Print this Article


හෙළ කලා අඹරෙහි පොසොන් උදානය

හෙළ කලා අඹරෙහි පොසොන් උදානය

අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනෙක එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ලක්දිවට රැගෙන විත් සිරිලක සම්බුදු සසුන වගේම අනභිභවනීය සංස්කෘතික පුනර්ජීවනය රෝපණය කර වදාළ අනුබුදු, මහා මහින්ද මහහරහතන් වහන්සේ අනුස්මරණය පිණිස අප සැරසෙන වකවානුවයි මේ. ලංකාවාසී ජනතාව අතර ඇතිවූ මේ පුදුම ඓශ්චර්යයි. පුදුම වෙනස අද වැනි දිනක යළි යළිත් මෙනෙහි කිරීම, සිංහල බෞද්ධ අපට සිදු කළ හැකි උසස්ම, හොඳම කදිම පොසොන් උදානය වන්නේය.

ශ්‍රී‍්‍ර සම්බුද්ධ සද්ධර්මාලෝකයේ ආභාෂයෙන් ගොඩනැඟුණ නිර්මල සංස්කෘතියකින් හා සභ්‍යත්වයකින් ශික්‍ෂණය ලද ජාතියක් වශයෙන් සිංහල ජන වර්ගය දියත පුරා පතළ වීමට මහනීය සමාජ විපර්යාසයක්, අපූර්වතම බුද්ධි විප්ලවයක් නව්‍ය ප්‍රබෝධයක් ඇතිවීමට මුල් වූයේ මේ ඓතිහාසික මහින්දාගමනය මැයි.

මහින්දාගමනයෙන් මෙරට ඇති වූ සමාජ විපර්යාසයේ සුවිශේෂී පැතිකඩක් වශයෙන් ශ්‍රී‍්‍ර ලාංකික සංස්කෘතියේ කලාත්මක උරුමය පෝෂණය හැඳින්වීමට පිළිවන. එදා අප සතුව තිබූ ප්‍රෞඪ ඉතිහාසයේ අභිමානය, අසිරිය අදටත් නිහඬව කියාපාන අතර රමණීය කලා නිර්මාණ සියල්ල ලොව සෙසු කලාකෘතින් අතර අනභිභවනීයය අද්විතීයය .

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස එවක වැඩ සිටි මිහිඳු ගුහාව ප්‍රමුඛ අට සැට ලෙන් සීඝ්‍රයෙන් වර්ධනය වූ භික්‍ෂු සමාජයට ප්‍රමාණවත් නොවුණ හෙයින් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගෙන ආරාම සංස්කෘතිය ගොඩනැඟෙන්නට වීම මෙහි මූලාරම්භය විය. සම්බුදු පියාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කර ථූපාරාම දාගැබ ඉදිවීමත් සමඟ ආරම්භ වුණු ගෘහ නිර්මාණ කලාව සීඝ්‍ර වර්ධනයකට මුහුණ පෑවේය. පළමු ථූපය මුල් කරගනිමින් මහා විහාරය ඇරැඹීම සිරිලක ආරාමික සංස්කෘතිය ගොඩනැගීමට පදනම වැටීමක් විය. ථූපාරාමය සමඟ සමකාලිනව ගොඩනැඟුණ අම්බස්ථලසෑය. මිහිඳු සෑය ආදිය ථූප සංස්කෘතියේ ප්‍රවර්ධනයට බලපෑවේය. දුටුගැමුණු මහ රජතුමන් ඉදිකළ රුවන්වැලි මහා සෑයෙන් ඇරැඹි මහා ථූප ගොඩනැංවීම නිසා අද ලෝක උරුමයක් බවට පත්ව ඇති ජේතවන ථූපය මෙන්ම අභයගිරි ථූපය ආදිය අපට දායාද විය. අහස සිඹින මේ සුවිසල් දාගැබ් වගේම දාගැබ අවට භූමිය අර්ථපූර්ණ , විචිත්‍ර, නිරාමිස පී‍්‍රතිය ගෙන දෙන වටපිටාවක් බවට පරිවර්තනය කරන්නට එදා මුතුන්මිත්තෝ ක්‍රියා කළහ. පේසා වළලු, ගර්භය, හතරැස් කොටුව දේවතා කොටුව,කොත් කැරැල්ල, කොත, චූඩාමාණික්‍ය ආදි අංගයන්ගෙන් සමන්විත දාගැබ කේන්ද්‍ර කරගෙන ගොඩ නංවන ලද වාහල්කඩ , සලපතල මළුව, පරිවාර චෛත්‍යයන් ,ඇත් පවුර, වැලිමළුව, පියගැට පෙළ,රමණීය නිර්මාණ සමුච්චයකින් සුසැදුණ චෛත්‍යාංගණය ධාර්මික පී‍්‍රතිය ගෙන දෙන තෝතැන්නක් බවට කෙතරම් සංවර්ධනය වූයේද යන්න අදටත් එදා මහාථූපය හෙවත් රුවන්වැලි මහා සෑය ආශි‍්‍රත භූමි භාගයෙන් ගම්‍යවේ. ථූපාරාමය, අම්බස්ථල සෑය, ලංකාරාමය බඳු කුඩා ස්තූපයන්හි ආරක්‍ෂාවට ඉදි වුණූ චේතියඝර ශ්‍රී ලංකාවට අනිත්‍ය වූ නිර්මාණ විශේෂයකි. මෙය සෞන්දර්යාත්මක මුහුණුවරින් වඩාත් හැඩ වැඩ වී වටදාගෙයක් ලෙස පරිවර්තනය වීමේලා අසිරිය කොතරම් ද යන්න ශේෂ වී ඇති මැදිරිගිරිය, පොළොන්නරු ආදි වටදාගෙවල් ආශ්‍රයෙන් මැනැවින් වටහා ගත හැකිය.

භික්‍ෂූන් වහන්සේගේ සුඛ විහරණය අරමුණු කර ගෙන වගේම පූජාර්හ වස්තූන් අරමුණු කරගෙන මෙරට ව්‍යාප්තව ගිය “ඝර’ සංස්කෘතිය ගෘහ නිර්මාණ කලාවේ සංවර්ධනීය පැතිකඩක් විය. දුමින්දාගමනය නිසා දායාද වුණූ ශ්‍රී මහා බෝධිය ආශි‍්‍රතව ඉදිවුණු බෝධිඝරය , පූජනීය වස්තුවක් අරභයා වූ ආසනඝරය , භික්‍ෂූන් වහන්සේලාගේ විනය කර්ම ආදිය සඳහා වූ උපෝසථඝරය, භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා අරභයා ඉදි වූ පධානඝරය, ගිලන් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදි වූ ජන්තාඝරය ප්‍රතිමා වහන්සේලා උදෙසා නිම වූ පටිමාඝරය මේ අතරින් සුවිශේෂි වේ.

ශ්‍රී‍්‍ර ලාංකීය වාස්තු විද්‍යාවේ සෞන්දර්යාත්මක මුහුණුවර ආගමික දෘෂ්ටියෙන් කෙතරම් විචිත්‍රවත් වූයේද? යන්න ප්‍රකට කෙරෙන විශිෂ්ට නිදසුන් අප ඓතිහාසික නටබුන් අතර අපමණය. ගොඩනැගිල්ලක අඩිතාලම එවක කෙතරම් විචිත්‍ර ද යන්න කියාපෑමට නිදසුන් පොළොන්නරුව රාජ වෛශ්‍යාභුජංග මණ්ඩපය , වටදාගේ ආශ්‍රයෙන් හමුවේ. ගොඩනැගිල්ලක ප්‍රධාන පිවිසුම පියටගැට පෙළ කලා රසයෙන් උපලක්‍ෂිත වූ බවට නිදසුන් එමටය. හෙළ කලාකරුවාගේ නිර්මාණශීලිත්වය ප්‍රකට කෙරෙන සදකඩපහණ, මුරගල්,කොරවක්ගල්, පියගැට ආදිය ගොනු වී තැනුණු පියගැට පෙළ අපූරු නිමැවූමකි. අනුරපුර රත්න ප්‍රාසාද ,මුරගල,පොළොන්නරු, වටදාගේ මුරගල, අනුරපුර බිසෝමාළිගයේ සඳකඩ පහණ , ආදිය මේ විචිත්‍රත්වයට කදිම නිදසුන්ය. භික්‍ෂූන් වහන්සේලා ගේ පැන් පහසුව උදෙසා තැනුණු ළිං,පොකුණු පවා රමණීය නිර්මාණ විය.අනුරාධපුර , කුට්ටම්පොකුණ,ඇත්පොකුණ, පොළොන්නරුව නෙළුම් පොකුණ, කුමාර පොකුණ ආදිය මේ අසිරිය මොනවට විදහා පායි.

ගෘහ නිර්මාණ කලාව වගේම සිංහල බෞද්ධ ප්‍රතිමා කලාව කෙතරම් අසිරිමත් කලාවක් වුයේද? යන්නට අනුරාධපුර ,පොළොන්නරු, මහනුවර ආදි යුගවල නිර්මිත සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා කදිම නිදසුන් සපයයි. බෞද්ධ කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණය, නැතිනම් මුඳුන් මල්කඩ සම්බුද්ධ ප්‍රතිමාවයි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් සතන් නිවා පහන් කරවන, භාවමය ප්‍රකාශනයෙන් අනූන, මහා කරුණා ගුණ සමුදාය ගලා හැලෙන අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ,තොලුවිල බුද්ධ ප්‍රතිම වහන්සේ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඇතුළු මාළිගාවිල, පොළොන්නරු ගල් විහාර,වටදාගේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආදිය දේශීය කාල කරුවාගේ නිර්මාණ කෞශල්‍යය ලොවට විවරණය කර දක්වන කදිම නිදසුන් බඳුය. විවෘත ස්ථානවල තැන්පත් කෙරෙණ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අරභයා පසු කලෙක ඉදිවූ කිරිබත් වෙහෙර, ජේතවනාරමාය අසල,ආදි තැන්වලින් හමුවන අනුරාධපුර පිළිම ගෙවල්, ථූපාරම , තිවංක, ලංකාතිලක ආදි පොළොන්නරුව පිළිම ගෙවල්, ලංකාතිලක ,ගඩලාදෙණිය ආදි ගම්පළ යුගයේ පිළිම ගෙවල් දේශීය වාස්තු විද්‍යාවේ නවමු පරිච්ඡේදයක් සටහන් කළේය. සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා හැර දඹේගොඩ, කුෂ්ඨරාජගල ආදි බෝධිසත්ව ප්‍රතිමාද දුටුගැමුණු, දෙවනපෑ තිස්, භාතිය ආදි රජ රූපද පොළොන්නරුව පොත්ගුල් විහාර ප්‍රතිමාව බඳු ප්‍රතිමාද කලා ලොව සරසන්නට අමුණන ලද මුතු ඇට, මිණි කැට බඳුය.

ප්‍රතිමා කලාව වගේම ශ්‍රී‍්‍ර ලාංකේය අනන්‍යතාවය ලොව සනිටුහන් කළ අපේ චිත්‍ර කලාවද මෙහිලා අමතක නොකරම බැරිය.ලෞකික තේමා වුණත් සම්භාව්‍ය, සීගිරි සිතුවම් පෙළ, එසේම බෞද්ධ තේමා විචිත්‍රවත් කළ මිහින්තලේ, මහියංගණ ධාතු ගර්භ චිත්‍ර, හිඳගල, තිවංක පිළිමගේ, විද්‍යාධර ගුහා චිත්‍ර වගේම සිංහල සිත්තම් අර ශෛලිගත සම්ප්‍රදායකට ගොනු කළ උඩරට බිතු සිතුවම් සමුදාය සිරිලක කලා කෙත අස්වද්දනු වස් ඉටුකළ මෙහෙවර සුළුපටු නොවේ.

දුටුවන් නෙත, සිත විශ්මිත කරවන දෘෂ්‍ය කලා නිර්මාණ වගේම සිංහල සාහිත්‍ය වංශ කථාව ශෝභාමත් කළ සාහිත්‍ය නිර්මාණද අපේ සංස්කෘතික අනන්‍යතාවය තහවුරු කරන ශ්‍රේෂ්ඨ නිර්මාණ වේ. නිර්මාණශීලි ප්‍රෞඩ ජාතියක් බවට පත්වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලය නිසාම බැව් යළි යළි මෙනෙහි කරමින් උදම් අනමු.