තරුණ වියයි බුදු දහූමයි
ලිපි මාලාව – 20
අග්ගඤ්ඤ සූත්‍රයෙන් පවසන
ලෝකයේ, සමාජයේ හා විවාහයේ ප්‍රභවය
ශාස්ත්‍රපති ,රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
පසුගියදා අපගේ අවධානය යොමු වූයේ විවාහය හා ස්ත්‍රිය සම්බන්ධ, භාරතීය උපදේශ
සාහිත්‍යයෙහි සඳහන් කරුණු කිහිපයක් විස්තර කිරීමටයි. එය කොටස් දෙකක් යටතේ පළ විය.
‘තරුණ වියයි බුදුදහමයි’ යන මාතෘකාව යටතේ පළවන අවසන් හෙවත් 20 වන ලිපිය මෙයයි.මෙම
අවසන් ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ මෙතෙක් කල් අප සාකච්ඡා කළ විවාහයේ මූලික
ආරම්භය කෙසේ සිදුවීද යන්න,ලෝකයේ ප්‍රභවය මෙන්ම සමාජයේ ද ප්‍රභවය පිළිබඳ බෞද්ධ මතය
සඳහන් අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් විමසා බැලීමටයි.
දීඝනිකායේ ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රය අප කවුරුත් දන්නා සූත්‍රයකි. එයින් ඉදිරිපත්
වන්නේ ලෝක සම්භවය පිළිබඳ බෞද්ධ විග්‍රහ හා සමාජ සංස්ථාපනය පිළිබඳ බෞද්ධ අර්ථකථනයයි.
මෙහි දී අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මිනිස් සමාජයේ හට ගැනීම විවාහය පවුල් සංස්ථාව
ඇති වීම හා නිවාස වෙන්කර ගැනීම ආදිය සම්බන්ධ ඓතිහාසික තොරතුරු විමසා බැලීමටයි.
බොහෝ කාලයක් ගතවීමෙන් පසු මේ ලෝකය හැකිලෙන (අයං ලොකො සංවට්ටති) කාලයක් උදාවෙයි.ඒ
කාලය වන විට මෙහි ජීවත්වන සත්වයෝ මෙයින් චුතව ආභස්සර නම් දිව්‍ය ලෝකයේ උප්පත්තිය
ලබති. ඔවුහු එහි ස්වකීය ප්‍රභාව ඇති මනෝමය වූ ශරීර ලබා අකාශචාරීව පී‍්‍රතිය අනුභව
කරමින් ඉතා සැහැල්ලුවෙන් බොහෝ කාලයක් එහි ගතකරති. මෙසේ සංවෘත හෙවත් හැකුළුණු ලෝකය
ක්‍රමයෙන් විවෘත වීමට පටන් ගනියි. එකම ජලස්කන්ධයක් බවට පත්ව ඇති මෙහි ඇත්තේ
අන්ධකාරය පමණි. (සමයො යං කදාවී කරහවී දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති) මේ
වන විට ආභස්සර දිව්‍යලෝකයේ සිටින ස්වකීය ශරීර ප්‍රභා ඇති දෙවියන් නැවතත් මනෝමය වූ
ශරීරවලින් යුතුව මෙහි පැමිණෙති, මෙහි සඳ , හිරු නොමැත. තාරකා නොමැත,දිවා - රාත්‍රී
නොමැත. මාස - දින නොමැත, ඍතු - කාල නොමැත,ස්ත්‍රී - පුරුෂ භේදයක් නොමැත. එකම සත්ත්ව
සමූහයක් වශයෙන් ඔවුහු සිටිති. මෙසේ කාලයක් යන විට ජලයෙන් වැසී තිබූ පෘථිවිය නැවත
මතුවෙයි. එකල්හි වර්ණයෙන් හා සුවඳින් යුක්තවන පෘථිවිය ගිතෙල් මෙන් පැහැය වන්නේය. මී
වැනි රස වන්නේය.
දිනක් ආකාශචාරීව හැසිරෙන ස්වංප්‍රභා ශරීර ඇති සත්වයෙක් පොළොවෙහි වු සුවඳට වර්ණයට
ලොල්ව ඇඟිල්ලෙන් පොළොවට ඇණ එහි රස බලන්නට විය. එවිට අනෙක් ආකාශචාරි සත්වයන්ද එසේ
කරන්නට විය. දැන් ඔවුන් සියලු දෙනා එක්ව පෘථිවියෙහි රස බලන්නෝය. රසයට ගිජු වූ ඔවුන්
තුළ තෘෂ්ණාව ඇතිවන්නට විය. මෙසේ කලක් ගතවීමෙන් රස පෘථිවිය කෙරෙහි ඇතිවූ තෘෂ්ණාව
නිසා ඔවුන්ගේ ශරීරවල ප්‍රභාව නැතිවන්නට විය. සඳ හිරු පහළ විය. තරු ද හටගත්තේය.
දිවා,රාත්‍රී ද ඇතිවිය, මාස, දින ඇතිවිය. ඍතු, කාල ඇතිවිය, නැවත ලෝකය සම්පූර්ණයෙන්
ම විවෘත විය.
මෙසේ කලක් ගතවන විට සමහර අයගේ ශරීර ප්‍රභාවන් ශීඝ්‍රයෙන් අඩු වී දුර්වර්ණ විය. එවිට
ශරීර ප්‍රභා ඇති සත්වයෝ ඔවුන් පිළිකුල කරන්නට විය. එවිට ඔවුන් තුළ ද්වේශය
හටගත්තේය. මෙසේ කලක් යන විට රස පෘථිවිය අතුරුදන්ව එහි භූමිපප්පටක නම් වූ බිම්මල්
වර්ගයක් ඇතිවිය. එහි උන් සත්ත්වයෝ එය අනුභව කරන්නට හුරුවිය. තවත් කලක් යන විට එයද
අතුරුදන්ව පදාලතා නම් වූ වැල් වර්ගයක් පහළ විය. එහි උන් අය එය අනුභව කරන්නට
හුරුවිය. කලක් යන විට එයද අතුරුදන්ව අකට්ඨපාකසාලී නම් වූ පොතු නැති සහල් වර්ගයක්
පහළ විය. එහි උන් අය එය අනුභව කරන්නටද හුරුවිය.
මෙසේ පොතු නැති සහල් අනුභව කරමින් කලක් යන විට එහි උන් සත්වයන්ගේ ශරීර වෙනස් වන්නට
විය. ඇතෙමෙකුගේ ශරීර සියුමැලි වන්නටත් ඇතැමෙකුගේ ශරීර ගොරෝසු වන්නටත් විය. මෙලෙස
කලක් යන විට ඔවුන් තුළ ස්ත්‍රි, පුරුෂ වශයෙන් විභේදනයක් ඇතිවිය. මෙතෙක් එක සමාන
වශයෙන් තිබූ ශරීර ක්‍රමයෙන් වෙනස් වූ නිසා ඔවුනොවුන් අතර පුදුමයක් මෙන්ම ලජ්ජාවක් ද
ඇති විය. මෙසේ වෙනස් වූ ශරීර දෙස පුදුමයෙන් බොහෝ වේලාවක් බලා සිටි ඔවුන්ට ආශාවක්
හෙවත් රාගයක් ඇතිවිය. එයින් ඔවුහු කාම සේවනයට පෙළඹුණාහ.
ආභස්සර දිව්‍ය ලෝකයෙන් පැමිණි ඒ දිව්‍ය පිරිස රස පඨවිය අනුභව කිරීමට පටන් ගැනීමේ
සිට ක්‍රමයෙන් ඔවුන් වර්ණයෙන් හා ප්‍රභාවයෙන් වෙනස්ව මිනිසුන් බවට පත් වූ අතර
ක්‍රමයෙන් ස්වභාව ධර්මයා ද වෙනස් වූ අයුරු ඉහතින් විස්තර කළෙමු. මේ වන තෙක් ස්ත්‍රී
, පුරුෂ වශයෙන් විභේදනයකට ලක් නොවී සිටි සත්වයන් ස්ත්‍රී,පුරුෂ වශයෙන් වෙන්වීමක්
සමඟ ඔවුනොවුන් දෙස පුදුමයෙන් බලා සිටීමෙන් රාගය පහළ වී එකිනෙකා කෙරෙහි ආශාව ඇති වී
කාම සේවනය සඳහා යොමු විය. මෙය ස්ත්‍රී, පුරුෂ වශයෙන් වෙන්ව ඔවුනොවුන් පිළිබඳ
රාගයෙන් කාම සේවනය කළ පළමු අවස්ථාවයි. මෙය විවාහයේ පළමු පියවරයි.
ස්ත්‍රී, පුරුෂයන් වශයෙන් වෙනස් වූ සත්වයන් කාම සේවනයෙහි යෙදෙන කළ එය පිළිකුළ කළ
සෙසු අය පස්වලින් , අළුවලින් , ගොමවලින් දමා ගසන්නට විය. එබැවින් කාම සේවනය සඳහා
සෙසු අයට නොපෙනෙන රහස් වාසස්ථාන අවශ්‍ය විය. මෙය නිවාස ඉදිකිරීමේ පළමු පියවරයි. මේ
අනුව බලන විට නිවාස ඇති කිරීමේ පළමු අවශ්‍යතාව විවාහ දිවියක් ගත කිරීම බව පැහැදිලි
වෙයි. මෙසේ ගෙවල් තුළට වී ස්වංජාත වූ අකට්ඨපාකසාලී නම් වූ පොතු නැති, රසවත් සහල්
වර්ගය මිනිසුන් අනුභව කරන්නට පුරුදු විය. උදේට අවශ්‍ය සහල් ප්‍රමාණය කපාගත් කළ සවස්
කාලය වන විට නැවත එය වැඩෙන්නට විය. එහි අඩුව නොපෙනෙන්නට විය.
දිනක් කම්මැළි එක් සත්වයෙක් මෙසේ සිතුවේය. “උදේට මෙන්ම සවසට ද සහල් නෙළීමට යා
යුතුය. මෙය මහත් කරදරයකි. එනිසා මම දින කිහිපයකට අවශ්‍ය සහල් නෙළාගෙන එන්නෙමි”යි
දින හතරකට අවශ්‍ය සහල් නෙළාගෙන පැමිණියේය. වෙනත් පුරුෂයෙක් ඔහු වෙත පැමිණ පෙර පරිදි
සහල් නෙළීමට යමු යැයි යෝජනා කළේය. එවිට ඔහු පවසනුයේ ‘පින්වත මා දින හතරකට සෑහෙන
ප්‍රමාණයේ සහල් නෙළාගෙන ආවෙමි. එබැවින් මට සහල් අවශ්‍ය වන්නේ දින හතරකින් පසුවය.
“ඔහුගේ කීම ඇසු එම පුරුෂයා ද දින කිහිපයකට ප්‍රමාණවත් වන පරිදි සහල් නෙළාගෙන එන්නට
විය. මෙම කථාව ආරංචි වූ සෙසු සත්වයෝ ද දින කිහිපයකට ප්‍රමාණවත් වන පරිදි සහල්
නෙළාගෙන විත් ගේ තුළ තබාගෙන පරිභෝජනයට හුරු විය. එවිට ස්වංජාත වූ සහල්වල කුඩු ද
දහයියා ද ඇතිවන්නට විය. කපා ගත් කොටස නැවත නො වැඩෙන්නට විය. භූමියෙහි හිස් බවක්
ඇතිවන්නට විය.
මේ පිළිබඳ කතිකා කොටගත් ඔවුහු එම සහල් හටගත් ඉඩම් ප්‍රමාණයන් බෙදා වෙන්කොට සීමා
තබන්නට විය. මෙසේ තම තමන්ට වෙන් කළ ඉඩම්වල හටගත් සහල් අනුභව කරමින් කල් ගෙවනකළ මේ
පුද්ගලයන් අතර අධික තෘෂ්ණාවෙන් යුක්ත වූ එක් පුද්ගලයෙක් තමාගේ ඇල් වී කොටස ඉතිරිකර
ගැනීමේ අදහසින් වෙනත් කෙනෙකුගේ ඇල් වී හොරෙන් කපන්නට විය. එය අසු වී අන් අය ඔහුට
අන් අයට අයත් වූ දෙය නොගන්නා ලෙස අවවාද කරන්නට විය. එහෙත් ඔහු නැවතත් එයම කරන්නට
විය. එවිට සෙසු අය ඔහුට දඬුවම් කරන්නට විය. ඔහු එයින් බේරීමට බොරු කීවේය. මෙසේ
හොරකම හා බොරුව පිරිස අතර ඇතිවන්නට විය. හොරකමෙන් හා බොරුවෙන් යුක්ත වූ පිරිසේ ශරීර
වර්ණය පහවන්නට විය. ශරීර රළු වන්නට විය.
ස්වංජාත වූ ඇල් සහල් ක්‍රමයෙන් අතුරුදන්ව ගොස් නැවත සහල් ලබා ගැනීම සඳහා ඔවුන්ට වී
වපුරන්නට විය. එවිට එහි පොතු ,කුඩු, දහයියා ආදිය හට ගනිමින් රසය ද අඩු වී රළුවන්නට
විය. මුලින් පිසීමකින් තොරව අනුභව කරන්නට පුළුවන් වූ සහල් පිසීමට අවශ්‍ය විය.
නොපිසා අනුභව කිරීමට අපහසු විය.
මිනිස් සිත දූෂිත වීමත් සමඟ සමාජයෙහි ඇති වූ හොරකම, බොරුව හා හිංසාව පිළිබඳ කලකිරුණු
පිරිසක් එක්ව මෙසේ කතිකාවක් ඇතිකර ගත්හ. එනම්, සමාජ පාලනය සඳහා කිව යුත්ත නොවලහා
කීම, ගැරහිය යුත්තන්ට ගැරහීම , නෙරපිය යුත්තන් නෙරපීම ආදිය මනාව කළ හැකි
ශක්තිසම්පන්න පුද්ගලයෙක් අප පත් කරගමු. ඔහුට අපේ භවභෝග සම්පත් වලින් කොටසක් දෙමු “
යනුවෙනි. මෙසේ කතිකා කරගත් ඔවුහු, ඔවුනතර සිටි ශක්ති සම්පන්න මෙන්ම උසස් රුවක් ඇති
පුද්ගලයෙක් පාලකයා වශයෙන් පත්කර ගත්හ. ඔහු සියලු දෙනාගේ සම්මතයෙන් පත් වූ නිසා
‘මහාසම්මත’ යනුවෙන් ප්‍රකට විය. ඔහු මිනිසුන්ට සම අයුරින් ඉඩම් බෙදා දීම ආදිය
කරමින් ගුණ ධර්මවලින් යුක්ත සමාජයක් ඇති කිරීම සඳහා කටයුතු කළ නිසා ‘ක්‍ෂත්‍රිය ‘
නමින් ප්‍රසිද්ධ විය. එය ක්‍ෂත්‍රීය යන වචනයේත්, වංශයේත් ආරම්භය විය. –ධම්මෙන පරෙ
රඤ්ජෙතීති ඛො, වාසෙට්ඨ, ‘රාජා
මේ අතර සමාජයේ ඇති වූ විසම ක්‍රියාවන් නිසා කලකිරුණු ඇතමෙක් වනගතව ගුණධර්ම දියුණු
කරමින්, ධ්‍යාන වඩමින් තාපස දිවියක් ගත කරන්නට විය. පාප ධර්ම බැහැර කරමින් ඔවුන්ගේ
අධ්‍යාත්මය සරුකරගත් නිසා ඔවුන්ට ‘බ්‍රාහ්මණ’ යන නම ව්‍යවහාර කරන්නට විය. – පාපකෙ
අකුසලෙ ධම්මෙ වාහෙන්තීති ඛො, වාසෙට්ඨ ‘බ්‍රාහ්මණා
මේ පිරිස අතර ඇතැමෙක් ගවපාලනය, වෙළෙදාම ආදිය සිදුකරමින් කාමභෝගී දිවියක් ගත කරන්නට
විය. ඔවුන් මෙසේ ධනෝපායන මාර්ගයෙන් නියැළෙන නිසා ‘වෛශ්‍ය’ නමින් ප්‍රසිද්ධ විය.
මෙථූනං ධම්මං සමාදාය විසුකම් මන්තෙ පයොජෙන්තීති,ඛො, වාසෙට්ඨ , ‘වෙස්සා
මෙහි වූ ඇතැමෙක් සැඩ – පරුෂ ගති ස්වභාවයෙන් යුක්තව සමාජයේ නින්දිත- පහත් ක්‍රියාවල
නියැළෙන්නට විය. මෙසේ සමාජයේ පහත් ක්‍රියාවල නියැළුන පිරිස ‘ශුද්‍ර’ නමින්
ප්‍රසිද්ධ විය. ලුද්දාචාරා ඛුද්දාචාරාති ඛො, වාසෙට්ඨ සුද්දා.
|