Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-37 සසල නොවූ නිසල මනස

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-37

සසල නොවූ නිසල මනස

බුද්ධ චරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේ සුවිශේෂී ආගමික සන්සිද්ධීන් බොහොමයක් ජනිත කළ මාසය ඇසළ මාසයයි. ඒ නිසාම බෞද්ධ ලෝකයේ සදාතනික සිහිවටන ඔසවා තැබීමට ඇසළ මාසය සමත් වී තිබෙයි.

මේ ධර්මද්වීපයේ මෑත යුගය නියෝජනය කරමින්, යුග පුරුෂයකු බවට පත් වෙමින් බුද්ධධර්මයේ පුනරුදය වෙනුවෙන් අනුපමේය ආගමික, ශාසනික, සමාජ මෙහෙවරක නියැලුණූ පුරෝගාමී මහා යතිවරයාණන් වහන්සේ නමක ලෙස කීර්තියක් , ප්‍රසාදයක්,ගෞරවයක් දිනාගත් රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් උප්පත්තිය ලද්දේ ඇසළ මාසයේ වීමද විශේෂයෙන් මෙනෙහි කළ යුතුවෙයි.

මෙසේ 1997 වසරද උදාවිය. හෝරා දින , මාස පසු කරමින් වසරේ හත් වන මාසය, නැතිනම් ඇසළ මාසයේ 4 වැනි දිනද පැමිණියේය.

ඉපදුන දා සිට යනෙන නවතින කොතැනක දී වුව අප පසු පස ගමන් කරන එකම තැනැත්තා නම් මාරයාය. කිසියම් වූ දිනක මාරයා අපව පරදවනු නියතය. මාරයා අපට පැරදවිය හැක්කේ ඉපිද මැරෙන මැරී ඉපදෙමින් භ්‍රමණය වන සංසාර චක්‍රය නවතාගත් දාටය.

බුදුන් වහන්සේට පසේ බුදුන් වහන්සේට මෙන්ම රහතන්වහන්සේට මාරයා පරාජය කළ හැකිය.

ඇසළ මාසයේ 4 වැනි දිනයේද වෙනදා මෙන්ම මඟ බලා සිටි මාරයා පැරදවීමට රේරුකානේ මහානායක හිමියන්ට හැකි වූයේද?

1999.07.04 වන දින මහා නා හිමියන් සයනයේ සැතපී සිටියේ වෙනදාට වඩා අපහසු වෙනි. හීල් දානය බත් පිඬු දෙකකින් පමණ සෑහීමට සිදු වූයේ තෙවැනි බත් පිඬ ගිල ගැනීමට අපහසු වූ බැවිනි.

මේ අවස්ථාව වන විට මහා නා හිමියන්ගේ අග්‍ර උපස්ථායක වූ කිරිඔරුවේ ධම්මානන්ද හිමිද තවත් ශිෂ්‍ය රත්නයක් වූ සුසීම හිමිද මහා නා හිමියන් සමීපයේ වැඩ හිඳිමින් දානය වැළඳවීමට උපකාරී වූහ.

ආහාර වැළඳීම අපහසු නිසා උන් වහන්සේලා බොන දෙයක් දීමට සිතා අපහසුතාවය මඟහරවා ගැනීමට තීරණය කළහ.

දානය වැළඳීමට පහසුව සඳහා හිඳගැනීමට සැලැස්සුවද ධම්මානන්ද හා සුසීම හිමිවරුන් නායක හාමුදුරුවන් නැවත සයනයේ සැතපවූයේ එය මහා නා හිමියන්ට වඩාත් පහසු වන නිසාය.

‘මේ කරන උපකාර වලට ඔය ඇත්තන්ට නිවන් සම්පත් ලැබේවා’යි ඒ මොහොතේ චන්දවිමල මහා නා හිමියන් අපහසුවෙන් වුවත් ප්‍රකාශ කළේ කළ ගුණ සැළකීමට ලබා දිය හැකි ඉහළම ප්‍රත්‍යඋපකාරයක් වශයෙනි.

එසේ පවසා සුළු මොහොතකින් නායක හිමියන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය. අවට වා තලයේ නිදහසේ හමා යන පවනැල්ල නාස් පුඩු වලින් ඇතුළු වී පෙණහලු තුළ රැඳී නැවත පිටතට මුදා හැරීමේ සංකීර්ණ ක්‍රියාවලිය ජීවිතය පවත්වාගෙන යෑම වෙනුවෙන් නිබඳව උපකාරි වෙයි.

එහෙත් එය අවදි වූ සිහියෙන් යුතුව සතියෙන් යුතුව අපි මෙනෙහි කරන්නෙමුද? ජීවිතය ජීවත්කරවීම වෙනුවෙන් එවන් ක්‍රියාදාමයක් සිදුවන බවක් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළ අයකු හැර බොහොී දෙනා දන්නේ නැත. හුස්ම ගැනීම මහත්සේ අපහසු වන විට අපට දැනෙන්නේ මරණ බියය. එහෙත් අපහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන හැම මොහොතක්ම අවසාන නිමේශය නොවේ.

චන්දවිමල මහා නා හිමියන් මේ මොහොතේ හුස්ම ගත්තේ ඉතා අපහසුවෙනි. එය පිටතටද පෙනෙන්නට විය

මේ අපහසුතාවය දෙස ධම්මානන්ද හා සුසීම හිමියන් බලා සිටියේද මහත් වූ අපහසුවෙනි. දැඩි ශෝකයෙනි.

ඒ මොහොතේ හුස්ම ගැනීමේ පහසුව තකා ධම්මානන්ද හිමියන් මහා නා හිමියන්ගේ පපුව සෙමෙන් පිරිමදින්නට විය.

මේ වේලාවේ මහා නා හිමියෝ නැවතත් අපහසුවෙන් හඬ අවධි කළහ.

“ධම්මානන්ද මේ තමයි පණ අදිනවා කියන්නෙ “ වසර සියයක් වූ දීර්ඝ ජීවිතයේ කුඩා කාලයේ සිටම පිරිහෙන්නට නොදී – භාවනා අභ්‍යාසයේ නියුතු වූ නිසා මහා නා හිමියන්ට මෙසේ අපහසුවෙන් සිදුවන ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස සතියෙන් බැලීමට හැකියාව නැතැයි කිව නොහැකි ය. හුස්ම ගැනීමට අපහසුවන සෑම විටකම එය මරණයෙන් කෙළවර නොවෙතත් මේ නම් පණ ඇදීම යැයි නිශ්චිතව මනා සිහි නුවණින් යුතුව තෝරා බේරා ගැනීමට තරම් මහඟු හැකියාවක් සහිත නිරවුල් සිතක් මහා නා හිමියන්ට තිබුණු බව අපට මෙයින් ප්‍රත්‍යක්‍ෂ වෙයි.

ඇත්තෙන්ම අවසාන නිමේශයේද මනා සිහිනුවණින් සියක් වසක ජීවිතාවසානය පිළිබඳව මහා නා හිමියන් සිටියේ හොඳ අවබෝධයකිනි. ඒ මොහොතේ සෙම් ගතිය අඩුවීමට දෙහි ඇඹුල් ටිකක් පොවන ලෙස නායක හිමියන් ඉල්ලා සිටි අතර එය එසේම සිදු විය.

මේ අතර වාරයේදි මහා නා හිමියන්ට නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන නානායක්කාර දොස්තර මහතා කැදවීමට තීරණය කෙරිණ.

ඒ වෙලාවේ දොස්තර මහතා සිටියේ රෝගීන් පරික්‍ෂාකරමින් වුවද දුරකථන ඇමතුම ලද සැනින් පැමිණියේය.

වෛද්‍යතුමා දැකීමෙන් උපස්ථායකයාණන් වහන්සේලාට දැනුණේ මඳ හෝ සහනයකි.

දොස්තර මහතා පැමිණි බව නායක හාමුදුරුවන්ට දැනුම් දුන් හ.

එහෙත් මහා නා හිමියන් අපහසුවෙන් මෙන් පැවසුවේ දොස්තර මහතා පැමිණියද දැන් එය වැඩක් නොවන බවය. නාඩි පරික්‍ෂාකර බැලු දොස්තර මහතා කීවේ ‘අද නම් නායක හාමුදුරුවන්ගේ හදවතේ තත්වය එතරම් හොඳ මදි ‘ ‘මා ඉක්මනට ෆාමසියට ගිහින් බෙහෙත් අරන් එන්නම් ‘ කියාය.

එසේ කියා ගිය දොස්තර මහතා බේත් ද රැගෙන ඉක්මනින්ම පැමිණියේය.

පෙරදි මහා නා හිමියන් පැවසුවේ දොස්තර මහතා පැමිණියද එය නිශ්ඵල ව්‍යායාමයක් වන බවය. එහෙත් බෙහෙත් පෙවූ පසුව නායක හිමියනට තරමක සුවයක් ලැබුණු බව පෙනුණි.

රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ මනා අවබෝධයක් ඇති නානායක්කාර දොස්තර මහතා නිතර පවසන්නේ උන්වහන්සේ ගේ හදවත අවුරුදු විසි පහක තරුණයකු ගේ මෙන් ඉතා හොඳින් ක්‍රියා කරන බවය. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඉදිරියට ආහාර දෙන සැටිත් බේත් ලබා දිය යුතු ආකාරයත් පැහැදිලි කළ දොස්තර මහතා පිටත්ව ගියේ නොගිහින් බැරි නිසාය.

පෙරවරු කාලයේ නායක හිමියන්ගේ රෝගී තත්වය තරමක සුවදායක තත්වයකට පරිවර්තනය විය.

පස්වරු 03 ට පමණ ඉත්තෑපාන ධම්මාලංකාර මා හිමිපාණන් වහන්සේ වැඩියේ රේරුකානේ මහානායක හිමියන්ගේ සුව දුක් බැලීමේ අපේක්‍ෂාවෙනි.

ඒ බව මාහිමිපාණන් වහන්සේ වෙත සැලකළ සිටියද සැතපුණු කුඩා ඇඳෙන් නැඟී සිටින්නට මහා නා හිමියන්ගේ කයට වාරුවක් නොමැත.

කෙනෙකුට බලා සිටින්නට තරම් පි‍්‍රය උපදවන නිබඳ සිනහවෙන් පිරි පියකරු මුවින් තෙපලන ප්‍රසන්න වදනින් අමතන්නට වෙනදා මෙන් නායක හිමියන්ට නොහැකිය. එහෙත් මහා නා හිමියන් එය නිහඬ මුවින්, මුනිවත රකිමින් පිළිගත් බවක් හැඟුණේය.

ප්‍රබෝධවත් අරුණැල්ලේ හසරැල්ල රැගෙන පැමිණි දිනසුරු ශෝකී ගොම්මන් වතද රැගෙන අඳුරට ඉඩදී අඳුරේ සැඟවී පලා යාමට සූදානම්ය.

පෑළ දිගින් පායා සුපුරුදු ගමන යමින් අවර ගිරෙන් බැස යන්නට සූදානම්ය.

සුසුම්පොද ගැනෙන, ගැටෙන, වැටෙන ,මොහොතක් පාසා කාල මානයේ තත්පර කටුව ‘ටක්’ ‘ටක්’ හඬින් හදට තට්ටු කරමින් නො නවතින කාලය වියපත් වන බව අපට පවසයි. වැසුණු හද දොර විවරකර අප කොතන සිටින්නේ දැයි කුමක් කරන්නේදැ’යි විමසිලිමත් වන ලෙස හද දොරට තට්ටුකර පවසයි.

තත්පරයෙන් තත්පරය ගෙවී ගියද නිබඳ ප්‍රාණය සුරකින සුසුම්පොද ඉහළ පහළ වැටීමවත් අපට දැනගන්නට අවශ්‍ය නැත. එසේම දිනෙන් දින අප වියපත් වන බව පවසන තත්පර කටුවේ හඬද අපට නො ඇසෙයි. නො අසයි.

දුක් සහිතවූ අඳුරු සහිත වූ සසර අගාදයෙන් ගොඩ එන්නට පහනක් දැල්වූවා පමණක් නොව ඉනිමගක්ද බැඳ තැබූ තම ගුරුදේවයාණන් වහන්සේ මරණ මංචකයේ සැතපී සියලු බැඳුම් වරපට ලිහා දමමින් අවසාන නිමේශය උදාවන තෙක් සසල නොවු නිසල සිතින් උපේක්‍ෂාවෙන් බලා සිටිති. ධම්මානන්ද හිමියන් ඒ උත්තමයා ට හැකි ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කළේ එයට කෘතගුණ සැළකීමක් වශයෙනි.

අවසාන මොහොතතෙක්ම හැර නොයන සෙවණැල්ල සේ මහා නා හිමියන් සමීපයේ සිටි ධම්මානන්ද හිමියන්ගේ සිත සසල නොවුණා යැයි කිව නොහැකිය.

කළ හැකි කළ යුතු සියල්ල නො පිරිහෙලා ඉටුකළ බැවින් ධම්මානන්ද හිමියෝ අවසන් වශයෙන් කළ යුතු යැයි හැඟෙන දේ කිරීමට තම හඬ අවධි කළහ.

‘නායක හාමුදුරුවනේ මම නායක හාමුදුරුවන්ට අනුශාසනාවක් කරනවා නොවෙයි, නායක හාමුදුරුවන්ගේ වටිනාකමයි මේ කියන්නේ. මේ සම්බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදුවී ඇති සේවය කියන්න බැරිතරම් . ඉතාම විශාලයි කියා නායක හාමුදුරුවන්ට ඇසෙන සේ උස්හඬින් කීවෙමි. ඉන් පසුව මහා නාහිමිපාණන් වහන්සේ ලියූ ‘චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා ක්‍රමය ‘ ධර්ම ග්‍රන්ථයේ තිබෙන අනිච්චා දුක්ඛා රෝගා ආදි වශයෙන් ත්‍රිලක්‍ෂණය පිළිබඳ හතළිස් ආකාරයෙන් විස්තර කොට ඇති භාවනා පද උන්වහන්සේට ඇසෙන සේ සජ්ඣායනා කළෙමි” ඊළඟට සබ්බේ සංකාර අනිච්චාතී...” සබ්බේ සංඛාර දුක්ඛාතී....” “සබ්බේ ධම්මා අනිත්තාතී....” යන ගාථා තුනද කීවෙමි.

‘නායක හාමුදුරුවනේ මේ බුදු බණ අපට නිවැරැදිව දැන ගන්න ලැබුණෙ ඔබ වහන්සේ නිසයි. ඒ නිසා නායක හාමුදුරුවෝ කර ඇති ධර්මදාන පින කියල නිම කරන්න බෑ. ඒ ගැන හිතන කොට නායක හාමුදුරුවන්ට අප්‍රමාණ සතුටක් ඇති කරගන්න පුළුවන් නේ දැයි? පැවසුවෙමි. ධම්මානන්ද හිමියන් මෙසේ පැවසූ විට සයනේ සැතපී සිටි මහා හිමිපාණන් වහන්සේගේ මුවින් පෙනුනේ එය අසා සතුටු වූ බවකි.

‘අපට අවශ්‍ය වුණේ මහා නා හිමියන්ගේ සිත ත්‍රිලක්‍ෂණයට යොමුකරවීමය’

මහා නා හිමියන් රෝග පීඩාදියෙන් පෙළණු දුර්වල අවස්ථාවලදී නිබඳව පවසන්නේ මෙම ගාථාවය.

උප්පාදෝ භයං - අනුප්පාදෝ ඛේමං
උප්පාදෝ දුක්ඛං – අනුප්පාදෝ සුඛං
ඉපදීම බයයි – නූපදීම ක්‍ෂාන්තියයි
ඉපදීම දුකයි – නූපදීම සැපයයි

ඒ අවස්ථාවන්හිදී මහා නා හිමියන් පවසන්නේ ‘මාගේ සිත නිවනට යොමුකර ගැනීම තමයි මේ මා කරන්නේ ‘ කියාය.

ඒ පිළිබඳව ධම්මානන්ද හිමියන්ගේ අදහස නම් චන්දවිමල මහෝත්තමයාණන් වහන්සේ මේ අවසාන නිමේශයේදී ද තමන් වහන්සේගේ සිත ඒ ආකාරයෙන්ම නිවනට යොමුකරගත් බවය.