ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජූනි 12 වනදා බ්‍රහස්පතින්දා |
||
ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පොසොන් පණිවුඩපොසොන් පොහොයේ උදාවත් සමඟ අපේ මතකයට නැගෙන්නේ මිහින්තලාවේ අසිරියයි
පොසොන් පොහොය අන් අයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලාංකිකයන් වන අපටය. ඒ අපේ ජාතියේ,ආගමේ මෙන්ම සංස්කෘතියේ ද නව යුගයක් සනිටුහන් කරන්නේ පොසොන් පොහොය වීම නිසාය. අදීන ජාතියක් ලෙස නිර්මල දහමක් අදහමින් සහජීවනයෙන් කටයුතු කිරීමට මග කියාදුන් අනුබුදු මිහිඳු මහ රහත් උතුමන් වහන්සේ මේ ශ්‍රී‍්‍ර ලාංකීය ධරණී තලයට වැඩම කළේ මේ උතුම් පොසොන් පොහෝ දිනයේය. සම්බුදු රජාණන් වහන්සේගේ සදහම් පණිවුඩය රජ දහම බවට පත් කරමින් පොදු ජනයාට සදහම් රසය ලබාදෙමින් සිදුකළ සේවාව සදානුස්මරණීය වේ. පොසොන් පොහොයේ උදාවත් සමඟ අපේ මතකයට නැඟෙන්නේ මිහින්තලාවේ අසිරියයි. ඒ අනුබුදු මිහිඳු මහ රහත් උතුමන් වහන්සේ, සම්බුදු රජාණන් වහන්සේගේ සදහම් පණිවුය රැගෙන වැඩම කළ ස්ථානය වීම නිසාය. ලොව පළමු අභයභූ®මිය වන මිහින්තලා පුදබිම වසර පනස් දෙකක් මුළුල්ලේ විදුලි ආලෝකයෙන් වර්ණවත් කරමින් මෙම ආලෝක පූජාව පවත්වන්නේ ලේක්හවුස් මාධ්‍ය ජාලයයි. ඒ පිළිබඳව අපගේ ප්‍රසාදය හිමි විය යුතුය. අනුබුදු මිහිඳු මහ රහත් උතුමන් වහන්සේ විසින් අපට දායාද කළ නිර්මල සද්ධර්මය සැදැහැතියන් අතරට ගෙන යමින් විශාල මෙහෙයක් සිදු කළ, සිදු කරන ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන පෙළේ බොදු පුවත්පත වන ‘බුදුසරණ’ පුවත්පත ද මේ පොසොන් පොහොයට හතළිස් නව වන වසරට පා තබයි. එය ද අපගේ බලවත් ප්‍රසාදයට කරුණකි. ආරම්භයේ සිට මේ දක්වා වසර හතළිස් නවයක් මුළුල්ලෙහි බුදුසරණ පුවත්පත නිර්මල සද්ධර්මය දායාද කිරීමෙහිලා සිදුකොට ඇත්තේ සුවිසල් මෙහෙයකි. මෙහිලා බුදුසරණ පුවත්පතෙහි වර්තමාන කර්තෘත්වය දරන සීසර් සුදුසිංහ මහත්මා ඇතුළු කර්තෘ හා සංස්කාරක මණ්ඩලයේ කැපවීම අගය කරන අතර ඒ සියලු දෙනාටත්, මිහින්තලා ආලෝක පූජාව සඳහා අනුග්‍රහය දක්වන ලේක්හවුස් මාධ්‍ය ආයතනයටත්, දායකත්වය දරන සියලු දෙනාටත් මේ යහපත් කටයුතු චිරාත් කාලයක් සිදුකරගෙන යෑමට උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.
ථේරවාදි බුදුදහම පවතින රටවල් අතුරෙන්ද ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී
ඉන්දියාවේ විසූ ධර්මාශෝක මහාධිරාජයාණන්ගේ දූරදර්ශී ශාසනික මෙහෙවරේ වැදගත්ම කාර්ය වූයේ අන්‍ය දේශවලට සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත කරලීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාතික රටවල 09 කට පමණ බුද්ධාගම හඳුන්වාදුන් අතර, ශ්‍රී‍්‍ර ලංකාවද එහි භාග්‍ය ලද රටවල් අතර වෙයි. නිර්මල ථේරවාදී බුදුදහම පවතින රටවල් අතුරෙන් ද ශ්‍රී‍්‍ර ලංකාව, සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. අශෝක අධිරාජයාණන්ගේ සුජාත පුත්‍රරත්නය වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත පිරිස බුද්ධ වර්ෂ 241 එනම් ක්‍රි.පූ. 247 වැන්නේ පොසොන් පොහෝ දින ලක්දිවට වැඩමවීම මෙරට ජනසමාජය සංස්කෘතික ආගමික,දේශපාලනික, සමාජිය,ආර්ථික වශයෙන් සුවිශේෂී මගකට යොමුකල අවස්ථාවක් විය.අනුබුදු මහා මහින්ද තෙරුන් විසින් දේශිත බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මය තුළින් සකල ලක් වාසින් දැහැමි මගට පිළිපන් පිරිසක් වන්නට වැඩි කලක් ඉක්ම නොයේ. බුදුදහම පිළිබඳ පෘථුල අවබෝධයක් නොතිබූ එකල රජු ඇතුළු රටවැසියා මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිසගේ දම් දෙසුම් තුළින් දැහැමි බෞද්ධයන් බවට පත්වූහ. සියලු ලක්වාසීහු බොහෝ පාපි ක්‍රියාවන්ගෙන් මිදී බුදුසසුනේ දියුණුවට හා අභිවර්ධනයට තම දායකත්වය නොපිරිහෙලා ලබා දුන්හ. අහස්කුස නිම්හිමි නොවන දැවැන්ත චෛත්‍යරාජයාණන් වහන්සේලා අතීත ජනයා අතින් නිමවූයේද මහා ගල්කුලුනු ලොවක් සනසාලන අපිරිමිත කරුණා ගුණයෙන් යුතු බුදු පිළිම බවට පත් වූයේද ලක්දිවට බුදුදහම ලැබීමේ අනුහසිනි. කෘෂිකර්මාන්තය ප්‍රධාන දැහැමි ජීවනෝපාය කරගත් හුදි ජනයා ආර්ථික සෞභාග්‍ය උදාකරගත් අවිහිංසක ධාර්මික පිරිසක් බවටද පත්වූහ. අතීත ශ්‍රේෂ්ඨ නරපතීන් බුදුදහමේ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ තම පාලනයට බද්ධකොටගෙන එකම ධජයක් යටතේ විවිධ මතවාද වලින් යුතු ජනී ජනයා ශ්‍රී‍්‍ර ලංකික ජාතියක් ලෙස නගාසිටුවීමට කටයුතු කරන ලදී. ඒ තුළින් ඔවුහු ආගමික යහපැවැත්මත්, දේශපාලනික , ස්ථාවරත්වයත්, ආර්ථික සෞභාග්‍යයත් ගොඩනගා ලෝකය තුළ අප රට අද්විතීය ස්ථානයකට ගෙන ආහ. ඒ නිසාම ලෝවාසීන් ඉන්දියන් සාගරයේ මුතුඇටය, පෙරදිග ධාන්‍යාගාරය යන ගෞරව නාමවලින් අප රට හඳුන්වන්නට විය. එමෙන්ම ලෝකයේ කිසිඳු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකීය ජනතාවක් මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස ලක්දිව ස්ථාපිත විය. මහින්දාගමනයෙන් ප්‍රබෝධමත් වූ අතීත ශ්‍රී ලාංකික ජන සමාජය වර්තමානය වන විට විවිධ දේශපාලන මතිමතාන්තර හා මූලධර්මවාදි ආගමික සදම්ප්‍රදායන් නිසා මෙවන් විනාශයට ලක්වෙමින් පවතී. අනුබුදු මිහිඳු මාහිමියන් ලංකාගමනයෙන් වසර 2261 ක් ගතවන මේ උතුම් පොසොන් පොහෝ දිනයේ අතීත ශ්‍රේෂ්ඨ නරපතියන් හා දැහැමි පොදු ජනතාව විසින් බුදු දහමින් උකහාගත් සාරධර්ම මුල්කොටගෙන ගොඩනැගූ ශ්‍රී විභූතිය නැවත වරක් ශ්‍රී ලාංකීය ජනසමාජයෙහි වත්මන් පරපුර වෙත දායාද කරලීමට සකල ලක්වාසි ජනතාවට කන්ද උඩරට විරාජමාන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.
සතර සංග්‍රහ වස්තූන්ගෙන් පෝෂිත සුහද සංස්කෘතියක්
ශ්‍රී ලංකාවාසී සමස්ත බෞද්ධයන්හට විශේෂකොට වැදගත් වූ පොසොන් පුණු පොහෝ දිනය අද ය. මහා මහින්ද මහරහතන් වහන්සේ මෙයට වසර 2322කට පමණ පෙර අනුරාධපුර මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කොට එවකට මෙරට රජව සිටි දේවානම් පියතිස්ස මහරජු තිසරණ සහිත පඤ්ච ශීලයෙහි පිහිටුවා ලක්දිව මුල්වරට බුදුදහම ස්ථාපිත කිරීමට පියවර ගත් එම ශාසනික සිද්ධිය සිදුවීම මෙම පොහෝ දිනයේ ඇති වැදගත්කම වේ. මේ වටා ඇති බොහෝ කථා ප්‍රසිද්ධ වූ ඒවා ය. අප සම්මාසම්බුදුරජාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට වසර 250කට පමණ පෙර තුන් වතාවක් අප ලක්බිමට වැඩම කොට තිබූ නමුත් බුදුදහම අපේ රටේ ස්ථාපිත වූ බවට ස්ථීර සටහන් නැත. මේ පිළිබඳ මතිමතාන්තර බොහෝ තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ආර්යයන් වහන්සේ ලා පළමු දින රාත්‍රිය මිහින්තලා අම්බස්ථලයෙහිම වැඩ සිට පසුව අනුරාධපුර මහමෙව්නාවට වැඩම කොට සිටි අවස්ථාවේදී “වහන්ස, ආරාම පූජාව සංඝයාට කැපද,” යි මහරජු විසින් විචාල අවස්ථාවේදී රජගහනුවර වේළුවනාරාමය පිළිගැන්වීම පිළිබඳ විස්තර මිහිඳු මහරහතන් වහන්සේ රජුට වදාළ විට, දේවානම් පියතිස්ස මහරජු “මේ මහමෙව්නා උයන සංඝයාට දෙමි” යි කියා මිහිඳු මහරහතන් වහන්සේගේ අත්ලෙහි දක්‍ෂිණොදකය (පූජා පැන්) වත්කළ විට එම ජලය මිහිපිට වැටුණ කල්හි මහ පොළෝ තෙමේ කම්පිත විය. කුමක් හෙයින් පෘථිවි තෙමෝ කම්පාවන්නීදැ යි මහරජු තෙරුන් වහන්සේගෙන් විචාළ විට “ලංකාදීපයෙහි බුදුසස්න පිහිටි බැවිනැ”යි වදාළ සේක. (මහාවංශය 15 පරිච්ඡේදය 25-26-27 ගාථා) මෙසේ ශ්‍රී ලංකාවේ අනුත්තර බුදුදහම ස්ථාපිත වූයේ මේ පොසොන් පොහෝ දින වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගේ ආගමනයෙන් පසු බව ඉහත දැක්වූ ආකාර ලිඛිත සාක්‍ෂි අපගේ ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත. තව ද මෙම 15 වෙනි පරිච්ඡේදයේම ගාථා අංක 181-182 හිද උපෝසථාදී විනයකර්ම පිණිස බුද්ධ නියමය පරිදි මහා සීමාවක් බැඳීම කරණ කොට ද බුද්ධශාසනය මේ රටේ ස්ථාපිත වූ බව සඳහන් වී ඇත. මේ සිද්ධීන් දෙකම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට දෙවන හා තුන්වැනි දවස් හි සිදුවීම තවත් විශේෂයකි. මේ අනුව අප ශාස්තෘ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුත්තර බුදුසසුන අපරටෙහි ධර්මානුකූලව ස්ථාපිතව ඇත්තේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අදවන් පොහෝ දිනයක් ඇසුරෙන් බව පැහැදිලිය.
එයින් පසු ලක්දිව පාලනය කළ සියලු රජවරු හා ජනයා බුදුදහම වැලඳගෙන දීර්ඝ- කාලයක් මේ දහම ආරක්‍ෂා කරගෙන පැමිණි නමුත් සොළි - පාණ්ඩ්‍ය-චෝල - මාඝ ආදී ඉන්දියානු සම්භවයක් ඇති වර්ගවාදීන් ගෙන් ද, 1505 දී පමණ පෘතුගීසි හා මුසල්මානුවන්ගේ ආක්‍රමණය හා සංක්‍රමණයෙන් ද, 1658 දී පමණ ලන්දේසීන්ගෙන් ද 1798 දී පමණ ඉංගී‍්‍රසින්ගේ ද ආක්‍රමණවලින් ද අපේ රටට - දැයට හා සමය ට සිදුවූ හානිය ප්‍රමාණය කළ නොහැක. ඒ ඒ වකවානුවල අප රටේ සිටි පාලකයන්ගේ දුර්වලකම් නිසා සිදුවූ මෙම හානීන්ගේ විපාක වර්තමානයේ අපේ රටේ ඇති සියලු ආකාරයේ අර්බුදවලට හේතු වී ඇති බව පඬිවරුන්ගේ මතය වී ඇත. එදා ධර්මාශෝක මහරජු ආසියාවේ රටවල් නවයක් පුරා පතුරුවා හැරි මේ උතුම් බුදුදහම (මනුෂ්‍යමය දහම) අද වනවිට සියලු රටවල ආක්‍රමණකාරීන්ගේ ග්‍රහණයට හසුවී හමාරය. ඉතිරි ටිකවත් රැකගැනීමට නම් ආගමික හා ජාතික වීරයන්ගේ පහළ වීමක් අපේ රටට ද අවශ්‍ය වී තිබේ. “ජාතිවාදය භයානක වූවකි. එහෙත් ජාති වාත්සල්‍යය වන්දනාවට සුදුසු උදාර ගුණයක්” බව ඉතිහාසයේ ඇති සටහනකි. මිහිඳු මහරහතන් වහන්සේ ගේ පැමිණීමත් සමග අපට හිමි වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සතර සංග්‍රහ වස්තූන්ගෙන් පෝෂිත සුහද සංස්කෘතියක් ලෝකයේ වෙනත් කිසිම ජාතියකට හෝ ආගමිකයකු හට හෝ හිමිව නැති බව ලෝක ඉතිහාසයෙන් සනාථ කළ හැක. බුදුදහමේ ව්‍යාප්තිය සඳහා කෙදිනකවත් ලෝකයේ කොතැනකවත් ආක්‍රමණ නැත. එහෙයින් පොසොන් දින පණිවිඩය ලෙස අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ අපේ රටේ වෙනත් ආගමික ජනකොටස්වලට තම සංස්කෘතීන් ඒ අයුරින්ම පවත්වාගෙන යාමට මෙම බෞද්ධ සංස්කෘතිය තරම් සුහද සංස්කෘතියක් කිසි දිනක හමුනොවන බවය. එහෙයින් ඔවුනොවුන්ගේ අන්‍යෝන්‍ය යුතුකම් හඳුනාගෙන ලෝකයේ උතුම් රටක් බවට අප ශ්‍රී ලංකාව පත්කරගැනීමට බෞද්ධ - අබෞද්ධ අප හැමදෙන අදිටන් කරගනිමු.
අනුස්මරණීය දිනයන් අතර ශ්‍රේෂ්ඨතම දිනය
ජාතියක් ලෙස අභිමානයෙන් දැක්විය හැකි ආගමික සංස්කෘතික හා අධ්‍යාපනික සියලු දායාදයන් අපට උරුම කළෝ අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේය.උන්වහන්සේ සදා දිලෙන බුද්ධිගෝචර ආගමක් හා විශ්ව කීර්තිය දිනා ගැනීමට තරම් වූ අගනා සංස්කෘතියක් අපට දායාද කළහ. දුසිරිතට බිය ,ලජ්ජාව, ඇති කරුණාව මෛත්‍රිය පිරි, දනට පිනට හා ආගන්තුක සත්කාරයට ලැදි, පි‍්‍රයවචන කතා කරන, දෙමාපියන්ට ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට සලකන,අසරණයන්ට, ගිලනුන්ට පිහිටවන, සතුන්ට කරුණාව දක්වන ජනතාවක් බවට සිංහල ජනතාව සැකසුනේ මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදු දහමේ ආලෝකයෙනි. පරිණත ගැඹුරු බුද්ධිය හා නිර්මාණ ශක්තිය දියුණු කරන අධ්‍යාපනයක්ද මහින්දාගමනය නිසා අපට උරුම විය. භාෂා සාහිත්‍ය ඥානය හා සිංහලයාගේ වින්දන ශක්තිය, තර්ක බුද්ධිය, නිර්මාණ කුසලතා හා පාණ්ඩිත්‍යය ඒ තුළින් විකසිත වූ තරම් ගද්‍ය පද්‍ය චම්පු කාව්‍ය වලින් පොහොසත් වූ අපේ පැරණි සාහිත්‍යයෙන් පසක් වේ. අපේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය මූර්ති කැටයම් චිත්‍ර කලාවන් හා වාපි කර්මාන්තය පාදක කරගත් කෘෂි ආර්ථිකය පෝෂණය වූයේද මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදු දහමින් ලද ජීව ශක්තිය නිසයි. සිංහලයන්ට මෙම අමිල දායාදයන් තිළිණ කරමින් සිරි ලකට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කළ පොසොන් පෝ දින අනුස්මරණීය දිනයන් අතර ශ්‍රේෂ්ඨතම දිනය වේ. එම දිනය නිමිති කරගෙන පිටු 52 කින් යුතුව ‘බුදුසරණ’ පත්‍රය 49 වෙනි වරට එළි දැක්වීම හා 52 වන වරටත් මෙවර ද මිහින්තලා ආලෝක පූජාව පැවැත්වීම පිළිබඳව ‘ලේක්හවුස් ‘ ආයතනයට අපගේ ආශිර්වාදාත්මක පුණ්‍යානුමෝදනාව පිරි නමමි. අපේ ශ්‍රී ලංකාව යළි ධර්මද්වීපයක් ,ධාන්‍යාගාරයක් කිරීමට මේ උතුම් දින අදිටන් කර ගන්නා ලෙස සියලු දෙනාට මෙත් සිතින් මතක් කර සිටිමි. |
||
©
2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |