UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 40

පින්වතුනේ, ජීවිතයකට උදාවන වාසනාව කියන්නේ හරිම පුදුම දෙයක්. ඒක බැලූ බැල්මට සොයාගන්න බැහැ. ඇතැම්විට කෙනෙකුගේ වාසනාව මතුවෙන්නට විශාල කාලයක් ගතවෙනවා. ඒතාක්ම ඔහුට සිතෙන්නේ තමන් මහා අවාසනාවන්තයෙක් කියලයි. සැබෑවටම සිදුවන්නේ ඒක නොවෙයි. කෙනෙකුට වාසනාව තිබුණත් එය මතුවෙන්නට කල් යන්ට පුළුවනි. එතෙක් ඔහු කළයුත්තේ ඉවසීම පෙරටු කරගෙන කටයුතු කිරීමයි. (ඛන්තී පරමං තපෝ තිතික්ඛා) ‘ඉවසීම තමා උතුම්ම තපස’ කියලයි සම්බුදු රජාණන් වහන්සේලා වදාළේ.

තමන් තුළ තිබූ වාසනාව සොයාගත නො හැකිව කලබල වී මහා කරදර ගොඩක පැටලෙන්නට ගොස් අවසානයේ උතුම් වූ මහරහතන් වහන්සේ නමක් බවට පත්වූ ‘සප්පදාස රහතන් වහන්සේගේ’ අපූරු සිදුවීම තමා අද අප ඉගෙන ගන්නේ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගයේ කපිලවස්ථුවේ සුද්ධෝධන මහරජුගේ පුරෝහිත බමුණාට පුත් කුමාරයෙක් ලැබුණා. සැප සම්පත් මැද හැදී වැඩුණ මේ කුමාරයා නිතර නිතර භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළා. ජීවිතයේ ඇති නිසරු බවත්, සංසාරයේ ඇති බියජනක බවත් මොහුට හොඳට තේරුණා. දෙමව්පියන්ගෙන් ඉතාම අපහසුවෙන් අවසර අරගෙන සියලු දේපළ අතැහර බුදුසසුනේ පැවිදි වුණා. පැවිදි වුණ දා සිටම මොහු ඉතා හොඳින් සිල්පද ආරක්ෂා කළා. ඈත සෙනසුන්වලත් වැඩ වාසය කළා. නොයෙක් භික්ෂූන් වහන්සේලා මුණ ගැසී වීරිය ඇතිවීම පිණිස උපදෙස් ලබා ගත්තා.

සාමාන්‍යයෙන් වස් කාලයක් පැමිණෙද්දී බොහෝ භික්ෂූන්ගේ බලාපෙරොත්තුව වී තිබුණේ ඒ වස් තුන් මාසය තුළ ඉතාම හොඳින් බණ භාවනා කොට අරහත්වයට පත්වීමටයි. ඉතින් ඒ විදියටම මේ ස්වාමින් වහන්සේත් සෑම වස් කාලයකම ආරම්භක දවසේම අධිෂ්ඨාන කරගත්තේ වස් අවසන් වීමට පෙර නිකෙලෙස් වීමට යි.

ඉතින් මේ ස්වාමින් වහන්සේ හිමිදිරි උදෑසනම නැගිටිනවා. බුද්ධානුස්සතියේ යෙදෙනවා. මෙත් සිත වඩනවා. තමන්ගේ සීලය ආවර්ජනය කරනවා. මරණ සතියත් වඩනවා. දවස පුරාම භාවනාවෙන් ඉන්නේ හරිම කැමැත්තෙන්. හැබැයි මේ සිත එක මොහොතකටවත් සංසිඳුවා ගන්නට උන්වහන්සේට බැරිවුණා. කොතරම් වීරියක් ගත්තත් භාවනා අරමුණක සිත රඳවා ගන්නට බැරුව ගියා. මේ නො දැමුණු සිත නිසා උන්වහන්සේ විශාල වෙහෙසකට පත්වුණා.

’මම මේ මොනවද හිතන්නේ? මේ හිත හරිම චංචලයි. මේ මගේ සිතේ සිතිවිලි වෙන කෙනෙක් හඳුනා ගත්තොත් මට ජීවත්වෙලා පලක් නැහැ. මං මේ මහණ වුණේ මොනතරම් ආසාවකින් ද? දැන් මහණවෙලා අවුරුදු ගණනාවක් ගතවුණා. මොහොතක්වත් මේ සිතට සමාධි සුවයක් නැහැ නෙව. අනේ මම මොනතරම් අවාසනාවන්තයෙක් ද? මම මහණවුණේ ලෝකනාථ වූ සර්වඥයන් වහන්සේ ළඟයි. මම ඇසුරු කළේ නිකෙලෙස් මහරහතන් වහන්සේලා. මම ඇසුවේ චතුරාර්ය සත්‍යය යි. මට පුරුදු කරගන්නට ඕන වුණේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. ඒත් මේ ජරා සිත... කෙලෙස් සමඟ පැටලෙන්නේ කුණු මඩක් දැක්කාම ඒකේ බහින මී හරකෙක් වගෙයි’.

උන්වහ්නසේ නිතර නිතර හඬමින් මේ විදියට පසුතැවුණා. හිතට කිසිම සැනසිල්ලක් නැහැ. වස් කාල ගෙවි ගෙවී අවුරුදු විස්සකුත් ඉක්ම ගියා. කොයිතරම් සිත පීඩාවට පත්වුණත් උන්වහන්සේ කල්පනා කළා.

’මට සමාධියක් නැති වුණාට මම කොහොමද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සැක කරන්නේ? ඒ ධර්මය ඒකාන්තයෙන්ම කෙනෙක්ට නිකෙලෙස් භාවයට පමුණුවනවා. මගේ සිත කෙලෙසී ගිය පමණින් මම කොහොමද ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය සැක කරන්නේ? මම ඉදිරියේම නොයෙකුත් සමවත්වලට සම වදින රහතන් වහන්සේලා ජීවමානව සිටිද්දී මම කොහොමද ආර්ය සංඝරත්නය සැක කරන්නේ? මම මේ පැවිද්ද අතහැරියොත් මට සිද්ධවෙන්නේ ගිහි ගෙදරට වැටෙන්ටයි. අඹුදරුවන්ගේ අඬහැරියාව මැද්දේ මට ඉන්නට වෙන්නේ පිස්සෙක් වගේ. මම කොහොමද එහෙම ජීවත්වෙලා ගිහියෙක් හැටියට මැරෙන්නේ? කිසිසේත්ම මට ඒක කරන්න බැහැ. මම මේ ජීවිතය ධර්මය වෙනුවෙන් පූජා කරනවා. මට වෙන දෙයක් ඕන නැහැ’.

ටික කලකින් උන්වහන්සේට සියල්ල එපා වුණා. මේ අතරේ දිනක් විෂඝෝර සර්පයෙක් ජේතවනාරාමයේ කුටියකට රිංගා ගත්තා. භික්ෂූන් වහන්සේලාව මේ නයාව අල්ලාගෙන කළයකට දැම්මා. මේක දැකපු අර ස්වාමින් වහන්සේ ඒ භික්ෂූන්ගෙන් ඇහුවා.

’පින්වත් ආයුෂ්මතුන් වහන්ස, ඔය මොකක්ද?

’පි‍්‍රය ආයුෂ්මතුනි, මේක ඇතුළේ ඉන්නේ විෂෂෝර සර්පයෙක්! දෂ්ඨ කළොත් එතැනම මිය ඇදෙනවා’

ඉතින් ඒ භික්ෂූන්ගෙන් කළය ඉල්ලාගෙන ඌව අතහැරීම පිණිස වනයට ගියා. ‘මෙතරම් ඉක්මනට හැම දේම කම්මුතු කරගන්නට ඇත්නම් හරිම අගෙයි. එහෙනම් එක දෙයයි කරන්නට තියෙන්නේ’ කියල හිතල කළයට අතදාල ඒ සර්පයා ලවා දෂ්ඨ කරවා ගන්නට නොයෙක් දේවල් කළා. හරිම පුදුමයි ඒ සර්පයා දෂ්ඨ කළේ නැහැ. ඉතින් යළිත් වෙහෙරට පැමිණ උන්වහන්සේ අර භික්ෂූන්ට මෙහෙම කිව්වා.

ඔබ වහන්සේලා භයවෙලා තියෙන්නේ ගැරඬි තඩියෙකුට නොවැ. මහා ලොකුවට විෂඝෝර සර්පයෙක් කියලා ඌ දෂ්ඨ කරනවා නම් මම කරපු දේවල් හොඳමට ඇති’

’ඔබවහන්සේ මොකක්ද කළේ?’

’මම කළය ඇතුලට අත දැම්මා. සෙලෙව්වා. උගේ ඇඟෙන් අල්ලාගෙන කැලම්බුවා. ඔළුව තද කළා. කට මිරිකුවා. අනේ කිසිවගක් නැතුව ඌ හිටියේ’.

මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේටත් සැලවුණා. ඒ විෂඝෝර සර්පයා මේ භික්ෂුවට දෂ්ඨ නො කළේ මීට ආත්මභාව තුනකට කලින් ඔය සර්පය මේ භික්ෂුවගේ දාසයාව සිටි නිසයි. ඒ ස්වාමි භක්තියටයි ඌ දෂ්ඨ නො කළේ’ උන්වහන්සේ වදාළා. එදා පටන් මේ ස්වාමින් වහන්සේට අලුත් නමක් ලැබුණා ‘සප්පදාස’ ලෙස.

දිනක් සප්පදාස හිමියන් කෙස් බෑම පිණිස දැලිපිහිය අතට ගනිද්දී පුදුම විදිහට හිත වෙනස් වුණා. දැඩි තීරණයක් ගත්තා. කුටියේ දොර වහලා ඇඳ මත. වාඩිවුණා. සතර සතිපට්ඨානයේ හොඳින් හිත පිහිටුවාගෙන දැලිපිහිය බෙල්ලට තිබ්බා. උන්වහන්සේගේ අරමුණ වුණේ බෙල්ලේ නහර කපා ගැනීමයි. නමුත් හරිම පුදුමයි. සතර සතිපට්ඨානයේ සිත හොඳින් පිහිටියා. සිතේ දුක් තැවුල් සැනෙකින් අතුරුදන් වී ගියා. හොඳට විදර්ශනාව වැඩුණා. උන්වහන්සේ දැලිපිහිය පසෙකින් තබා ඒ වැඩෙන සමථ, විදර්ශනාවට සිත පිහිටුවාගෙන සිටියා. වේගයෙන් ගලා බසින ජලපහරකට වැටුණ දෙයක් නොනැවතී සයුර බලා යන්නා සේ උන්වහන්සේගේ සිත නො නැවතී නිවන කරාම ගියා. රහතන් වහන්සේ නමනක් බවට පත්වුණා.

අරහත්නයට පත්වූ කෙනෙක් විඳින්නේ මේ ලෝකයේ තිබෙන උතුම්ම සැපය යි. ඒ අමාමහ නිවන් සැපය යි. සප්පාදාස මහරහතන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳින සිතින් මේ සොඳුරු ගාථාවන් ප්‍රකාශ කොට වදාළා.

පණ්ණවීසති වස්සානි – යතෝ පබ්බජිතෝ අහං
අච්ජ්රාසංඝාත මත්තම්පි - චේතෝ සන්තිං අනජ්ත්ධගං

මම මහණ වෙලා අවුරුදු 25 ක් ම ගෙවිලා ගියා. ඇසුරු සැණක් පමණ කාලයක්වත් සිතේ සමාධියක් ඇතිකර ගන්නට මට බැරිවුණා.

අලද්ධා චිත්තස්සේ තග්ගං - කාමරාගෙන අද්දිතෝ
මාහා පග්ගය්හ කත්දන්තෝ - විහාරානුපතික්ධම්මං

මම හිතේ ඇතිවන කාමරාගයෙන් හරියට පීඩා වින්ඳා. සිතේ එකඟ බවක් ඇතිවුණේ නැහැ. අන්තිමේදී හඬා වැලපෙමින් හිසේ අත්බැඳගෙන වෙහෙරින් වෙහෙරට ගියා.

සත්ථං මා ආහරිස්සාමි - හෝ අත්ථෙ ජීවිතේන මේ
ථං හි සික්ඛං පතථං- කාලං කූබ්බේථවාදිසෝ

ආයුධයක් අරගෙන හරි මම දිවි නසා ගන්නවා. මේ ජීවිතයේ දී ඇති ඵලය මොකක්ද? ශ්‍රද්ධාවෙන් පැවිදිවුණ මම වගේ කෙනෙක් මේ උතුම් ජීවිතය අත්හැර දාලා ගිහියෙක් වශයෙන් මැරෙන්නේ කොහොමද?

තදාහං ධුරමාදාය - මඤ්චකම්භි උපාවිසිං
පරිනීතෝ චුරෝ ආදී – ධමනිං ජෙත්තමත්තනෝ

ඉතිං මම දැලිපිහිය අතට ගෙන ඇඳෙ වාඩිවුණා. බෙල්ලේ නහර කපා දමන්නට සිතට ගත්තා. දැලි පිහිය බෙල්ලට තැබුවා.

තතෝ මේ මනසිකාරෝ - යෝනිසෝ උදපජ්ජ
ආදිනමෝ පාතුරහු - නිබ්බිදා සමතිට්ඨාති

ඒ තුළින් මට යෝනිසෝ මනසිකාරය ඇතිවුණා. මේ කෙලෙස්වල ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීම තුළ සිත පිහිටියා.

තතෝ චිත්තං විමුච්චි මේ – පස්සධම්ම සුධම්මතං
නිස්සෝ විජ්ජා අනුප්පත්තා - කතං බුද්ධස්ස සාසනං

ඒ තුළින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සමිඳුන්ගේ සසුන සම්පූර්ණ කළා.

පෙර කාශ්‍යප බුදු සසුනේ පැවිදි වූ යහළුවෝ දෙදෙනෙකුගෙන් එක් කෙනෙක් වුණේ මේ සප්පදාස භික්ෂුවයි. තමන්ගේ යහළු භික්ෂුවගේ ශ්‍රමණ පිරිකර දැක ඒවාට ආශාවෙන් ගිහි ජීවිතය වර්ණනා කළා. ඒ තුළින් යහළු භික්ෂුව තුළ බලවත් අරතියක් ඇතිවුණා. නමුත් ඒ භික්ෂුව ගුරුවරුන්ගේ උපදෙස් ලබා ඒ බුදු සසුනේ අරහත්යට පත්වුණා. එදා තමන්ගේ යහළුවාට ඇතිකළ වෙහෙස තමා අවුරුදු 25 ක් පුරාවටම විපාක වශයෙන් යුත් පීඩා උපදෙස් දුන්නේ. මේ අතීත පුවත සප්පදාස මහරහතන් වහන්සේ තම අරහත්වය ගැන භාග්‍යවතුන් වහන්සේ හමුවේ පැවසූ මොහාතේ සියල්ලෙන්ගේ ම යහපත පිණිස ශාස්තෘන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා.

කෙලෙස්වලින් දැඩි පීඩා විඳිමින් විසිපස් අවුරුද්දක්ම යුද්ධ කොට සප්පදාස මහරතන් වහන්සේ ඒ දුෂ්කර කෙලෙස් යුද්ධය ජය ගත්තා. කොතරම් අසිරිමත් ද? අපත් ඒ නිකෙලෙස් උතුමන් ප්‍රමුඛ වූ ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවා ගනිමු.


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 39 වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ

 

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]