Print this Article


දිවි ගමන සරුකරන දහම් කරුණු සතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
”සප්පුරිස සංසෙවො සොතාපත්තියංගං
සද්ධම්ම සවණං සොතාපත්තියංගං
යෝනිසෝ මනසිකාරෝ සොතාපත්තියංගං
ධම්මානුධම්ම පටිපත්ති සොතාපත්තියංගං
“ සොතාපන්න සංයුක්තය.

සප්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම පටිපන්න බව යන කරුණු හතර සෝතාපත්ති අංග වෙයි.

පින්වත්නි,

බුදුදහම අනුපූර්ව ප්‍රතිපදාවකි. එහි මුල සීලයයි. සීලය සංවරකම, තැන්පත් කම, තපස හික්මුණුකම වැනි අර්ථ රාශියක ගැනේ. නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි නිමග්න වනු කැමැත්තා ප්‍රථමයෙන්ම සීලයෙහි පිහිටා සිතත්, කයත් සංවර කර ගැනීමෙන් චිත්ත සමාධිය මහත් ඵල, මහානිසංස ලැබෙන බව විසුද්ධි මාර්ගයෙහි පෙන්වා දෙයි.

විමුක්තිගාමී මාර්ගයෙහි දෙවන අවස්ථාව සමාධියි. එනම් චිත්ත ඒකාග්‍රතාව සකස් කර ගැනීමයි. නානා අරමුණුවල විසිරී යන සිත ඒකාත්මික කිරීම ඒ තුළින් සිදුවෙයි. පඤ්චනීවරණ ධර්ම යටපත් වීමෙන් ධ්‍යාන හා අෂ්ට සම්පත්ති දක්වා ගමන් කිරීමට සමථ භාවනාව ඉවහල් වෙයි. ප්‍රඥාව මුහුකුරා යාම නිවනට මාර්ගයයි. එම යථාවබෝධ ඥානය සඳහා විදර්ශනා භාවනාව වැඩිය යුතුය. යමක් දෙස විශේෂ කොට බැලීම විදර්ශනයන්නෙහි තේරුමය. සත්‍යාවබෝධය ජීවිතයේ පරම නිෂ්ඨාවය.

ඉහත සඳහන් විමුක්ති ගාමී ගමන් මඟෙහි අවස්ථා හතරක් ඇත. එයද අනුපූර්ව වූ ගමන් පිළිවෙළකි. එනම් සෝවාන්, සකෘදගාමී, අනාගාමී, අර්හත් යනුයි. සෝවාන් බවට පත්වීමේ දී දස සංයෝජන ධර්මවලින් සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුන සහමුලින්ම නැසිය යුතුය. සක්කාය දිට්ඨිය නම් ආත්ම දෘෂ්ටියයි. මමය මාගේය යන තෘෂ්ණාධික බවයි. විසිවැදෑරුම් සක්කාය දිට්ඨියක් පිළිබඳව ධර්මයෙහි සඳහන් වෙයි. නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දකින විට ආත්මීය වශයෙන් ස්ථිරවූ අවිපරිණාමීය වූ, සත් වූ යමක් නොමැති බව තේරුම් ගනී. දෙවැන්න විචිකිච්චා නමින් හැඳින්වෙයි. එය බුද්ධාදී අටතැන් ගැන සැකයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක කිරීම, ධර්මය පිළිබඳ සැක කිරීම මහා සංඝයා පිළිබඳ සැක කිරීම, පෙර ආත්ම භාවය මතු ආත්ම භාවය, එම ආත්ම භාව දෙකම පිළිබඳව සැක කිරීම, සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව පිළිබඳ සැක කිරීම,හේතුඵල ධර්ම පිළිබඳ සැක කිරීම යන කරුණු එම සැක අටයි. සෝවාන් බවට පත්වීමේ දී එය නැති වී ආර්ය දර්ශනය ලබයි. තුන්වැනි සංයෝජන ධර්මය වැරැදි සීල වෘත ක්‍රමයෙන් නැති කිරීමයි. ආර්ය මාර්ග ඤාණයට විරුද්ධ වූ යම් යම් ප්‍රතිපදාවන් අනුගමනය බැහැර කිරීම එහි අරමුණය. අජව්‍රෘත, ගෝව්‍රෘත, සුනඛ වෘත ආදිය පැරණී සමාජයේ භාවිත සිල් ක්‍රම විය.

ඉහත කී සංයෝජන ධර්ම තුන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම තුළින් සෝවාන් ඵලයට පත්විය හැකිය. ඒ සඳහා උදව්වන කරුණු හතරක් ඇති බව සොතාපත්ති සංයුත්තයෙහි දැක්වෙයි. එම හතර නම් 1. සද්පුරිස ආශ්‍රය, 2. සද්ධර්ම ශ්‍රවණය, 3. යොනිසෝ මනසිකාරය, 4. ධර්මානු ධර්ම ප්‍රතිපන්න බව යනුයි.

සද්පුරුෂ ආශ්‍රය ඉතා වැදගත් කාර්යයකි. සමාජගත ජීවිතයේ දී ඇසුර නිසා පුද්ගලයින් හොඳ හෝ නරකට යොමුවන බව ඉතා පැහැදිලිය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් යහපත් පුද්ගලයකු බිහි වෙයි. කල්‍යාණ මිත්‍රයා යනු යහළුවාගේ ,ඇසුරු කරන්නාගේ අවවාදයෙන්, ආදර්ශයෙන් මඟ පෙන්වන්නෙකි. යහපතෙහි යොදවන්නෙකි. ඇසුරට ගත යුතු මිතුරන් හතර දෙනෙකු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙහි දී පෙන්වා දී ඇත. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්කායි අනුකම්පක යනු එම කල්‍යාණ මිත්‍රයින් හතර දෙනාය. භාවනා කරන යෝගාවචරයින් විශේෂයෙන් සද් පුරුෂ ආශ්‍රය ලැබිය යුතු බව විසුද්ධි මාර්ගය වැනි ධර්ම ග්‍රන්ථ වල සඳහන් කරයි. භාවනා කරන විට ඇතිවන පළිබෝධ ආදිය දුරු කර ගැනීමට ඒ පිළිබඳව අත්දැකීම් සහිත අයකුගෙන් උපදෙස් ලද යුතුය. නැතිනම් භාවනා කරන විට යම් යම් මුලාවීම් ආදිය සිදුවෙයි. ඇතැම්විට භාවනා කරන විට දකින දේ, ලැබෙන අත්දැකීම්, ඇතිවන විශේෂ අධිගමයන් ආදියෙන් මුලාවන අවස්ථාවල දී ඒවායින් යෝගාවචරයා මුදා ගන්නේ කල්‍යාණ මිත්‍ර උපදේශකයා ය.

දිනක් ආනන්ද ස්වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, බුදුදහමෙන් හරි අඩක්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත නොවේද? යන්නයි. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරි අඩක් නොව සම්පූර්ණයෙන්ම සාසනය රඳා පවතින්නේ සද්පුරුෂ ආශ්‍රය නිසා බවයි. මේ නිසාම සද්පුරුෂ ආශ්‍රය පිළිබඳව කළ දේශනා බුදුදහමේ බහුලය.

දෙවන කරුණ නම් සද්ධර්මශ්‍රවණය හෙවත් බණ ඇසීමයි. ප්‍රඥා වඩා වර්ධනය කරගත හැකි ආකාර තුනකි. ශ්‍රැතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා යනු එම තුනයි. ඉන් ශ්‍රැතිය හෙවත් ඇසීම යනුවෙන් අදහස් කරන්නේ ධර්මශ්‍රවණයයි. බණ අසන විට නො ඇසූ දේ අසන්ට ලැබේ. ඇසූ දේ වඩාත් සිතේ ධාරණය කරගත හැකිය. ධර්මය පිළිබඳ ඇති ගැටලු තැන් අපැහැදිලි තැන් නිරවුල් කර ගැනීමට ධර්මය ශ්‍රවණය උපකාර වෙයි. එමෙන්ම ශ්‍රද්ධාව වර්ධනය වන්නේද බණ ඇසීමෙනි.

යෝනිසෝ මනසිකාරය යනු තුන්වන කරුණයි. ඉන් අදහස් කරන්නේ එළඹ සිටි සිහියයි. සතිපට්ඨාන සූත්‍රයෙහි සඳහන් කරන අන්දමට අප යන එන ඉඳින, නිදන හැම මොහොතකම සිහියෙන් ම ඉරියව් පැවැත්විය යුතු ය. ඒ ඒ මොහොතේ තමන් කරන කියන දේ සිහියෙන් මනා අවබෝධයෙන් සිටීමෙන්, කිරීමෙන් කෙලෙස්වලින් ආතුරවීම වළකාගත හැකිය. පාප සිතුවිලිවලින් මිදිය හැකිය. භාවනා සිත වඩා වර්ධනය කර ගත හැකිය. යෝගාවචරයා නිරන්තරයෙන්ම භාවනා ගුරුවරයාගේ උපදේශයන් එළඹසිටි සිහියෙන් ම ශ්‍රවණය කළ යුතු ය. බණ ඇසීමේ දී දේශනා කරන පදයක් පදයක් වචනයක් වචනයක්, අක්‍ෂරයක් අක්‍ෂරයක් පාසා සිහියෙන් ශ්‍රවණය කළ යුතු ය. එවිට පහසුවෙන් ධර්මය අවබෝධ වෙයි.

හතරවන කරුණ නම් ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමයි. එනම් ප්‍රතිපත්ති ගරුක වීමයි. දේශිත දහම් නය තේරුම් ගෙන එහි කුඩා කොටස දක්වා මැනවින් ප්‍රගුණ කරගත යුතුය. අභ්‍යාස කළ යුතු ය. පිළිවෙත් පිරිය යුතු ය. බෞද්ධ ජීවිතයක ධර්මයත් ජීවන ප්‍රතිපදාවත් අතර වෙනසක් තිබිය නොහැකිය. එනම් න්‍යාය හා භාවිතය එකක්ම විය යුතුය. ධර්මානු ධර්ම ප්‍රතිපන්න වීම නියම බුද්ධ පූජාව වන බව ධර්මයෙහි සඳහන් වෙයි. එය බුදුරජාණන් වහන්සේ අගය කළ බව ධර්මාරාම හිමියන්ගේ රහත්වීමේ උත්සාහය අගය කිරීමෙන් පැහැදිලි වෙයි. හැමදෙනාටම ධර්මය අවබෝධ වේවා!