Print this Article


සීල විසුද්ධිය 6 කොටස අරහත් මුනිඳුගේ රැකවරණය ලැබීමටනම්....

සීල විසුද්ධිය 6 කොටස

අරහත් මුනිඳුගේ රැකවරණය ලැබීමටනම්....

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට නො ලැබුණොත් දෙව් මිනිසුන් උදෙසා ලබා දුන් ඒ උතුම් දායාදය ලබා ගන්නට අපට නො හැකි වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන පුද්ගලයාගේ ඒ ඇසුර අවසන් වන්නේ පිරිනිවන් පෑමෙන්. එහෙමනම් ඒ ඇසුර ආරම්භ වෙන්නේ කොහොමද? සීලය පිරිසුදු කර ගැනීමෙන්. යම් කෙනෙක් පරිපූර්ණ වශයෙන් සීලය පිරිසුදු කර ගැනීමෙන් පමණයි භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කිරීම ආරම්භ කරන්නේ. එයට තමා සීල විසුද්ධිය කියන්නේ.

භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු නො කරන පුද්ගලයාට සීල විසුද්ධිය දියුණු කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සීලය පරිපූර්ණ විදිහට පිරිසුදු කර ගන්නට පුළුවන් වන්නේ නැහැ. සීලය පිරිසුදු කර ගන්නට බැරි පුද්ගලයාට භාග්‍යවතුන් වහන්සේගේ දායාදය ලැබෙන්නේ නැහැ. ඔහුට යම් විදිහක සීලයක් පුරුදු කර ගන්නට පුළුවන්. බණ භාවනාත් පුරුදුකර ගන්ට පුළුවන්. හැබැයි ඔහුට ඒ ශාසනයේ අපේක්ෂා කරන ඉලක්කය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප මුලින් භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙක් බවට පත්වෙන්න ඕන. අපට විශාල දෙයක් ලැබෙන්නට තිබෙනවා. අප ඒ ලැබෙන දේට හිමිකරුවෙක් වෙන්නට නම් ඊට සුදුසු කෙනෙක් වෙන්නට ඕන. ඔටුන්න ලැබෙන්න නම් ඒ ඔටුන්නට හිමිකාරයෙක් බවට පත්වන්නට ඕන. නියම සුදුස්සෙක් නො වුණොත් අපට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට අවස්ථාව නැතිව යනවා.

ඛුද්දක නිකාය නැමැති උතුම් ග්‍රන්ථයේ තියෙනවා කුහකකම ගැන වදාළ ‘කුහ සූත්‍රය’ කියලා දේශනාවක්. මේ දේශනාවේ තිබෙනවා

භාග්‍යවතුන් වහන්සේ තමා මේ කාරණය වදාළේ. මේ විදියටයි මට අසන්නට ලැබුණේ. මහණෙනි, සමහර භික්ෂූන් ඉන්නවා ඔවුන් කුහකයි. (වංචාකාරියි) මුරණ්ඩුයි. (නොයෙක් දේ ලබාගන්න) චාටු බස් දොඩවනවා. මවා ගත්තු මාන්නය නමැති අං තියෙනවා. සංසුන් වූ සිත් නැහැ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් මට අයිති නැහැ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් ධර්ම විනයෙන් අහකට විසි වූ අය. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් මේ ධර්ම විනයේ වැඩීමකට අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා සමහර භික්ෂූන් ඉන්නවා ඒ අය ‘කුහකයි’ කියලා. ඒ කියන්නේ වංචාකාරියි. කුහකයි කියා කියන්නේ මොකක් ද? තමා ළඟ නැති ගුණ තියෙනවා වගේ පෙන්වනවා. ඒ කෙනාගේ් කාය ක්‍රියා දෙ විදිහක්. වචී ක්‍රියා දෙ විදිහක්. මනෝ ක්‍රියා දෙ විදිහක්. කුහක කෙනාගේ උඩින් පෙන්වන දේ නොවෙයි හිත ඇතුළේ තිබෙන්නේ. එයාගේ චරිතය දෙ බිඩි එකක්. ‘මුරණ්ඩුයි’ කීකරු නැහැ කියන්නේ මේ අයයි. එයාගේ හිත දැඩියි. අවවාදයට අවනත වන්නේ නැහැ. හිතනව ‘මම වයසක කෙනා නේ’, ‘මම ඉගෙන ගත් කෙනානේ’, ‘මම දන්න කෙනා නේ’ මේ විදිහට නොයෙකුත් හේතු මුල් කරගෙන ඔහු මුරණ්ඩුකම හිතේ ඇතිකර ගන්නව. ඊට පස්සේ අවවාදයක් අහන්නේ නැහැ. අවවාදය ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනවා. ඒ වගේ ම සහෝදරකමින් වාසය කරන්නට කැමැති වෙන්නේ නැහැ. ඒ වගේ්ම චාටු බස් කියන අය, මවා ගත්තු මාන්නය තියෙන අය. සංසුන් වූ සිත් නැති අය භාග්‍යවතුන් වහන්සේට අයිති කෙනෙක් වෙන්නේ නැහැ.

එහෙනම් අප භාග්‍යවතුන් වහන්සේට අයිති කෙනෙක් බවට පත්වෙන්නට ඕන. එවිට අපට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙක් බවට පත්වෙන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය කෙරෙහි ගරුසරු නැති කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරයිද? නැහැ. ඔහු භාග්‍යවතුන් වහන්සේට අයිති කෙනෙක් බවට පත්වෙයි ද? නැහැ. ඒකයි ‘මට අයිති නැහැ’ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙනම් කුහක අය, මුරණ්ඩු අය, චාටු බස් දොඩන අය, අන් අයගෙන් යමක් ලබා ගැනීමට ඔවුන්ව රවටා ගැනීම පිණිස වචන පාවිච්චි කරන අය. ඊට පස්සේ මාන්නයෙන් මත්වෙලා ඉන්න අය. (ඒකයි මාන්නය නමැති අං තියෙනවා කියන්නේ) සංසුන් සිත් නැති අය භාග්‍යවතුන් වහන්සේට අයිති නැහැ.

එහෙනම් හොඳින් තේරුම් ගන්න ‘මම දන්නවා’ කියන හැඟීම මත ඉඳන් තමයි ඔය ටික ඔක්කෝම සිද්ධවෙලා යන්නේ. මම දන්නවා කියන හැගීම මත ඉඳගෙනම එයා ධර්මය අහනවා. සීලය ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ ඔක්කොම ඔහුගේ දේ බවට පත් කර ගන්නවා. ඒ දේ වලින් ඉස්මතු වෙන්නට උත්සාහ කරනවා. තමා ඉස්මතු වෙන්නට කැපී පෙනෙන්නට කටයුතු කරන පුද්ගලයා තුළ නැති ගුණ පෙන්වීමේ ගතිය උපදිනවා. ඒක සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඒ ගතිගුණයට කියනවා ‘කුහකකම’ කියලා.

ඊට පස්සේ ඔහු අන් අය කියන දේ අහන්නට කැමැති වෙනවද? නැහැ.තව කෙනෙක් ඉන්නවා ඉස්මතු වෙන්නට කැමැතියි. කැපී පෙනෙන්නට කැමැතියි. ගුරුවරයා එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් කියනවා, ‘ඔබ ඔය වැඩේ කරන්නට එපා’ කියලා. එයා කැමැති වෙයිද? එයා කැමැති වෙන්නේ නැහැ. ඇයි? ඔහු ඉස්මතු වෙන්නට බලන කෙනෙක් නිසා. ඔහු මුරණ්ඩු වෙනවා. ‘මට මොකටද ඔය අවවාද අනුශාසනා’ කියල කල්පනා කරනවා. ඊට පස්සේ ඔහු මුරණ්ඩුයි. ඉතින් ඒ නිසාම ආඩම්බරයෙන් තමා වාසය කරන්නේ. එහෙම කෙනාට හිත සංසුන් කරගෙන ඉන්නට වෙන්නේ නැහැ. ඔහුගේ හිත ඇතුලේ වාද කරනවා, වාද හට ගන්නවා. රණ්ඩු සරුවල් සියල්ලම හිත ඇතුලේ හට ගන්නවා. ඊළඟට ඔහුගේ අදහස් එළියට දාන්නට වෑයම් කරන්නේ. එකට එක කරන ගතිය හිතේ වැඩ කරනවා. අන් අයගේ අදහස්වලට අකැමැති සිතුවිලි මතුවෙලා එනවා. ඒ නිසා සිත ඇතුළේ අවවාද අනුශාසනාවලට නුරුස්සන සිතුවිලි මතුවෙලා එනවා. ඒ නිසා සිත සංසුන් නැහැ. නො සංසුන් සිතින් ඔහු වාසය කරන්නේ. එවිට ධර්මයෙන් ඈතට විසිවෙලා යනවා.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා ‘පින්වත් මහණෙනි අන්න ඒ වගේ භික්ෂූන් මට අයිති නැහැ’ කියලා. ‘පින්වත් මහණෙනි, ඒ භික්ෂුන් මේ ධර්ම විනයෙන් අහකට විසි වූ අය’ කියලා. ඒ අය සමීපයේවත් නැහැ. කවුරුත් ඒකට කැමැති නො විය යුතුයි කියලයි අප කල්පනා කරන්නේ. ඒ නිසා තමා අප මේ වගේ කාරණා සිහි කරලා දෙන්නට කල්පනා කරන්නේ. යම් කෙනෙක් මේ ධර්ම විනයෙන් ඈතට විසිවෙනවා කියන්නේ මේ ජීවිතේ ඔහුට හිමි වූ විශාලම අයහපත. ඔහු විසින් රැස්කරගත්ත ලොකුම අයහපත තමා ඒක. එවිට ඒ ධර්ම විනයෙන් ඈතට විසිවෙන්නේ කොහොම කෙනෙක් ද? භාග්‍යවතුන් වහන්සේට අයිති නැති කෙනා. යම් කෙනෙකුට ඒ අවාසනාවන්ත ඉරණමට අයිති කෙනෙක් වෙන්නට කවුරුත් අකැමැති විය යුතුයි.

යම් කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ අයිති කෙනෙක් වෙන්නට බැරි වුණොත් ඔහු කාටද අයිති වෙන්නේ? මාරයාට යි අයිති වෙන්නේ. එයා මාරයාගේ වසඟයේ තමා ඉන්නේ. ඔහු කටයුතු කරන්නේ මාරයාට වුවමනා විදියට යි. එහෙමනම් කුහකකම, මුරණ්ඩුකම, චාටු වචන කියන ගතිය, මාන්නය මේ සියල්ලම කාගේ දේවල් ද? ඒවා මාරයාට අයිති දේවල්. ඒ සියල්ලම කුමක් මුල් කරගෙනද ඇති වන්නේ? ‘මම දන්නවා’ කියන අදහස මුල් කරගෙනයි ඇතිවෙන්නේ. ‘මම දන්නවා’ කියන ඒ අදහස හිතේ හටගත් දෙයක්. සසරේ ගමන් කරන සාමාන්‍ය පුද්ගලයාගේ හිත මාරයාගේ වසඟයේ තියෙන්නේ. ඒ හිත අයිති වෙන්නෙත් මාරයාට යි. ඒ හිතේ පැන නගින සිතුවිලිත් මාරයාට අයිති යි. ඒ සිතුවිලි අල්ලාගෙන තමා අප වැජඹෙන්නට කල්පනා කරන්නේ. එවිටයි අප මාරයාගේ සුවච කීකරු ගෝලයෝ බවට පත්වෙන්නේ. ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස් වූ කෙනෙක්.

නමුත් යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ඉන්නවානම් කල්‍යාණ මිත්‍රයාට පුළුවන් වෙනවා ඔහුට උපකාර කරන්න. නමුත් ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් ඈත්වෙලා නම් ඔවුන්ට අත දෙන්නටවත් උපකාර කරන්නටවත් කල්‍යාණ මිත්‍රයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කිසි දවසක ඒ අවාසනාවන්ත ඉරමණමට අයිතිකරයෝ වෙන්නට කල්පනා කරන්නට එපා. ඒ අවාසනාවන්ත ඉරණමට අප ගොදුරු වුණොත් ගොදුරු වෙන්නෙන් ‘මට තේරෙනවා’ මම දන්නවා’ මට වැටහෙනවා’ මට පුළුවන් මට මේ මේ දේ කරන්නට පුළුවන්’ මට මේ මේ විදිහට හිතන්නට පුළුවන්’ මේ ආදි වශයෙන් තමාව ඉස්මතු කර කර කල්පනා කිරීමෙන්ම තමයි. එයින් තමා මේ කුහකකම, මුරණ්ඩුකම, චාටු වචන පාවිච්චි කිරීම මාන්නක්කාරකම මේ ආදී මාරයාගේ වසඟයට ගොදුරුවෙලා යන ඒ අකුසල ස්වභාවයන් අප තුළ ගොඩ නැඟෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරල තේරුම් අරගෙන ඒ අභාග්‍යයට හිමිකාරයෙක් නො වෙන්නට කල්පනා කරන්නට ඕනෙ.

එනිසා අප ආශිර්වාද කරනවා සිත අපිරිසුදු කරන කුහකකම නැති කරගෙන, මුරණ්ඩුකම නැති කරගෙන චාටු බස් කියන ගති නැති කරගෙන, ඒ වගේම ආඩම්බරය, මාන්නය නැති කරගෙන, සන්සුන් සිතින් යුතුව භාග්‍යවතුන් වහන්සේට අයිති කෙනෙක් බවට පත්වෙන්නට අප සියලු දෙනාටම භාග්‍යය උදාවේවා කියා.