Print this Article


පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු- 41 යසෝජ මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු- 41

යසෝජ මහරහතන් වහන්සේ

තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ළය මඬලවන් වූ, උතුම් සිරි මුව මඬලවන් වූ ශ්‍රී සද්ධර්මයෙන් උපන් නිකෙලෙස් ගුණ දැරූ මහරහතුන් අතරේ වැඩ සිටි ‘යසෝජ’ නම් මහරහතන් වහන්සේගේ සොඳුරු ජීවිත කථාවයි ඔබ අද ඉගෙන ගන්නේ.

සදහම් ඇස් ඇති විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලොව පහළ වී වදාළේ මීට කල්ප අනූඅටකට පෙර යුගයේ දී යි. උන්වහන්සේ වැඩ විසූ බන්ධුමති රාජධානියේ ම උයන් ආරක්ෂා කරමින් උයන්පල්ලෙක් වාසය කළා. උතුම් සම්බුදුගුණ මහිමය අසා පැහැදුණු සිත් ඇතිව සිටි ඔහුට අහසින් වැඩම කරන උතුම් සම්බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. තමන්ගේ උයනේ පැසී ගිය දෙල් ගෙඩියක් බුදුරජුන්ට පුදන්නට ඇත්නම් කෙතරම් යහපත්දැයි සිතමින් ඔහු මහ හඬින් සාධූකාර දුන්නා. මහාකරුණා ඇති විපස්සී බුදුරජාණෝ උයන්පල්ලාගේ සිතිවිලි දැක ඔහුට සමීපව අහසෙහි ම වැඩහිඳිමින් එම දෙල්ගෙඩිය පිළිගෙන වදාළා.

සසර ගමන ඉතාම භයානක බව අප දන්නවා. නමුත් පින් විසින් ඒ ඝෝර සසර යම් පමණකින් සැපවත් කරවනවා. පිනෙන් ජීවිතය පිරීගිය කළ ඝෝර සසරින් මිදී මේ ලොව අග්‍ර වූ නිවන් සැප ලැබෙනවා. බුදුරජුන් උදෙසා කළ මේ පූජාවෙන් ඒ උයන්පල්ලා මරණින් මතු දෙව් මිනිසුන් අතරේ සැප වින්දා. ඔහු ඉතාම පින්වන්තයෙක්. ඒ නිසාම ඒ මහා භද්‍ර කල්පයේ සිව්වැනිව ලොව පහළ වූ ගෞතම සම්බුදු රජුන් වැඩසිටි ජේතවන ආරාමය පිහිටි සැවැත්නුවර උපත ලැබුවා. සැවැත්නුවර පවුල් පන්සීයකින් යුතු කෙවුල් (මසුන් මරා ජීවත්වන) ගමක ගම් ප්‍රධානියාගේ පුතා ලෙස උපන් ඔහු යසෝජ නමින් හැඳින්වූවා.

තරුණ වියට එළඹෙත්ම තම පරපුරෙන් පැවත ආ ජීවිකාවට තෝරාගත් යසෝජ තරුණයා ප්‍රධාන පන්සියයක් තරුණයෝ මාළු ඇල්ලීම පිණිස අචිරවති නදියට ගියා. දිනක් ඔවුන් නදියේ එලාතිබූ දැලකට සම්පූර්ණයෙන්ම රත්තරං පැහැති මාළුවෙක් හසුවුණා. මීට පෙර එතරම් ලස්සන මාළුවෙක් ඔවුන් දැක තිබුණේ නැහැ. ඒ නිසාම මේ අපූරු මාළුවාවා ටැංකියක දමාගෙන පසේනදී කෝසල මහරජතුමා වෙතගෙන ගියා. රජතුමාත්, රජවාසලේ වෙන කිසිවෙකුවත් මේ තරම් දැකුම්කළු මාළුවෙක් දැක තිබුණේ නැහැ. අන්තිමේදී කොසොල් රජතුමාත් කෙවුල් තරුණයෝ පන්සිය දෙනාත් රටවැසියන් බොහෝ දෙනෙකුත් මේ මාළුවා බුදුරජාණන් වහන්සේට පෙන්වීමට දෙව්රම් මහ වෙහෙරට රැගෙන ගියා.

ජේතවනාරාම දොරටුව අසලදී ටැංකියෙන් උඩට ඔළුව ඔසවා මේ මාළුවා කට ඇරියා. විශාල දුර්ගන්ධයක් අවට පැතිරුණා. පිරිසට හරිම පුදුමයි! මේ මාළුවා ලස්සනයි. නමුත් කට ගඳයි. ඒ මොහොතේ එතැනට වැඩම කළ සම්බුදුරජාණන් වහන්සේ මේ මාළුවා දුටු පමණින් සියලු තතු නුවණික් දැක වදාළා. සෘර්ධි බලයෙන් මාළුවාට කථාකිරීමේ හැකියාව ලබා දුන්නා. ‘මේ මාළුවා අතීතයේ කාශ්‍යප බුදු සසුනේ කපිල නමින් පැවිදිව සිට බඹසර රැකීම නිසා රුව ලස්සන වුණා. වචනය වරදා ගත් නිසා කට ගඳ වුණා. මොහු මෙතැනින් චුතව නිරයේ ඉපදුනා’ යනුවෙන් අතීත තතු පහදමින් කපිල සූත්‍රය දේශනා කළා. ඒ දෙසුමෙන් බොහෝ දෙනාගේ උතුම් තෙරුවන් සරණේ පිහිටියා. යසෝජ තරුණයා ඇතුළු පන්සියයක් වූ කෙවුල් තරුණයෝ ගිහි ජීවිතය අත්හැර බුදු සසුනේ උතුම් වූ පැවිදිභාවයත් ලබා ගත්තා. පැවිදි වූ යසෝජ ස්වාමින් වහන්සේ තම මිත්‍රයන් පන්සියයක් භික්ෂු පිරිස සමඟ වනයක් ඇසුරු කරමින් වැඩ වාසය කළා.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. යසෝජ තෙරුන් පුම්‍රඛ පන්සියක් පමණ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට සැවැත්නුවරට පැමිණ සිටියා. ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නේවාසික භික්ෂූන් වහන්සේලා සමඟ පිළිසදරින් සතුටු වෙද්දී ආසන පහසුකම් සලසද්දී පාත්‍රා සිවුරු තැන්පත් කරද්දී විශාල ශබ්ද ඇතිවුණා. මහ ශබ්ද ඇතිවුණා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ඇමතුවා. පින්වත් ආනන්ද, ඔය උස් හඬින්, මහ හඬින් ශබ්ද කරන්නේ කවුද? මාළු අල්ලන තැන කෑ කෝ ගසමින් මාළු අල්ලන මිනිසුන් වගේ’

’ස්වාමිනි මේ යසෝජ තෙරුන් ප්‍රමුඛ පන්සියක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පැමිණිලා. ඒ භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදෙනවා. ආසන සකස් කරනවා. පාත්‍රා සිවුරු තැන්පත් කරමින් ඉන්නවා. ඔය උස්හඬින් ඇහෙන්නේ ඒ නිසයි.

එහෙමනම් පින්වත් ආනන්ද, මගේ වචනයෙන් ඒ භික්ෂූන් අමතන්න. ඉතින් ආනන්ද හිමියන් ඒ පිරිස ළඟට පැමිණ කියා සිටියා ‘ප්‍රි‍්‍රය ආයුෂ්මතුනි, අපගේ ශාස්තෘන් වහන්සේ ඔබලා කැඳවනවා”

’එසේය’ කියා පිළිතුරු දී ඒ යසෝජ තෙරුන් ඇතුළු පන්සියයක් භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වාඩිවුණා.

’පින්වත් මහණෙනි , උස් හඬින්, මහ හඬන් ශබ්ද කළේ ඇයි? මාළු මරන තැනක වගේ කෑකෝ ගහන මිනිසුන් වගේ’

’ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නටයි මේ පන්සියයක් පමණ භික්ෂූන් සැවැත්නුවරට පැමිණුනේ. ඒ පිළිසදර කථා පා සිවුරු තැන්පත් කිරීම් ආදියේදී තමා උස් හඬ ඇතිවුණේ කියා යසෝජ තෙරුන් ප්‍රකාශ කළා.

’පින්වත් මහණෙනි, මම ඔබලා බැහැර කරනවා. මා සමීපයේ ඔබ වාසය කරන්නට අවශ්‍ය නැහැ’ පවසමින් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස බැහැර කළා. තම ශාස්තෘන් වහන්සේගේ වචනයට කීකරු වී ‘එසේය ස්වාමිනි’ කියා ආසනවලින් නැගිට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. පාත්‍රා සිවුරු අරගෙන පිටත්වුණා. වජ්ජි දේශයට පැමිණ පිළිවෙළින් චාරිකාවේ සැරිසරද්දී ‘වග්ගුමුදා’ නම් නදිය වෙත පැමිණුනා. ඒ භික්ෂු පිරිස වග්ගුමුදා නදී තෙර කොළ අතු සෙවිලි කොට කුටි තනාගෙන වස් සමාදන් වුණා.

වස් සමාදන් වූ භික්ෂූ පිරිස යසෝජ හිමියන් ඇමතුවා. ‘පි‍්‍රය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අප බැහැර කොට වදාළේ අපේම යහපත කැමැති නිසාම යි. හිතවත්කමට යි. අනුකම්පාවෙන්ම යි. අනුකම්පාව උපදවාගෙනම යි. පි‍්‍රය ආයුෂ්මතුනි, අපත් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන්නේ යම් විදියේ වාසය කිරීමකට ද අප ඒ විදිහට මේ වස් කාලය ගත කරමු. ‘එසේය, ආයුෂ්මතුනි, කියා ඒ සියලුදෙනා ඒ අවවාදය පිළිගත්තා.

ඒ භික්ෂූන් වහන්සේලා හුදෙකලා වුණා. කෙලෙස් තවන වීරිය ඇතිකර ගත්තා. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරුණා. ඒ වස් කාලේ ඇතුළත ඒ සියලුම භික්ෂූන් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා.

එවිට භාග්‍යවතුවහන්සේ සැවැත්නුවරින් නික්මිලා විශාල මහනුවරට වැඩම කළා. එහිදී විශාලාවේ කූටාගාර ශාලාවේ වැඩවිසූ භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා නදීතෙර වැඩසිටි භික්ෂූන්ගේ සිත් තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැනගෙන ආනන්ද ස්වාමින් වහන්සේ කථා කළා.

’පින්වත් ආනන්ද, යම් දිශාවක වග්ගුමුදා ගංතෙර භික්ෂූන් සිටිත්නම් ඒ දිශාව මට එළියක් පහළවුණා වගේ. පින්වත් ආනන්ද මට ඒ දිශාව ආලෝකයක් පහළවුණා වගේ. එහි වඩින්න වුණත් සිහිකරන්න වුණත් කිසි අප්‍රසන්නකමක් නැහැ. පින්වත් ආනන්ද ඔබ වග්ගුමුදා නදීතෙර භික්ෂූන් සමීපයට දුතයෙක් යවන්න ඕන. ඔය ආයුෂ්මතුන් වහන්සේලාගේ දැකීම ශාස්තෘන් වහන්සේට හරිම පි‍්‍රයයි’ කියා.

ඉන්පසු යසෝජ මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලා වග්ගුමුදාවෙන් නො පෙනී ගොස් කූටාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන බලයෙන් යුතු අරහත්ඵල සමාධියක් වන ආනෙන්ජ සමාධියෙනුයි වැඩ සිටියේ. ඒ බව දැනගෙත් යසෝජ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාත් ආනෙන්ජ සමාධියකට සම වැදුණා. රැය පහන්වනතුරුම සමාධියෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් නැගිටි මොහොතේ ආනන්ද තෙරුන් පැමිණ වදාළා. ‘ස්වාමිනි රැය ගෙවී ගියා. ආගන්තුක භික්ෂූන් වාඩිවෙලා දැන් බොහෝවෙලා ගතවුණා. ඔබවහන්සේ ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසදර කථාබහේ යෙදෙන සේක්වා!’

ඒ වෙලාවේ ආනන්ද තෙරුන් අමතමින් ‘ආනන්දය, ඔබ මේ ගැන දන්නවානම් එසේ හිතන්නේ නැහැ. මමත් මේ භික්ෂූන් පිරිසත් වාඩිවෙලා සිටියේ ආනෙන්ජ සමාධියෙනු යි’. ‘ යම් කෙනෙක් කාමය ජයගත්තානම්, ආක්‍රෝධ කිරීම්, වධ බන්ධනත් ජය ගත්තානම් ඔහු නො සැලී පිහිටලා ඉන්නේ පර්වතයක් වගේ. සැප දුක් දෙකේම සැලෙන්නේ නැහැ. අන්න ඔහු තමා භික්ෂුව.

මහාකාරුණික ශාස්තෘන් වහන්සේගේ අවවාදයේ දී නො ගැටී ඊට අනුවම ආජානේය අශ්වයන් සේ ක්‍රියා කළ ඒ උතුම් රහතුන්ගේ ජීවිත අපට ආදර්ශයක්. ඉතින් තම අරහත්වය සැප සේ විඳිමින් යසෝජ මහරහතන් වහන්සේ විසින් මේ මිහිරි උදානයන් ප්‍රකාශ කොට වදාළා.

කාල පබ්බංග සංකාසෝ - කිසෝ ධමනිසන්ථතෝ
මත්තඤ්ඤු අන්නපානස්මිං - අදීන මනසෝ නරෝ

ඒ තැනැත්තාගේ අත්පැහැ කළු වැල් පුරුකක් වගේ ගොඩක් කෙට්ටුයි. නහරවැල් පවා ඉලිප්පිලා . නමුත් ඔහු ආහාරයේ අර්ථය දන්නවා. ඔහුට අදීන මනසක් තිබෙනවා.

ඵුට්ඨෝ ඩංසෙහි මකසෙහි – අරඤ්ඤසමිං බ්‍රහාවනේ
නාගො සංගාම සීසෙව - සතො තත්‍රාධිවාසයෙ

ඔහු භාවනා කරන්නට යන්නේ අරණ්‍යයේ මහා වනය මැදට. එහිදී ලේ බොන මැසි මදුරුවන් ඔහුව වට කරගෙන පහර දෙනවා. එවිට ඉතා හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද්ධ භූමියට පැමිණුන හස්තිරාජයෙක් වගේ.

යථා බ්‍රහ්මා තථා එකෝ - යථා දේවෝ තථා දුවේ
යථා ගාමෝ තථා තයෝ - කොලාහලං තතුත්තරිං

තනියම වාසය කරන එක බ්‍රහ්මයෙක් වගේ දෙන්නෙක් හිටියොත් දෙවියන් වගේ. තුන්දෙනෙක් හිටියොත් ගමක් වගේ. ඊට වැඩිවුණොත් ඉතින් කෝලාහලයක් තමා.

මාළු අල්ලමින් සිටි මිනිසෙකුගේ ජීවිතයත් මේ සා උදාර වචන පවසන බවට පත්වුණේ ලෝකයට දුර්ලභව පහලවන උතුම් තෙරුවන මුණ ගැසුණු නිසයි. අපත් ඒ උතුම් තෙරුවන සරණ යමු.

නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු- 40 සප්පදාස මහරහතන් වහන්සේ