Print this Article


යථාර්ථය තේරුම් ගැනීම

යථාර්ථය තේරුම් ගැනීම

බුදුපියාණන් වහන්සේගේ ඉතාම කුඩා ප්‍රකාශකයක, මහා ගාම්භීර තේරුම් තිබෙන බවත්, ඒ වගේම මහා ගාම්භීර සිතිවිල්ලක් වෙත යොමු කරවීම සඳහා හේතුපාදක වන බවත් ඔබ ඉතාමත් හොදින් දන්නා කාරණාවක්. ප්‍රකාශ ඝනයට ඇතුළත් වන තථාගත දේශනාවන් ඇතුළත් ත්‍රිපිටකයෙහි අන් අයගේ දේශනා ලෙස සඳහන් වන ස්ථානවලත් බුදුපියාණන් වහන්සේගේ දැක්ම කියවෙන මෙබඳු ඉතා කුඩා වාක්‍ය සඳහන්ව ඇත.

“අනිච්චා වත සංඛාරා “ යන්න, නැතහොත්, “උප්පාද වයධම්මිනෝ” යන්න ,එසේත් නැත්නම් “උප්පජ්ජිත්වා නිරුඣජන්ති යන්න, තේසං වූප සමොසුඛො යන්න එක ගාථාවක පාද හතර වුනත්, වෙන වෙනම අරගත්තත් මහා ගැඹුරු අර්ථයක් එකම ප්‍රකාශයක දෘෂ්ටි කෝණ ගණනාවකින් බලන්නට හැකි නිවන සාක්සාත් කරගැනීම උදෙසාත්, ලෝක යථාව තේරුම් ගැනීම උදෙසාත්, බලසම්පන්න ප්‍රකාශයන් ලෙස හදුනාගන්නට හැකියාව තිබෙනවා. දීඝනිකායේ භරඤ පරිනිබ්බාණ සූත්‍රය බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණයට අදාළ වන කාරණා ඇතුළත් වන සූත්‍රයකි. බුදුපියාණන් වහන්සේ වදාළ “සබ්බං පහාය ගමනීයං”

“සියල්ල හැරදා යා යුත්තෝ වෙමු “ කියන ප්‍රකාශයත් සමඟම “ අනිච්චා වත සංඛාරා” වැනි ප්‍රකාශයත් සමඟ ලෝකයේ යථාව තේරුම් කරන්නේ ඉතාම ගැඹුරින් සමකාලීනව බ්‍රාහ්මණ සූත්‍රවල එන යම් යම් උපනිෂද් පාඨයන් මැනවින් හදාළා. ඒත් ඉන් එහා ලෝකය අවබෝධයෙන් දුටු උතුමකු ලෙසයි. බුදුපියාණන් වහන්සේ දැනගෙන යමක් කියනවාට වඩා අවබෝධාත්මක ප්‍රකාශයක් ලෙස ප්‍රකාශ කළ උත්තමයෙකි. දැනුමයි අවබෝධයයි අතරත් නිවන සාක්ෂාත් කරගත හැකිවන්නේ අවබෝධයෙනි.

අවබෝධය

නිවන අවබෝධයෙන් අනුභූතියෙන් සාක්ෂාත් කරගත යුත්තක්. දැනුම අත්‍යවශ්‍යයයි. එය කිසිසේත්ම අවතක්සේරුවට ලක් නොකළ යුතුයි. ඒත් ධර්මය යම් යම් භාෂා පාඨ උදෘත පාඨ ලෙස තියෙන්නෙ කොතනද? ඒ පිළිබඳව තියෙන අර්ථ නිර්වචන කළේ කවුද? කොතැනදීද? කුමකටද? නිවැරැදිද? ආදී ප්‍රකාශ පිළිබඳව දැවැන්ත පර්යේෂණයකින් අනතුරුව අපට ලැබෙන්නේ ඒ පිළිබඳව දැනුමයි. දැනුම අවශ්‍ය නැතැයි කිසිසේත්ම කිසිම කෙනෙකුට ප්‍රකාශ කිරීමට නොහැකි වුණත් දැනුම නිසාම පමණක් යථාව ග්‍රහණය වන්නේ නැහැ.

බුදුපියාණන් වහන්සේගේ ශාසනයෙහි නිවන සාක්ෂාත් කරගන්නේ අනුභූති ප්‍රත්‍යක්‍ෂයක් ලෙසත් නැතහොත් අවබෝධයන් අනුබෝධයෙන් තේරුම් ගන්නේ දැණුමක් වශයෙන් නොවෙයි. සෝපාක සුනීත, රාධ, රජ්ජුමාලා , පුණ්නා, කුජ්ජුත්තරා, ආදි සියලු චරිත නිදසුන් ලෙස දැක්විය හැකිය. එම නිවන සාක්ෂාත් කරගත් ලෝක ස්වාමි බුදුපියාණන් වහන්සේ බ්‍රහ්ම සූත්‍ර මැනවින් හදාරා, උපනිෂද් දර්ශන මැනවින් හදාරා, වේද වේදාන්ත හදාළ උත්තමයකු ලෙසත් රම්‍ය, සුරම්‍ය ,සුබ මාලිගාත්‍රයෙහි සැප පමණක් විඳිමින් දිවි ගෙවු තරුණ ජීවිතයක් පමණක් නොවෙයි තථාගත චරිතය. ගැඹුරු, අධ්‍යයනයත් ඉතා කුඩා කළ සිට අධ්‍යාපන යත් ලද අධ්‍යාපනයෙහි ශිල්ප හා ශාස්ත්‍රිය දැනුමත් එම දැනුම නිසාම මෙහෙයවන ලද අනුබෝධය උදෙසා බුදුපියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලයේ සිටම යොමුවුණ සිතක් තිබුණ නිසයි.

ලෝක යථාර්ථය

උන්වහන්සේ විශිෂ්ටතම මිනිසා ලෙස මේ ලෝක යථාර්ථය ග්‍රහණය කරගනු ලැබුවේ. සංස්කාරයන්, ස්කන්ධ පංචක ය, දුක, කර්මය, පුනර්භවය, වැනි ධර්ම පර්යායන් පිළිබඳව ක්‍රි.පූ. 6 වන සියවසේ සාකච්ඡා කළ බොහෝ දාර්ශනිකයන් සිටියා. ලෝකය විග්‍රහ කරගැනීම උදෙසාත්, ලෝක ය මැනවින් නිවැරැදිව දැකීම උදෙසාත් දරණ ලද වෑයම් වල ප්‍රතිඵල හැටියට තමයි ෂඩ් දර්ශනය ඇතුළු දර්ශන වාද රාශියක් බිහිවෙන්නේ. එහි ප්‍රතිඵල අතරතුර විවිධ දර්ශන වාද, වර්තමානයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව , බෞද්ධ ඉතිහාසය පිළිබඳව ඉන්දියානු දර්ශනවාද පිළිබඳව පෙරදිග දර්ශනවාද, පිළිබඳව හදාරනවිට පෙනෙන්නේ බුදුපියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලෙස උප්පත්තිය ලබන්නට වසර සිය දහස් ගණනකට පෙර සිට පෙරදිග වැසියා ලොව තේරුම් ගැනීම උදෙසා දාර්ශනික ප්‍රස්තුතයන් පිළිබඳ මහා දැවැන්ත අධ්‍යයනයක නියුතු වූ බව, ලියන්න අකුරු පහළ නොවූ කලෙක, ඇවිදීමට හැකි වාහන පහළ නොවු කලෙක පවා ඉර ,හඳ, තාරකා ගණනය කරන්නට තරම් පාර භෞතික විද්‍යාව දියුණුව තිබුණු බවත්, ඒ වගේම වෛද්‍ය තාක්‍ෂණයෙහි උපරිම ඥානයත් එවකට අවශ්‍ය පරිදි තිබුණු බවත්, මේ දාර්ශනික චින්තනයන් පිළිබඳව මහා ගාම්භීර හැදෑරීමක් තිබුණ බවත්, විනෝදාස්වාදය හා කෘෂිකර්මාන්තයත්, යුද්ධ හා වෙනත් ඊට ආනු සංගික කාරණා පිළිබඳවත් දැනුම අදට වඩා වැඩිය තිබුණ බවත් පිළිගන්නට අවශ්‍යයි.

දාර්ශනික ඤාණය

එම දියුණු අතීතයේ ඉතාම පැහැදිලි ලෙස දාර්ශනික ඥානය ඉතාම ගැඹුරින් හා නිරවද්‍ය ලෙසට ප්‍රකාශ කර තිබුණා. එනිසාම ඇතිවුණ දාර්ශනික වාද විවාද ගැඹුරින් කරනු ලැබුවා. යුද්ධ ඕනේ තරම් තිබුණා. නොතිබුණා නොවෙයි නමුත්,

මත හා මත ගැටෙන මතාන්තර ඝට්ටනයන්ගෙන් සමන්විත ගැඹුරු ප්‍රත්‍යක්‍ෂ ඥානයක් උදෙසා විවිධ ක්‍රමෝපායන් මාධ්‍යයන් මතාන්තරයන් සහ ක්‍රමවේදයන් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් හදාරණ ලද හා සිතන ලද දාර්ශනිකයන් විසින් තම තමන්ට ආවේණික ආකාරයේ කණ්ඩායම් ද සංවර්ධනය කරමින්, සම්ප්‍රදායන් නිර්මාණය කළ බව ඉතිහාසයෙන් දැකගත හැකිය.

“උප්පාද වයධම්මිනෝ”

උප්පාද යනු පහළවීමයි. වයධම්මිනෝ යනු ක්‍රමානුකූල නැතිවීමයි. එනම් පහළ වීමේ ස්වභාවය ඉවරවීම ස්වභාවය කොට ඇත්තක් ඇතිවීමේ ස්වභාවය නැතිවීමයි. පහළ වීමේ ස්වභාවය ඉවරවීමයි.ඇතිවීමේ ස්වභාවය නැතිවීමයි.නැතිවීම ඇතිවීමේ ස්වභාවයක් නොවෙයි. ඇතිවීම නැතිවීමේ ස්වභාවයයි.

ආරම්භය

ආරම්භවෙන්නේ ඉවර වෙන්නමයි. ඕනෑම දෙයක් පටන් ගන්නේ ඉවර වෙන්නමයි. වේලාව වුණත් පැයක් පටන් ගන්නේ තත්පරයෙන් තත්පරය දියවෙලා ඉවර වෙන්නමයි. විදුලි බල්බය පත්තුවුණු වෙලාවේ සිටම එහි ආයු කාලය නිමවීම පමණයි දක්නට ලැබෙන්නේ. පොතක් බලන්න ආරම්භ කරනවා යනු, පොත බලා අවසානවීම පටන්ගන්නවා කියන කාරණාවයි. ධාවන තරගයකදී ධාවකයකු දිවීම ආරම්භ කරනවා යනු, ධාවනයේ අවසානය කරා ලඟාවෙන්න පටන් ගන්නවා කියන කරුණමයි. පරවෙනවා යනු පිපෙනවා කියන එක ආරම්භ වුණ වෙලාවේ සිට සිදුවන දෙයකි.

“මරණය” යනු ජීවිතය කියන දෙය පටන්ගත් වෙලාවේ සිට ඉවර වෙනවාය කියන එක පමණයි. පටන්ගන්නේ අවසාන වෙන්න නම් අවසාන වෙනවාය යනු, සත්ත්වයෙක් හැටියට නැවත උප්පත්තිය ලැබුවත් අනෙක් සියලු දෙයම ස්වභාවය ඉවර වීමයි.

බුදුපියාණන් වහන්සේගේ නිවන ලක්‍ෂණ තුනයි. ලෝක යථාර්ථයෙහි තිබෙන්නේත් ලක්‍ෂණ තුනයි. එයින් පළමු ලක්‍ෂණය නැත්තටම නැතිවනවාය යන්න තේරුම් ගැනීමයි. නැත්තටම නැතිවෙනවාය යන්න තේරුම් ගත යුතු වෙනවාය යනු මේ ලෝක ස්වභාවයෙහි පළමුවන කාරණාව වටහා ගැනීමයි.

සුදුපාට පසුබිමක

ලෝක ස්වභාවයේ පළමුවන කාරණාව වටහා ගැනීමයි. ලෝකයේ ස්වභාවය වටහාගත් විට අපට තිබෙන්නා වූ අපරිමාණ බන්ධනය හෙවත් අප්‍රමාණ ආශාවෙන් බැඳී අත්හැර දැමීමට බැරි තරමටම කාම තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත් යන දැවැන්ත වූ බන්ධනයන්ගෙන් ක්‍රමයෙන් මිදී ගන්නට හැකියාව ලැබෙනවා. අපට යමක් අත අරින්නට බැරිවෙන්නේ අතහරින්නටම බැරිවෙන තරමටම ලෙන්ගතුකම සහ ස්නේහ වන්ත කමෙන් දැවැන්ත ලෙස ඇලී ගැලී සිටින්නේ හරියටම මේ සියල්ල, දමලා යන්නට සිදුවන බව පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති නිසාමයි.

“උප්පාද වයධම්මිනෝ” යන ප්‍රකාශය නිතරම ඇස ගැටෙන ස්ථානවල ලියල තියලාවත් යම් යම් ආකාරයක නිරන්තර අවබෝධයක් නිරන්තරව ලබාගත යුතුයි “ අනිච්චා වත සංඛාරා “ යන ප්‍රකාශනය අප නිදාගන්න ඇඳ විට්ටමේ ලියා තබාගෙන නිදාගන්න අපට පුළුවන්ද? ‘අනිච්චා වත සංඛාරා” යන පාඨය මළගෙදරකදී පමණක් ප්‍රකාශ කළ යුතු ප්‍රකාශනයක් ලෙස අප සිතනු ලබනවා. මෙම ගාථාව ගෙදර බුදුන් වඳීන අවස්ථාවේ ගත හැකි ගාථාවක් ලෙස අප හිතන්නේ නැහැ “ අනිච්චා වත සංඛාරා යන පාඨය කාගේ හෝ මළ ගෙදරක දී සුදුපාට පසුබිමක කළුපාට අකුරින් ලියන කනගාටුව ,ශෝකය, සංවේගය පලකරීම උදෙසා භාවිත වන වාක්‍යයක් ලෙසයි. ලෝක යථාව තේරම් ගන්නා වාක්‍යයක් ලෙස අප මෙය තේරුම් ගන්නේ නැහැ.

කළුපාට අකුරු

කිසියම් අවමංගල්‍ය අවස්ථාවකදී හැර වෙන ස්ථානයක මෙය මුද්‍රණය කරල තිබෙනවාත් ඔබ දැක නැතිව ඇති. මෙම ‘අනිච්චාවත සංඛාරා’ යන පාඨය නොයෙක් ආකාරයේ වෛවර්ණ යොදා ලස්සන පසුබිමක මුද්‍රණය කර තිබෙනවා ඔබ දැකල නැතිව ඇති. අප එය ශෝකයෙන් දෑත් බැඳ දෑස් බිම හෙළා ගෙන කනගාටුව මුසුවූ මුහුණේ සංවේගය ප්‍රකාශක අවස්ථාවකදී කරන ලද තවත් එක්තරා ප්‍රකාශයක් හැටියටයි දකින්නේ. මෙම ප්‍රකාශය ජීවිතයේ කෙතරම් ඇත්තක් කියවෙන්නක්ද? මෙම ප්‍රකාශයෙන් ලෝක යථාව කෙතරම් අවබෝධ වන්නක්ද? යන්න වටහා ගත යුතුයි.

ඉතිරි කොටස ජූලි 5 වනදා පත්‍රයේ පළවේ