Print this Article


සැප කැමැතිනම් කළ යුත්තේ කුමක්ද?

සැප කැමැතිනම් කළ යුත්තේ කුමක්ද?

සමස්ත සත්ත්ව ප්‍රජාවම සැපයට කැමැත්තෝ වන්නාහ. ඒ සඳහා සැප කැමැතිව විවිධ වූ පින් කරයි. ග්‍රහ අපල දොස් ඇති විට එයින් මිදීමට බෝධින් වහන්සේගේ පිහිට පතයි. එහෙත් තෘෂ්ණාව ප්‍රහීණ කිරීමට උත්සාහයක් ඒ සඳහා සම්‍යග් ප්‍රතිපදාවට බැස ගැනීමක් සිදු නොකරයි.

දුගී මගී යාචකයන්ට විවිධ අයුරින් උපකාර කරති. එසේ කොට මතු සසර ලෞකික සැප යදිති. ශාසනික වශයෙන්ද පින් රැස්කොට පංචකාම නි:ශි‍්‍රත සැපයම ප්‍රාර්ථනා කරයි.කෙසේ හෝ පින්කම් කිරීම අවැසි වන්නේය. එහෙත් දුක් කෙළවර, කර ගැනීමට සිත සකස් කළ යුතු අන්දම පිළිබඳ විමසීමක්, නුවණ මෙහෙයවීමක් කරන්නෝ ස්වල්ප වන්නේය. කවදත් ලොව අවිද්‍යාව මුල්කොට කර්ම රැස්කර සසරටම ඇදෙන සත්ත්වයෝ බොහෝ වන්නේය. සසරෙහි බියකරු භාවය අවබෝධ කරගත් ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අනුශාසනාව වන්නේ අසුරු සැණින් භවය වර්ණනා කිරීම සුදුසු නොවන බවයි.

එහෙත් පුහුදුන් සත්ත්වයන්ගේ පුරුද්දම භවය පැතීම සහ වින්දනය සොයා යෑමයි. රූපයන්ගේ ආස්වාදයක් නොවී නම් සත්ත්වයෝ රූපයන් හි නො ඇලෙන්නාහ. රූපයන්ගේ ආස්වාදයක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, රූපයන්ගේ ආදීනවයක් (දෝෂයන්) නොවේ නම් සත්ත්වයෝ රූපයන්හි නො කලකිරෙන්නාහ. නමුත් රූපයන්ගේ (ක්‍ෂයවීම, දිරීම, විඳීම) ආදිනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි කලකිරෙත්, රූපයන්ගේ නිස්සරණයෙක් නොවී නම් සත්ත්වයෝ රූපයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ රූපයන්ගෙන් මිදෙති.

මෙසේ ශබ්ද, ගන්ධ,රස, පහස, ධර්මයන්ගේ ආස්වාදය ආදීනමය නිස්සරණය මුලින් සඳහන් කළ පරිදි තේරුම් ගන්න. බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආදීනවය, නිස්සරණය තතුසේ අවබෝධ නොකරන තාක් සත්ත්වයෝ නැවැත දිගු සසරටම වැටී දුක් විඳීන්නාහ. යම් විටක බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආදීනව, නිස්සරණය තතුසේ දකිත්ද? එවිට සත්ත්වයෝ සියලු දුකින් මිදෙති.

මහණෙනි, දෙවිමිනිසුන් රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාවූ,රූපයෙහි සතුටු වූවාහු වෙති. රූපයෙහි වෙනස් වීමෙන් , විරාගයෙන්, නිරෝධයෙන් දුක් ඇතිව, ක්ලාන්තව, වෙසෙත්. ශබ්දයෙහි ගඳෙහි, රසෙහි, පහස්හි ඇලුම් ඇත්තාහ. සතුටුවෙත්, වෙනස් වීමෙන්, විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇතිව ක්ලාන්තව වෙසෙත්.මහණෙනි, අර්හත් සම්මා සම්බුදු වූ තථාගතයන් වහන්සේ රූපයන්ගේ සමුදයක්,අස්කැඩයමක්, ආස්වාදයක්,ආදීතමයන්, නිස්සරණයෙන් තතුසේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණෙ රූපයෙහි සතුටු නොවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන්, විරාගයෙන් නිරෝධයෙන් සුව ඇතිව වෙසෙයිි. ශබ්දයන්ගේ ....ගන්ධයන්ගේ,...රසයන්ගේ....පහසයන්ගේ..ධර්මයන්ගේ.සමුදයක් ආස්වාදයක්, ආදීතමයන් , නිස්සරණයක් තතුසේ දැන , දහම් අරමුණෙහි ඇලුම් නැත්තේ දහම්හි නොඇලුණේ දහම්හි සතුටු නොවෙත්. තථාගතයන් වහන්සේ ධර්මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇතිව වාසය කරයි.

ලොව්තුරා බුදුන් වහන්සේ නැවැත මෙසේ දේශනා කළ සේක. ඉටු කැමති මනවඩන, රූප,ශබ්ද, ගන්ධ ,රස, පහස, දහම්හු යම් තාක් ඇද්ද දෙවියන් සහිත ලෝකයා මේ සැම සුව යයි සම්මතකොට වාසය කරත්. යම් තැනක ඒ හැම නිරුද්ධ වේද? එයින් සියල්ලෝ දුක යයි සම්මත කර ගනිත්. සත්වයාගේ වැළැක්ම සුව යයි.ආය¸යෝ විසින් දක්නා ලදී.

“ යං පරෙ සුඛතෝ ආහු - තදරියා ආහු දුක්ඛතො
යං පරෙ දුක්ඛතො ආහු – තදරියා සුඛතො විදු”

”අන්හු යමක් සුව විසින් කියද්ද? ආර්යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද? ආර්යයෝ එය සුව විසින් දනිත් “

“පස්ස ධම්මං දුරාජානං – සම්මුළෙහත්‍ථ අවිද්දසු
නිවුකාතං කතමො හොති –අන්ධකාරො අපස්සතං“

“දැනීමට දුෂ්කර වූ දහම දකිවු – මෙහිලා නුවණ නැත්තේමුළාවෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම්) ගනඳුරෙක වෙයි “සතඤ්ච විවටං හෝති – ආලොකො පස්සකාම්ව සන්තිකෙ න විජානන්ති – මගා ධම්මස්ස - අකොවීද?”දක්නා සද්පුරුෂයන්ට එළියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්‍ෂවූ (ඒ) මෘගයෝ ළඟ වූද (එදහම) නොදනිත්

භවරාගයෙන් මැඩුණු අනුසෝතයට අනුව යන මාරධෙයයි කියන ලද සසරට පැමිණිය වුන් විසින් මේ දහම් සුවසේ අවබෝධ කළ හැක්කේ නොවෙයි. ඔවුන් තෘෂ්ණාවට දාස වී කටයුතු කරන නිසාම වේ.

“කො නු අඤ්ඤත්‍ර මරියෙහි – පදං සම්බුද්ධවරහති
යමපදං සම්ම දඤ්ඤාය – පරිනිබ්බන්ති අනාසවාත“

“යම් නිර්මාණ පදයක් මනා නුවණින් දැන කෙලෙස් රහිතව පිරිනිවෙද්ද , ඒ නිවන් පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේදැයි “

පුහුදුන් සත්ත්ව තෙම තෘෂ්ණාව හටගන්නා ආකාරය නොදනිති. ඔවුන් රූපයෙහි තෙක් වෙති. ශබ්ද, ගන්ධ, රස, පහස,ධම්මයෙහි තෙක් වෙති. අතීත,අනාගත, වශයෙන් තමා අයත්කොට තම වසඟකොට ඇතැයි නැවැත නැවැත සිතති. ඒ තුළින් තෘෂ්ණාව රෝගයක් ලෙස හඳුනා නොගනියි.එහි දාස භාවයට පැමිණෙයි.සසරටම වැටෙති. ඔවුන් තෘෂ්ණාවට වහල් වී කටයුතු කරන්නේ කෙසේදැයි විමසා බලමු. චක්‍ෂුසය (ඇස) ආත්මය ලෙස ගනියි. චක්‍ෂුසෙහි ආත්මය ඇතැයි ගනියි. චක්‍ෂුසින් බැහැර ආත්මය ඇතැයි ගනියි. චක්‍ෂුස (ඇස) මගෙ යයි ගනියි..රූපයක් ආත්මය යයි ගනියි.

රූපයන්හි ආත්මය ඇතැයි ගනියි.රූපයෙන් බැහැර ආත්මය ඇතැයි ගනියි.රූපයෝ ආත්මය අයත් ලෙස ගනියි. චක්‍ෂුර් විඥානය ආත්මය යයි ගනියි. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැයි ගනියි. චක්‍ෂුර් විඥානයෙන් බැහැර ආත්මය ඇතැයි ගනියි. චක්‍ෂු විඥානය ආත්මය අයත් යයි ගනියි. චක්‍ෂුස් සංස්පර්ශය ආත්මය ලෙස ගනියි. චක්‍ෂුස්සංස්පර්ශයෙන් බැහැර ආත්මය ඇතැයි ගනියි. චක්‍ෂුස්සංස්පර්ශය ආත්මය අයත් යයි ගනියි. චක්‍ෂුසමපර්ශය නිසා සුව වු හෝ දුක් වු හෝ නොදුන් නොසුව වූ හෝ යම් විදුමෙක් උපදී නම් එය ආත්මය ලෙස ගනියි. එහි ආත්මය ඇතැයි ගනියි.එයින් බැහැර ආත්මය ඇතැයි ගනියි. එය මාගේ යයි ගනියි. (මෙලෙස ඇස මුල්කරගෙන තෘෂ්ණාව වැඩෙන ආකාරය විමසා බලන්න)

කන, නාසය, දිව, කය, සිත යන ද්වාරයක් සහ බාහිර ආයතනයද විඤ්ඤාණ සයද, ස්පර්ශයද, ස්පර්ශයේ උපන් වේදනා සයද (සැප, දුක්, ද වෙත්) පුහුදුන් සත්ත්වයා ආත්මය ලෙස ගනිති. පහත සඳහන් ගාථාරත්නයෝ මනාව තේරුම් ගනිමු.

මනුජස්ස පමත්තවාරිනො - තණ්හා වඩ්ඪති මාලුවා වියසො පලවති හුරා හුරං - ථලමිච්ඡං ව වන ස්ම්ං වානරො ‘

සිහිනුවණින් තොර වූ සැම විටම (ආත්මය ලෙස ගැනීම) ප්‍රමාදව කටයුතු කරයි.එයින් මිනිසාගේ තණ්හාව වැඩෙයි. සයවැදෑරුම් තණ්හාව එකසිය අට වැදෑරුම් වෙයි. මෙසේ වසග වූ තැනැත්තා භවයෙන් භවය කරාම සසර සැරිසරයි.කෙසේද යත්, වනයෙහි මල බුදින (ආශාවෙන්) වඳුරන් ගසට පැන දිවන්නාමෙන් දාස තැනැත්තාගේ ඉපැදීමද නැවත නැවැත සිදුවේ. දුකින් නොමිදෙයි. මරණය කරාම පැමිණෙයි.