Print this Article


හෙළ කලා කෙතේ පෝෂණය

 හෙළ කලා කෙතේ පෝෂණය

මෙම ලිපියෙහි මුල් කොටස ජුනි 26 වනදා පත්‍රයේ පළවිය

ඒ අනුව සඳකඩපහණ ද මහින්දාගමනයේ ආභාෂය මතම නිමවුණු ඉතා අනර්ඝ නිර්මාණයක් බව කිව හැකිය. එහි ඇති කැටයම් පිළිබඳ පිරික්සා බැලීමේදීත්, විද්වතුන්ගේ අදහස් සැලකීමේදීත් බොහෝ දුරට පිළිගත් මතයක් වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය පෙන්වාදිය හැකිය.

ඔහුට අනුව එම කලාත්මක මතය නම් සඳකඩපහණේ පිටතින්ම ඇති ගිනිදැල්වලින් කෙලෙස්ද, සතුන් සතර දෙනාගෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදී වූ සංසාරික භයද, සංකීර්ණ වූ ලියවැලෙන් තණ්හාවද, හංසයාගෙන් සසර දුකින් මිදීමට තැත් කරන්නා වූ සත්ත්වයාද, සරල ලියවැලෙන් තණ්හාව තුනී වූ බවද, නෙළුම් මලෙන් සසරින් එතෙර වීමද ඉතා කලාත්මකව නිරූපණය කරන බවය. කලාකරුවාගේ බෞද්ධමය සිතිවිලි වල ගැබ්වූ කුසලතාවය මෙමඟින් විදහා පාන අතර හෙළ කලාව පෝෂණය කළ, දෙස් විදෙස් විද්වතුන්ගේද සම්භාවනාවට පාත්‍ර වූ, ලාංකේය මානවයාගේ කලා කෞෂ්‍යල්‍ය තීව්‍රව ජනිත කරන්නාවූ වටිනා නිර්මාණයක් ලෙස මේ අනුව සඳකඩපහණ හැඳින්විය හැකිය.

මීට අමතරව කැටයම් කලාවට අයත් වන්නා වූ තවත් අංග වන කොරවක් ගල්, වාමන රූප, මුරගල් ආදිය ද ශ්‍රී ලාංකික කලා අනන්‍යතාවය විද්‍යාමාන කරන වටිනා දායාදයන්ය. ලක්දිව මුරගල තරම් විශිෂ්ටතම, නිර්මාණාත්මක බවින් යුතු මුරගලක් ලොව මෙතෙක් හමු වී නොමැති අතර ලාංකික මුරගලට වසර දෙදහසකට ආසන්න අතීතයක් ඇති බවද ඓතිහාසික ලේඛන පිරික්සීමේ දී විද්‍යාමාන වන කරුණකි. පූජනීය ස්ථානවලට පිවිසෙන දොරටු සමීපයේ පිහිටුවා ඇති මුරගල, සශ්‍රීකත්වය විදහාපාන, අලංකෘත, ප්‍රෞඪ නිර්මාණයකි. එසේම ‘කොරවක්ගල’ යන කලා නිර්මාණය ද හෙළ කලාවේ පෝෂණයට සෘජුවම දායක වූ නිමැවුමකි. වාමන රූප පිළිබඳවත් එලෙසම කිව හැකිය. වාමන රූප, බෞද්ධාගමික ගැඹුරු අරුතක් ඉස්මතු කරමින් කලා කෙතට දායාද වී ඇත. සෑම තන්හිම ඔවුන් නිරූපණය වන්නේ විශාල බරක් උසුලාගෙන සිටින ආකාරයකිනි. බොදු ආභාෂය ලත් කලාකරුවන් මෙයට ගැඹුරු මෙන්ම වටිනා අරුතක් එක්කර ඇත. එනම් වාමනරූපයන්ගෙන් නිරූපණය වන්නේ ලෝකයේ පෘථග්ජන මිනිසුන් අත්විඳින තාවකාලික සන්තුෂ්ටිය බවත්, ඔවුන් සාංසාරික බර උසුලාගෙන සිටින බවත් යන්නය.

බෞද්ධ කලාශිල්ප අතර චිත්‍රවලට ද අද්විතීය ස්ථානයක් හිමිවේ. දැනට අනාවරණය වී ඇති පරිදි ඉපැරැණිම චිත්‍ර ලෙස අනුරාධපුර යුගයට අයත් සීගිරි බිතු සිතුවම් ගෙනහැර දැක්විය හැක. මහින්දාගමනයේ සෘජු බලපෑමත් සමඟ බෞද්ධ ආභාෂයද ලබමින් අනුරාධපුර යුගයේ දී විධිමත් ලෙස ඇරඹුණු චිත්‍ර කලාව ඉන්පසු යුග ගණනාවක්ම දියුණුවට පත්වෙමින්, එදා මෙදා තුර ඉතිහාසයේ අමරණීය මං සලකුණු තබා ඇති අතර, තිවංක පිළිමගෙයි චිත්‍ර, දඹුලු විහාර චිත්‍ර, දෙගල්දොරුව, රිදීවිහාරය වැනි ස්ථානවලට අයත් වූ චිත්‍ර මෙයට කදිම නිදසුන් වේ. නරඹන්නන්ට කලාත්මක විනෝදාස්වාදය ලබාදෙන අතරතුර සදාචාර සංවර්ධනයට ද දායක වීම මෙම කලාවේ පරමාර්ථය වූ බව කිව යුතුමය. එබැවින් මේ සියලුම නිර්මාණයන් මනා අර්ථපූර්ණ බවකින් හෙබි කලා කෙත සුපෝෂණය කළා වූ අගනා නිමැවුම් බව අපට පසක් කරගත හැකිය.

ශ්‍රී ලාංකේය කලා සභ්‍යත්වයේ නිම්වළලු තව තවත් පුළුල් කළා වූ අතිශය සුවිශේෂී වූත්, අද්විතීය වූත්, තවත් එක් ස්වර්ණමය දායාදයක් ලෙසින් භාෂාව හා සාහිත්‍යය වර්ණයට ලක් කළ යුතු, අගනා දායාදයක් ලෙස හඳුනාගත හැක. මිහිඳු මහරහතන් වහන්සේගේ, උත්තම ශ්‍රී සද්ධර්මය දසදෙස පැතිරවීමේ මහඟු කර්තව්‍යයේ වටිනා ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකික සංස්කෘතියට පොදුවේත්, සිංහල බොදු ජනයාට විශේෂයෙනුත් විධිමත් භාෂාවක් හා සාහිත්‍යයක් දායාද වීම, සැබවින්ම ලක්වැසි සැමගේම පුරාකෘත පුණ්‍ය මහිමයේ මල්ඵල ගැන්මකි. අප රටෙහි ආදිම ශිලා ලේඛනයන්හි ඇති අක්ෂර ඉපැරණි ඉන්දීය බ්‍රාහ්මණ අක්‍ෂරවලට සමානකම් දැක්වීමත්, භාෂාව ද අශෝක රජුගේ සෙල්ලිපි බසට සමානකම් දැක්වීමත් හේතුවෙන් ශ්‍රී ලක් වාසීන්ට විධිමත් බසක් උරුමවීමේ ගෞරවය අප අනුබුදු මිහිඳු හිමියන්ට පිදිය යුතු බව ශ්‍රී ලාංකික ජන හදවත් තුළ නිසැකයෙන්ම රැව් පිළිරැව් දෙන කරුණකි.

මෙසේ දියුණුවට සපැමිණි බෞද්ධ සාහිත්‍යය හා ලේඛන කලාව පාලි සංස්කෘත හා සිංහල යන්නා වූ තෙවැදෑරුම් ලෙස සුපෝෂණය වූ බව කිව යුතු ය. නව දහමක් ශ්‍රී ලාංකේය ජනතාවට සමීප කිරීමේ දී, අප ජනතාව අතර සිහල බස නිතැතින්ම දියුණු වූ අතර පාලි වචන රැසක් ද එක් වීම නිසා සිහල බස වඩ වඩාත් ඔප ගැන්විණ. මෙමඟින් ලක්මවුන් තුළ ජනිත වී සිටියා වූ ගැඹුරු චින්තනයක් උරුම වූ විදග්ධ සිහල ප්‍රාඥයින්ගේ දැනුම කුසලතා වර්ධනය වූ අතර, එවන් වූ ගැඹුරු හා සොඳුරු චින්තාවලෝකනයක කළඑළිදැක්ම හේතුවෙන් සිහල බස තවත් ශ්‍රී ලක් ධරණි තලයේ විරාජමාන වීය. මේ නිසා අනුරාධපුර යුගයේ දැල්වුණු සිහල බස හා සාහිත්‍යය නමැති පහන්සිල යුග ගණනාවක්ම එළිය කරන්නාවූ ආලෝකයක් බඳු වීය.

මෙසේ කළඑළි වැටුණා වූ, සිංහල භාෂාවේ ස්වර්ණමය සන්ධිස්ථානයන්ට නිදසුන් අප හෙළ භාෂා ඉතිහාසය පුරාම විරාජමානව පවතී. අනුරාධපුර යුගයේ දී, ‘හෙළ අටුවා’ වලින් ඇරඹි සිහල සාහිත්‍යයේ ගමන් මඟ දම්පියා අටුවා ගැටපදය, සිඛවලද විනිස, සියබස්ලකර යන්නා වූ කෘති වලින් සුපෝෂණය විය.

එමෙන්ම කලා කෙත පරිපූර්ණ කළ වටිනා ගද්‍ය කෘති රැසක් පොළොන්නරු යුගයෙන් ද හමුවේ. විශිෂ්ට ගත් කතුවරයෙකු වූ ගුරුළුගෝමි පඬිතුමා විසින් රචිත ‘අමාවතුර’ සිහල බසින් රචිත ශ්‍රේෂ්ඨම හා පැරණිම ගද්‍ය කාව්‍යය ලෙස පිදුම් ලැබීම අප හෙළ කලාකෙතේ ස්වර්ණමය අවස්ථාවකි. එමෙන්ම හෙළ බොදු ජනතාවට යහමගට යොමුවීමට විශාල පන්නරයක් වූ බෞද්ධ ග්‍රන්ථ රැසක් මෙසේ හෙළ සාහිත්‍යාර්ණවය බැබළවූ බව කිව යුතුමය. මීට අමතරව දඹදෙණි යුගයේ හෙළ කලාවට දායාද වූ බුත්සරණ, දම්සරණ, සඟ සරණ ද, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය යන්නා වූ කෘතිද හෙළ බස හා කලා කෙත පොහොණි කරවීය. එසේම බෞද්ධාගමික සැමගේ මුදුන් මල්කඩක් වන් වූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේද මෙහිදී සඳහන් කළ යුතුමය.

මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස එකල බොදු ජනයා තුළ ගැඹුරු චින්තන ශක්තියත් කලා රසාස්වාදයත් නිරායාසයෙන්ම උද්දීපනය වීය. එසේම හෙළ සාහිත්‍යාර්ණවය පොහොණි කළ සියබස්ලකර, මුවදෙව්දාවත, සසදාවත, කාව්‍යශේඛරය යනාදී පද්‍ය කාව්‍යයන්ද අප කලා කෙතෙහි අංගයක් වූ හෙළ බසෙහි භාවපූර්ණත්වය ඔප් නැංවීය. මහින්දාගමනයේ ආභාෂයත් සමඟ තම ප්‍රතිභාපුර්ණ ප්‍රඥා පාටවය වර්ධනයේ හිණිපෙත්තට නංවාගත් හෙළ කතුවරු ඔවුන්ගේ ප්‍රඥා, රසාස්වාද, චින්තන මහිමයෙන් සදහම් පණිවිඩය සමාජගත කරන්නටත්, කලාව සුපෝෂණය කරන්නටත් එසේ දායක වූහ.

මේ අයුරින් විමසා බලන විට ශ්‍රී ලාංකේය මානවයාගේ විධිමත් ශිෂ්ටාචාරගත වීමේ හැරවුම් ලක්‍ෂ්‍යය මහින්දාගමනයත් සමඟ සනිටුහන් වූ බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි. අප මාතෘභූමිය සවණක් ගණ රැසින් දිදුලවන්නටත්, සිත් තුළ අවිදු අඳුරු දුර කළ හෙළ බොදු පරපුරක් තනන්නටත්, ලකඹරෙහි පෑයූ උතුම් චන්ද්‍ර මණ්ඩලයක් බඳු වූ, උත්තම අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ එදා අපට පරිත්‍යාග කළා වූ බුදුදහමත්, උතුම් බෞද්ධ සංස්කෘතියත්, කලාවත් නොවන්නට සිහල පරපුරේ මෙම ගමන් මඟ හුදෙක් යථාර්ථයක් නොවූ ස්වප්නයක්ම වන්නට ඉඩ තිබුණි. එවන් වූ කාලවකවානුවක උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කළා වූ මෙම සුවිසල් මෙහෙවරින් අපට දායාද වූ හෙළ කලා කෙතේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වන්නේ, එසේ දැල්වුණා වූ කලාකෙතෙහි දීප්තිය,යුග ගණනාවක් පසු කරමින් වර්තමානයේ දී ද බැබළෙන්නා වූ නිසා ය. එබැවින් ලක්දෙරණටම අනන්‍ය වූ අනභිභවනීය වූ කලා කෙතක් අස්වැද්දූ, සකලවිධ කලා විස්කම්වලින් ලක්දෙරණ දීප්තිමත් කළ උතුම් මහින්දාගමනයෙන් අපට උරුම වූ අතිශය අග්‍රගණ්‍ය වූ කලාව ඇතුළු සියලුම දායාදයන් දිවිහිමියෙන් රැකගන්නට, ලක්වැසි අප සැම අත්වැල් බැඳ ගනිමු. එවිට අතීතයේ පටන් ථේරවාදී බොදු ගුණ සුවඳ පෙරටු කරගත් ශ්‍රී ලක් ධරණී තලය ඒකාලෝක කළා වූ උත්තම සම්මා සම්බුදුහිමිගේ ශ්‍රී සද්ධර්මයේත්, අම්බස්ථලයෙන් නැගුණා වූ මහින්දාගමනය නම් වූ සූර්ය රශ්මි කදම්භයේත් ප්‍රභාව සකලවිධ වූ ලෝ තලය සිසාරා සියවස් ගණනක් ඉදිරියට ද, ශ්‍රී ලක් නාමයත් සමඟ විරාජමාන වෙමින් පැතිර යනු නොඅනුමානය.