Print this Article


මහින්දාගමනයයි සිංහල ලේඛන කලාවයි

මහින්දාගමනයයි සිංහල ලේඛන කලාවයි

වෙස්සගිරිය, මිහින්තලේ, රිටිගල ආදී තැන්වල ලෙන්වල කටාරමේ කෙටූ අක්‍ෂර විද්‍යාමාන මුල්ම ලේඛන ලෙස පිළිගැනේ. දමරකිත, තලදර, නග, තිස, සොණ යනාදී නම් ගම් මෙහි දැකිය හැකියි. තෝනිගල වැනි තැනක දැකිය හැක්කේ ගිරි ලිපි වන අතර දායක ප්‍රතිග්‍රාහක හා පූජාවන් පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් වෙයි.

ලේඛන ක්‍රමය කවදා කෙසේ ආරම්භ වූවා ද යන්නට පැහැදිලි නිශ්චිත පිළිතුරක් සෙවීමට තවමත් මානව විද්‍යාඥයන්ට නොහැකි වුණි. මේ පිළිබඳ ඉදිරිපත් කෙරෙන ප්‍රකාශ සියල්ල අනුමානයෝ වෙති. ක්‍රි.පූ. 3500 ට පමණ පෙර නයිල් නිම්නයේ විසූ ජනයා ලිවීම ආරම්භ කරන්නට ඇතැයි මතයක් පවතී.

මුල්ම ලේඛන රූපාක්‍ෂර ලෙස ඇරැඹෙන්නට ඇතැයි ද විශ්වාස කෙරෙයි. අක්ෂර මාලාවක් සම්පූර්ණයෙන්ම උපයෝගී කොටගෙන ලිවීමේ ක්‍රමයක් සකස් කර ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ ෆිනිෂියානුන්ට බව ආචාර්ය තෙන්නකෝන් විමලානන්දගේ මතය වී තිබේ. (අධ්‍යාපන සියවස 31 පිට) ඔවුහු රූපාක්ෂර වලින් සාර්ථක හෝඩියක් සකසා ගෙන තිබෙයි. ක්‍රි.පූ. 08 වන සියවසේ දී පමණ මෙම ෆිනිෂියානු හෝඩිගේ බලපෑම ඉන්දියාවට ද ලැබෙන්නට ඇතැයි ඔහු විශ්වාස කරයි. වෙළෙඳුන් විසින් ඉන්දියාවට ගෙනෙන ලද මෙම රූපාක්‍ෂර හෝඩිය ක්‍රමයෙන් වර්ධනය වී ඊට වසර පන්සීයකට පමණ පසු අශෝකයන් තම ලේඛන සඳහා ද සාර්ථකව භාවිතයට ගෙන තිබෙයි.

අශෝකයන් භාවිතයට ගත් මෙම අක්ෂර මාලාව බ්‍රාහ්මී අක්‍ෂර මාලාව ලෙස ජනපි‍්‍රය වුවද එය මෞර්ය හෝඩිය, මාගධි හෝඩිය, අශෝක හෝඩිය, ධර්ම ප්‍රචාරක හෝඩිය යනාදි විවිධ නම්වලින් හඳුන්වා තිබෙයි. ක්‍රි.පූ. 03 වන සියවස පමණ වන විට අශෝකයන්ට තම සන්නිවේදන වුවමනාවක් පිරිමසා ගැනීමට සමත් වන අන්දමින් මෙම බ්‍රාහ්මී අක්ෂර මාලාව සංවර්ධිත වූ බව පෙනේ. මේ අනුව බුදුරදුන් විසූ ක්‍රි.පූ. 06 වන සියවස වන විටත් භාරතයෙහි මෙම අක්ෂර යම් ප්‍රමාණයකින් සන්නිවේදනයට යොදා ගන්නට ඇතැයි අපට සාධක හමු වේ. ක්‍රි.ව. 01 වන සියවසෙහි ලියවුණු බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයක් වන ලලිත විස්තරයෙහි දැක්වෙන්නේ සිද්ධාර්ථ කුමරුන් ‘ලිපි සාලාව‘ නමැති පාසැලෙහි රන් පන්හිඳකින් රත් හඳුන් පුවරුවක අක්ෂර ලියූ බවයි.

මේහැර බුද්ධ කාලීන ත්‍රිපිටක ප්‍රකාශන අතර ලේඛනය පැවැති බවට විවිධ සාධක හමුවෙයි. චුල්ල වග්ග පාලියේ ‘අක්වෙරිකා’ නම් ක්‍රීඩා විශේෂයක් ගැන සඳහන් වන බව කොත්මලේ අමරවංශ හිමියෝ ‘ලක්දිව සෙල්ලිපි’ කෘතියෙහි දක්වති. අක්වෙරිකා ක්‍රීඩාව යනු අනිකාගේ පිටෙහි අකුරු ඇඳ කියවීමයි. ඒ අනුව අකුරු ලිවීමේ ක්‍රමයක් පැවැති බව පෙනේ. මේ හැර බිම්බිසාර රජු පුක්කුසාති රජුට තෙරුවන් ගුණ රන්පතක ලියා යැවූ පුවතක් ගැන තොරතුරු ද හමුවෙයි. එහෙත් පොතක් පතක් පිළිබඳ සාධක හමු නොවන්නේ ලේඛනය සඳහා භාවිතා කළ දේ දිරාපත් වන දේ වීමයි. මැටි තහඩු, උණ පතුරු, ලෑලි, තල් පත් යනාදිය ඒ අතර වෙයි.

මෙම කරුණ විමසිල්ලට ගෙන බලන විට පෙනෙන්නේ මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ විසූ ජනයා කවර හෝ අක්ෂර ක්‍රමයක් පිළිබඳ දැන සිටීම අවශ්‍ය වන බවයි. ලංකාවට ඉතාම ඈතදී පැමිණි ජනයා අතර බ්‍රාහ්මණයන් සිටි බව පෙනේ. ඔවුන් ඉන්දියාවේදී ප්‍රගුණ කළ භාෂා ශාස්ත්‍ර යම් තරමින් හෝ ලංකාවට හඳුන්වා දෙන්නට ඇත. එසේම මහාවංශ සාධකය අපට මෙහිදී ඉතාම වැදගත් වේ. එනම් විජය කුමාරයාගේ දූතයන් විජය රජු සඳහා පණ්ඩු රජුගේ දියණිය එවැන්නැයි පණ්ඩු රජුට ලිපියක් යැවූ බවයි. එවැනි ලිපියක් යවන්නට යම් ලේඛන සම්ප්‍රදායක් භාවිතා කරන්නට ඇත. එහෙත්, ලංකාවේ ලේඛන සම්ප්‍රදායක සුල මුල සොයා යෑමේ දී මේවා එතරම් නොවැදගත් ලෙස සැලකෙන්නේ මහින්දාගමනය තෙක් කිසිදු ප්‍රශස්ත ලේඛන සම්ප්‍රදායක පැහැදිලි සාක්‍ෂි හමු නොවීමයි. ඒ අනුව ලංකාවේ අද පවත්නා පැරැණිතම ලේඛන ක්‍රි.පූ. තුන්වන සියවසේ ලියැවුණු ලේඛන ලෙස පිළිගැනේ. එම ලේඛන මහින්දාගමනයේ උරුමයක් ලෙස අනිවාර්යයෙන් අපට පිළිගැනීමට සිදුවෙයි.

ක්‍රි.පූ. 03 වන සියවසේ සිට ක්‍රි.ව. 01 වන සියවස දක්වා කාලච්ඡේදය අතර ලියැවුණු ඇතැම් ලේඛන කීපයක් උපුටා දක්වන මහාචාර්ය බන්දුසේන ගුණසේකර (සිංහල අක්‍ෂර සම්භවය හා එහි විකාශනය – 30 පිට) කැලණිතිස්ස රජ සමයේ රජුගේ සොයුරු උපතිස්ස කුමාරයා රජබිසව සමඟ කළ පෙම්හසුන් හුවමාරුවක් ගැන මහාවංශයෙහි දැක්වෙන බවත්, මිහිඳු හිමියන් දුටුගැමුණු රජු පිළිබඳ ලියූ රන් පතක් ගැන තොරතුරු අනාවරණය වන බවත් දුටුගැමුණු රජතුමා පින් පොතක් තබා ගත් බවත් පෙනෙන බැවින් ලේඛන කලාව මෙම වසර 300 ඇතුළත දියුණු වන්නට ඇති බවත් පෙන්වා දෙයි.

ලේඛන කලාවෙහි වඩාත් දියුණුවක් පෙන්වන අවස්ථාව වන්නේ ක්‍රි.පූ. 01 වන සියවසේ දී වට්ටගාමිණි අභය රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සිද්ධියයි. මාතලේ අළු ලෙනේ දී සිදු වූ මෙම ඓතිහාසික සිදුවීම භාෂාවේ දියුණුව පෙන්වා දෙන වඩාත් හොඳම අවස්ථාව වෙයි. අක්ෂර මාලාව ප්‍රමාණවත්ව වැඩී තිබීම මෙන්ම අක්ෂර භාවිතය කෙතරම් දියුණු තත්ත්වයකට පත්ව තිබුණා ද යන්න මෙයින් අපට නිගමනවලට එළඹිය හැකියි. පස්වන සියවසේ පැමිණි බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ මහාවිහාරයට ගොස් අටුවාලිවීමට අවශ්‍ය පොත පත ඉල්ලා සිටි බව කියවෙයි. ඒ ඉල්ලා සිටියේ ක්‍රි.පූ. 01 වන සියවසේ දී ග්‍රන්ථාරූඩ කරන ලද හෙළටුවාවන්ය. ඒ අනුව ග්‍රන්ථ කරණයට සුදුසු පරිදි අක්‍ෂර මාලාව සැකසී පැවති බව ඉතා පැහැදිලිය.

ලංකාවේ ලේඛන කලාවේ දියුණුවට සෙල්ලිපි බෙහෙවින් බලපෑ බව කිව යුතු ය. මහින්දාගමනයට පෙර ලේඛනයෙහි යොදා ගත් යම් යම් අක්ෂර තිබූ බවට සාධක ඇතත් පැහැදිලි සෙල්ලිපියක් හමුවන්නේ මහින්දාගමනයෙන් පසුවයි. එසේ නම් ලේඛනය බෞද්ධ ධර්මදූතයන් වහන්සේලා වෙතින් ලද උරුමයක් සේ සැලකීම වඩාත් බුද්ධිගෝචරවෙයි.

මහින්දාගමනයෙන් පසුව ලේඛන කලාවේ විකාශනය පිළිබඳව විමසා බලන්නට ක්‍රි.පූ. 03 වන සියවසේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා ලියැවුණු සෙල්ලිපි සමූහය හැදෑරිය යුතු ය. දැනට සොයා ගෙන ඇති හාරදහසකටත් අධික මෙම සෙල්ලිපි සමූහයෙන් අක්ෂර මාලාවද භාෂාවද වියරණ සම්ප්‍රදායන්ද වැඩී ආ හැටි පෙනේ. ප්‍රධාන වශයෙන් මෙම ලිපි සමූහය ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි හාවෙනත් ලිපි ලෙස වර්ග කළ හැකි වෙයි.

වෙස්සගිරිය, මිහින්තලේ, රිටිගල ආදී තැන්වල ලෙන්වල කටාරමේ කෙටූ අක්‍ෂර විද්‍යාමාන මුල්ම ලේඛන ලෙස පිළිගැනේ. දමරකිත, තලදර, නග, තිස, සොණ යනාදී නම් ගම් මෙහි දැකිය හැකියි. තෝනිගල වැනි තැනක දැකිය හැක්කේ ගිරි ලිපි වන අතර දායක ප්‍රතිග්‍රාහක හා පූජාවන් පිළිබඳ තොරතුරු මේවායේ ඇතුළත් වෙයි. බදුල්ලේ සොරබොරවැව අසලින් හමු වූයේ ටැම් ලිපියකි. මේවා සම්වතා පහන්, අත්තාණි කණු යනුවෙනුත් හැඳින්වෙයි. මිහින්තලාවේ දිර්ඝ පුවරු ලිපියක් දැකිය හැකි අතර නූතන අක්‍ෂර වලට තරමක සමාන අක්‍ෂර එහි දිස් වෙයි. මේ හැර වෙනත් ලේඛන ද හමු වෙයි. පනාකඩුව තඹ සන්නස සහ වල්ලිපුරම් රන් සන්නස එවැන්නකි. මෙම ලිපි සමූහය පරීක්‍ෂා කරන කල්හි බ්‍රාහ්මී අක්‍ෂර ක්‍රමයෙන් පරිණාමය වෙමින් නූතන අක්ෂර දක්වා සංවර්ධනය වූ අයුරු දැකිය හැකි ය.

මුල් අවධියේ කෝණාක්ෂර ලෙසින් ද අනතුරුව ලතාක්ෂර ලෙසින් ද අවසාන ගෝලාක්ෂර ලෙසින් ද මෙම අක්‍ෂර විකාශනය සිදුවිය. ඒ අනුව වර්තමානයේ අප භාවිතා කරන අපේ සිංහල අක්‍ෂර මාලාව පූර්ණ අදහස් පළ කිරීමේ මාධ්‍යයක් බවට දහවන සියවස පමණ වන විට පත් වී අවසාන විය. එමෙන්ම ලෝකයේ ගෝලාක්ෂර හෝඩි අතරින් ඉතා රමණීය හා සෞන්දර්යාත්මක අක්ෂර ඇති හෝඩි කිහිපය අතරට සිංහල අක්‍ෂර මාලාව පත්ව තිබීම විශේෂ වැදගත්කමක් වෙයි. වඩා වැදගත් වන්නේ මෙම අක්‍ෂර පරිණාමය සඳහා අපේ ශිලා ලේඛන සමූහයේ කළ බලපෑමයි. එහිදී ගලේ ලිවීමෙන් හා පුස්කොලයේ ලිවීමෙන් මෙම අක්‍ෂර ගෝලාකාර කරගන්නට පැරැණි ලේඛකයා දක්‍ෂ විය.

මේ සියල්ල විමසා බලන විට මහින්දාගමනය සිංහල භාෂා සාහිත්‍යයේ අභිවෘද්ධියට පදනම දැමූ ඓතිහාසික අවස්ථාවක් වූ බවත්, එය වෙනුවෙන් බෞද්ධ ධර්මදූතයන් වහන්සේලාට ජාතියේ ගෞරවය හිමි විය යුතු බවත් පෙනේ.