Print this Article


උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රතිඵල

මුළු මහත්, ලෝක ධාතුවටම සැප ගෙන දෙන උත්තරීතරම සිදුවීම සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීමයි. දෙව් මිනිසුන්ට සසර දුකින් නිදහස් වීම පිණිස සදහම් වදාළ අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේ ශ්‍රී සද්ධර්මය දේශනාකොට පිරිනිවන් පා වදාළසේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක්දෙවිඳුන්ට වදාළේ සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් මේ සිරිලක් දෙරණ මත පවතින බැවින් මේ රටත් එහි ජනයාත් ආරක්‍ෂා කළ යුතු බවයි.මේ පිළිබඳව මහා වංශයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ චිර ප්‍රසිද්ධ වූද, උතුම් ගුණ ධර්මවලින් ශෝභමාන වූද, විවිධ හැකියාවලින් අගතැන්පත් වූ චිරරාත්‍රඥ මහ රහතන් වහන්සේලා වැඩ සිටියහ. ඒ අතර ශාරිපුත්ත ,මොග්ගල්ලාන ,මහා කාශ්‍යප ,අනුරුද්ධ, සීවලී, මහා කච්චාන වැනි මහ රහතන් වහන්සේලා වැඩ සිටියහ. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ලෙස ප්‍රකටව වැඩ සිටි මහ රහතන් වහන්සේලා වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දෙව් මිනිසුන්ට ප්‍රචලිත කරවීමටත් අනාගත සම්බුදු සසුන බැබළවීම උදෙසාත් උන්වහන්සේලා ඉතාමත් උතුම් සේවාවක් සිදු කළහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව සප්තපණ්ණී ගල් ගුහාවේදී අජාසත් රජුගේ රාජානුග්‍රහයෙන් මහ රහතන් වහනසේලා පන්සීය නමකගේ සහභාගිත්වයෙන් පැවති පළවන ධර්ම සංගායනාව තුළින් ශ්‍රී සද්ධර්මය අනාගත පරපුරට දායාද විය. ඉන් පසුව කාලාශෝක රජුගේ රාජානුග්‍රහයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සීයකට පසුව සබ්බකාමී, යස, රේවත ආදි මහ රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්ව මහරහතන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගිත්වයෙන් දෙවන ධර්ම සංගායනාව පවත්වා ශාසනයේ අර්බුද මඟ හරවා ස්ථාපිත කරන ලදී.

ඉන්පසුව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 පසුව ධර්මාශෝක අධිරාජයාගේ රාජානුග්‍රහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහ රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. ඒ තුළින් මුළු ලොව පුරා ධර්ම ප්‍රචාරය කිරීමේ ඇති උදාර වැඩ පිළිවෙළක් අධිරාජයාගේ පූර්ණ උපකාර සහිතව සිදු විය.

අප අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගෙ අද්විතීය සේවාව ඉස්මතු වන්නේ මෙහිදීය. මුළු ලොවට උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය වන මධ්‍යස්ථානය වන්නා වූ මේ සිරිලකට ඒ අමා දම් බෙරය වැයීමේ භාග්‍යය උදාවන්නේ අප මිහිඳු මහ රහතන් වහන්සේටයි. උන්වහන්සේගේ පියා ධර්මාශෝක අධිරාජයායි. මෑණියන් වේදිස නුවර දේවි කුමරියයි. අශෝක අධිරාජයා කුමාර අවධියේදි පිය රජු විසින් අවන්ති දේශය පාලනය කිරීමට භාර කරන ලදී. එහි සිට උදේනි නුවර යන අතර මගදී වේදිස නුවර නවාතැන් ගෙන එහිදී හමුවූ මනා රූසපුවකින් යුත් දේවි කුමරිය සමඟ එක්ව වාසය කළේය. පසුව ඇය සිය මෙහෙසිය බවට පත් කර ගන්නා ලදී. ඇය නිසා උපන් පින්වත් කුමරු මහින්ද නම් වූ අතර දියණිය සංඝමිත්තා නම් වූවාය.

අශෝක අධිරාජයා බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ,අනුශාසනාවලට අනුව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් උදාර සේවාවක් කළේය.රටවල් නවයකට ධර්ම ප්‍රචාර කිරීමට අනුග්‍රහ දැක්වීම හා විශේෂයෙන්ම වෙහෙර විහාර අසූ හාර දහසක් ඉදිකරවීම එතුමා සිදු කළ අති විශිෂ්ට ශාසනික මෙහෙවරයන්ය.මේ අයුරින් අප්‍රමාණ වූ සේවාවක් සිදු කරන ලද ධර්මාශෝක අධිරාජයා දිනක් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසා සිටියේ තමා ශාසනයේ දායකත්වයට හිමිකම් කියනවාද කියාය. එහිදී උන්වහන්සේ පෙන්වා වදාළේ ශාසන දායකත්වයට තමාගේම දරුවෙකු සසුන් ගත කළ යුතු බවයි. මේ පිළිබඳව රජුගේ විමසිලිමත් බව දැනගත් මහින්ද කුමරු ස්වකැමැත්තෙන්ම පැවිදි වීමට එකඟ වූ අතර සහෝදරියද ඒ තීරණයම ගත්තාය. ඒ අනුව මහින්ද කුමරු හෙවත් මිහිඳු කුමරු අප තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්තේය. මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ සමීපයේදී පැවිදි බව ලබා ගත්තේය. නොබෝ කලකින් අර්ථ ධර්ම ,නිරුක්ති, ප්‍රතිභාන, සහිත සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ දෙකකට පසුව පහළ වුවද මිහිඳු මහ රහතන් වහන්සේ තුළ ධර්ම ප්‍රචාරක භික්‍ෂුවක් තුළ පිහිටිය යුතු උතුම් ප්‍රතිභානය පිහිටා තිබුණි. උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත වූ සේක. එක් වරම ශ්‍රී ලංකාදීපයට ධර්ම ප්‍රචාරය සඳහා නොවැඩ ලක්දිව තොරතුරු අධ්‍යයනය කළ සේක. එකල ලක්දිව රජකළේ මහලුව සිටි මුටසීව රජු බැවින් එතුමාගේ පුත්‍ර තරුණ දේවානම්පියතිස්සයන් රජවන තුරු ස්වකීය ඥාතීන්ට ධර්මයෙන් අනුග්‍රහ කිරීම පිණිස දක්‍ෂිණාගිරි දනව්වට වැඩි සේක. මාස හයක් පමණ එහි වැඩ සිට ඉන් අනතුරුව වේදිසගිරි නුවරට පැමිණ මෑණියන් දැක, මෑණියන්ගේ සිත සතුටට පත් කරවූ සේක. උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් පූජා කළ එතුමිය තමා විසින් කරවන ලද වේදිසගිරි විහාරයට වැඩම කරවන ලදී. ඉතිහාස ගත තොරතුරුවලට අනුව මේ කාලයේදී ලක්දිව ජන ජීවිතය පිළිබඳව මනා අවධානයකින් මිහිඳු මහරහතන් වහන්සේ පසු වූ සේක. රට වැසියන්ගේ ජන විඥානය මෙන්ම, සංස්කෘතිය පිළිබඳව විශේෂ අවබෝධයක් උන්වහන්සේට තිබිණි, විශේෂයෙන්ම හෙළබස පිළිබඳවද උන්වහන්සේගේ සුවිශේෂි අවධානය යොමු වූයේ හෙළ බසින් දම් දෙසීමෙන් මෙහි ජනතාවට ශ්‍රී සද්ධර්මය පහසුවෙන් ඉගැන්විය හැකි නිසාය. මෙරටට ධර්මය රැගෙන වැඩම කළ යුත්තේ කවදාද කුමන ස්ථානයටද? කුමන වේලාවේදීද? ආදි ඉතා වැදගත් කරුණු පිළිබඳව ඉතා සුපරික්‍ෂාකාරි අවධානයක් යොමු කොට වදාළේ උන්වහන්සේ තුළ තිබූ මහා ප්‍රඥාව නිසාය. ලක්දිව වැසියෝ නැකත් කෙළියෙහි යෙදී සිටියදී රජු ඔවුන්ට දිය කෙළියට විධානය දී තමා දඩ කෙළියට හතළිස් දහසක පිරිවර සමඟ වනගත විය.මේ මිස්සක පර්වතය හෙවත් මිහින්තලා පර්වතය ආශි‍්‍රත ප්‍රදේශයයි.

මිහිඳු මහ රහතන් වහන්සේ ඉතා මැනවින් සැලසුම්කොට ධර්ම ප්‍රචාරයට වැඩම කළ බවද පැහැදිලිය. උපසම්පදා රහත් තෙරවරුන් හතර නමක් වඩමවා ගැනීමෙන්ද මහත් ඍද්ධි ඇති සාමණේර හිමි නමක් හා භණ්ඩුක නම් අනාගාමි උපාසකතුමා සමඟ පැමිණීමෙන් ඒ බව තේරුම් ගත හැකිය.මෙහිදී අවශ්‍ය සීමා බන්ධන විනය කර්ම හා සියලු විනය කර්ම සඳහා උපසම්පදා හතර නමක් සිටිය යුතු විය. එමෙන්ම උපසම්පදාවත් පැවිදි කිරීමත් මෙරටේදී සිදු කිරීම පිණිස සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසක හෙවත් තම මෑණියන්ගේ සහෝදරයාගේ පුතා කැඳවාගෙන එන ලදී. මේ ආකාරයෙන් උන්වහන්සේ ඉතා විධිමත්ව ඒ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලද බව වටහා ගත හැකිය.

මිස්සක පර්වතයේදී ලක්දිව අග රජුට මුලින්ම නම කියා ආමන්ත්‍රණය කළ ආකාරයෙන්ද උන්වහන්සේගේ අවබෝධය පැහැදිලි වේ. තමා අන් හැමටම වඩා ප්‍රධානියා කියා සිතා සිටින රජුට, එතුමාටත් වඩා බලසම්පන්න කෙනෙක් ආමන්ත්‍රණය කරන බව හැඟවීය. මෙවැනි උත්තරීතර දහමක් දේශනා කිරීමට පෙර එය සිදු කරන්නේ උත්තරීතර කෙනෙකු බව රජුට වටහා ගැනීමට එයම ප්‍රමාණවත් වූ අතර දේවානම්පියතිස්ස රජතුමා භණ්ඩුක උපාසකතුමාගෙන් රජුගේ අධිකාරිය විමසා ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍ර රත්නය බව දැනගෙන රාජකීය සම්භවය ගැන වටහා ගත් සේක. මේ වන විටත් ත්‍රිවිධ රත්නය පිළිබඳව රජුට අවබෝධයක් තිබෙන බවද උන්වහන්සේ දැන සිටි සේක. මුලින්ම තමන් වහන්සේ පමණක් දක්වා පසුව පිරිසම පෙනෙන්නට සලස්වා

“සමණාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”

යනුවෙන් ප්‍රකාශකොට වදාළසේක. එයින් අදහස් කරන්නේ ‘මහරජතුමනි. අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු. ඔබට අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු” යන්නය.

යම් දේශනාවක් කිරීමට පෙර ශ්‍රාවකයාගේ මානසිකත්වය හඳුනා ගැනීම ඉතා වැදගත් බව මිහිඳු මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක විධි ක්‍රමවලට අනුව දත් සේක. මහ රජුටම ප්‍රථම දේශනාව, පැවැත්වීමට උන්වහන්සේට අවශ්‍ය වූයේ රටේ ප්‍රධාන පුරවැසියාව ප්‍රථමයෙන් සරණ සීලයෙහි පිහිටුවීම පිණිස බව පෙනේ. රජතුමාගේ බුද්ධිය විමසීම සඳහා ලෝකයේ අති සුප්‍රකට අඹ පැනය හා ඥාති පැනය විමසීම ඉතාම වැදගත් වේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වන්නේද මෙයයි.මේ තුළින් රජතුමාගේ බුද්ධි මහිමය පරික්‍ෂාකොට ගත් මිහිඳු මහ රහතන් වහන්සේ චූල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක.රජතුමා ඇතුළු සතලිස් දහසක් පිරිස උතුම් තිසරණයෙහි පිහිටියේය. මෙය අප රටේ උත්තරීතරම අවස්ථාවයි.උන්වහන්සේ ප්‍රථමයෙන් දේශනා කිරීමට තෝරාගත් සූත්‍රයද වැදගත් වේ.දහ අට දහසකට (18000) ආසන්න සූත්‍ර දේශනා අතරින් ශ්‍රාවකයෙක් පරම නිෂ්ඨාවට පත්වන තුරුම ත්‍රිවිධ රත්නය පිළිබඳව විමසමින් ඉදිරියට යන ආකාරය ඉතා මැනවින් මේ සූත්‍රයෙන් විග්‍රහ කෙරේ. ඉන් අනතුරුව උන්වහන්සේ ඉතාමත් උචිත සූත්‍ර දේශනා පිළිවෙළින් දේශනා කොට දෙව් මිනිස් පිරිස උතුම් මාර්ගඵල අධිගමයන්හි හා තිසරණය තුළ පිහිටුවා වදාළ සේක.

ප්‍රථම දිනයෙහිම සමචිත්ත පරියාය සූත්‍රය දේශනාකොට අසංඛ්‍ය ගණන් දෙව් දේවතාවුන් මාර්ගඵල සංඛ්‍යාත භාවයට පත්කොට බොහෝ නාග සුපර්ණාදීහු තිසරණයෙහි පිහිටුවා ලු සේක. මේ උතුම් සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන කළ මෙන්ම බොහෝ දේව සමාගමයක් විය.

දෙවන දිනයේදී අනුලා බිසව ඇතුළු පන්සීයක් ස්ත්‍රීන්ට විමානවත්ථු හා පේතවත්ථු දේශනාවන්ද සච්ච සංයුත්තයද දේශනාකොට වදාළ සේක. ඒ පිරිස සෝවාන් වූහ. එදිනම රට වැසියන්ට නිරය පිළිබඳව ඉගැන්වෙන දේවදූත සූත්‍රය දේශනාකොට වදාළසේක. දහසක් දෙනා සෝවාන් ඵලයට පත් වූහ. ඉන්පසුව බාල පණ්ඩිත සූත්‍රයද ,අග්ගික්ඛන්ධෝපම සූත්‍රයද, ආශිවිසෝපම සූත්‍රයද, අනමතග්ග සංයුත්තයද, ඛජ්ජනීය සූත්‍රයද, ගෝමයපිණඩික සූත්‍රයද, ධම්මචක්කප්පවත්තන සූත්‍රයද, දේශනාකොට සත් දවසකින් අටදහස් පන්සීයක් පිරිස මාර්ග ඵලාවබෝධයට පත් කළ සේක.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන ස්ථාපිත වීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍යවන විනයානුකූල ස්ථාන මෙන්ම සුවිශේෂි පූජනීය ස්ථාන පිළිබඳව රජතුමාව දැනුවත් කළ සේක. දෑසමන් සමන්පිච්ච ආදි විවිධ පුෂ්පයන් පොළවට ඉසිමින් ඒ ඒ තැන් සලකුණ කළ සේක. ඒ අනුව සංඝ විනය කර්ම පිණිස මාලක සීමාව, ගිනිහල්පොකුණ, ශ්‍රී මහා බෝධිය පිහිටි තැන, සංඝයාගෙ පොහොය ගෙය, සංඝයාගෙ ලාභයන් සමගිව බෙදන තැන, සංඝයාගේ භක්තභෝජනය ශාලාව, ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටන සථානය ආදි ස්ථානයයි. මේ ස්ථානයෙහි කකුසඳ,කෝණාගමන, කාශ්‍යප, හා ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි ස්ථානය බවත් අනාගතයේදී ගාමණී අභය නම් මහ රජතුමා විසින් එය කරවන බවත් උන්වහන්සේ දේශනා කළ සේක.

භික්‍ෂූණී ශාසනය ආරම්භ කිරීම සඳහා සිය නැඟණිය වන සංඝමිත්තා මහ රහතන් තෙරණිය වඩම්මවා දී අපගේ ශාස්තෘන් වහන්සේ පිටදී වදාළ ජය ශ්‍රී මහ බෝ රජුන්ගේ දක්‍ෂිණ ශාඛාවද වැඩමවා දුන් සේක. ශ්‍රී ලංකා ධරණි තලය තුළ උතුම් ශ්‍රී සද්ධර්මය ස්ථාපිත කරවීම පිණිස මිහිඳු මහරහතන් වහන්සේ සිදුකළ සේවය වචනවලින් විස්තර කළ නොහැකිය. ශ්‍රී ලාංකික හෙළ සංස්කෘතිය පරිපූර්ණ වූ බෞද්ධ සංස්කෘතියක් බවට පත්වූයේ උන්වහන්සේ නිසාමය.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ පර්ය්‍යාප්ති , ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ යන උතුම් වූ බුදු සසුන ශ්‍රී ලංකා ධරණි තලය තුළ බබුළුවා දේවානම්පියතිස්ස රජතුමාගේ අභාවයෙන් පසුව රජවූ එතුමාගේ සොහොයුරු උත්තිය රජුගේ සමයේදී සම වයස් සපිරුණු කල්හි සෑ ගිරියෙහි වස්සාන කාලයෙහි වැඩ විසූ සේක. වප් මාසයෙහි අටවක දා ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. අප රට වාසි බෞද්ධ ජනතාව උන්වහන්සේට මෙපමණ ගෞරව පූපෝපහාර දක්වන්නේ උන්වහන්සේ නිසා ,අද වන විට මුළු මහත් දෙව් මිනිස් ප්‍රජාවටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ප්‍රතිඵල ගත හැකිවීම නිසාය.