Print this Article


සසුනේ පැවැත්ම

සසුනේ පැවැත්ම

සද්ධර්මය අතුරුදන් වීම කෙරෙහි බලපාන හේතු රාශියක් සූත්‍ර හා විනය පිටකයේ ඇතුළත් වේ. මේ අතරින් අංගුත්තර නිකායේ පංචක නිපාත සද්ධම්මසම්මෝස සූත්‍රයන්හී දක්නට ලැබෙන කරුණු විශේෂ වේ.

වර්තමානයේ ගිහි පැවිදි සෑම කෙනෙකුම සසුනේ දියුණුව මෙන්ම පරිහානිය ගැන නොයෙක් අවස්ථාවල සාකච්ඡා කරනු ඇසේ’ සමස්ත බෞද්ධ ප්‍රජාවගේ ඒකායන අභිලාසය වන්නේ සසුනේ දියුණුවයි. මෙම ආකල්පය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද බලගන්වා තිබේ. මුල් අවදියේ සසුන යනුවෙන් අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වන ධර්මයයි. එය අවබෝධ කරගෙන එයින් ලබාගත යුතු ප්‍රතිවේදය සාක්‍ෂාත්කිරීම සසුනෙහි දියුණුව යනුවෙන් අදහස් විය.

ඒ අනුව සසුනෙහි අභිවෘද්ධිය යනු භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා යන සිවුපිරිසම මාර්ගඵල අවබෝධයට පත්වීමයි. එහෙත් වර්තමානයේ ඇතැමෙක් ධර්මය පිළිපැදීම යන්න අමතකකොට බාහිර භෞතික දේවල් දියුණු කිරීමත් ඒවා ආරක්‍ෂා කිරීමත් පමණක් සසුනේ දියුණුව යනුවෙන් අදහස් කෙරේ. ඒ හේතුවෙන් ගිහි පැවිදි දෙපක්‍ෂයම භෞතික අංශය දියුණු කිරීමේ උත්සාහයක නිරතව සිටී. ගිහි සමාජයද භික්‍ෂුවගෙන් අපේක්‍ෂා කරන්නේ ආධ්‍යාත්මික මැදිහත්වීමකට වඩා භෞතික මැදිහත් වීමකි. භෞතික දේ සසුනේ පැවැත්මට උපකාරී නොවේ යැයි මින් අදහස් නොවේ. වරද වන්නේ ආධ්‍යාත්මික දියුණුව මුළුමනින්ම අමතකකොට භෞතික දියුණුව පමණක් පරමාදර්ශය කරගැනීමයි. මෙම පසුබිම යටතේ සසුනේ දියුණුව යනුවෙන් සැබෑ ලෙසම අදහස් කරන්නේ කවරක්දැයි අවධානයට යොමුකිරීම අවශ්‍ය වේ.

එකම නාමයකින් හැඳීන්වෙන සූත්‍ර තුනකින් සමන්විත මෙම සූත්‍ර කාණ්ඩයෙහි සමාන හා විශේෂ කරුණු එකිනෙක විවරණය වේ. එක් සූත්‍රයක කරුණු පහ බැගින් දහම අතුරු දහන්වන කරුණු පහළොවක් සමස්ත ලෙස දැක්වේ. මෙම කරුණු සියල්ල එක්කොට සැළකීමේදී පොදුවේ එයින් පහත සඳහන් මූලික කරුණු අවධාරණය කෙරේ.

ධර්මය හැදෑරීම

ධර්මය මැනවින් ඇසීම මෙන්ම ගැඹුරින් හැදෑරීම ගිහි පැවිදි දෙපක්‍ෂයේම වගකීමක් වේ. මෙම හැදෑරීමේදී එහි අර්ථය මෙන්ම විස්තර විභාගද මැනවින් පරීක්‍ෂා කළ යුතුවේ. වැරදි ලෙස ධර්මය වටහාගැනීමෙන් එහි අර්ථය මෙන්ම විවරණය වැරදි එකක්බවට පත්වේ. එසේම හදාරණ ධර්මය ධාරණය කිරීමත් මනසින් එය පරීක්‍ෂා කිරීමත් අවශ්‍ය වේ. ධර්මය හැදෑරීමෙන් තොරවීම ධර්මය මෙන්ම සසුන අතුරුදහන්වීමට හේතුවක් වේ. මෙම හැදෑරීමේදී එය ලියවී තිබෙන පාලි භාෂාව පිළිබඳවද අවබෝධයක් අවශ්‍ය වේ. පාලි භාෂාව පිළිබඳ අවබෝධයක් සහිත කෙනෙකුට අටුවා හා ටීකා ආශ්‍රය කරගනිමින් අන් අයගේ සහයක් නොමැතිව මැනවින් ධර්මය වටහා ගත හැකිවේ. එහෙත් අප අතර ශාතිසය බහුතරයකට එම අවබෝධය නොමැති නිසා පාලි භාෂාව පිළිබඳ ප්‍රවීණයන්ගේ සහය අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේගේ කාර්ය භාරය විශේෂ වේ. දහම අතුරුදහන් නොවී සජීවීව පවත්වාගත හැකිවන්නේ ධර්මය පෙළ අටුවා තුළනය කොට අධ්‍යයනය කිරීමෙන්ය.

ධර්මය අනුගමනය කිරීම

හැදෑරූ ධර්මය මැනවින් ධාරණය කිරීම හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් එය තමන්ගේම අත්දැකීමක් බවට පත්කරගත යුතු වේ. දහම සජීවි වන්නේ එය අනුගමනය කරන පරමාදර්ශී පුද්ගලයන් වෙතොත් පමණි. කොතරම් න්‍යායිකව ධර්මය දැනගත්තද එයින් තම ජීවිතය හැඩ ගස්වා නොගන්නේ නම් එවැනි ගිහි පැවිදි ජීවිත අර්ථවත් නොවේ. දැනුම සඳහා පමණක් දහම හැදෑරීම අර්ථවත් වූවක් නොවේ. වර්තමානයේ ගිහි පැවිදි බොහෝ දෙනා විභාග සමත්වීම අරමුණු කරගෙන පමණක් දහම හදාරනු ලැබේ. එය යහපත් ප්‍රවණතාවක් වුවද බුදුරජාණන් වහන්සේ අපේක්‍ෂා කළ අරමුණ එය නොවන බව පැහැදිලිය. දහමින් උගන්වන දේ අනුගමනය කළ හා එයින් ජීවිතය සකසාගත් පරමාදර්ශී පුද්ගලයන් දෙස බලන්නා තුළ දහමෙහි පවතින අකාලික වටිනාකම පිළිබඳ වැටහීමක් ඇතිවෙන අතර දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ උනන්දුවක්ද ඇති වේ.

ධර්මය විස්තර වශයෙන් දේශනා කිරීම හා ප්‍රගුණ කරවීම

ගැඹුරින් හදාරා අවබෝධකරගත් දහම විස්තර විභාග වශයෙන් අන්‍යයන්ට ප්‍රගුණ කරවීම දහම සජීවිකරණය උදෙසා උපයෝගී වේ. දහම අන් අයට පැහැදිලි කිරීමේදී එහි අර්ථයට හා ව්‍යඤ්ජනයට හානියක් නොවිය යුතුවේ. කුමන මතවාදයක් දැරුවත් ධර්මය එම මතවාද හා දෘෂ්ටි සමග මිශ්‍ර නොකොට ඉදිරිපත් කිරීම දේශකයාගේ වගකීම වේ. ජනපි‍්‍රයවීම, පිරිස් බලය වැඩිකරගැනීම හා භෞතික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ පටු අරමුණුවලින් තොරව ශ්‍රාවකයා කෙරෙහි මෙත් සිතින් ඔහු හෝ ඇය පවින් මුදා ගැනීම මූලික අරමුණ කරගෙන ධර්මය ඉදිරිපත් කිරීම වැදගත් වේ. ධර්මය ප්‍රගුණ කරවීම යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍ය ධර්ම කොටස් සජ්ඣායනය කිරීම, වචෝත්ගතක කරවීම හා මනසින් ධර්මය විතර්කනය කිරීම හෙවත් මෙනෙහි කිරීමයි. ධර්මධර විනයධර මාතිකාධාර භික්‍ෂුන් විසින් මැනවින් ධර්මය අන්‍යයන්ට ප්‍රගුණ නොකිරීම හේතුවෙන් උන්වහන්සේලාගේ අභාවයෙන් අනතුරුව ධර්මය විනාශයට යයි. මෙනිසා ධර්මය විස්තර විභාග වශයෙන් දේශනා කිරීම මෙන්ම විවරණය කිරීමද ඉගැන්වීමද ධර්ම ධරයන්ගේ පූර්ණ වගකීමකි.

පැවරෙන කාර්යය

ඇතැම් ස්ථවිර භික්‍ෂූන් ප්‍රත්‍ය බහුලකොට සසුන ලිහිල් කොට සළකති. එසේම ආධ්‍යාත්මික විවේකයෙහි අත්හල වීර්ය ඇත්තෝ වෙති. අධිගම පිණිස උත්සුක නොවෙති. මෙය අනුකරණය කරන නවක භික්‍ෂුන්ද ප්‍රත්‍ය බහුලව සසුන ලිහිල් කොට සළකා අධිගමය සඳහා උනන්දු නොවෙති. මෙය සිවුවන කරුණයි. සසුනෙහි හා ධර්මයෙහි චිරපැවැත්ම උදෙසා ස්ථවිර භික්‍ෂුන් වෙත පැවැරෙන කාර්ය විශාල වූවකි. නවකයන් නිරන්තරයෙන්ම උන්වහන්සේලා පූර්වාදර්ශය කරගනී. මේ හේතුව නිසා ස්ථවිර භික්‍ෂූන් ධර්ම විනය අනුව කටයුතු කිරීම සසුනේ පැවැත්මට උපකාරී වේ.

සමගිය

සංඝයා විවිධ කණ්ඩායම්වලට බෙදී එකිනෙකාට චෝදනා කරගනිමින් අසමගියෙන් කටයුතු කිරීම දකින අපැහැදුන පුද්ගලයන් වඩාත් අපැහැදීමට පත් වේ. පැහැදුන අයද කලකිරීමට පත් වෙති. දහම අතුරු දහන් වීමට බලපාන මෙය පස්වැන්නයි.

සුත්‍ර තුනෙහිම අන්තර්ගත කරුණු පොදුවේ සමාලෝචනය කළවිට සසුන සුරක්‍ෂිත කිරීම පිණිස ප්‍රධාන වශයෙන් ධර්මය හැදෑරීම එය අවබෝධකරගැනීමත් අර්ථවිවරණය කරමින් අන්‍යයන්ට එය පැහැදිලි කරදීම හා ප්‍රගුණ කරවීමත් අවශ්‍ය වේ. අවවාදයට හා අනුශාසනය පිළිගැනීමට කැමැති කීකරු භික්‍ෂූන් ඇතිකිරීමත් ධර්මධර විනයධර මාතිකා ධර භික්‍ෂුන් ස්වකීය වගකීම නිසිලෙස ක්‍රියාත්මක කිරීමත් සසුනේ පැවැත්මට උපකාරී වේ. මහා තෙරුන්වහන්සේලා ශාසනික වගකීම සළකා ප්‍රත්‍ය බහුල ප්‍රතිපත්තිය බැහැරකොට අධ්‍යාත්මික දියුණුව පිණිස උත්සුක වීමෙන් නවකයන්ට පූර්වාදර්ශයක් වීම අවශ්‍ය වේ. සංඝ සමගිය උතුම් කොට සළකා ඔවුනොවුන් එකිනෙකා විවේචනය කිරීමෙන් වැළකී සිතින් කයින් වදනින් මිතුරු හැසිරීමෙන් යුක්තවීම සසුනේ චිරස්ථිතිය පිණිස ඉවහල් වේ. මෙය ඉහතින් දැක්වූ සූත්‍ර තුනෙහි අන්තර්ගතය පිළිබඳ සංක්‍ෂිප්ත විවරණයකි. එහි අන්තර්ගත කරුණු විචාර බුද්ධියෙන් යුක්තව තර්කානුකූලව මැදහත් සිතින් අවධානයට යොමුකිරීමෙන් සසුන හෝ දහම අතුරු දහන් වන්නේ බාහිර හේතු නිසාද නැතහොත් අභ්‍යන්තර හේතු නිසාද යන්න වටහාගත හැකිවේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව නම් සසුන රැකීම යනු උන්වහන්සේ වදාළ ධර්ම විනය සජීවීකරණය කිරීමයි.