Print this Article


ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයා වරද වරද ලෙස දකී

ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයා වරද වරද ලෙස දකී

කෙනෙක් නරක කර්මයක් කළ පසු ඒ තැනැත්තා එම ක්‍රියාව නරක බව දැනගෙන නැවත මම මෙබඳු ක්‍රියා නො කරන්නෙමියි අධිෂ්ඨාන කර ගන්නේනම් ආයති සංවරයෙහි පිහිටවන්නේ නම්, එය අගය කළ යුත්තකි. නමුත් බෞද්ධයෙකු එයින් පමණක් සෑහීය යුතු නොවේ

එක්තරා ව්‍යාපාරික ආයතනයක පිය පුතු දෙ පොළක් වූහ. මේ දෙ දෙනාගෙන් පුතාට නිතර කේන්ති යන ස්වභාවයක් විය. නමුත් එක් කාරණයකින් පුතු ඇගැයිය යුත්තෙක් විය. ඒ ඔහු තමන්ට කේන්ති යන බවත්, එය නුසුදුසු දෙයක් බවත්, එය පාලනය කරගත යුතු බවත් තේරුම් ගෙන තිබීම යි.

ලෝකයේ ම සිටින මිනිසුන් අප ව වට කර ගෙන ඔබ වැරැදියි කියමින් අපගේ වැරැදි පෙන්වූවත්, අප ඒ වැරැදි අප අතින් සිදු වූ වැරැද්දක් වශයෙන් පිළිගන්නේ නැති තාක්කල් අපට නිවැරැදි විය නො හැකිය.

දිනක් ඉහතින් සඳහන් කරන ලද ව්‍යාපාරික පුත්‍රයා සිය පියාණන් ළඟට ගොස් තමන්ට අධික ලෙසින් කේන්ති යන බවත් ඒ නිසාම තමන් බොහෝ මිනිසුන් සමඟ බැන ගන්නා බවත්, ව්‍යාපාරික කටයුතු දිනෙන් දින පිරිහෙන බවත් පවසා තම කේන්තිය පාලනය කර ගන්නා ක්‍රමයක් කියා දෙන මෙන් ඉල්ලා සිටියේ ය. පියා ද තම පුතුට කිසිවක් නො පවසා ඔහු පුතු යකඩ ඇණ රාශියක් තිබෙන තැනකට රැගෙන ගොස් ‘පුතේ තරහා යන වෙලාවට අර ඇණ ගොඩ ළඟට ගොස් ඇණයක් ගෙන මේ ලෑල්ලට ඇණය ගසන්න යැයි උපදෙස් දුන්නේ ය. එවිට කේන්තිය පාලනය කළ හැකියැයි ද පැවැසීය.

පියාට කීකරු මේ පුත්‍රයා තර්ක කරන්නට යන්නේ නැති ව සිය පියා කියූ පරිදි ම කරන්නට උත්සාහවත් විය. දින කිහිපයක් ඉක්ම යන විට ලෑල්ලේ ඇණ පිරුණි. ඒ කාල සීමාව තුළ තරහ අඩුකර ගත යුතුය යන සිතිවිල්ල ද ඇතිවුණි. ලෑල්ලේ ඇණ ගැසීම කේන්ති ගන්නවාට වඩා අපහසු කාර්යයක් වූ බැවිනි. ඉන්පසු මේ පුතා කේන්තිය ආයාසයෙන් ම පාලනය කොට ඇණ ගසන වාරයන් අඩුකර ගත්තේ ය. ඇණ ගසන්නට අවශ්‍ය නැති දවස් හෙවත් කේන්ති යන්නේ නැති දවස් උදාකර ගන්නට තරම් මේ පුතා කැප වී කටයුතු කළේය. කේන්තිය සහමුලින් ම පාලනය කළා වූ සතුටු සිතින් පියා ළඟට ගොස් දැන් තමන්ට පෙර සේ කේන්ති යන්නේ නැති බවත්, කාලයකින් තමන් ලෑල්ලේ ඇණ නො ගැසූ බවත්, දැක්වූයෙන් පියාගේ උපදෙස වුණේ කේන්ති යන්නේ නැති දවස්වලට ලෑල්ල ළඟට ගොස් තමන් ගැසූ ඇණ දවසකට එක ගානේ ගළවන්නට ගියා ය. පියාගේ අන පිළිගත් පුතා කාලයක් ගත කොට තමන් ගැසූ ඇණ දිනකට එක බැගින් ගැළවීය. සියලු ඇණ ගැළ වූ පසු පියාට දැන් වූයෙන් පියා පුතාගේ අතින් අල්වාගෙන ලෑල්ල ළඟට විත් ‘මෙහි තිබූ ඇණ කෝ’ යැයි විමසීය. තමාට දැන් කේන්ති නො යන බවත් කේන්ති නො යන දවස්වලට ඇණ ගළවන්නට යැයි පියා දුන් උපදේශය නිසා තමන් ඒ සියලු ඇණ ගැළ වූ බවත් පුතා පියාට දැන්වීය. එවිට පුතාගෙන් පියා විමසූයේ ඇණ සියල්ල ගැළ වූ පසු ලෑල්ලේ ඉතිරි වී තිබෙන්නේ කුමක්ද කියා. ඇණ ගැසීම නිසා වූ සිදුරු බව පුතා පැවැසීය. ඉන්පසු පියාගේ පැණය වූයේ ඒ සිදුරුත් ඔබට ගළවන්නට හැකිද යන්නයි. එය නම් ගැළවිය හැක්කක් නොවේ යැයි පුතා පියාට පැවැසීය.

එවිට පියා පුතාට කියා දුන් පාඩම සැමට ප්‍රයෝජවත් ය. පියා පුතාට පැවැසුයේ ඔබට කේන්තියක් ගිය පසු කයින් හෝ වචනයෙන් යම් වැඩක් කළොත් බොහෝ විට ඒ කටයුත්ත සාර්ථක වන්නේ නැහැ. ඔබට කේන්තියක් ගිය විට ඔබ කවුරුන්ට හෝ බණින්නට පුළුවන්. නමුත් ඒ ඔබ කළ ක්‍රියාව වැරදි යැයි ඔබට තේරුම් ගිය පසු ඔබ සමාව ගන්නත් පුළුවන්. වරදක් කළ පසු සමාව ගැනීම හොඳයි. නැවත කරන්නේ නැහැ කියා සිතීම හොඳයි. නමුත් එසේ කළ පමණින් කළ වරද නිවැරදි වන්නේ නැහැ. කළ පව පින බවට පත්වන්නේත් නැහැ. ඔබ කළ වරද නිසා මිනිසුන්ගේ සිත්වල ඇතිවුණු චිත්ත පීඩා, යාන්තමින් හෝ මට මෙහෙම කළා යන වේදනාබර සිතිවිල්ල රැඳෙනවා. ඒ නිසා ඔබ වඩාත් උනන්දු වියයුත්තේ සමාව ගැනීමට නොව සමාව ගන්නා ආකාරයේ ක්‍රියාවන් නො කර සිටීමට යි.

යමෙක් කිසියම් ක්‍රියාවක් කරන්නට පෙර ඒ පිළිබඳව සිතින් සිතයි. නො සිතා කිසිදු කටයුත්තක් කළ නො හැකිය. බොහෝ දෙනා ඵ් බව නො සිතායි. එහිදී හිතන්නේ නැත්තේ ඒ ක්‍රියාවෙන් වෙන ප්‍රතිවිපාක කුමක්ද කියා යි. එසේ නැතිව සිදු කරනු ලබන ක්‍රියාව ගැන නොවේ. ඕනෑම ක්‍රියාවකට කිසියම් සිතිවිල්ලක් සම්බන්ධ වේ. සිතිවිලි නැති ව කයින් හෝ වචනයෙන් ක්‍රියාත්මක විය නො හැකිය. ඒ සිතිවිල්ල විපාකදායි කර්ම සකස් කරන්නට තරම් ප්‍රබල සිතිවිල්ලක් නම් ඒ ක්‍රියාව කර්මයක්, කර්ම පථයක් බවට පත් වේ. කිසියම් ක්‍රියාවක් හා සම්බන්ධ වන සිතිවිල්ල හොඳ නම් ඒ ක්‍රියාව හොඳ ක්‍රියාවක්, සිතිවිල්ල නරක නම් ඒ ක්‍රියාව නරක ක්‍රියාවක්. එසේ ම ක්‍රියාව හා සිතිවිල්ල සම්බන්ධ වෙනවාත් සමඟින්ම කර්මය ද සැකැසී හමාර බවයි. එබඳු කර්මයන් සමාව ගැනීමෙන් අහෝසි කර ගැනීමට හැකියාවක් නැත.

කෙනෙක් මේ ආත්ම භවයේදී කිසියම් හොඳ හෝ නරක කර්මයක් සිදුකළහොත් එහි විපාකය ඒකාන්ත වශයෙන් මේ භවයෙහිදීම හෝ කිසියම් භවයකදී ලැබිය යුතුමය යන ඒකාන්ත සිද්ධාන්තය බුදුදහම පිළි නො ගනී. කරනු ලබන හැම කර්මයකට ම කිසියම් විපාකයක් ඇති බව සත්‍යමුත් ඒ හැම විපාකයක් ම අප විඳ අවසන් කළ යුතුය යන අදහස බුදු දහම පිළිගන්නේ නැත. කෙනෙකුගේ හොඳ හෝ නරක පැවැත්ම මත කරන ලද හොඳ හෝ නරක කර්ම අඩුකර ගැනීමටත්, වැඩිකර ගැනීමටත්, තුනී කර ගැනීමටත්, වෙනස් කර ගැනීමටත්, විපාකදීම කල්දමා ගැනීමටත් හැකියාව ඇත.

ඒ අනුව කෙනෙක් නරක කර්මයක් කළ පසු ඒ තැනැත්තා එම ක්‍රියාව නරක බව දැනගෙන නැවත මම මෙබඳු ක්‍රියා නො කරන්නෙමියි අධිෂ්ඨාන කර ගන්නේනම් ආයති සංවරයෙහි පිහිටවන්නේ නම්, එය අගය කළ යුත්තකි. නමුත් බෞද්ධයෙකු එයින් පමණක් සෑහීය යුතු නොවේ. අතීතයේදී තමන්ගේ පමාවකින්, පාප මිත්‍රයෙකුගේ මෙහෙයවීමකින් හෝ කිසියම් වරදක් වුණි නම් එම වරද වරදක් වශයෙන් දක්නා ඔහු නැවත නැවත තමන් කරන ලද වරද ගැන පසුතැවිලි වන්නට යාම ද සිත කෙලෙසා ගැනීමක් බව තේරුම් ගෙන, එම කරන ලද වරද ජීවිතයට පාඩමක් කොට ගෙන දස අකුසලයෙන් තොර වී දස කුසලයෙහි යෙදෙයි. එසේ කුසල ධර්මයන්හි යෙදෙන විට ආනන්තරිය පාපකර්ම හැරුණු විට කරන ලද අකුසල කර්මයන් තුනී කර ගන්නටත් එසේ නොමැති නම් විපාකදීම කල්දමා ගන්නටත්, එසේත් නොමැතිනම් විපාක නොදී අහෝසි කර ගැනීමටත් හැකියාව ඇත.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ලෝණඵල වර්ගයේ දී තමන් විසින් සිදු කරනු ලබන පාපාකර්මවල විපාකදීම තමන් කරනු ලබන පුණ්‍යකර්මවල බලයෙන් වෙනස් කළ හැකි බවයි. කුඩා ප්‍රමාණයේ ලුණු කැටයක් ගෙන ඉතා කුඩා දිය බඳුනකට දැමුවහොත් ඒ බඳුනේ ඇති දියලුණු රසින් යුක්ත වේ. ඒ ප්‍රමාණයේ ම ලුණු කැටයක් විශාල පොකුණකට දැමුවොත් එහි වතුර ලුණු රස වන්නේ නැත. බුදුපියාණන් වහන්සේ මෙහිදී ලුණු කැටයට උපමා කළේ අප විසින් සිදු කරනු ලබන පාප කර්මයන්ට ය. වතුරට උපමා කළේ අප විසින් සිදු කරනු ලබන පුණ්‍ය කර්මයන් ය. වතුර අඩු වන තරමට ලුණු රස වැඩියෙන් දැනෙන්නා සේ අප විසින් සිදු කරනු ලබන පින් අඩු වන තරමට පව්වලට විපාක දෙන්නට ඇති බලය වැඩිවේ. අප විසින් කරනු ලබන පින වැඩි වන තරමට කරනු ලැබූ පව්වලට විපාක දෙන්නට ඇති ඉඩ ඇහිරී යයි. වතුර වැඩිවන තරමට ලුණුරස අඩුවන්නා සේ ය. මෙම උපමාවෙන් බුදුපියාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ අප කරනු ලබන පව් ඒකාන්ත වශයෙන් ම අප විසින්ම විඳවා අවසන් කළ යුතුය වන අදහස උන්වහන්සේ පිළි නො ගන්නා බවත්, සිදු කරනු ලැබූ නරක කර්ම වුව තමන්ගේ යහපත් ක්‍රියා කලාපයන් තුළ වෙනස් කර ගත හැකි බවත් ය. සිදු කරනු ලැබූ සියලු කර්ම විපාක දීමෙන් ම අවසන් කළ යුතු නම් කිසි දිනෙක අංගුලිමාලට රහත් වන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

බුදුදහම පුහුදුන් අයගෙන් වරැදි වන බව පිළිගත්තත් වැරැදිවීම හෝ කිරීම අනුමත කරන්නේ නැත. එසේ ම වරදක් කළ පසු සමාව ගත් සැණින් වරද නිවැරැදි වන බවද පිළිගන්නේ නැත. වරද වරදක් බව දැන, පව පවක් බව දැන, එයට අදාළ පිළියම් යෙදීම බුදුරජාණන් වහන්සේ අගය කළහ. පිළියම් යෙදීම නම් දස කුසලයෙහි යෙදීම යි. සිත, කය, වචන යන තුන් දොරින් වැරදි කළවුනට නිවැරැදි වන්නට ඇති ක්‍රමයත් තුන්් දොරින් දස කුසලයෙහි යෙදීම යි.

වරදක් කළ පසු සමාව ගෙන නිකම් සිටිනවාට වඩා, වරදක් කළ පසු වරද වරද සේ දැක, ආයති සංවරයෙහි පිහිටා නිවැරැදි පිළියම් යෙදීම බුදුසමය වඩාත් අගයන ප්‍රතිපදාවයි. එබැවින් අතීතයේ දී සිදු වූ වැරැදි දැන පසුතැවිලි නොවී, අනාගතය ගැන ද අනවශ්‍ය බියකින් සිත පුරවා ගන්නේ නැතිව, වර්තමානය දස කුසලයෙන් පුරවා ගැනීම තමන් විසින් කරන ලද පාප කර්මයන්ගෙන් සමාව ගැනීමක් වශයෙන් සැළැකිය හැකිය. කිසියම් කෙනෙක් කෙනෙකුට හිංසා කළ පසු එය වරදක් බව වටහා ගෙන සමාව ඉල්ලා සිටිය විටක හිංසාවට ලක් වූ කෙනා සමාව දිය හැකිය. නමුත් කරනු ලැබූ කර්මයෙන් බේරෙන්නට එය ප්‍රමාණවත් වන්නේ නැත.

නයනා නිල්මිණි