ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය, පණ්ඩිත, දර්ශනපති
පිටිගල විජිත නා හිමි
ලොව කොතෙක් සත්‍ය ධර්ම ඇතත් ඒ සියල්ල ආර්ය සත්‍ය නොවෙයි. කිරි සුදු පාට
යැයි කීවොත් එය සත්‍යයකි. නමුත් එය ආර්ය සත්‍ය නොවෙයි. මන්ද යම්
කිසිවෙකුට එය වෙනස් කළ හැකි බැවිනි. ආර්ය සත්‍ය කිසිවෙකුට වෙනස් කළ
නොහැකිය. එබඳු සත්‍යයෝ සතර දෙනෙකි. බුදුන් වහන්සේ යමක් ගැන දුකයයි
වදාළසේක්ද එය සදාකල්හිම දුකය. එහි වෙනසකට පත්කිරීම මෙලොව උපන් අන්
කවරෙකුටවත් කළ නො හැක්කේය. අනිත්‍ය සත්‍යයන් පිළිබඳවද මෙලෙසින්ම සඳහන්
කළ හැකිය. “යස්මා තථානි අවිතථානි අනඤ්ඤථානි ච, තස්මා අරියානං සච්චානිතී
වුච්චති” යනුවෙන් මෙයට අයත් වන ධර්ම සතරට ආර්ය සත්‍ය යන නම ලැබී ඇත්තේ
‘තථ- අවිතථ’ ‘අනඤ්ඤථ’ යන ලක්ෂණ ස්වභාවකොට ඇති නිසාවෙනි.මෙහි ‘තථ’
ලක්ෂණය නම් සත්‍ය ස්වභාවයයි. ‘අවිතථ’ නම් වෙනස නොවන බවයි. ‘අනඤ්ඤථ’ නම්
අන් ආකාරයකින් නොසිටිනා බවයි.
මෙහි සඳහන් වන ආර්යෝ නම් කවරහුද? ආර්යෝ නම් සෝවාන් -සෙදගැමි
,අනැගැමි,රහත්, බුදු , පසේ බුදු යන උත්තමයෝ ම වෙති. දුකත්, දුක ඇතිවීමට
හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කරන මාර්ගයත් යන මේ සත්‍ය සතර හරි
හැටි අවබෝධයෙන්ම ඉහත කී සෝවාන් ආදි ඵලයන් ලබමින් ආර්ය භාවය ලද හැකි
බැවින් මේ සතර ආර්ය නාමයෙන් හඳුන්වයි. ලොව්තුරා බුදුවරයෙක් ලෝකයේ
පහළවන්නේ මේ සත්‍යයන් ප්‍රකාශ කිරීමටය. එනිසා “යා බුද්ධානං
සාමුක්කංසිකා ධම්ම දේසනා” යනුවෙන් එම බුදුන් වහන්සේලා විසින්ම දේශනා
කරමින් අනාවරණ කරන ස්වභාවය සඳහන්ව ඇත. අබුද්ධෝත්පාද කාලයක පසේ
බුදුවරයෙකුට හැර අන් කිසිවෙකුටත් චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක්,
අවබෝධයක් නොලැබෙන අතරම එසේ ලැබූ අවබෝධය, අනුනට දේශනා කිරීමට ද
උන්වහන්සේලා සමත් නොවෙති. එහෙත් ලොව්තුරා බුදුවරයෙකු පහළව මෙය ලොවට
දේශනා කරයි. එවිට වුවද එහි අවබෝධ ලබන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධික,
මුහුකුරා ගිය ශ්‍රද්ධා දී ඉඳුරන් ඇති අය පමණි. නමුත් සසර ගමනෙහි දී
චතුරාර්ය සත්‍යය අවබෝධයම සසර නැවැත්ම වෙයි. ඒ බව දේශනා කරන බුදුන්
වහන්සේ, “චතුන්නං භික්ඛවෙ අරියසච්චානං අන්නුබොධා අප්පටිවෙධා එවමිදං
දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤඛව තුමහාකඤඛ” මහණෙනි, චතුරාර්ය සත්‍ය
අවබෝධ නොකිරීම හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරි සැරීමට සිදු
වීය”යි පැවසූහ. රහත්භාවය නුවණින් සිව්සස් අවබෝධයෙන් සිදු වූ කල්හි එම
රහතුන් වහන්සේ “ඛීණා ජාති වූදිතං බ්‍රාහ්මචරියං කතං, කරණීයං නාපරං
ඉත්‍ථත්‍ථාය.” මා විසින් උප්පත්තිය නසින ලදී. මඟ බඹසර වෙසෙන ලදී සිවුමග
කටයුතු කරන ලදී. මෙම භවයට හැර උප්පත්ති වශයෙන් පැමිණීමටද අන් භවයක් නැත
“ යනුවෙන් ප්‍රකාශ කරන්නේ එහෙයිනි. එනිසා සියල්ලන්ම විසින් චතුරාර්ය
සත්‍ය අවබෝධ කිරීමෙන් මිස වෙන ආකාරයකින් නිවන් දැකීමට නොහැකි බව දත
හැකිය. එබැවින් මෙම ආර්ය සත්‍යයන් පිළිබඳ හැඟීම් මාත්‍රාවත් පහළ කිරිම්
නිවන් පසක් කිරීමට බලාපොරොත්තුවෙන් කළ යුතුය.
ආර්ය අෂ්ටාංගික මාර්ගය
මෙය උතුම් (ආය¸) සත්‍ය ධර්මයේ අඩු වැඩි නැතිව සතරක්ම ඇත්තේ “පවත්ති” ,
“නිවත්ති” දෙක හැර, ඒ දෙකෙහි හේතුනුත් අනෙකක් නොමැති බැවිනැයි “ඉති
පවත්ති නිවත්ති තදුහය හේතුනං එතං පරමතො චත්තාරෙව වුත්තානි” යනුවෙන්
සඳහන් වෙයි. මෙහි “පවත්නි” නම් පංචස්කන්ධ දුක්ඛයාගේ පැවැත්මයි.
“නිවත්නි” නම් පංචස්කන්ධ දුක්ඛයාගේම පැවැත්ම නවතාලීමයි.මෙහි හේතු
ධර්මතාව විමසා බලත්නම් මෙම පස් කඳේ පැවැත්මේ හේතුව තණ්හාවයි. නැවැත් මේ
හේතුව (මග) ආර්ය අෂ්ටාංගික මගයි. එබැවින් මෙම සත්‍ය සතර හැර මෙයට එක්කළ
යුතු අනෙක් හෝ වැඩියයි මෙයින් ඉවතලිය යුත්තක් හෝ නොමැති බව බුදුන්
වහන්සේ විසින් දේශනා කළ සේක. එම දේශනාවන් මුල් බුදු සමය තුළ සංග්‍රහ වී
ඇත්තේ විවිධාකාරයෙනි. එම සූත්‍ර නම් වශයෙන් කිහිපයකි. එනම් සංයුක්ත
නිකායේ සච්ච සංයුත්තයෙහි ධම්ම චක්ක සූත්‍රය සංක්‍ෂේප දේශනයක් ලෙසින්
චතුරාර්ය සත්‍යයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා විස්තර වෙයි. මෙහිම
විස්තාරිත දේශනාවක් ලෙසින්ද ධම්ම චක්ක සූත්‍රයේ නොකියවුණු කරුණුද
ඇතුළත්ව සච්ච විභංග සූත්‍රය නම් මජ්ම නිකායේ සූත්‍රයෙන් විස්තර වෙයි.
එසේම මජ්ම නිකායේම චුල්ලවේදල්ල , මහාචත්තාරීසක, සම්මාදිට්ඨි ආදි
සූත්‍රයන්ගෙන්ද චතුරාය¸ සත්‍යය පිළිබඳ තොරතුරු රාශියක් හමුවෙයි.
බුදුන් වහන්සේ විසින් දේශිත පළමු දහම් දෙසුමේදී උන්වහන්සේ දුක්ඛ සත්‍ය
විභාගය අෂ්ට විධ ලෙසින් දේශනා කරනු ලැබූහ. එය,
ජාති දුක්ඛය – (මව්කුස පිළිසිඳුන සත්නට මව්කුසෙහි පිළිසිඳගත් තැන් පටන්
බිහිවන තෙක් පවත්නා දුක්ද, මව් කුස නොපිළිසිඳුනා සත්නට
ප්‍රතිසන්ධික්‍ෂණයෙහි ලැබෙන දුක් ද මෙහිදී ජාති දුක්ඛය ලෙසින් සැලකේ),
ජරා දුක්ඛය (ස්කන්ධ හෙවත් රූප,වේදනා, සඤ්ඤා , සංඛාර, විඤ්ඤාණයන්
මුහුකුරා යාමෙන්, ඇතිවන්නේ ජරා දුක්ඛයයි), ව්‍යාධි දුක්ඛය (ලෙඩ රෝගාදිය
හට ගැනීමෙන් ඇති වන දුක්ඛය ව්‍යාධි දුක වෙයි), මරණ දුක්ඛය
(ජීවිතේන්ද්‍රිය සිඳී ඇතිවන දුකය), අප්පිය සම්පයෝග දුක්ඛය (අපි‍්‍රයයන්
හා එක්වීමෙන් ලැබෙන දුකය), පියවිප්පයෝග දුක්ඛය (පි‍්‍රයයන්ගෙන් වෙන්
වීමෙන් ලැබෙන දුක) , ඉච්ජිත අලාබ දුක්ඛය (කැමති දෙය නොලැබීමේ දුකය), ස
ඛත්තුපාදානක්ඛන්ද දුක්ඛය (සංක්‍ෂිප්ත වශයෙන් පංචස්කන්ධයෙහි පවත්නා දුක්
සහිත ස්වභාවය)
ධම්මචක්ක පවත්වන සූත්‍රයෙහි මෙන් නොව විස්තාරිතව දැක්වෙන සච්ච විහංග
සූත්‍රයයෙහි දී ධම්ම චක්කයෙහි මෙන් ව්‍යාධි දුක්ඛය දක්නට නොලැබෙයි.
එසේම ධම්මචක්ඛ සූත්‍රයෙහි ආ විප්පයෝග අප්පියසම්පයෝග දුක් දෙකත් සච්ච
විභංගයෙහි දක්නට නොලැබෙයි. එහිදී දුක්ඛ දුක්ඛයටම (කායික දුකටම) ව්‍යාධි
දුක්ඛයද ඇතුළත් වන බැවින් සච්චවිභංග ක්‍රමයෙහි දී ව්‍යාධි දුක්ඛය
නොදැක්වෙයි. පිය විප්පයෝග, අප්පියසම්පයෝගය දුක් දෙකද ඉච්ඡිත අලාභ
දුක්ඛයෙහි ම සංග්‍රහ වී ඇති බැවින් සච්ච විභංගයෙහි ද දක්වා නැත.
සොක , පරිදෙව, දුක්ඛ ,දොමනස්ස ,උපායාස දුක්ඛයන් ධම්ම චක්කයට වඩා අතිරේක
වශයෙන් සච්චවිභංගයෙහි ඇතුළත් වෙයි. මෙහිදී පෙනී යන තවත් දෙයක් ලෙස
ධම්මචක්ඛයෙහි ඇති සංක්‍ෂිප්ත භාවයයි. ඉතා කෙටි දේශනයක් උවද සච්චවිභංගය
එයට වඩා විස්තරාර්ථ දේශනාවකි. ධම්මචක්ඛයෙහි දුක්ඛ සත්‍ය විභාගයට වඩා
සච්චවිභංගයෙහි දුක්ඛ සත්‍ය විභාගය සවිස්තර වූයේ එසේ සත්‍ය විභංගය
විස්තරා දේශනාවක් වූ බැවිනි. මෙම සච්චවිභංග සූත්‍රයෙහි ආ සෙසු දුක්
ධම්මචක්ක සූත්‍රයෙහි නොදක්වන ලදදේ සංඛිතුප්පාදානක්ඛන්ධ දුක්ඛයෙහිම එය
ඇතුළත් කොට සංක්‍ෂිප්ත කළ බැවිනි. බුදුන් වහන්සේ සංක්‍ෂිප්ත දේශනා හා
විස්තර දේශනා පවත්වන්නේ සවන් දෙන පුද්ගලයන්ට අවබෝධයෙහි පහසුව සලකා
බැලීමෙනි. සච්චවිභංගයෙහි දැක්වු දුක් දහය වෙන් වෙන් වශයෙන් එකක් එකක්
පාසා විස්තර කොට ඇති අතර ධම්මචක්කයෙහි දැක්වූ දුක් අට එසේ එකක් විස්තර
කොට දක්වා නැත. එයටද හේතුව සංක්‍ෂිප්ත හා විස්තර දේශනා වශයෙන් ඒ සූත්‍ර
දේශිත වීමයි.මෙලෙසින් එම දශවිධ වූ දුක්ඛ සත්‍ය සච්ච විභංගයෙහිදී
දැක්වෙන්නේ මේ ලෙසිනි.
ජාති දුක්ඛය, ජරා දුක්ඛය, මරණ දුක්ඛය, සෝක දුක්ඛය, පරිදෙව දුක්ඛය,
දුක්ඛ දුක්ඛය, දෝමනස්ස දුක්ඛය, උපායාස දුක්ඛය, ඉච්ඡිත අලාභ දුක්ඛය,
සංඛිත්තුපාදානක්ඛන්ද දුක්ඛය
සම්මා දිට්ඨී සූත්‍රය දුක්ඛ සත්‍ය විභාගය ඉදිරිපත් කොට ඇත්තේ ධම්මචක්ඛ
, සච්චවිභංග ක්‍රම දෙකටම වඩා ස්වල්ප වශයෙන් හෝ වෙනස්කම ඇතිවයි. ඒ
ස්වල්ප මාත්‍ර වෙනස විවිධත්වයක් හැටියට දැක්වීම පවා එතරම් අවශ්‍යයයි
නොසිතමි. සච්චවිභංග ක්‍රමයෙහි දැක්වූ දුක් දශය දුක් එකොළහක් වශයෙන්
ඉදිරිපත් කිරීම සම්මාදිට්ඨි සූත්‍රයෙහි දක්නට ලැබෙන වෙනසයි. එහිදී
චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නේ මෙලෙසිනි.
සියලු කුසල අකුසල කර්මපථයෝ දුක්ඛ සත්‍යයට අයත් වෙති.
සියලු කුසල අකුසල මූලයෝ සමුදය සත්‍යයට අයත් වෙති
මෙකි දුක්ඛ සමුදය දෙකෙහි නොපැවැත්ම නිරෝධ සත්‍යයයි
දුක පිරිසිඳ දැකිය හැකි වූ සමුදය ප්‍රහාණය කළ හැකි වූ නිරෝධය සාක්ෂාත්
කළ හැකි වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයයි
චුල්ලවේදල්ල සූත්‍රයේ චතුරාර්ය සත්‍යය ඉදිරිපත් කොට ඇත්තේ මාර්ග සත්‍ය
පිළිබඳව ඉතාම වැදගත් විස්තරයක්ද ඇතළත් වන සේය. එහිදී,
01.සක්කාය යැයි කියනු ලබන පඤ්චඋපාදානස්කන්ධය දුක්ඛ සත්‍යයි
ඡන්දරාගයෙන් ආශි‍්‍රත පඤ්චස්කන්ධයම පඤ්ච උපාදානස්කන්ධයයි
02.සක්කාය සංඛ්‍යාත පඤ්ච උපාදානස්කන්ධයාගේ හට ගැනීමේ හේතුව වූ තෘෂ්ණාව
දුක්ඛ සමුදයයි
03.සක්කාය සංඛ්‍යාත පඤ්චස්කන්ධයාගේ නිරෝධය තෘෂ්ණාවෙන් ම අසේස විරාග
නිරෝධයයි.
04.සක්කාය (පඤ්චස්කන්ධය) නිරෝධගාමිණී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය
නිරෝධ සත්‍ය පිළිබඳ වැදගත් විස්තරයක් සම්මා දිට්ඨි සූත්‍රයෙහි ද
විශේෂයෙන් සඳහන්ව ඇත. ආය¸ අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ඉතා සාරගර්භ
විස්තරයක් ඉදිරිපත් කොට ඇත්තේ මහාචත්තාරිසක සූත්‍රයෙහිය.
ධම්ම චක්කයෙහි දුක්ඛ සමුදය ලෙස දැක්වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව
තණ්හා වශයෙන් දැක්වෙන ත්‍රිවිධ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාවගේ අසේස විරාග
නිරෝධය නිරෝධ සත්‍යය බවද ධම්මචක්ක සූත්‍රයෙහි දැක්වෙයි. සමුදය, නිරෝධ
සත්‍ය පිළිබඳව සඳහන් වෙන මෙම විස්තරයන් සච්චවිභංගයෙහිද වෙනසක් නොමැතිව
ඇතුළත් වී ඇත. එබැවින් සමුදය, නිරෝධ මාර්ග විස්තරයෙහිදි ධම්මචක්ක
සච්චවිභංග ක්‍රම දෙකම එකම මගක් අනුගමනය කොට ඇති බව පෙනෙයි.
සම්මා දිට්ඨී සූත්‍රය
සම්මා දිට්ඨී සූත්‍රය දක්වන්නේ අභිඣාවද ලෝභ අකුසල මූලයද සමුදය සත්‍යයට
අයත් බවය. එය නිප්පරියාය (සම්පූර්ණ වශයෙන් කළ) කථාවයි. (එකදෙස) වශයෙන්
එහි දක්වන්නේ සියලු කුසල අකුසල මූලයන් සමුදය සත්‍යයට අයත් වන බවයි.
ධම්ම චක්ක, සච්චවිභංග ආදි සූත්‍රයන්හිදි දුක්ඛ සමුදය වශයෙන් ඉදිරිපත්
කළ තෘෂ්ණාවම මේ සම්මා දිට්ඨී සූත්‍රයේදි අන් අයුරකින් සඳහන් කර ඇතිවා
මිස අර්ථ වශයෙන් ඇති විශේෂයක් නැත. අභිජ්ඣා ලෝභ යන වචනවල සියුම්
වෙනස්කම් ඇතත් එයින් කියවෙන්නේ එකම තෘෂ්ණාව පිළිබඳවයි. කුසල මූල අකුසල
මූල වශයෙන් ගැනෙන විට ද ලෝභය තෘෂ්ණාවම ය. දෝසය (කෝපය) තෘෂ්ණාව ඇති
අයටම තෘෂ්ණාවෙහිම සංග්‍රහ වෙයි. ඉෂ්ට වස්තුන්හි ඇලීම,අනිෂ්ට වස්තූන්හි
ගැටීම දොෂයැයි, කැමැති වස්තූන්හි ඇලෙන්නේත් තෘෂ්ණාව හේතුවෙනි. අකැමැති
වස්තූන්හි ගැටෙන්නේත් තෘෂ්ණාව මුදුන් පමුණුවා ගැනීම සඳහා ඇතිවන ලෝභයට ඒ
අනිෂ්ටාරම්මණය සරස්ව සිටිනා නිසයි. ලෝභ,දෝස දෙකම ජනිත කරන්නේ එකම
තෘෂ්ණාව බව මෙයින් පැහැදිලි වෙයි.මෝහය ද තෘෂ්ණාව නිසාම සිත්හි මතු වී
එන කලේශයකි. තෘෂ්ණාක්‍ෂය වන කල්හි දෝස, මෝහ දෙකද ක්‍ෂය වන අයුරු පෙනෙන
විට දෝස ,මෝහ දෙකෙහිම ආධිපත්‍ය තෘෂ්ණාව දරා සිටිනා බව අනාවරණ වෙයි. මේ
නිසා කුසල අකුසල මූලයන් සමුදය සත්‍ය ලෙස කීවද කලින් සූත්‍රවල සඳහන්
පරිදි තෘෂ්ණාවම සමුදය සත්‍යයයි, ගැනීමට එය බාධාවක් නොවේ.
එකම කරුණ මෙසේ විවිධ වචනවලින් විවිධ ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත්තේ
තේරුම් ගන්නවුන්ගේ අවබෝධ පහසුව (වෙනෙය්‍යජනානුග්‍රහ) සැලකීමෙනි. චුල්ල
වේදල්ල සූත්‍රයෙහි ද සක්කාය, සමුදය ලෙස වාදාරා ඇත්තේ මේ තෘෂ්ණාවයි.
සම්මාදියඨි සූත්‍රයෙහි දුක්ඛ නිරෝධය ලෙස දැකවෙන්නේ මේ දුක්ඛ සමුදය
දෙක්හිම නොපැවැත්මයි. අර්ථ වශයෙන් ගෙන බලන විට ධම්ම චක්ක –සච්චවිභංග
සූත්‍ර දෙක්හි ඇති තෘෂ්ණා නිරෝධ සත්‍ය යන අදහසට වෙනස් අර්ථයක් මෙහි
නැත. සක්කාය සංඛ්‍යාත පඤ්චස්කන්ධය පිළිබඳ දුක්ඛ නිරෝධයත් පඤ්චස්කන්ධ
දුක්ඛයට හේතුවන තෘෂ්ණ සංඛ්‍යාත සමුදය නිරෝධයත් දෙකම දුක්ඛ නිරෝධය ලෙස
සම්මා දිට්ඨි සූත්‍රයෙහි ද අදහස් වශයෙන් සඳහන් වෙයි. ප්‍රකාශිත වචන
වශයෙන් වෙනස්කම් ඇතත් නිරෝධ සත්‍ය විස්තරයෙහි ධම්මචක්ඛ , සච්චවිභංග
ක්‍රමවලට වඩා අර්ථ වශයෙන් වෙනසක් සම්මා දිට්ඨී සූත්‍රයෙහි ද දක්නට නැත.
චුල්ලවේදල්ල සූත්‍රයෙහි ද තෘෂ්ණා නිරෝධය සක්කාය (දුක්ඛ) ලෙස වදාරා ඇති
බැවින් මේ හැම සූත්‍රයකදි ම නිරෝධය සත්‍යය විස්තර කොට ඇත්තේ අදහස්
වශයෙන් බලනවිට සමාන ආකාරයකටයි.
ධම්ම චක්ඛ ක්‍රමයෙහි මාර්ග සත්‍ය විස්තරයට බැස ආර්ය අෂ්ටාංගික
මාර්ගයෙහි අංග අට පමණක් සඳහන් කොට නිහඬව ඇත. එහෙත් සච්චවිභංගය,
සම්මාදිට්ඨී ආදි මාර්ගාංග අටද නම් කරයි. එක එක අංශයක් වෙන වෙනම ගෙන
විස්තර ද කෙරෙයි.මේ මාර්ග සත්‍ය පිළිබඳව ධම්මචක්ඛ , සච්චවිභංග ක්‍රම
දෙක්හි දක්නට ලැබෙන වෙනසයි. සම්මා දිට්ඨි සූත්‍රය ඉදිරිපත් කරන අරුතද
ධම්මචක්ක, සච්චවිභංග ක්‍රම දෙකට අදහස් වශයෙන් අමුතු නැත. “දුක පිරිසිඳ
දැකිය හැකි වූ සමුදය ප්‍රහාණය කළ හැකි වූ නිරෝධය සාක්ෂාත් කළ හැකි වූ
ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය වෙයි”යයි සම්මා දිට්ඨී සූත්‍රයද එය
සංක්‍ෂිප්ත ලෙස දක්වයි. සංසන්දනය කරන විට සච්චවිභංගයෙහි මාර්ග සත්‍ය
විස්තර කළ ක්‍රමය ධම්මචක්ක, සම්මාදිට්ඨි සූත්‍ර දෙකෙහි ම එය විස්තර කළ
ක්‍රමයට වඩා පැහැදිලිය.
චුල්ලවේදල්ල සූත්‍රය
චුල්ලවේදල්ල සූත්‍රයෙහි එන මාර්ග සත්‍ය විස්තරය මේ ධම්මචක්ක- සච්චවිභංග
සම්මාදිට්ඨි යන සූත්‍ර තුනටම වඩා නිරවුල්ය. එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය
සංඛත බව, ස්කන්ධයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංගෘහිත වන බව එසේ සීල,
සමාධි, පඤ්ඤා, ස්කන්ධත්‍රයෙහි එකි එකි මාර්ග අංගයන් සංගෘහිත වන සැටි .
සමාධි, සමාධි නිමිත්ත, සමාධිපරික්ඛාර පිළිබඳ විශේෂ විස්තර, සම්මා
දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප්‍රඥාව මතුකරන්නේ වෙන වෙනම ක්‍රියා කිරීමෙන්
නොව ඒකාබද්ධව ක්‍රියා කිරීමෙන් ආදි වැදගත් තොරතුරු රාශියක චුල්ලවේදල්ල
සූත්‍රය ඉදිරිපත් කරයි.
මාර්ග සත්‍යය පිළිබඳව මහාචත්තාරීසක සූත්‍රය ඉදිරිපත් කරන අදහස ද පළමු
කී කවර සූත්‍රයකවත් නො කියැවුණු වැදගත් විවරණයකි. මෙහි අරිය සමාධිය
ප්‍රත්‍යය සහිතව (ස උපනිස) පරිවාර සහිතව (සපරික්ඛාර ) විස්තර වෙයි. ස
උපනිස සපරික්ඛාර අරිය සමාධිය ලෙස මෙහි විස්තර වන්නේ සම්මාදිට්ඨී ආදි
මාර්ගාංග සතයි.මේ මාර්ගාංග සතම සම්මා සමාධියට ප්‍රත්‍ය වෙයි. එහෙයින්
සා උපනිස යයි කියනු ලැබෙයි. ඒ අංග සත සම්මා සමාධියට පිරිවර ද
වෙයි.එහෙයින් සපරික්ඛාර යයි ද කියනු ලබයි. පළමු දැක්වෙන අංග සත සහිත
අටවැනිවු සමාධි අංගය ස උපනිස සපරික්ඛාර අරිය සමාධි නාමයෙන් හඳුන්වන්නේ
එබැවිනි.
සම්මාදිට්ඨිය පූර්වංගම වන සැටි සම්මාදිට්ඨී - සම්මා වායාම, සම්මා සති,
අංග තුන එකක් අනුව එකක් ගමන්කරන ඒකාබද්ධ ධර්මත්‍රයක් වන සැටි, හැම
මාර්ග අංගයකදීම සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති, ඒකාබද්ධව
ක්‍රියා කරන හැටි, හැම මාර්ගාංගයක්ම “සාසව පුඤ්භාගිය උපධි වේපක්කඅරිය
අනාසව ලොකුත්තර මග්ග “වශයෙන් දෙයාකර වන සැටි, මග්ග සම්මා දිට්ඨි ඇති
කල්හි මග්ග සම්මා සංකප්පයත්, මග්ග සම්මා සංකප්පය ඇති කල්හි මග්ග සම්මා
වාචාවත්, මග්ග සම්මා වාචා ඇති කල්හි මග්ග සම්මා කම්මන්තයත්,මග්ග සම්මා
කම්මන්ත ඇති කල්හි මග්ග සම්මා, වායාමයත්, මග්ග සම්මා, වායාම ඇති කල්හි
මග්ග සම්මා සතියත්, මග්ග සම්මා සතිය ඇති කල්හි මග්ග සම්මා සමාධියත්,
මග්ග සම්මා සමාධිය ඇති කල්හි මග්ග සම්මා ඤාණයත්, මග්ග සම්මා ඤාණය ඇති
කල්හි මග්ග සම්මා විමුක්තියත්, වශයෙන් පිළිවෙලින් දසංග සමන්වාගත
අර්හත්වය ඇතිවන සැටිත්, දසංග සමන්වාගත අර්හත්වයට අෂ්ටාංග සමන්වාගත
සෙක්ඛ පටිපදාව හේතුවු සැටිත්, අෂ්ටාංග සමන්වාගත සෙක්ඛපටිපදාව නම් ආර්ය
අෂ්ටාංගික මාර්ගය බවත් එසේම මේ අට්ටංග සමන්වාගත සෙක්ඛපටිපදාවට මෙන්ම
දසංග සමන්වාගත අර්හත්වයටද සම්මාදිට්ඨිය පුව¢ංගම වන සැටිත් ආදි වශයෙන්
මහාචත්තාරිසක සූත්‍රයෙන් අනාවරණය වන ආකරය වැදගත්ය. තවද
විපස්සනා සම්මා දිට්ඨි
කම්මස්ස කත සම්මා දිට්ඨි
මග්ග සම්මා දිට්ඨි
ඵල සම්මා දිට්ඨි
පච්ච වෙක්ඛණ සම්මා දිට්ඨි
ආදි වශයෙන්ද මෙම සම්මා දිට්ඨී මාර්ගාංගය පඤ්චවිධ කොට බෙදා දක්වා තිබීමද
මහා චත්තාරිසක සූත්‍රයෙහි දැකිය හැකි විශේෂිත ලක්‍ෂණයකි.
මේ ආකාරයට බුදුන් වහන්සේ විසින් දේශිත චතුරාර්ය සත්‍ය මුල් බුදු සමය
තුළ විවිධ සූත්‍රගත කරුණු තුළින් මැනවින් පැහැදිලි කර ගැනීමට පුළුවන. |