Print this Article


මිහිඳු මාහිමියන්ගෙන් අපට උරුමවූ බෞද්ධ අධ්‍යාපන දායාදය

මිහිඳු මාහිමියන්ගේ ලංකා සම්ප්‍රාප්තියෙන් පසුව උන්වහන්සේ විසින් මෙරට සිදු කරන ලද සියලු විනය සංගායනාව ඇතුළු ශාසනික ක්‍රියාවලියෙන් උන්වහන්සේ එක්වරම අපේක්ෂා කළේ ශ්‍රී ලංකාවේ බුදු සසුන තහවුරු කරලීමයි.

මෙහි ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණට භික්ෂූන් වහන්සේගේ අනුශාසකත්වයෙන් බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ව්‍යාප්ත වීම යි. අනුරාධපුර මහා විහාරය හා සිතුල්පව්ව මහා විහාරය ඒ අතර කැපී පෙනෙන ස්ථාන වුණා. ඒවායෙහි පමණක් භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව තිස් දහස ඉක්මවන තරම් වූ බව අටුවා කථා මඟින් සනාථ වෙනවා. එපමණක් නොව භික්ෂුණීන් වහන්සේ ද දහස් ගණන් වූ බව පෙනී යනවා. මේ අනුව මෙම භික්ෂූන් වහන්සේලාගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම විහාරස්ථාන කේන්ද්‍රකොට අධ්‍යාපන සම්ප්‍රදායක් ද ගොඩනැඟී තිබුණා. එහි විශේෂත්වය තමයි මෙම භික්ෂු අධ්‍යාපනය යාවජීව අධ්‍යාපන සම්ප්‍රදායයක් ලෙස සැලකීම. නූතන අධ්‍යාපන චින්තනයෙන් ද ප්‍රකාශ කරන වැදගත් ම සංකල්පයක් බවට පත් වී ඇත්තේ ද මිනිසා උපතේ සිට මරණය දක්වා ම අධ්‍යාපනික ජීවිතයක් ගත කරන බව. එනම් දැනුම එකතු කර ගැනීමේ ක්‍රියාවලියක මෙන් ම ඒ තුළින් ආකල්ප හා කුසලතා ඇති කර ගන්නවා කියන මේ කාරණය සිදුවෙනවා යන්න අදහස් කෙරුණා. කෙසේ වුව ද එදා මූලික වශයෙන් භික්ෂූන් වහන්සේ සඳහා වෙන් වූ අධ්‍යාපන ආයතන ලෙස අද මෙන් “පිරිවෙන” නාමයෙන් ගැනෙන සුවිශේෂ ආයතන පැවති බවක් නොපෙනුණත්, භික්ෂුන් වහන්සේ වැඩ වසන කුටිය හෙවත් “කුටිය” යන්නෙන් අදහස් වූ පිරිවෙන හෙවත් භික්ෂු වාසස්ථානය මළුසේත් නැතිනම් වැඩ වාස කරන විහාරස්ථානය ම භික්ෂුන් වහන්සේගේ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් වුණා.

මෙම බෞද්ධ අධ්‍යාපනයේදී ප්‍රධානත්වය හිමි වී තිබුණේ භික්ෂූන් වහන්සේට යි. එදා මිහිඳු මාහිමියන් වැඩියට පසු පළමු වන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුර මහමෙවුනා උයන තුළ පිහිටි මහා විහාරය බව කියන්නට පුළුවනි. මෙම මහා විහාරය භික්ෂූන් වහන්සේට පූජා කරනු ලැබුවේ දෙවන පෑතිස් මහ රජතුමා විසිනු යි. ඒ සමඟ ම රජතුමා විසින් මිහිඳු මාහිමියන් සඳහා ම “කාලපාසාද පිරිවෙන” නම් වූ සෙනසුන ද හදා පූජා කරනු ලැබුවා. ඒ හැර තවත් බොහෝ පිරිවෙන්, පොකුණු, රාත්‍රී හා දිවාස්ථාන ද හදා පූජා කරනු ලැබුවා. මේ අතර “සුනහාත පිරිවෙන, දීඝවංකමන පිරිවෙන, මරුගන පිරිවෙන, ඵලග්ග පිරිවෙන, ථෙරපස්සානය පිරිවෙන, දීඝසන්ද සේනාපති පිරිවෙන” ආදිය ද වෙනවා. රජතුමා සෙසු ඇමතිවරුන් විසින් මිහින්තලාවෙහි අටසැටලෙන් හෙවත් ලෙන් 68 ක් සාදවා පූජා කරනු ලැබුවා. මිහිඳු මාහිමියන් විසින් එදා හඳුන්වා දෙනු ලැබූ නවතම දහම හෙවත් බුදුදහම මෙම ලෙන්, ගුහා, පිරිවෙන් යන භික්ෂු වාසස්ථානවල වැඩසිටි භික්ෂූන් වහන්සේ විසින් ලංකාවේ දසදිසාවෙහි පැතිරවීමත්, පරම්පරාවෙන් පරම්පරාවට ස්ථිරසාරව දිගුකල් පවත්වා ගෙන යාමත් එදා උන්වහන්සේ අපේක්ෂා කළ ප්‍රධාන කාර්යයක් ලෙස සලකන්නට පුළුවන්කම තිබෙනවා. මේ නිසා මෙහි පැවති මෙම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණක් වූයේ පරම්පරාවෙන් මෙම දහම පවත්වා ගෙන යාමයි. එසේ නම් ලේඛන කලාවක් ලෙස එය සිදු කළ නොහැකි වූ තැන එය පවත්වාගෙන යාමේ මාධ්‍යය බවට පත් වී තිබුණේ එම ධර්මය මුඛපරම්පරාවෙන් පවත්වාගෙන යාම යි. මේ නිසා මෙදා පැවති අධ්‍යාපන ක්‍රමයේ “වාචෝද්ග්‍රහණය” හෙවත් ධර්මය වනපොත් කිරීම බෞද්ධ අධ්‍යාපනලාභියාගෙන් අපේක්ෂා කරන මූලික ම වූ කාර්යයක් බවට පත් වුණා.

රටේ රජතුමාගේ සිට සෑම තරාතිරමක ම ජනකොටස් අධ්‍යාපනික මධ්‍යස්ථාන වශයෙන් පැවති ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි විසිරී පැවති පන්සල් වෙහෙර විහාරස්ථානවලට ඒකරාශි වෙමින් ගමේ පන්සලේ හෝ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ එක ම අනුශාසකයා, උපදේශකයා හෝ ගුරුවරයා බවට ද පත් කර ගත්තා. එමෙන් ම මෙම විහාරස්ථානයන්හි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා එම අනුශාසක කාර්යය කරමින් ත්‍රිපිටක ධර්මය මුඛපරම්පරාවෙන් පවත්වාගෙන යමින් දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමට යොමු වුණා. මෙහිදී එවකට ලේඛන කලාවක් ව්‍යාප්තව නොපැවති හෙයින් උන්වහන්සේලා යොදා ගත් මාධ්‍යය වූයේ “ශ්‍රැතිය හා ධාරණය” යි.

ශ්‍රැතිය හා ධාරණය

මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද අධ්‍යාපන ක්‍රමයේදී ශ්‍රැතිය යන්නෙන් අදහස් කළේ මුලින් ම සඳහන් කළ පරිදි ආචාර්යවරයා විසින් වාචිකව මතකයෙන් කියා දෙන ධර්මය ශිෂ්‍යවරයා විසින් මැනවින් ශ්‍රවණය කොට ධාරණය කර ගැනීම යි. මහා විහාරීය භික්ෂූන් වහන්සේලා විසින් මෙම ත්‍රිපිටක ධර්මය දිවිහිමියෙන් රැකගත් ආකාරය මනෝරථපූරණී නම් අංගුත්තරනිකායට්ඨ කථාවෙහි මැනවින් විස්තර කෙරෙනවා. ඒ අනුව එදා වළගම්බා රජු දවස බැමිණිතියාසාය පැවති කාලයේ මෙම ත්‍රිපිටක ධර්මය මුඛපරම්පරාවෙන් රැකගත් භික්ෂූන් වහන්සේලා සාගින්න, අසනීපාදි කිසියම් හේතුවක් නිසා මියගිය හොත් ලේඛන ක්‍රමයක් තුළ ලේඛනගත වී නොපැවති නිසා ත්‍රිපිටක ධර්මය ලේඛනාරූඪ කිරීමට කල්පනා කළා. එම විස්තරයට අනුව සාගින්න හා ලෙඩරෝගාදිය නිසා ලංකාව අතහැර ජීවිතාපේක්ෂාවෙන් දිවයිනෙන් බැහැර වන්නට සිතූ මහා විහාරීය භික්ෂූන් වහන්සේලා නැවත කල්පනා කළේ තමන් වහන්සේලාගේ ජීවිත රැකුණත් ත්‍රිපිටක ධර්මය නැත්තට ම නැති වේදෝ යන බිය නිසා නැවත දිවයිනෙන් පිටවීමට ගත් තීරණය වෙනස් කර ආපසු පැමිණ ගස්වල කොළපොතු ආහාරයට ගනිමින් ඒ මඟින් ජීවනාලිය ආරක්ෂා කරගෙන වසර දොළසක් තුළ අටුවා කථා ඇතුළු ත්‍රිපිටක ධර්මය මාතලේ අලුවිහාරයේදී ලේඛනාරූඪ කරවීමට පියවර ගත්තා. ඒ අනුව මෙම හපන්කම එදා විසූ භික්ෂූන් වහන්සේ විසින් කරනු ලැබුවේ අන් කිසිවක් නිසා නොව මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද මෙම ශ්‍රවණය(ශ්‍රැතිය) හා ධාරණය (මතකයේ රඳවා ගැනීම) සඳහා ඒ ඒ ධර්ම කොටස් භාරගත් භික්ෂූන් වහන්සේලා මෙම ශ්‍රැතිය තුළින් අසා දැනගත් ධර්මය වාචෝද්ග්‍රහණ කරමින් අර්ථ සහිතව අවබෝධයෙන් යුක්තව ධාරණය කර ගැනීම නිස යි. එදා මෙම සංගීතියට එක් වුණ ද 60 නමක් වූ භික්ෂූන් වහන්සේ ඒ ඒ භික්ෂූන් වහන්සේ විසින් ශ්‍රැතියෙන් හා ධාරණයෙන් රැකගෙන ආ ත්‍රිපිටක ධර්මයේ ඒ ඒ කොටස් සසඳමින් නිවැරදි කුමක් ද? යන්න ඒත්තු ගත් ධර්මකොටස් නිවැරදිව ලේඛනාරූඪ කළ වග යි.

බහුශ්‍රැතභාවය

මෙම මිහිඳු මාහිමි හඳුන්වා දුන් අධ්‍යාපනයේ තවත් ලක්ෂණයක් වූයේ ධර්මය දැන හඳුනාගත් භික්ෂුව බහුශ්‍රැතභාවයෙන් ඉහළ ස්ථරයක සිටිම යි. එය තවත් වචනයකින් විස්තර කරන්නේ නම් වියත් බව කියා පෙන්වා දෙන්නට පුළුවන. එකල උගතා යනුවෙන් හඳුන්වනු ලැබුවේ මෙම බහුශ්‍රැතවත් තැනැත්තා යි. මෙවැනි උගතුන් මිහිඳු මාහිමියන් පෙන්වා දුන් අධ්‍යාපනය අනුව තුන් ආකාර වෙනවා. එනම් නිස්සයමුච්චනක, පරිසුපට්ඨාපක, භික්ඛුනොවාදක යනුවෙන් පෙන්වා දෙනවා. උපසම්පදාවෙන් වස් පහක්වත් ඉක්ම වූ මෙම භික්ෂුව අවම වශයෙන් ධර්ම කොට්ඨාස පිළිබඳ මාතෘකා දෙකක්වත් කටපාඩමින් කීමට සමත් වුණා. ඒ හැරුණු විට තවත් සූත්‍ර හා විනය කොටස් අවම සංඛ්‍යාවක් දත යුතු වුණා. දසවස් සම්පූර්ණ කර තිබිය යුතු පරිසුපට්ඨාපක භික්ෂුව විභංග දෙකක්වත් ප්‍රගුණ කර තිබිය යුතු වූ අතර විනය ඛන්ධක වත් මැනවින් දතයුතු වුණා. භික්ඛුනොවාදක තත්ත්වයේ සිටි භික්ෂුහු අටුවා සහිතව සමස්ත ත්‍රිපිටකය ම උපරිම වශයෙන් උගෙන ධාරණය කර තිබිය යුතු වුණා. එම භික්ෂුව භික්ෂුණීන් වහන්සේලාට ද අවවාද දීමට තරම් ශක්තිමත් වුණා. මෙහිදී ඉහළම තත්ත්වයට පැමිණි භික්ෂුව භික්ඛුනොවාදක ලෙස පෙනී යනවා.

භාණක ක්‍රමය

මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද අධ්‍යාපනික දායාද තුළ තවත් වැදගත් තැනක් මෙම භාණක තත්ත්වයෙන් වැඩවිසූ භික්ෂූන් වහන්සේට හිමි වූවා. මෙම භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන කාර්යය බවට පත් වූයේ තමන්වහන්සේලා විසින් ශ්‍රැතියෙන් හා ධාරණයෙන් දැන උගත් ත්‍රිපිටක ධර්මය භාණක පරම්පරාවෙන් පවත්වා ගෙන යාම යි. මේ අනුව ත්‍රිපිටකයේ ඒ ඒ ධර්ම කොට්ඨාස පිළිබඳ විසාරදව, මැනවින් ධාරණය කොට පාලි පෙළ කියවීමට සමත් කොටස් වශයෙන් වූ භික්ෂු පිරිස් සිටියා. නිදසුනක් වශයෙන් දීඝනිකාය සම්බන්ධව “දීඝභාණකවරු” ද, මජ්ජිම නිකාය සම්බන්ධව “මජ්ජිම භාණකවරු” ද, ආදි වශයෙන් ද නම් දරා සිටියා. මජ්ජිම භාණක දේව නම් වූ තෙරුන් වහන්සේ වසර 19ක් දැඩි ලෙස විදර්ශනා ධුරය පුරමින් හුදකලාව වැඩ විසුවත් එකම වචනයක් වත් අත් නොහැර කටපාඩමින් “මජ්ජිම නිකාය” මුල සිට අවසන දක්වා කියන්නට සමත් වුණා. මේ ආකාරයෙන් ම රුහුණේ තුලාධර පර්වත විසූ ධම්මරක්ඛිත නම් හාමුදුරුවෝ මුළු ත්‍රිපිටකය ම කටපාඩමින් කීමට සමත් වුණා. මෙය මුලින් ම සඳහන් කළ ආචාර්ය පරම්පරා ක්‍රමය යි. මෙහි තවත් වැදගත් ලක්ෂණයක් පැහැදිලි වුණා. එනම් ආචාර්ය ශිෂ්‍ය දැඩි සම්බන්ධතාවය. ඒ අනුව ශිෂ්‍යයා ආචාර්යවරයා සමීපයෙහි නිත්‍ය නේවාසික වී මෙම භාණක ක්‍රමයෙන් ත්‍රිපිටකය රැක ගනිමින් ක්‍රියා කිරීම හේතු වී මෙහිදී ආචාර්ය පරම්පරා හෙවත් ගුරුකුල ක්‍රමයක් ද හට ගත්තා. ගුරුවරයා සමීපයෙහි නේවාසික වන ශිෂ්‍ය පිරිස තනිකර ම භාණක ක්‍රමය යටතේ පාරම්පරිකව ත්‍රිපිටකය පරපුරෙන් පරපුරට පවරා දෙනවා. ඒ පමණක් නොව ගුරුවරයා මඟින් පැවිදි ජීවිතයට අවශ්‍ය ශික්ෂණය ද හුරුපුරුදු කර ගන්නවා. එපමණක් නොව ගුරුගෝල සම්ප්‍රදාය තුළ ශිෂ්‍යයා ගුරුවරයා කෙරෙහි පිය සෙනෙහසත්, ගුරුවරයා ශිෂ්‍යයා කෙරෙහි පුතු සෙනෙහසත් ඇතිව ක්‍රියා කිරීම නිසා ගුරුවරයා විසින් පවරනු ලබන වගකීම මනාව ඉටු කිරීම නිසා ශිෂ්‍යයාගේ වගකීමත් වඩාත් ප්‍රබල වුණා. මෙම ශාසනික සම්ප්‍රදාය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙනවා ගුරුවරයා දැඩිව ගිලන්ව සිටී නම් ශිෂ්‍යයා ගුරුවරයාගේ දිවි ඇතිතාක් උන්වහන්සේ අත්නොහැර උපස්ථාන කළ යුතු බව. ශිෂ්‍යයා පිළිබඳව ද ගුරුවරයා ඒ අයුරින් ම ක්‍රියා කළ යුතු වෙනවා.

විශේෂඥ හෙවත් විශේෂඥ ආචාර්යවරු

මෙම අධ්‍යාපනය තුළ එදා ඒ ඒ ධර්ම කොට්ඨාස පිළිබඳ විශේෂයෙන් කරුණු අධ්‍යයනය කළ විශේෂඥ ආචාර්යවරු සිටියා. මේ හේතුවෙන් යම් කරුණක් පිළිබඳ තවදුරටත් අධ්‍යාපනයක් ලැබිය යුතු වෙනවා නම් එවැනි ආචාර්යවරුන් සොයා ගොස් එම කරුණු පැහැදිලි කරගත හැකි වුණා. තිස්ස නම් තෙර නමක් අනුරාධපුර කාලයේ දී ජීවත් වුණා. මේ තෙරුන් වහන්සේට යම් ධර්ම කරුණක් පිළිබඳ සැක ඇති වී එවකට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇතිව සිටියා. උන්වහන්සේ එතෙරට වැඩම කර යෝනක දේශයේ වැඩවිසූ ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඒ පිළිබඳ විසඳුම් සොයා ගත් අතර ආපසු මෙරටට එන ගමනේදී නැව්තොටට පැමිණි විට ධම්මරක්ඛිත තෙරුන්ගෙන් අසා දැනගත් කරුණක් පිළිබඳ සැක සිතී ආපසු නැවත යොදුන් සියයක දුර ගෙවා ගොස් ධම්මරක්ඛිත තෙරුන් හමු වී එය විමසා සැක හැර ගත් බව ප්‍රකාශ වෙනවා. එපමණක් නොව විශේෂඥ ආචාර්යවරුන් යටතේ විශේෂ අධ්‍යාපන ආයතන ද පැවති බව කියැවෙනවා. එවැනි ස්ථානවලට විද්‍යාර්ථීන් ගියේ එවැනි විශේෂ කරුණු පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා යි.

ඉතිරි කොටස 19 වැනිදා පත්‍රයේ පළවේ.