සමචිත්ත පරියාය
සූත්‍ර දේශනාව
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර
ශි‍්‍ර සුමනජෝති නා හිමි
එවං මෙ සුතං සතං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස
ආරාමෙ, තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති පුබ්බාරාමෙ
මිගාරමාතු පාසාදෙ තත්‍ර ඛො ආයමා සාරිපුත්තොභික්ඛුස් ආමන්තෙයි
ආවුසොතික්ඛිවොති. ආවුසොති ඛො තෙ භික්‍ඛු ආයසිමතො සාරිපුත්තස්ස
පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එනදවොච, අජ්ඣත්ත සඤ්ඤොජන්ඤ්ච ආවුසො
පුග්ගලං දෙසිස්සාමි බහිද්ධා සසඤ්ඤොජනඤ්චං, තං සුනාථ, සාධුකං මනසි කරොථ
හාසිස්සාමිති, එවමාවුසොති, ඛො තෙ භික්‍ඛු ආයස්ම තො සාරිපුත්තස්ස
පච්චස්සොසුං, ආයස්මා සාරිපුත්තො, එතදවොච.
මෙම සූත්‍ර පාඨය අයත් වන්නේ සමචිත්ත පරියාය සූත්‍රයටයි. බුදුරජාණන්
වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි අවධියක ආයුස්මත් සාරිපුත්තයන්
වහන්සේද සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටියහ. උන්වහන්සේ දිනක්
භික්‍ෂූන් අමතා එන අවස්ථාවක මෙසේ ප්‍රකාශ කළහ. ඇවැත්නි, මම ඔබට
ආධ්‍යාත්මයෙහි සංයෝජන ඇති පුද්ගලයාගේ ලක්‍ෂණත්, බාහිර සංයෝජන ඇති
පුද්ගලයාගේ ලක්‍ෂණත් දේශනා කරමි. එය අසන්න. මනාව සිතේ ධාරණය කරගන්න. මම
දැන් ඒ දෙදෙනා පිළිබඳව කියමිං. යහපති ඇවැත්නි, යි ඒ භික්‍ෂුහු පිළිවදන්
දුන්හ. එවිට සැරියුත් හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ. (මෙම සූත්‍රය පිළිබඳ
ඉහත සඳහන් නිදානය අනුව මේ සූත්‍රය පිළිබඳ දේශකයන් වහන්සේ සාරිපුත්ත
ස්වාමීන් වහන්සේයි. මෙය දේශනා කරන ලද වකවානුවෙහි බුදුහාමුදුරුවොත්
සැරියුත් හාමුදුරුවොත් දෙනමම වැඩසිට ඇත්තේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි
හා සැවැත් නුවර පූර්වාරාමයෙහිය.
මෙම සමචිත්ත පරියාය සූත්‍රය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ දෙවන
නිපාතයෙහි හතර වන වර්ගයටයි. එම වර්ගය හැඳින්වෙන්නේ ද සමචිත්ත වග්ග
කියායි. මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ දඹදිව වේදිස නුවර
සාංචියේ සිටයි. බුද්ධ පරිනිර්වාණයෙන් දෙසියතිස්හයවන (236) වසරෙහි අද
වැනි පොසොන් පුර පෝ දිනකයි උන්වහන්සේ ප්‍රමුඛ ඉත්තිය, උත්තිය, භද්දසාල,
සම්බල යන උපසපන් රහතන් වහන්සේ සිවු නමත් සුමන නම් අර්හත් සත් හැවිරිදි
සාමණේර නමත් භණ්ඩුක නම් අනාගාමි උපාසකතුමන් යන මේ සප්තපුද්ගල ධර්ම දූත
පිරිස ශ්‍රී ලංකාවේ මිස්සක පවුවේ අඹතලා ගල මස්තකයට වැඩම කළේ. මිස්සක
පවුව මතදී උන්වහන්සේ හමු වූ ශ්‍රී ලාංකීය නරශ්‍රේෂ්ඨයා වූ දෙවනපෑතිස්
රජතුමා ප්‍රමුඛ පිරිවර ජනයාට පොසොන් පුර පෝ දින සන්ධ්‍යායාමයෙහි දී
මහින්ද මා හිමියන් විසින් දේශනා කරන ලද්දේ චූල හත්ථිපදොපම සූත්‍රය බව
අපි කවුරුත් දණුම්හ. එහෙත් එදිනම මිස්සක පව්වට රැස් වූ කෝටි සංඛ්‍යාත
දෙව් බඹුන්ට දෙසූ සමචිත්තපරියාය ධර්ම දේශනාව පිළිබඳ අපේ අවධානයට ලක් වී
ඇත්තේ අල්ප වශයෙනි.
මහින්දාගමනය පිළිබඳව අපේ මහාවංසයෙහි දක්නට ලැබෙන විස්තරයෙහි ( 32 සිට
41 තෙක් ගාථා) ඉතිහාසය මේ පිළිබඳ සඳහන් කරන්නේ මෙසේ ය. “දෙවන පෑතිස්
රජතුමා චූලහත්ථිපදොපම ධර්මදේශනාව ශ්‍රවණය කොට පවුව පාමුල වූ නාගසොන්ඩි
පොකුණ සමීපයට පිරිවර සමඟ ගොස් එහි නතරව රාත්‍රී ආහාරය ගන්නට සූදානම්
විය. ඒ අතර මිහිඳු මා හිමියෝ පර්වතය මතදීම භණ්ඩුක උපාසකතුමා පැවිදි කොට
උපසම්පදා කළහ. (ඒ මෙරට සිදුකළ) පළමු පැවිද්ද හා උපසම්පදාවයි. එසේම
භණ්ඩුක පැවිදි කරන විටම රහත් වූ බැවින් මුන්වහන්සේ මෙරට පළමුවෙන් රහත්
වූ පුද්ගලයායි. අනතුරුව සුමන හිමියන් අමතා “මේ ධර්මශ්‍රවණ කාලය බව“
ලොවට හඬගා කියන්නටයයි මිහිඳු හාමුදුරුවෝ සුමන සාමණේරයන්ට කීහ. එවිට
ස්වාමීනි, කොපමණ ප්‍රදේශයකට ඇසෙන්න ඝෝෂා කරන්නදැයි සුමන හිමියන් ඇසූවිට
මුළු තම්බපණ්ණිදීපයටම ඇසෙන්න කාල ඝෝෂා කරන්නටයි මිහිඳු මා හිමියන්
කීවිට සුමන හිමියෝ එසේ කාලඝෝෂා කළහ. මේ ශබ්දය ඇසූ රජතුමා ධර්මදූත
පිරිසට කරදරයක් වත් දැයි සිතා ගැනීමට යැවූ ඇමැතිවරයා මිහිඳු මා
හිමියන්ගෙන් ඒ පිළිබඳ විචාළවිට උන්වහන්සේ කියා ඇත්තේ එය ධර්මශ්‍රවණය
සඳහා දැනුම් දීමට නැඟූ ඝෝෂාවක් බවයි. ඇමැතිවරයා අවුත් රජතුමාට ඒ බව
පැවසීය. එහෙත් රජතුමා හා පිරිස එම ධර්මය අසන්නට ගිය බවක් නොපැවසේ.
බොහෝවිට රජුගේ ආරක්‍ෂාව නිසා වියහැකියයි සිතිය හැකිය.
සුමන සාමණේරයන් වහන්සේගේ කාලඝෝෂාව ඇසූ දිවයිනේ බූමාටු දෙවිවරුන්ගේ පටන්
අකනිටා දත්වා දෙවිවරු, මේ ශබ්දය අසා ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි බව
මහාවංශය සඳහන් කරයි.
ඒ අවස්ථාවට නො පැමිණියේ සතර අරුතල දෙවිවරුන් සහ අසඤ්ඤසත්ත දෙවිවරුන්
පමණකියි අට්ඨකතාව සඳහන් කරයි.
බුදුන් දවස මේ සූත්‍රය සැරියුත් හිමියන් විසින් දෙසන ලද මේ
සූත්‍රදේශනාව අසන්නට මිහින්තලයට පැමිණි සියලුම නාමරූප යන දිව්‍ය
බ්‍රහ්ම ලෝකවල සියලුම සම්‍යක්දෘෂ්ටික දේව සමූහයා මෙයට සහභාගී වූ යි
අටුවාව කියයි. තවදුරටත් මේ ගැන විස්තර කියන අටුවාව මේ ධර්මදේශනාව
අසන්නට මිස්සක පව්වට රැස් වූ දේව සමූහයාගෙන් අසංඛ්‍ය සංඛ්‍යාත දේව
සමූහයා මාර්ග ඵල ලැබූ බව ද කියයි. නාග සුපණ්ණ හෙවත් දිව්‍ය නාගයෝ හා
දිව්‍ය ගුරුලෝ ද මේ ධර්ම දේශනාව අසන්නට මිහින්තලයට පැමිණි බව මහාවංශ 40
ඍ 41 ගාථාවලින් කියයි.) එහෙත් මනුෂ්‍යයන් වශයෙන් අර්හත් ධර්මදූත පිරිස
හැර අන් කිසිවකු නොසිටි බව පෙනේ.
බුදුන් දවස පූර්වාරාමයේ දී සැරියුත් හිමියන් විසින් දෙසන ලදුව යළිත්
මිස්සක පව්වේදී මහින්ද හිමියන් විසින් පොසොන් පුර පෝ දින පෙරයම් කාලයේ
දී දෙවියන්ට දෙසන ලද මේ සමචිත්ත පරියාය සූත්‍ර ධර්මය පිළිබඳව මෙතැන්
සිට සලකා බලමු.’කතමොවාචුසො අජ්ක්‍ධත්ත සඤ්ඤොජනො පුග්ගලො? යි ප්‍රශ්න කළ
සැරියුත් මහරහතන් වහන්සේ (අජ්ඣත්ත සඤ්ඤොජන ඇති පුද්ගලයා කවරේදැයි
ප්‍රශ්න කොට) මෙසේ කීහ.
(අජ්ඣක්ත සංයෝජන හෙවත් තමාගේ චිත්ත සන්තානයේ සංයෝජන තිබෙන පුද්ගලයා
යන්නයි මෙහි අදහස) සංයෝජන කියන්නෙ සත්ත්වයා සසර බැඳ තබන රාගාදී ක්ලේශයෝ
යි. මෙහි අජ්ඣත්ත යන්නෙන් කාමභව ගැණේ. (ඒ අනුව සප්ත කාම භවයන්හි වෙසෙන
සියලුම පුහුදුන් සත්ත්වයන් (දෙවි මිනිසුන්) ගැනේ. සප්තකාම භවිත
සත්ත්වයන්ගේ සිත් තුළයි ඡන්දරාගය හෙවත් රූපාදියෙහි ඇලීම තිබෙන්නේ. ඒ
නිසා ආධ්‍යාත්මය යන්නෙන් අර්ථය තමාගේ සිත යන්නයි. බහිද්ධා සඤ්ඤෝජන ඇති
පුද්ගලයා අනෙක් තැනැත්තායි. මෙහි බහිද්ධා කීවෙ රූප, අරූප හවයි. එනම්
බඹලෝ හා අරූප ලෝකයි. රූප අරූප භවයන් පිළිබඳ ඡන්දරාගය (ඒ භවයන් පිළිබඳ
ආශාව) බහිද්ධා සංයෝජනයයි. සංයෝජන දහයකි. එයින් සක්කායදිට්ඨි,
විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටීඝ යන සංයෝජන පහ ඕරම්හාගීය එනම්
පහත් ලෝකවල උපත ලබා දෙන සංයෝජනයි. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච,
අවිජ්ජා යන පහ (ඉහළ ලෝකහජනය කරන නිසා) රූප අරූප භවයන්හි උපත ලැබීමට
හේතු වන නිසා සද්ධම්භාගිය සංයෝජන නමින් හැඳින් වේ. මේ සංයෝජන දහයෙන්
මුල් තුන සෝතාපත්ති මාර්ගඥානයෙන් ප්‍රහීන වේ. ඊළග දෙක සකදාගාමි
මාර්ගඥානයේ දී එහි ඕලාරික ගතිය අඩුවෙයි. අනාගාමි මාර්ගඥානයේ දී ප්‍රහීන
වෙයි. ඉතිරි සංයෝජන පහම ප්‍රහීන වන්නේ අර්හත් මාර්ගඥානයෙනි.
කතමො වාවුසෝ අජ්ඣත්ත සඤ්ඤොජනො පුග්ගලො ? යි ප්‍රශ්න කළ සාරිපුත්ත
හිමියෝ මෙසේ කීහ. ඇවැත්නි, මේ සසුනෙහි භික්‍ෂුව (පළමුව) සිල්වත් වේ.
එනම් ප්‍රාතිමෝක්‍ෂාදී සීලයෙන් සමන්විත වේ. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
ආරක්‍ෂා කරමින් වෙසෙයි. ආචාර ගෝචර (පැවැත්මෙහි හා ආහාරයෙහි) සම්පන්න
වෙයි. ස්වල්පමාත්‍ර වූද වරදෙහි (අකුශලයෙහි) බිය දනියි. (සුළු වරදක් පවා
නොකෙරෙයි, යනුයි) සමාදන් වූ ශික්‍ෂා පද මනාව රකියි. මෙසේ සිල්වත් වූ හේ
මරණින් පසු එක්තරා දේව නිකායක උපදියි. එහි ආයු ඇතිතාක් වැස එයින් චුතව
ප්‍රතිසන්ධි වශයෙන් මේ අත්බවට එන්නේ ආනාගාමි (පුද්ගලයෙක්) වේ. ඇවැත්නි,
මොහු මිනිස් අත්බවට එන අජ්ඣත්ත නමැති කාම භවය පිළිබඳ ජන්ද රාගය ඇති
පුද්ගලයායි.
අජ්ඣත්ත සංයොජනික පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වදාළ සැරියුත් හිමියෝ
අනතුරුව කතමොචාවු සො බහිද්ධා ස්ඤොජනො පුග්ගලො? යි ප්‍රශ්න කොට ඔහු
පිළිබඳව මෙසේ කීහ. ඇවැත්නි, මේ සාසනයෙහි භික්‍ෂුවක්, තෙමේ සිල්වත්
වෙයි. ප්‍රතිමෝක්‍ෂ සංවර ශීලයෙන් සිල්වත්වෙයි. ආචාර ගෝචර දෙකින් යුක්ත
වෙයි. අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දනියි. සමාදන් වූ සික්‍ෂාපද මනාව
රකියි. (මේ අත්බවේම) එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට (ධ්‍යානමාර්ගයකට)
පැමිණ (අෂ්ට සමාපත්තිවලින් එකක් වන චතුරාර්යධ්‍යානයට පැමිණ වාසය කරයි.
හේ මරණින් පසු අවිහාදී පඤ්ච සුද්ධාවාසයන්ගෙන් එක්තරා දේව නිකායක
උපදියි. ආයු ඇතිතාක් එහි විසූ හෝ එයින් චුතව නැවත මිනිස් බවට නොඑන
අනාගාමි පුද්ගලයෙක් වේ. එකී සුද්ධාවාසයෙන්හිම ආයු ඇතිතාක් වැස
පිරිනිවන් පාන්නේ වේ. ඇවැත්නි, මොහු යළිත් මිනිස් බවට නොයෙන හෙයින්
අනාගාමි වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයා වේ.
ඇවැත්නි, තවත් කරුණක් කියමි. යි කී සැරියුත් හිමියෝ ඇවැත්නි,
භික්‍ෂුතෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වෙයි. ආචාර
ගෝචර සම්පන්නවෙයි. සුළු වරදෙහි පවා බියදන්නේ වෙයි. ඒ භික්‍ෂුව
ශික්‍ෂාපද සමාදන්ව ඒවා මනාව පිළිපදියි.
ඉතිරි කොටස 19 වැනිදා පත්‍රයේ පළවේ... |