Print this Article


දෙවියන්ගෙන් ආරාධනා ලැබූ උපාසක තුමා

දෙවියන්ගෙන් ආරාධනා ලැබූ උපාසක තුමා

එදිනෙදා ජීවිතයේ දී අපට විවිධ අයුරින් ආරාධනා ලැබෙනු ඇත. ඒවා බොහෝදුරට මනුෂ්‍ය ජීවිත ගත කිරීමේ දී අපට දක්නට පෙනෙන්නට තිබෙන මේ මනුෂ්‍ය ලෝකය තුළම ඒවාය. ගිහි ජීවිතය ගත් කල්හි විවිධ උත්සව සඳහා ආරාධනා ලැබෙනු ඇත. පැවිදි පක්‍ෂය ගත් කල්හි ධනට, බණට, පාංශුකූ®ලයට, පිරිතට මේ ආදී වශයෙන් ආරාධනා ලැබෙනු ඇත. එම ආරාධනා එදිනෙදා මනුෂ්‍ය ජීවිතය හා යාවජීව සබැඳී ක්‍රියාවලියෝය.

ජීවිතය අවසන් කර එය අත් හැරීමේදී මාරයාගෙන් ද ආරාධනා ලැබෙනු ඇත. බුදු රදුන්ට එලෙස මාරයා ආරාධනා කළ අවස්ථා බුද්ධ චරිතය තුළ හසු වේ. තවද ශ්‍රාවක චරිත තුළද ඒ සම්බන්ධව කරුණු කාරණා තහවුරු වේ.

අප ජීවත් වෙලා ඉද්දීම ඊළඟ භවය අපට උරුමව පවතී. අප කවදා හෝ දිනක මේ ජීවිතය අත්හැර යා යුතුය. එවිට තවත් ආත්ම භවයක අප හට ගන්නවා ඇත. එය පුනර්භවය නමින් බුදු දහම තුළ විග්‍රහ වේ. නමුදු ඊළඟ ආත්ම භාවය කුමන අයුරින් සැකසෙන්නේද යන්න නිශ්චිතව කීමට අපහසුය. එය කුසලාකුසල කර්ම තුළින්ම නිර්ණය වේ. චුති චිත්තයට අනුවද ඊළඟ භවය නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. කෙසේ නමුදු අප නිරතුරු සිදු කරන්නේ කුසල කර්ම නම් ඊළඟ භවය සුගතිගාමී වීමේ ප්‍රවණතාවය වැඩිය. එවිට ඊළඟ භවය ගැන බිය වීමට අවශ්‍ය නැත. නිරතුරු පින්දහම් කරන අයට ලැබෙන ආරාධනා ද ඉතා බලගතුය. එවැනි උසස් ආරාධනාවක් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ උපාසක තුමෙක් පිළිබඳ ධම්ම පද විවරණය තුළින් පැහැදිලි වේ.

බුදුන් දවස සැවැත් නුවර ධම්මික නමින් උපාසක තුමෙක් විසීය. මොහුට දියණිවරු හත් දෙනෙක් හා පුතණුවරු හත් දෙනෙක් වූහ. මොහු ඉතා ශ්‍රද්ධාවන්තය. තුණුරුවන්ට නිතර පුදසත්කාර කරන්නේ ය. ස්වාමි දියණිය ද, දූදරුවන් ද ඒ ආකාරයෙන්ම පිනට දහමට ලැදිය. මෙම ධම්මික උපාසකතුමාවයසට පැමිණි කල පින් දහම් ස්වශක්තියෙන් කර ගැනීමට අපහසු විය. බොහෝ වයෝවෘද්ධව තරමක් රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින ධම්මික උපාසකතුමා දූවරුන්ට තමනට සතිපට්ඨාන සූත්‍රය භික්‍ෂූන් ලවා ඇසීමට අවශ්‍ය බව මතක් කිරීමෙන් දූදරුවෝ එම යුතුකම ඉටු කළහ. භික්‍ෂූන් වහන්සේලා දහසය නමක් නිවසට වඩම්මවා සතිපට්ඨාන සූත්‍රය ඇසීමට සැලැස්වීය. එම දේශනාව ශ්‍රවණය කරන අවස්ථාවේදී ධම්මික උපාසකතුමා “ටිකක් නවතින්න, ටිකක් නවතින්න” යැයි ප්‍රකාශ කරන ලදී. පසුව භික්‍ෂූන් වහන්සේලා පිරිත් දේශනා කළා ප්‍රමාණවත්යැයි සිතා පිරිත නවතා විහාරයට වැඩම කළහ. පසුව මෙම පුවත බුදුරදුන්ටද දැන්වීය. එවිට බුදු රදුන් එම ප්‍රකාශය දෙවියන්ට කළ එකක් බවත් එසේ පැවසුවේ සියලු දිව්‍යලෝක වලින් ධම්මික උපාසක තුමාට “අපේ දිව්‍යලෝකයට එන්න” “අපේ දිව්‍ය ලෝකයට එන්න” ආදී වශයෙන් ආරාධනා ලැබීමෙන් බවත් බුදු රදුන් පැහැදිලි කර දුන්හ.

ඒ අනුව පැහැදිලි වන්නේ පින් කිරීමේදී ඇති ආනිශංසය නොවේද? එය සාංදෘෂ්ඨිත වශයෙන් විපාක දෙනු ඇත. ධම්මික උපාසක තුමාද ජීවත්ව සිටියදී නිරතුරුවම පින්දහම් සිදු කළේය. පවුල් ජීවිතයද යහපත්ව පවත්වාගෙන ගිය අතර තම යුතුකම් කොටසද නිසියාකාරව ඉටු කළේය. එහි ප්‍රතිඵලය වූයේ මිය යන්නට ආසන්න මොහොතේ දී දිව්‍ය ලෝක වලින් ආරාධනා ලැබීමය. සෝවාන් වී සිටි ධම්මික උපාසකතුමා මිය පරලොව ගොස් තුසිත දිව්‍ය ලෝකයෙහි පහළ විය.

මෙම කතා පුවත පින් නොකරන, පිනෙහි වටිනාකම නොදන්න අයට හොඳ ආදර්ශමත් කතා පුවතකි. බුදු හිමි පින් කරන අයගේ වටිනාකම එම කතා පුවතට අළලා තවත් විස්තර කර දෙන අයුරු ඉතා මනරම්ය.

ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සො පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ

ධම්ම පදයේ පළමු වග්ගය වූ යමක වග්ගයේ 16 වෙනි ගාථාව තුළින් බුදු හිමි මෙම ගාථාව දේශනා කොට ඇත. එනම් “පින්කල තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි.” හේ තමාගේ ශුද්ධ කර්මය දැක සතුටු වෙයි. වැඩි වැඩියෙන් සතුටු වෙයි.” මෙතනදී පින් යනුවෙන් දක්වා ඇත්තේ දස පුණ්‍ය ක්‍රියාය. එනම්,

දානං සීලං ච භාවනා
පත්ති පත්තානු මෝදනා
වෙය්‍යා වච්ච පචායන්ති
දේශනා සුති දිටඨජු

දාන, ශීල, භාවනා, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම, සම්‍යග් දෘෂ්ඨිය. මේ ආදී වශයෙන් පින්කම් දහයක් පිළිබඳ එම ගාථාව තුළින් බුදු හිමි පෙන්වා දී ඇත.

මෙම පින්කම් නිරන්තරයෙන් සිදු වුවද ඒවා නිසියාකාරව සිදු නොවනු ඇත. එයට හේතුව මනස ඒ සඳහා හරියාකාරව නොයෙදීමයි. මනස සියල්ලටම සම්බන්ධ වන බැවින් පින්කම් සඳහා ද මනස ප්‍රමුඛස්ථානය වේ. සිතේ පවතින ලෝභ, දෝෂ, මෝහාදී කෙලෙස් ධර්ම යටපත් කොටගෙන ඒ වෙනුවට කුසල් සිතිවිලි ගොඩනංවාගෙන පින්කම් කළ යුතුය. එවිට කුසලය මහත්ඵල මහානිසංස වේ’

තුන්සිත පහදාගෙන දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය

යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි ද සඳහන් වේ. එනම් තුන් සිත යනුවෙන් මතක් කළේ ඕනෑම ක්‍රියාවක් කිරීමේ දී කිරීමට පෙර, කරන අවස්ථාව, හා කළාට පසු ආදී වශයෙන් සිතේ ක්‍රියාවලිය. අවස්ත්‍රාතයක් ඔස්සේ විකාශනය වන බැවිනි. එම අවස්ථාත්‍රයම යහපත්නම්, පිරිසුදු නම්, එම ප්‍රතිඵලය ගැන බිය විය යුතු නැත.

මේ අනුව සලකා බැලීමේ දී අප නිතරම පින්කම් කළ යුතුය. එහි ප්‍රතිඵලය ඒ වේලාවේම නොලැබුණත් ආත්ම ගණනකදී හෝ ලැබෙනු ඇත. බුදුහිමි දේශනා කළේ පිනට කම්මැලි නොවන ලෙසයි. ඒ බව ලෝවැඩ සගරාවේ දී “කුමටද කුසලට කම්මැලි වන්නේ” යනුවෙන් සඳහන්කොට ඇත. බුදු හිමි ධම්ම පදයේ පාප වග්ගයේ 03 වෙනි ගාථාව තුළින් දේශනා කළේ,

පුඤ්ඤං තේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

පින් කරන මිනිසා එය නැවත නැවත කළ යුතුය. පින් කිරීමට ආශා කළ යුතුය. පින් රැස්වීම සැපයට හේතු වේ. බුද්ධ දේශනාව අනුව පින් කිරීම සැපයට හේතු වේ යන්න පැහැදිලි වේ. ඒ අනුව නොපමාව කුසල් දහම්හි නිරත විය යුතුය.