පිරිනිවුණි ඒ
නිකෙළෙස්
රහත් හිමිවරු - 43
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුවට ලොව පහළ වී වදාළ ගෞතම අරහත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන සෝභමාන වුණේ ගණනින් සීමා
කරන්නට බැරි ගුණයෙන් ප්‍රමාණ කරන්නට බැරි උතුම් මහරහතන් වහන්සේලාගෙනි.
කල්ප ලක්ෂයකට පෙර පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සුවඳ මලින් කළ
ඡත්‍රයක් (කුඩයක්) පූජා කිරීමෙන් රැස්කළ අපමණ පින් බලයෙන් ගෞතම බුදු
සසුනේ මනෝමය කය මැවීමෙහි දක්ෂ භික්ෂූන් අතරින් අග තනතුරු ලැබූ
චුල්ලපන්ථක නම් උතුම් මහරහතන් වහන්සේගේ ජීවිතය ගැනයි අද අප ඉගෙන ගන්නේ.
රජගහ නුවර ධනවත් සිටු පවුලක් හිටියා. මේ සිටු පවුලේ කුමාරවරු දෙදෙනෙක්
සිටි අතර. වැඩිමහල් කුමාරයාගේ නම මහාපන්ථක. බාලයාගේ නම චුල්ලපන්ථක. මේ
දරුවන් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමටත්, බණ ඇසීමටත් නිතර නිතර
වේළුවනාරාමයට යනවා. ටිකෙන් ටික මේ දරුවන්ගේ සිත් පැවිදි ජීවිතයට යොමු
වුණා. මුලින්ම මහා පන්ථක කුමාරයා පැවිදි වුණා. පැවිදි වුන දවසේ ඉඳල
මහාපන්ථක ස්වාමින් වහන්සේ මහත් වෙහෙසක් දරමින් අප්‍රමාදීව ධර්මයේ
හැසිරුණා. ඉතාම සුළු කලකදී අරහත්වයට පත්වුණා.
තම සහෝදර ස්වාමින් වහන්සේගේ ජීවිතය තුළ ගොඩනැගී ඇති සුන්දරත්වය ගැන
චුල්ලපන්ථක මහත් සතුටට පත්වුණා. ඔහුටත් පැවිදි වෙන්න ඕන වුණා.
මවුපියන්ගේ අවසර ගත් චුල්ලපන්ථක බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා.
චුල්ලපන්ථක හිමියන් සිල් රකින්න හරි ආසයි. භාවනා කරන්නත් හරි ආසයි.
නමුත් . ඒ ස්වාමින් වහන්සේට කිසිදෙයක් පාඩම් හිටින්නේ නැහැ. දවසක්
මහාපන්ථක හිමියන් බුදුගුණ සඳහන් වන ගාථාවක් චුල්ලපන්ථක හිමියන්ට පාඩම්
කිරීම පිණිස කියා දුන්නා.
ඉතින්, මෙම ගාථාව පාඩම් කිරීමට කොතෙකුත් මහන්සි ගන්නවා. කිසි ඵලක් වුණේ
නැහැ. මේ කියනවා මේ මතක නැහැ. ඒ නිසාම චුල්ලපන්ථක හිමියන් සිතින්
දුක්වුණා. මාස හතරක් ගෙවුනා. තවම මේ එක ගාථාව පාඩම් කරගන්නට බැරිවුණා.
දවසක් තමන්ගේ සොහොයුරු වූ මහාපන්ථක හිමියන් තමන්ව කැෙඳව්වා. ‘ඔය
ආයුෂ්මතුන්ට මේ පැවිදි ජීවිතය දියුණු කරගන්නට පුළුවන්කමක් නැහැ. කුඩා
ගාථා රත්නයක් පාඩම් කිරීමට බැරුව හාර මාසයක් ගෙවුනා.
මෙවැනි අලසයන්ට බුදු සසුන තුළ පිහිට ලබන්නට බැහැ. ඔය ආයුෂ්මතුන් සිවුරු
අරින එකයි හොඳ. එවිට ගෙදර ගිහින් රැකියාවක් කරගෙන පින්දහම් කරගෙන ඉන්න
පුළුවන්. චුල්ලපන්ථක ස්වාමින් වහන්සේ ඇස්වල කඳුළු පුරවාගෙන සහෝදර
ස්වාමින් වහන්සේ දිහා බලාගෙන හිටියා. කිසිම සමාවක් නැති පාටයි. දිගු
සුසුමක් හෙළුවා. බිම බලාගත්තා. සහෝදර ස්වාමින් වහන්සේට වන්දනා කළා.
ඔළුව බිමට පාත් කරගෙන හෙමින් හෙ ිමින් වේළුවනාරාමයෙන් පිටත් වෙන්නට
සූදානම් වුණා. වේළුවනාරාමයේ දොරටුව ළඟට පැමිණුනා. ගෙදර යන්න හිතෙන්නේම
නැහැ. ‘අනේ මම කොහොමද ගෙදර යන්නේ? මම කොහොමද ගිහි ඇඳුම් අඳින්නෙ? මම
කොහොමද බණ භාවනා නොකර ඉන්නෙ? අනේ මට පාඩම් හිටිනනෙ නැති එක මගේම
අවාසනාවක්. මම කොහොමද සිවුරු අරින්නෙ. මටනම් බැහැ’’
චුල්ලපන්ථක හිමියන්ට දුකයි. උන්වහන්සේ දොරටුව ළඟ නැවතුනා. බිම
වාඩිවුණා. හොඳටම අඬන්න පටන් ගත්තා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ
පොඩි ස්වාමින් වහන්සේ තුළ සැඟ වී තිබෙන අසාමාන්‍ය කුසලතා දුටුවා.
උන්වහන්සේ එතැනට වැඩියා. ‘චුල්ලපන්ථක මොකද මේ? ඇයි අඬන්නේ?
‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම මහා අවාසනාවන්තයි. මට පාඩම් හිටින්නෙ
නැහැ. හාර මාසයක් තිස්සේ මම මහන්සි ගන්නවා. ඒත් ඒ එකම ගාථාව මට මතක
හිටින්නේ නැහැ. සහෝදර ස්වාමින් වහන්සේ මට කිව්වා ගෙදර යන්න කියා. අනේ
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මම භාවනා කරන්න හරි කැමැතියි.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක ස්වාමින් වහන්සේගේ හිස
ආදරයෙන් අතගෑවා. උන්වහන්සේගේ අතින් අල්ලා ගත්තා. ‘හොඳයි චුල්ලපන්ථක
ගෙදර යන්න ඕන නැහැ. මම භාවනා කරන්න කියා දෙන්නම් යමු ඇතුලට’ බුදුරජාණන්
වහන්සේ චුල්ලපන්ථක ස්වාමින් වහන්සේ කැඳවාගෙන ගියා. සුදු රෙදිකඩක් අතට
දුන්නා. අව්ව තිබෙන තැනක වාඩි කෙරෙව්වා. ‘හොඳයි දැන් හොඳට ඔබ රෙදි කඩ
අතින් පිරිමදින්න ඕන. බාහිර කිසිවක් හිතන්න එපා. ‘රජෝ හරණං...රජෝ හරණං’
කිය කියා හිතන්න.එහි තේරුම දූවිලි ඉවත් කරනවා කියන එකයි.
චුල්ලපන්ථක ස්වාමින් වහන්සේට හරි සතුටුයි. ඒ කියපු ආකාරයටම භාවනා කරගෙන
ගියා. ඒත් අලුත් සුදු රෙදි කඩ ටිකෙන් ටික කිලුටු වුණා. උන්වහන්සේ සිත
ටිකෙන් එක එකඟ වුණා. බුදුරජාණන් වහන්සේ සෘර්ධි බලයෙන් ධර්මය වදාළා.
චුල්ලපන්ථක හිමියන් අර්හත්වයට පත්වුණා. චුල්ලපන්ථක හිමියන් මෙම බුද්ධ
ශාසනයෙහි මනෝමය සෘද්ධිලාභින් අතර අග තනතුරු ලැබුවා. මේසා මහත් වාසනාවක්
හිමිකරගෙන සිටි උදාර පුද්ගලයෙක් වන චුල්ලපන්ථකයන් වහන්සේ හාර මාසයක්
ගාථාවක් පාඩම් කරගත නොහැකිව දුක් විඳින්නට සිදුවූයේ පෙර කරන ලද කර්ම
විපාකයක් වශයෙනි. ඒ සියල්ල පරදවා අප්‍රමාදිව ජය ගැනීමට උන්වහන්සේට
පුළුවන් වුණා.
එදින ජීවක වෛද්‍යවරයාගේ නිවසේ බුදු පාමොක් සඟරුවන උදෙසා දානයක් සූදානම්
වුණා. දානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දන් පිළිගැන්වීමට සූදානම් වූ
මොහොතේ ජීවක අමතා මෙසේ වදාළා. ‘ජීවකය විහාරයේ තව භික්ෂුන් වැඩ ඉන්නවා.
උන්වහන්සේත් වැඩම කරවන්න’ සේවකයෙකු එවූ පණිවුඩයකට අනුව චුල්ලපන්ථක
මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ අර්හත්වයට පිළිබිඹු කරමින් අහසින්
වැඩමකොට තමන් වහන්සේගේ ආසනයේ දානය පිණිස වැඩ සිටියා. දානයෙන් අනතුරුව
අනෙක් භික්ෂූන් වහන්සේලා චුල්ලපන්ථක මහරහතන් වහන්සේගෙන් මේ විදිහට
විමසුවා. ‘ඇවැත්නි මේක හරි පුදුමයක් නෙ. පද හතරක ගාථාවක් කට පාඩම් කර
ගන්න බැරිව හිටපු ඔබ වහන්සේ එක දවසකින් අරහත්වයට පත්වුණේ කොහොමද?
ඒ මොහොතේ ඒ භික්ෂූන් හට පිළිතුරු පිණිස හටගත් නිරාමිස පී‍්‍රතියෙන්
යුතු සිතින් චුල්ලපන්ථක මහරහතන්වහන්සේ මේ සොඳුරු ගාථාවන් වදාළ සේක.
දන්ධා මයිහං ගති ආසි - පරිභූතෝ පුරේ අහං
භාතා ච මං පණාමේසි- ගච්ඡදානි තුවං ඝරං
ඉස්සර මම හරි දුර්වලයි. ධර්මය වටහා ගැනීමේ ශක්තියක් තිබුණේම නැහැ. ඒ
දවස්වල මම හරි නින්දා වින්දා. මගේ සොහොයුරා පවා ‘දැන් ඉතින් ආයෙමත්
ගෙදර යන්න’ කියා මාව ඉවත් කළා.
සෝහං පණමිතෝ භාතා - සංඝාරාමස්ස කොට්ඨකේ
දුම්මනෝ තත්ථ අට්ඨාසිං - සාසනස්මිං අපේඛවා
සහෝදර ස්වාමින් වහ්නසේ මාව ඉවත් කළාට පස්සේ මම වේළුවනාරාමයේ දොරකඩ ළඟ
හිටගෙන හිටියා. බුද්ධ ශාසනයට මම හරිම ආදරෙයි. මම හරිම දුකෙන් හිටියේ.
භගවා තත්ථ ආගඤ්ජි - සීසං මයිහං පරාමසි
බාහාය මං ගහෙත්වාන - සංඝාරාමං පවේසයි
භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩියා. මගේ හිස පිරිමැද්දා. මගේ අතින්
අල්ලාගෙන අයෙමත් එක්කගෙන ආවා.
අනුකම්පාය මේ සත්ථා - අදාසි පාදපුඤ්ඡනිං
ඒතං සුද්ධං අධිට්ඨේහි - ඒතමන්තං ස්වධිට්ඨිතං
ඇත්තෙන්ම ශාස්තෘන් වහන්සේ මම ගැන අනුකම්පා කළා. පාපිස්නා රෙදි කඩක් මගේ
අතට දුන්නා. පැත්තකට ගිහින් මේ සුදු රෙද්ද කෙරෙහි හොඳින් සිත පිහිටුවා
ගන්න කියා මට උපදෙස් දුන්නා.
තස්සහං වචනංසුත්වා - විහාසිං සාසනේ රතෝ
සමාධිං පටිපාදේසිං - උත්තමත්ථස්ස පන්තියා
මම බුදු සමිඳුන්ගේ වචනය හිතට ගත්තා. ශාසනයේ ඇල්ම ඇති කරගෙන වාසය කළා.
උතුම් නිවන ලබන්නට සුදුසු විදිහට සමාධිය ඇතිකර ගත්තා.
පුබ්බේ නිවාසං ජානාමි - දිබ්බචක්ඛු විසෝධිතං
තිස්සෝ විජ්ජා අනුප්පථත්තා - කතං බුද්ධස්ස සාසනං
දැන් පුබ්බේනිවාස ඥානය ගැන මම දන්නවා. දිබ්බචක්ඛු ඥානයත් පිරිසුදු කර
ගත්තා. ත්‍රිවිද්‍යාව ලැබුවා. බුදු සසුන සම්පූර්ණ කළා.
සහස්සක්ඛන්තුං අත්තානං - නිම්මිණිත්වාන පන්ථකෝ
නිසීදම්බවනේ රම්මේ - යාව කාලප්පවේදනා
එදා ඒ පන්ථක භික්ෂුව තමන් වගේම දාහක් මැව්වා. දානයට කල් දන්වන තුරු
ලස්සන අඹ වනයේ වාඩිවෙලා හිටියා.
තතෝ මේ සත්ථා පාහේසි - දූතං කාලප්පවේදතං
පවේදිතම්හි කාලම්හි - වේහාසාදුපසංකමිං
ඉතින් මගේ ශාස්තෘන් වහන්සේ දානයට කල් දන්වලා පණිවිඩකාරයෙක් මම වෙතට
එව්වා. මම එදා දානයට ගියේ අහසින්.
වන්දිත්වා සත්ථුනෝ පාදේ - ඒතමන්තං නිසීදහං
නිසින්නං මං විදිත්වාන - අථ සත්ථා පටිග්ගහී
මම ගිහින් ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් වැන්දා. පැත්තකින් වාඩිවුණා. මම
හිඳගත් බව දැක්කට පස්සෙයි ශාස්තෘන් වහන්සේ දානය පිළිගත්තේ.
අයෝගෝ සබ්බ ලෝකස්ස - ආහුතීනං පටිග්ගහෝ
පුඤ්ඤක්ඛෙත්තෝ මනුස්සානං - පටිගණ්හිත්ථ දක්ඛණං
සියලු ලෝකයාගේ පූජා ලැබීමට සුදුසු දන් පිළිගැනීමට සුදුසු මිනිසුන්ගේ
පින්කෙත වූ බුදු සමිඳාණන් දානය පිළිගත් සේක.
නොහැකියාවන්ගෙන් පසුබට නොවී කුසල් දහම් වඩමින් ගත කරන උතුම් පැවිදි
ජීවිතයට ආසා කළ චුල්ලපන්ථක ස්වාමින් වහන්සේ සම්බුදු සසුනේ පිහිට සලසා
ගත්තේ මේ අයුරිනුයි. අපත් චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ඇතුලු උතුම්
මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා ශ්‍රාවක සඟ රුවන ගැන අපේ සිත පහදවා
ගනිමු.
නයනා නිල්මිණි
|