Print this Article


අධ්‍යාත්මික සියුම් ප්‍රකාශන ශක්තියක ශ්‍රේෂ්ඨ ඵලය

වර්ෂ 1896 දී අනුරාධපුර මහ දිසාපතිව සිටි ඉංගී‍්‍රසි ජාතික එච්.එච්. කැමරෝන් මහතාගේ පාලන වාර්තාවට ඔබගේ අවධාරණය යොමු කරමි.

“මේ පළාතෙන් නික්ම යාමට පෙර මා විසින් ඉටු කිරීමට සිතා සිටි එක් කාර්යයක් අනුරාධපුරයේ ද ඇත. එම කාර්යය නම් හුදෙකලා භාවයෙන්ද මහා වනයේ නිහැඩිතාවයෙන්ද නූතන ශිෂ්ඨාචාරයේ අහිතකර බලපෑම් නැති බැවින්ද හිඳි පිළිම වහන්සේට ලැබෙන ගාම්භීරත්වයට හානිකර නොවන පරිදි බුදු පිළිමය ඉදිරිපසින්ම දිවෙන වටරවුම් පාර යාර 100 ක් පමණ එහායින් හරවා යැවීමයි “

“මා 1872 දී පළමුවරට මේ බුදු පිළිමය දුටුවේ එබඳු වාතාවරණයකය. පසුව 1895 මුල් භාගයේදී මා මේ බුදු පිළිමය දුටුවිට එහි සිරි පතුල අසලටම බොරළු දමන ලද පාරක් වැටී තිබෙනු දැකීමෙන් මම බලවත් සේ කම්පාවීමි”

“උන්වහන්සේගේ ශාන්ත සමාධි සුවයටද හුදෙකලා භාවයටද රෝද වල ශබ්දයෙන් සහ සංචාරකයන්ගේ අදාන්ත සිනාවෙන්ද බාධා පැමිණවීම ඇත්තෙන්ම නිගරුවකි”

1896 වසරේදී එනම් මීට වසර 118 කට පමණ ප්‍රථම මහා දිසාපතිවරයා වාර්තාවක් සකසන්නේ කුමන නම් බුද්ධ ප්‍රතිමාවක් වෙනුවෙන්ද? ඔහු එය දකින්නේ මීට වසර 142කට ඈත කාලයේදී කිසිදු හව්හරණක් නැති බොරළු පාරේ යනෙන වාහනයකට අසුවී වේදනා විදින යාචකයකු තරම්වත් සැලකිල්ලක් නොදැක්වූ ඒ දෙස බලා සිටින රුදු මිනිසකුගේ සිත වුව වෙඬරු පිඬක් සේ තෙත් කිරීමට සමත් වටිනාකම මුදලකට තක්සේරු කළ නොහැකි අසදෘශ මහා පිළිම වහන්සේ නමක් පිළිබඳවය.

එසේ ශත වර්ෂ ගණනාවක් මේ මහා කාරුණික බුදු පිළිම වහන්සේ අපමණ දුක්ඛ දෝමනස්සයන් - පීඩාවන් විඳිමින් වැඩ සිටියා විය හැකිය.

ඕජස් ගලන කුණු ගඳ ගහන මිනී කනත්තක් සුඛ විහරණයන්ගෙන් පිරිපුන් සක්විති රජ මාළිගාවන් බුදුන් වහන්සේට වෙනසක් නොවන බව දනිමි.

ඒ නිසාම අචේතනික වූ රළු ගල් පිළිමයකට එවැනි දුෂ්කරතා විඳ දරා ගැනීම ප්‍රශ්නයක් නොවනු ඇත.

එහෙත් ජීවිතකාලයම හෝ මහා කරුණාවේ ළයාන්විත ආත්මීය දිය දහර වෑහීම වෙනුවෙන් දහදිය ගඟක් වැගිරූ ලෝකයේ සංවේදී මිනිසාගේ පවා නොහික්මුණු සිත හික්මවීමට තරම් සමත් වූ පිළිම වහන්සේ නෙළු සදා කෘතවේදිත්වයෙන් පිදුම් ලබන ඒ ගල්වඩු සහෘද කලාශිල්පියා මේ නොසලකා හැරීම දුටුවේ නම් ඔහු තරම් කම්පානොවන තවත් කිසිවකුත් නොවනු ඇත.

මේ පවසන්නේ කවුරුන් කළ කවර නිර්මාණයක් ගැන දැයි සිතන ඔබ තවත් මම වෙහෙසට පත් නොකරවමි. මෙසේ පැවසුවොත් එය ඔබට හොඳින් දැනෙනවා නියතය. ‘ලෝක පූජිත අනුරාධපුර මහමෙව්නාවේ සමාධි පිළිම වහන්සේ’ එහෙත් 19 වැනි ශත වර්ෂය වන විට සමාධි පිළිම වහන්සේ මිනිසාගෙන් සැලකුම් ලැබුවේ එලෙසය.

සද්ධාසම්පන්න අසරණ මිනිසාට පූජනීය පිළිම වහන්සේට සුදුසු තැනක් පිළියෙළ කරදීමට ශක්තියක් නොමැත. දොස් නැගිය යුත්තේ එදා ඒ පිළිබඳ බලයක් ශක්තියක් තිබූ මිනිසාටය.

වීරාසන හෝ පද්මාසන ශෛලියෙන් හිඳ උඩු අතට විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටුවා සිටීම ධ්‍යාන නොහොත් සමාධි මුද්‍රාව වශයෙන් හඳුන්වති. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා පිළිබඳ සලකා බලන විට සමාධි මුද්‍රාව මෙරට බෙහෙවින් ජනපි‍්‍රය වූ මුද්‍රාවක් වශයෙන් සඳහන් කළ හැකිය. (බුදු පිළිමයේ මුද්‍රා සහ ආසන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමි) ඉහත ප්‍රකාශයට අනුගතව ලංකාවේ බහුතරයක් පිළිම වහන්සේලා නෙළා ඇත්තේ සමාධි මුද්‍රාවෙන් ය.

එහෙත් සමාධි පිළිම වහන්සේ කියූ පමණින් මතකය දිවයන්නේ, සිතේ ඇඳෙන්නේ මහමෙව්නාවේ අසමසම වූ සමාධි පිළිම වහන්සේ වෙතය.

එසේ නම් දස දහස් ගණනක් වූ සමාධි පිළිම වහන්සේලාගේ අග්‍රඵලය ලෙස මෙම පිළිම වහන්සේ හැඳින්වීම අසාධාරණ නොවෙයි.

ආනන්ද කුමාරස්වාමි විසින් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම කලා කෘතිය අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව බවයි.

අද ලෝක ප්‍රකටව පවතින එහෙත් යුග කීපයක් පුරා නොසලකා හැරීමට ලක්ව තිබූ සමාධි පිළිම වහන්සේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරුන් වූ එච්. සී. පී.බෙල් සහ සෙනරත් පරණවිතාන ආදීන්ගේ පරිශ්‍රමයෙන් වර්තමාන තත්ත්වයට පත්කොට ඇත. ලක්දිව බුදු පිළිම අතර ඇති පැරැණිම පිළිමය මෙය බව සඳහන්ව තිබේ.

මෙම පිළිම වහන්සේගේ නාසය කැඩී තිබුණු බැවින් 1923 දී ලෝංහස්ට් සහ 1967 වසරේදී මාපලගම විපුලසාර හිමි විසින් ප්‍රතිසංස්කරණය කළද එයින් පිළිම මුවෙහි මුල් ස්වරූපයට යම් බාධාවක් ඇති වූ බව පෙනෙයි.

ප්‍රතිමාවේ හිසකෙස් කැරලි ගැසුණු ස්වරූපයෙන් නිර්මාණය කර ඇත. හිසේ ඇති උස්නිෂය යන්තමින් මතුකොට දක්වා තිබේ. මුහුණ වෘත්තාකාරය .දෙනෙත් කුහර සහිත වන අතර පෙරදි ඒවායේ මැණික්ගල් ඔබ්බවා තිබෙන්නට ඇත. රැලි රහිත චීවරය ඒකාංෂ කොට පොරවා තිබෙයි. දකුණු කිහිල්ල යට තවමත් දක්නට ලැබෙන කහ වර්ණය නිසා මෙය පෙරදා වර්ණ ගන්නා තිබුණු බව සිතිය හැකිය.

ප්‍රතිමාවේ උස සෙ.මී. 234 කි. (අඩි 7 යි අඟල් 03 කි) දෙ දණ අතර පළල සෙ.මී. 210 කි. (අඩි 7 ක පමණ) ග්‍රැනයිඩ් පාෂාණයෙන් නිමවා ඇති ගාන්ධාර මදුරා, ගුප්ත ආදි කලා සම්ප්‍රදායන්ට නෑකම් කියූවද මෙය ස්වාධීන ලාංකේය ප්‍රතිමා ශිල්ප ක්‍රමයට ප්‍රමුඛත්වය දෙමින් නෙළූ ප්‍රතිමාවක් බව බහුතර විද්වතුන්ගේ අදහසයි.

පිළිම වහන්සේගේ ආරම්භය පිළිබඳව නිශ්චිත සාධක නැතත් ක්‍රි.ව. 3 –4 සියවස් වලට අයත් විය යුතු බව අනුමාන කෙරෙයි. මහසෙන් රජතුමා (ක්‍රි.ව. 275- 301) බෝධි ඝරයක් කරවා පිළිම හතරක් සතර දිසාවේ තැන්පත් කළ බව මහා වංශය සඳහන් කරයි. මහාවංශයට අනුවම ථූපාරාමයේ තිබූ පිළිමය අභයගිරි විහාරයට රැගෙනවිත් තිබේ. ක්‍රි.ව. 262 – 272 අතර රජ කළ ජෙට්ට තිස්ස රජතුමා ථූපාරාමයේ උරුසිලා පටිමා “ නම් වූ රමණීය බුදු පිළිමය ඉන් ඉවත් කොට ‘පාචීනතිස්ස පබ්බත’ විහාරයේ තැන්පත් කළ බව සඳහන් වෙයි.

එයින් කියැවෙන්නේ මෙම සමාධි ප්‍රතිමාව පිළිබඳව යැයි ඇතමෙකු මත පළ කළද නිශ්චිත නිගමනයකට එළඹීමට තවමත් සමත්වී නැත.

ඒ කෙසේ වුවද අද අප දකින දර්ශනයේ සත්‍ය මත - මෙම සමාධි පිළිම වහන්සේ ලෝක ප්‍රකට වී ඇත්තේ එයින් පිළිබිඹු වන අපරිමිත අධ්‍යාත්මික ගුණයන් වහනය කරවන භාව ප්‍රකාශන අසාමාන්‍ය ශිල්පීය ප්‍රතිභා ශක්තියේ අරුමය නිසා ය.

ශ්‍රී නේරු තුමා ලියන ලද ‘ලෝක ඉතිහාසයේ සිහිවටන’ කෘතියේ එක් තැනක දක්වා ඇත්තේ එතුමා බන්ධනාගාරගතව සිටි අවදියේ සිරකුටියේ බිත්තියක මහමෙව්නා සමාධි පිළිමයේ ඡායාරූපයක් එල්ලාගෙන සිටි බවය. සිරකුටියකදී සසල වූ මානසිකත්වය – නිසසල කිරීමට -සැනසීම කැඳවා ගෙන ඒමට එය එතුමාට පිටිවහලක් වූ බව කියැවෙයි.

බොහෝ වියතුන් අදහස් කරන්නේ නිරෝධ සමාපත්තියට සමවැදුණු උත්තරීතර ස්වභාවය පෙන්වීමට මෙම පිළිම වහන්සේ සමත්ව ඇති බවය. මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ පවසන්නේ ප්‍රතිමා මුවින් සමාධි ගුණය ඉතාම පැහැදිලිව ප්‍රකාශ වන බවයි.

එතුමා තවදුරටත් මෙසේ පවසයි. “කෙනෙකුගේ මානසික අසහනය නැති කර ගැනීමට මෙම බුදුපිළිමය අරමුණක් කරගත හැකිය. මෙහි සමාධි ගුණය වඩාත් හොඳින් පෙනෙන්නේ පිළිමය ඉදිරිපිට අඩි 8 ක් පමණ දුරින් සිට බලන විටය.

ඒ වේලාවට පිළිමයට ආලෝකය මැනවින් තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද විශිෂ්ට බුදු පිළිමයක් ලෙස මෙය හැඳින්විය හැකිය”

යම් කිසි නිර්මාණයක් රසවිඳීමට බාහිර බාධාවන් නොමැති විය යුතුය. පෙරදී සමාධි පිළිම වහන්සේගේ ඡායාරූප දකින විට මේ අසහාය ගුණය මදක් හෝ ඉස්මතුව පෙනුනද ඒ සියුම් විශිෂ්ට ලක්‍ෂණ ඡායාරූපයකට හසුකර ගැනීම අපහසු වී ඇත්තේ අද පිළිම වහන්සේ වැඩසිටිනා පරිසරය හා පසුබිම ඊට බාධාවක් වී ඇතැයි සිතෙන නිසාය.

එහෙත් එක්තරා දිනෙක ඉරු, බැසයන අඳුරට සමීපවන නිමේශයක සමාධි පිළිම වහන්සේ වෙත කෘතිමාලෝකය පතිත වෙමින් පැවතුණි.

එය නැරඹීමට පැමිණි කිසිවකුත් නැති නිමේශයේදි හුදකලාව හා පරිසරය ප්‍රදානය කළ දැහැන්ගතවූ සිතින් සමාධි පිළිම වහන්සේ දෙස මම බලා සිටියෙමි. සිහින් පවන්රොදින් තුරුපත් සැලෙන්නේ සංයමයකට පත් ලතාවකටය.

සිහින් පවනැල්ලක් ආශ්වාස කර එය මුදා නොහැර ළය තුළ රඳවාගෙන සිටින විට උරහිස් එසවී ළය ඉදිරියට නෙරාවිත් ඇති ස්වරූපයත් ඒ ධ්‍යානගත අධ්‍යාත්මය සමඟ සමගාමී වූ අතිශය කාරුණික වූ මුවකමලත් මා හට දැක ගැනීමට වාසනාව උදාවිය. කෙනකුගේ ආත්මය හා කතාකරන මේ සියුම් අධ්‍යාත්මික අසාමාන්‍ය ගුණය කැමරා කාචයකට හසුකර ගැනීමට නොහැකි බව මගේ හැඟීමයි. පුහුදුන් මාගේ හුදු ප්‍රකාශයන් හා ඔබ එකඟ නොවුණාට මම උරණ නොවෙමි.

එහෙත් මම ඔබට ආරාධනය කරමි. මහමෙව්නාවේ සමාධි ප්‍රතිමාව අසලට ගොස් නිරවුල් වූ මනසින් ඒ මුව කමල දෙස මඳ වේලාවක් බලා සිටින්න.

ජීවමාන බුදුන් වහන්සේ දකින්නට පින් මදි වූ අපට මහා කරුණා ගුණයෙන් බිඳක් හෝ මතුකරලමින් රළු කළු ගලක් ජීවමාන කිරීමට හෝ උත්සාහයක යෙදුණු කලා ශිල්පියාට පින් අනුමෝදන් කිරීමට එදාට ඔබ පෙළඹෙනවා නියතය.

“මානසික අසහනය නැති කර ගැනීමට මෙම බුදු පිළිමය අරමුණක් කර ගත හැකි බව“ මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතා පැවසුවේ ඒ නිසා විය හැකිය.