UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධංගල වන සෙනසුන

බුද්ධංගල වන සෙනසුන

එදා මේ ගල්තලාව කසාවතින් බැබළෙද්දී සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් ගුවන් ගැබ සිසාරා ගියේ ඓතිහාසික උරුමයන්ගෙන් ගහන නමින් බුද්ධංගල තපෝවනයෙහි මහිමය හඬ ගා ලොවට කියන්නාක් මෙන්ය. ඒ මෙයින් ශත වර්ෂ 20 කට පෙර අහිංසක සතා සිවුපාවුන්ට අභය භූමියක්ව, තුරු ලතාවන්ගෙන් ගහණ වූ සිත්කලු බිම් පෙදෙසක්ව, නිර්වාණගාමි මගට පිළිපන් සුසිල්වත් මහණුන්ගේ මන දොළ පිනවන බිමක් වශයෙනි. එය එසේ විය නොහැකි යැයි මෙම පුදබිම දුටු කිසිවකු නොසිතනු ඇත. වීතරාගීන්ගේ සිත් අලවන බිම් පියස කෙලෙස් හරිත වූවන්ගේ හද නොබැඳගන්නා බව බුද්ධ වචනයෙන්ද ප්‍රකාශිතය.

රත්තරන් පාටට රූරා වැටුණු නෑඹුල් අරුණලු ඈතින් ඈතට විහිදුනු වන අරණ අතරින් නැගී සිටි තුමුල ගිරි හිස් නහවමින් සිව් පර්වත පන්තියක් සේ දිස්වන මේ ගිරිකුලු තද බැවුම් සහිත කපොලුවලින් වෙන්ව තිබේ. එසේ හෙයින් වැසි කාලයේ ගල් මතින් ඇදහැළෙන දියදහරාවන් රිදී දිය ඇලි සේ කඩා හැලීම වූ කලී දුන්හිද සිහියට නැගෙනු ඇත. තැන තැන දිය ආරවුල්, දිය කෙම් පිරී ඉතිරෙන වැසි සමය තුළ සිය ගණනක් ඒ සතා සිවුපාවුන්ගෙන් වන අරණෙහිදී කිසිවකුට හිරිහැරයක් නොවීම ඉමහත් අසිරියකි. බුදුගුණ බලයකි. වැසි සමයේ මෙන් වියළි සමයේද සුවදායක සිසිලසකින් යුත් මෙහි ඕනෑම විඩාපත් වූවෙකුට ගතට සිතට ලබා දෙන සැනසිල්ල බුදුගුණයෙන් මුසුවී තිබීම ඉමහත් අසිරියකි. එහි එක් ගිරි හිසෙක සුදෝ සුදු පැහැයෙන් බබළන බුද්ධ ප්‍රමුඛ අගසව් දා නිදහිත චෛතයකි. ඊට මදක් ඔබ්බෙන් ගල් පව්ව මත හුදකලාව වැඩහිඳින බෝ රදුන් දිස් වේ. මනා කොට සැකසුනු බැම්මකින් යුත් මළුවක් ඊට රැකවරණය සපයයි. යෝධ ගල් කුලු අතරින් උතුරට විහිදී යන මව් ගල්තලා රැස මත පෞරාණික ඉදිකිරීම් රැසක නටබුන් ගොන්න අසිරිමත් අතීතයක සොඳුරු යටගියාව කියා පාන්නක් මෙන් නිහඩව සිටී.

එහි වූ උස්ම ගිරි ශිඛරය තරණය කරවුවෙකුට නෙත් මානයේ මැවෙමින් තිබෙන්නේ නෙත් සිත් පිනවාලන අපූරු දර්ශනයකි. මීට වර්ෂ 50 කට පෙර මායා රංජන නම් වූ සහෘද ලේඛකයා දුටු දිගාමඬුලු අසිරියෙන් ඉතිරිව ඇත්තේ නම් මෙම වන අරණෙහි බව එහි ගිය විට සිතනු නිසැකය. පසුබිමින් හරිත තුරුපත් අතරින් මුලු ගල්ඔය මිටියාවත එකට කැටි වී ඇත. ඈත දකුණින් කල්මුන සමන්තූර ඔබ්බට දිවෙන ක්ෂිතිජය වේ.

ක්ෂිතිජය දක්වා හෙළ රජ දරුවන් විසින් අමුණු කෝටියක් පමණ වපසරිය වගා කළ ඒ සරුසාර කෙත් බිම අපේ නරවිරුවන්ගේ දස්කම් විස්කම් මොනවට විදහා දක්වයි.

උතුරු දෙසට වන්නට ගල්ඔය ව්‍යාපාරයෙන් ජනාවාස වූ ජනපද ද ඉන් ඔබ්බෙහි රාස්සහෙළ කඳුවැටිය දක්වා විහිදී යයි. හෙළයේ අසිරිමත් හැදියාවට මුල පිරූ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ධාතු නිදන් කොට ඉදිකළ අතීත ගිරිකුම්හිල වෙහෙර සහිත රජගලද පියංගල, සමංගල වැනි වන අරණයන් වේ. දකුණු දෙසින් සම්බුදු සිරිපා පහසින් සුපිරිසුදු වූ ඓතිහාසින දීඝවාපී සෑ රදුන් වහන්සේ ය. බටහිරින් ඉගිනියාගල, වඩිනාගල හා ගෝවින්ද පබ්බතය පෙනේ. අතීතයේ පොළොන්නරුවේ සිටි ආක්‍රමණික කාලිංග මාඝට රුහුණු රාජ්‍යයට ඇතුල්වීමට නොදෙන ආරක්ෂක බලකොටුව වූයේ එයයි. එහි බුවනෙකබාහු නම් ඈපාණ කෙනෙකුන් වූ බව වංශ කථාකරු කියයි.

දිගාමඩුලු අසිරියෙහි යුග කීපයක් දැකුමට යායුතු එකම ස්ථානය නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. ලංකා සිතියමේ පෙරදිගරට අම්පාර නම් දිසාවෙහි (දිගාමඩුලු දිස්ත්‍රික්කයේ) වැව්ගම්පත්තුව උතුරුප්‍රාදේශීය ආදායම් කොට්ඨාසයෙහි අම්පාර වසමේ අක්කර දහස් ගණනක් පුරා වනරජ දහනකින් ගිරිශිඛරයන් සහිත යෝගාවචරයින්ගේ ක්ෂේම භූමියක් වූවකි. එහි ළඟා විය හැක්කේ අම්පාර පොදු සුසාන භූ®මිය මැදින් දිවෙන කෙටි කාපට් පාරකිනි.

මෙවන් පුණ්‍යභූමියක් කරා දිවෙන කාගේ වුවද ගත සිත බුද්ධාලම්භන පී‍්‍රතියෙන් නැහැවෙනු නිසැකැය. ඒ එහි ඇති පෞරාණිකත්වය හා පූජනීයත්වය නිසාවෙනි. මෙම වන අරණ ක්‍රි. පූ. 2 – 3 සියවස්වලට අයත් වූ ඛීණාශ්‍රවයන් වහන්සේලා සිය ගණනින් වැඩසිටි සෙනසුනකි. අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ තම ජාතභූමිය වූ වේදිසාවේ සාංචි ස්තූපයෙහි තැන්පත් ශාරිපුත්‍ර- මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක ධාතූ®න් වහන්සේලා වඩමවා සර්වඥ ධාතුන් වහන්සේලා සමඟ එකම රන් කරඬුවක තැන්පත් කරවමින් මෙහි වටදාගෙයක තැන්පත් කරවූ බව පුරාවිද්‍යා මතයයි. ගිරිතුම්හිල විහාරයේ අභිලේඛනගත ශාක්ෂිය හා චිත්‍රා ලෙන යැයි නම් ලත් මෙම අරණෙහි ප්‍රධාන ගල් ලෙනෙහි වූ ශිලා ලිපිය එහිලා සාධක වන බව පුරාවිද්‍යා චක්‍රවර්ති ගරු එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

උසින් අඟල් හතරක් පමණ රන් කරඬුවෙන් නෙළුම් මල් තුනකි. උස් නෙළුම් මලෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමකි. දකුණු පසෙන් නෙළුම් මලෙහි පාත්‍රයෙහි ශාරිපුත්ත මහරහතන් වහන්සේගේද වම් පසින් කුඩාම නෙළුම් මලෙහි මුගලන් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ සිටිති. එම ධාතු සහිත පාත්‍ර වැසීමට විධානයන් තුනක්ද එහි බෝපත්‍රවල ශාරිපුත්ත – මහා මොගලන යැයි ක්‍රි. පූ.1.2 ශතවර්ෂයට අයත් අක්ෂර වෙයි. මියදෙන්න දෙසතියකට පෙර පුරාවිද්‍යා මහැදුරූ සෙනරත් පරණවිතාරණයන් උක්ත පාඨය පිණිස මෙහි මොනවට සාක්ෂි දරයි.

මෙවන් නිර්මාණාත්මක කලාත්මක වූ කරඬුවක් බුද්ධ ප්‍රමුඛ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමඟ ලංකාවේ කිසිතැනකින් හමු නොවූ බව පුරා විද්‍යා සක්විති තිරාණගම රතනසාර හිමියෝද අග්නිදිග ආසියාවෙන්ම හමු නොවූ බව පුරාවිද්‍යා සක්විති එල්ලාවල මේධානන්ද නාහිමියෝ, මහැදුරු ඉඳුරුවේ උත්තරානන්ද හිමියෝ, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්නයෝ කියති.

මෙම පුදබිම පුරා විහිදා ඇති පෞරාණික වස්තූ®න් තුළින් අපේ උරුමය මොනවට කියාපායි. අනුරාධපුර යුගයෙහිලා සඳකඩපහන්, මලසුන්, කොරවක් ගල් අභිලේඛණ සහිත ගල් ලෙන්, කොත් කැරලි, නිදන් වස්තූ, ඉපැරණි පොකුණු ශිලාමය නිර්මාණයන් තුළින් එදා නික්ලේෂි මහරහතුන්ගේ සිය ගණනින්, බැතිබර උවසු උවැසියෝ දහස් ගණනින් මෙම බුද්ධ ප්‍රමුඛ අගසව් ධාතු සහිත බුද්ධංගල බුදුගෙය වන්දනා කරන්නට ඇද්දැයි එහි ලඟාවූවන්ට මැවී පෙනෙනු නියතය.

ගල්ඔය ව්‍යාපාරය යටතේ ඓතිහාසික දිගාමඩුල්ල අම්පාර දිස්ත්‍රික්කය වශයෙන් එළි පෙහෙළිවත්ම වනවැදී සැඟවී සිටි බුද්ධංගල වන සෙනසුන එකලු කළ, බුදුගුණ රැස් පැතිර දන හදට සමීපකරන පහන් ටැඹක් බවට පත්කරනු ලැබුවේ කලුතර ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ හා බටයායේ අරියවංශ හිමිපාණන් වහන්සේය. උන්වහන්සේලා පිළිබඳ මා සිත්හි ඇත්තේ බුද්ධංගල වසාගෙන නැගෙන මනුෂ්‍යත්වය අබිබවා දේවත්වයට පත් අසිරිමත් පුද්ගලයන් දෙදෙනෙකුගේ පිළිබඳ වූ ප්‍රතිරූපයකි.

1964 වර්ෂයේ දඩමස් වේලන්නන්ගේ කෙම් භූමියක්ව පැවති මගක් තොටක් නොමැතිව ජලය බිඳක්වත් නොමැති රූක්ෂ තුරු ලතාවන්ගෙන් යුත් මෙම වන දහනේ සතා සිව්පාවන්ගෙන් කිසිදු හිංසාවකින් තොරව එක වේලක් පමණ දන් වළඳමින් සැතපුම් හතරක් පහක් ජලය හා පිණ්ඩපාතේ සඳහා වඩිමින් ආදි කර්තෘභූත හිමිවරුන් විඳී නේක හිරිහැර වෙනම ඉතිහාස කතාවක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වටී. බුද්ධංගල නාහිමියන් ප්‍රදේශයේ සිංහල අසිංහල බලධාරීන් සමඟ ගැටී ඔවුන්ගේ සහාය ලබා ගෙන බුද්ධංගල ගොඩනැඟු අයුරු බුදුපුතකුගේ අප්‍රතිහත ධෛර්යය ගැන කියවන බණ කතාවක නොමැති කථාවක් වැනිය. මෙම වන අරණෙහි බුදු ගුණ රැස් දහරින් නැහැවුණු හදවත් වලට ලැබුණු නිර්මල ධර්මාවවාදයක් අමා වැස්සක් සේ අදට වයෝවෘද්ධ උවසු උවැසියන් දහස් ගණනකගේ ධර්ම පිපාසය සංසිදුවයි. මග නොදැන අයාලේ යමින් ආමිසත්වයට ලොල් වූ ජනපදවැසි හුදී ජනයාට ධර්ම මාර්ගය කුමක්දැයි හෙළිකරදීම බුද්ධංගලින් සිදු වූ ප්‍රධාන කාර්යකි. ආගමික වශයෙන් පමණකුදු නොව දිගාමඩුල්ල තුළ යම් කිසි සිංහල ප්‍රබෝධයක් වේ නම් එහිලා බුද්ධංගල නාහිමියන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන වග කිවයුතු නොවේ. 1972 වර්ෂයේ දී වත්මන් චෛත්‍ය ඉදිකිරීම පිණිස පුරාණ වටදාගෙය කැණීම් සිදු කරද්දී ඉහතකී දා කරඬුව හමු වීම බුද්ධංගල නවෝදයේ ප්‍රධානතම සාධකය විය. එතෙක් මෙතෙක් කොතෙක් ත්‍රස්තවාදී උවදුරු අගහිඟකම් තිබුණ ද දිඟාමඩුලු පුරවරයේ බෞද්ධ ආගමික ප්‍රධාන පුන්‍ය මහෝත්සවයක් වශයෙන් වාර්ෂික පොසොන් මහා පින්කම සිදු කරනු ලැබේ.

බුද්ධංගල නිර්මාතෘවර අප ලොකු ස්වාමීන් වහන්සේ දැනට දෙමසකට පෙර අපවත් වී වදාළ, උන් වහන්සේගේ සුවච කීකරු සිසු දරුවන් හා කෘතවේදී දායක පිරිස වශයෙන් ආරම්භ කළ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා සැමගේ සහයෝගය අත්‍යවශ්‍යය.

අති ගරු වර්තමාන සේනාධිපතින් වහන්සේ ද බොදුනුවන්ගේ බැතිබර හදවත් ප්‍රබෝධ කර ධර්ම මාර්ගයට අනුගත කරවීම පිණිස ධාතු ගර්භය අසළ දර්ශනීය ධාතු මණ්ඩපයක් කරවා ඒ මතට ධාතු ගර්භයෙන් ධාතු කරඬුව වැඩමවා ප්‍රදර්ශනය කරවීම දිගාමඩුල්ලට පමණක් නොව මුලු දෙරණටම බුදු ගුණ රැස් දහරින් නැහැවීමට හේතුවනු නියතය. මෙවරද ජූනි මස 12, 13, 14 යන තෙදින තුළ සුපුරුදු පරිදි ඒ අග්‍රගණ්‍ය දැකීමට දුෂ්කර වූ බුද්ධ ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට ද එයට සමගාමීව ශීල, භාවනා, ධර්ම දේශනා, දන්සැල්, පරිත්‍රාණ ධර්ම දේශනා ද පැවැත්වෙයි. මේ තුළින් ශ්‍රීමත් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට , ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් බලකායට, රට වැසියන්ට සැනසිල්ල සෞභාග්‍ය පැතීමත් ලෝ සසුන් සුරකින දෙවියන්ට මියගිය දායක කාරකාදීනට පුණ්‍යානුමෝදනා කිරීම කරනු ලැබේ.

සේනාසනාධිපතීන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යෙන්, රාජ්‍යානුග්‍රහයෙන්, සැදැහැවතුන්ගේ නොමසුරු ආධාර උපකාරිත්වයෙන් ආරණ්‍ය සාධක සමිතිය මගින් පොසොන් මහා පින්කම සිද්ධ කිරීමට අපේ්ක්ෂා කරයි. ඒ තුළින් ජනයාගේ බුදු බැතිය වර්ධනය වී ධර්මයෙන් සැනසීමට පත්වන්නේ නම් අපගේ ප්‍රයත්නය මල් ඵල ගැන්වෙනු ඇත.

ජීවිතය වූ කලී කාව්‍යයක් නොවන බව සැබෑය. එහෙත් එහි නොසියුම් පදවැල් අතරින් මතුවන රිද්ම රටා පහන් වූ සිත් පත්ලේ වචනයෙන් නැගිය නොහැකි සොඳුරු සංවේදයකින් මැවෙයි. ඒ සංවේදය ඔබ ගතින් සිතින් විඳ දරා ලන්නට නම් මෙවන් පුදබිම් නෙතින් ස්පර්ශ කළ යුතුය. එයින් උපන් පහන් සංවේගය ඔබගේ ජීවිත ගමන් එක්තරා අයුරකින් පුනරාවලෝකනය කරනු ලබන කාව්‍යයක්, ආදර්ශයක් කර ගැනීමට සුදුසු තම අවස්ථාවයි මේ උදාවන්නේ . එයින් ඔබට දිවි ගමනේ සදොස් තැන් නිදොස් කරගෙන සුසීලත්වයේ සංකේතයක්ව ධර්මය සයුරෙහි ජීවිතය නමැති නෞකාවෙන් විමුක්ති සුවය නම් පරම ක්ෂේම භූමියට ළඟා වීමට මෙම අසිරිමත් අගසව් දා සිරි සර්වඥ ධාතූ ප්‍රදර්ශනය ඉවහල් කර ගනිමු. එයින් ජීවිතය එක්තරා දුරකට සොඳුරු කාව්‍යයක් කර ගනිමු.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]