුණේ වෙන ශරරයක්. එය වසරෙන් වසර වෙනස් වෙමින් අවසානයේ එය අතහැර දමනු ලබනවා. මේ ශරීරයත් සමඟ බැඳී තිබෙන සියල්ලම අපට අතහරින්න සිදුවෙනවා. ‘සබ්බං පහාය ගමනීයං’ සියල්ල හැරදා යා යුතුමයි.

යාම ස්වභාවය කොට ඇත්තක්. තනතුර අතහරින්නම වෙනවා. ඥාතීන් අතහැර යන්නට වෙනවා. ඔප්පු, ඉඩම්, ගේදොර අතහැර යන්නට වෙනවා. එය අනිවාර්යයෙන්ම යා යුතුයි කියලා දැවැන්ත ලෙස එහි ස්වභාවය තේරුම් ගතහොත් අපට අතහැරීමට පහසුවක් වේවි.අපහසුවෙන් අතහරින්න වෙනවට වඩා පහසුවෙන් අතහරින්න හැකි නම් හොඳ නැද්ද? නිවන් සොයා යන ගමනෙහි ආරම්භය මේ දැන් විය යුතු මිස එය හෙට විය යුතු නැහැ. එය මහා දැවැන්ත ශාරීරික වෙනසකින් කළ යුත්තක් නොවෙයි. යමෙකුට උප්පාද වයධම්මිනෝ තේරුම් ගැනීමට නම් හිසේ කෙස් කපන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම සියලුම දේ දාලා යා යුතු යි කියන දෙය තේරුම් ගන්න නම් , කහපාට සිවුරක් පොරවා හිසේ කෙස් බූ ගා යුතු නැහැ. ‘සබ්බං පහාය ගමනීයං’ යන්න තේරුම් ගැනීමට ඔබේ ස්වාමිපුරුෂයා, බිරිඳ දරුවන් ඔබේ නිවසේ රැදී සිටීම ඔබට බාධාවක්ද? ඔබේ ආදරණීය දරුවන්ගේ අනාගතය සවිමත් කිරීම සඳහා ඔබ කරන්නා වූ උදවු උපකාර ඔබේ එකී අවබෝධය සඳහා වන සිතිවිලිවලට විශාල බාධාවක්ද? වුවමනා කරන්නේ සංස්කෘතිකව කිසියම් ආකාරයක කටයුත්තක් කරමින්ම සවිඤාණිකව සැබෑවටම භාෂාව තේරුම් ගැනීම මිස ශරීරයෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන බව වෙන කෙනෙකුට පෙන්වීම නොවෙයි. ජීවන චර්යාවත් තමාගේ ස්වභාවය ඇඳුමෙන්ද වෙනත් ආකාරයක බාහිර පෙනුමකින්ද?,අනෙකාට ප්‍රදර්ශනය කිරීම උදෙසා දරන වෑයමක ප්‍රතිඵලය සමහර විට නරකක් විය හැකිය. ඉතාමත්ම පැහැදිලිව ලෝකයේ සත්‍ය තේරුම් ගන්න බුදුපියාණන් වහන්සේ දේශනා කරන විට කොතරම් ගිහියන් පිරිසක් ගිහි ඇඳුමෙන්ම ගිහි භාවයෙන්ම, බෞද්ධ නොවීම නිවන් දුටුවාද? ලෝක යථාව තේරුම් ගත්තාද? යන ථේර ථේරී ගාථා තුළින් පැහැදිලි වෙනවා. ඔබ සතුව තිබෙන්නා වූ දේපළ ඉඩකඩම් , ගිහි ජීවිතය ආදරණීය දරු මුණුපුරන්, ස්වාමිපුරුෂයන්,භාර්යාවන්, පවුලේ ඥාතීන් යන මේ සියලු දෙනා සමඟ ගත කරන ජීවිතය ගත කරමින්ම සැබෑව තේරුම් ගැනීමට උත්සාහ කිරීම වඩාත් අර්ථ සම්පන්න නැද්ද? ඔවුන් සමඟ ගතකරන ජීවිතය හැල හැප්පීම් වලින් තොරව තියා ගැනීම අවශ්‍යයයි.මෙම තත්ත්වය තේරුම් ගැනීමට නම් සාමාන්‍ය ජීවිතය හැලහැප්පීම් වලින් වහා දැවැන්ත අර්බුද රැසකට යොමුකර ගතහොත් ඔබට ලෝක යථාර්ථය කල්පනා කිරීමට ඉඩ කඩත් නැතිවෙනවා. එනිසයි සීලය අවශ්‍ය වන්නේ සිල් රැකිය යුතු වන්නේ සිත සමාධි කරගැනීමට අවශ්‍ය නිසයි. “සිල්” යනු සාමාන්‍ය ජීවිතයේ ඝට්ටන අවම කරගෙන පවත්වාගෙන යා යුතුයි. සාමාන්‍ය සංහිදියාවෙන් යුතු පවුල් සම්ප්‍රදායන්, යන සමාජ සම්ප්‍රදායන් ඇතිකරගත නොවුනොත් හිත කල්පනාවටම යොමු කරන්න බැරිවෙනවා. සිත සමාධි ගත කරගන්නට බැහැ. සීලය, සමාධිය, ප්‍රඥාව පිළිබඳව දැනුම ලබාගෙන විභාගයකට ලියා සමත්වීමට නොවෙයි. අවශ්‍යතාවය එය වෙන ගමන්ම එය ජීවන චර්යාවක් බවට පත්කර ගැනීම සීලය තියෙන්නට ඕනෙ. සංසිදියාවෙන් යුක්තව පවතින්නට ඕනෙ. එය සමාධිගත කරගන්නට අවශ්‍ය නිසා.ඔබේ පවුල් ජීවිතය මහා ගැටලුකාරි තත්ත්වයකට පත් නොකරගෙන සිත එක්තැන් කරගෙන සිත කිසිියම් ආකාරයක සංහිධියාවකින් තියාගතහොත් මෙම ලෝක යථාව කල්පනා කළ හැකිය. පැවිද්ද අවශ්‍ය වන්නේම පරමාදර්ශී විමුක්තිකාමියකුගේ කිසියම් ආකාරයක දැක්මක් උදෙසා සම්ප්‍රදායක් නිර්මාණය කරගැනීමට නිවන සාක්ෂාත් කරණියයි. අපට නිවන සාක්ෂාත් කරගත හැක. ඒ සාක්ෂාත් කරගත හැකි වන්නේම අවබෝධයෙන් පමණයි. එම අවබෝධය ලබා ගැනීමට උප්පාද වයධම්මිනෝ’ යන කුඩා ප්‍රකාශයක් වුණත් ප්‍රමාණවත්. එනිසා ඔබ නිරන්තරව ලෝකයේ ඇත්ත තේරුම් ගැනීමට කල්පනා කළ යුතුයි. සතු සියලුම දේ නැතිවෙනවාය යනු කිසාගෝතමියට වූවා සේම, නැතිනොවන්නා වූ කිසිදෙයක් නැත යන නිගමනයට පැමිණීම පමණයි.

ජීවන දර්ශනයක්

එය තේරුම් ගැනීම හා එය ක්‍රියාත්මක කිරීම උදෙසා අප ළඟ සිටිනා සියලු දෙනා අතහැර වනගත වීමට අවශ්‍ය වන්නේ නැහැ. අබෞද්ධයන්ටද, බෞද්ධයන්ටද, එය කරන්නට පුළුවන. සම්ප්‍රදාය එකක්. සංස්කෘතිය තව එකක්. සියල්ලම නිවැරැදිව ආරක්‍ෂා කරගත යුතුය යන්න එයින් කිසිදු හානියක් සිදු නොවී හොඳ දෙයක්ම වන නිසා.

එය පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැත්තේ යථාව වටහා ගැනීමට අවශ්‍ය නිසා ‘උප්පාද වයධම්මිනෝ’ යන්න මරණ ගෙදරකදී පාවිච්චි කරන ප්‍රකාශයකට වඩා ජීවිත දර්ශනයක් ලෙස පාවිච්චි කිරීම හොඳයි. ‘අනිච්චා වත සංඛාරා’ යන්න භයංකාර මරණයක භීතියක් අපට ගෙන එන ප්‍රකාශයකට වඩා ලෝකයේ ඇත්ත තේරුම් ගැනීම උදෙසා වන ලස්සන මනස්කාන්ත සිත්ඇදගන්නා සුළු ප්‍රකාශයක් ලෙස සිතන්න. මෙය ජීවිතය තේරුම් ගැනීමට උපකාරි කරවන උපකාර කරවන ප්‍රකාශ හැටියට තේරුම් ගන්න. ධර්මය දැන ගැනීමේ ප්‍රතිඵලය ලෙස බුදුපියාණන් වහන්සේගේ දේශනා කළ දේශනාවලින් අපේක්‍ෂා කරනු ලබන මෙකී කාරණා පිළිබඳව වඩාත් හොඳ වටහා ගැනීමකින් තමන්ගේ ජීවිතය වඩාත් වාසනාවන්ත කරගන්නා හැටියට සිහිපත් කරගන්න.