Print this Article


පූජ‍ාච පූජනීයානං

පූජ‍ාච පූජනීයානං

ගොඩපිටියේ ධම්මරතන නා හිමි

ජීවිතයේ අනූ වසරක් යනු සැලකිය යුතු කාල පරාසයකි. මෙයින් අසූ වසරක් පමණ පැවිදිව ගත කිරීම තව විශේෂ සිද්ධියකි. සම්බුද්ධ ශාසනයට උපන් දේශයට ජාතියට සමාජයට අසූ වසරක් වැනි කාලයක් තිස්සේ සේවය කිරීමට ලැබීම වාසනාවන්ත ජීවිතයකි.

එම ජීවිත භාග්‍ය උදාකරගත් නුගේගොඩ ,පාගොඩ ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානයේ සම්මාන විහාරාධිපති කාව්‍ය කලා විශාරද ප්‍රාචීන පණ්ඩිත ගොඩපිටියේ ධම්මරතන කොළඹ ප්‍රදේශයේ අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මෙම මැයි මස 26 වෙනිදා 90 වසර සපිරුණහ.

1924 මැයි මස 26 වෙනි දින අකුරැස්ස ගොඩපිටිය ගම්මානයේදී උන්වහන්සේ මෙලොව එළිය දුටුවේය. පියා දොන් අන්ද්‍රයස් ඉද්දමල්ගොඩ දිසානායක මහතාය. මව පොඩිනෝනා රත්නායක අකුරැස්සේ හාමිනේය.

1936 නොවැම්බර් මස 26 වෙනිදා අකුරැස්ස පෝරඹ බෝධිරුක්ඛා රාමයේදී ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූ අතර 1946 ජුනි 13 වෙනිදා බලපිටියෙ මාදු ගංගා සීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් භාෂා ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය ලැබීය. විශේෂයෙන්ම කාව්‍ය කලාව පිළිබඳව උන් වහන්සේ තුළ උපන් කුසලතා ප්‍රදර්ශනය විය. කොළඹ යුගයේ කවියෙකු ලෙස උන්වහන්සේ ප්‍රචලිතය. කවියන් උන්වහන්සේව අමතන්නේ ගොඩපිටියේ ධම්ම නමිනි .

ධර්මදූත මධ්‍යස්ථානය සහ සම්බන්ධ ධර්මදූත මෙහෙවරේ නිර්මාතෘ වීරකැටියේ කවීශ්වර නායක මාහිමියන් සමග එක්ව ධර්මදූත මෙහෙවර දීප ව්‍යාප්තව කරගෙන ගියහ. කවීශ්වර නාහිමියන්ට ගොඩපිටියේ ධම්මරතන හිමියන් ලොකු සවියක් විය. ධර්මදේශනා පවත්වමින් කවීශ්වර නාහිමියන් දිවයින පුරා සැරි සරද්දී මූලස්ථානය හා රඹුක්කන පොල්ගහවෙල,රිදියගම ආදි සියලු ශාඛා පාලනය කරමින් උතුම් ශාසනික ජාතික මෙහෙවර නොඅඩුවම කරගෙන ගියේය.

මගේ කවි නම් 1 හා 2 වශයෙන් පද්‍ය,සංග්‍රහ දෙකක්ද ධම්මරතන හා හිමි අතින් ලියවී ප්‍රකාශයට පත්වීය.

දශක අටකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ගෙන එනු ලබන ජාතික සාසනික හා සමාජසේවා තවදුරටත් කරගෙන යාමට ගොඩපිටියේ ධම්මරතන නාහිමියන්ට නිරොගී සුවය හා දීර්ඝායු පතා විශේෂ බෝධි පූජාවක් හා රාජගිරිය වික්ටෝරියා රෝහලේ ආබාධිත රෝගීන්ට දානය පිරනැමීම උන්වහන්සේට 90 වසර සපිරෙන මෙම මැයි මස 26 වෙනිදා සිදු කෙරිණි.


බෝලෑපේ සෝමානන්ද හිමි

ඓතිහාසික පුලතිසිපුරවරයේ පලුගස්දමන අග්‍ර සේනානායකාරාමාධිපති ශ්‍රී විද්‍යාසාර පරිවෙනාධ්‍යක්‍ෂක ශාස්ත්‍රපති බෝලෑපේ සෝමානන්ද හිමියන් වෙත ස්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව මඟින් “ ධර්මකීර්ති ශ්‍රී‍්‍ර සාරානන්ද” යන ගෞරව නාම සම්මුතිය සහිතව තමන්කඩුව පළාතේ පොළොන්නරුව කොට්ඨාසයේ උප ප්‍රධාන අධිකරණ සංඝනාක පදවිය පිරිනමා ඇත.

1976 ජනවාරි 08වෙනි දින පැවිදි දිවියට ඇතුළත්ව 1986 මැයි මස 30වෙනි දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා ඇත. පලුගස්දමන ශ්‍රී‍්‍ර විද්‍යාසාර මහ පිරිවෙනින් සහ මාරතුගොඩ විදුමිණ විද්‍යායතන පිරිවෙනින් මූලික අධ්‍යාපනය හා ප්‍රාචීන අධ්‍යාපනය ලබා ඉන් පසුව 1987 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1992 වසරේ දී ත්‍රිපිටකවේදී උපාධිය ලබා ඇත. 2000 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති මුන් වහන්සේ කොළඹ විද්‍යෝදය පරිවෙණස්ථ ශ්‍රී‍්‍ර සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත්වු උපාධි පරීක්‍ෂණවලින් සමත්ව අභිධර්මාචාර්ය උපාධිය සහ විනයාචාර්ය උපාධිය ලබා ඇත.

පලුගස්දමන අග්‍රසේනානායකාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක බෝලෑපේ ධර්මකීර්ති ශ්‍රී සුමන සාරානන්ද නාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන බෝලෑපේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම ගුරුදේවයන් වහන්සේගේ ශාසනික සේවාව ඉදිරියටත් කරගෙන යමින් සිටන අතර විහාරස්ථ ශ්‍රී‍්‍ර සුචරිතෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස සිසු දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනු ලබයි. අරලගංවිල විදුමිණ පිරිවෙනේ පරිවෙණාධිපති වහන්සේ ලෙස වසර 11ක් සේවය කර ඇත. මෙම මා හිමිපාණන් වහන්සේ පලුගස්දමන ශ්‍රී විද්‍යාසාර මහ පිරිවෙනේ වර්තමාන පරිවෙණාධිපතින් වහන්සේ ලෙසද කටයුතු කරනු ලබයි. මෙසේ ප්‍රදේශයේ ආගමික, ශාසනික,අධ්‍යාපනික සේවාවන් රැසක් උන්වහන්සේ විසින් සිදු කරනු ලබයි.

මෙම සත්කාරයන් තවදුරටත් සක්‍රීයව ජාතික, ආගමික සමාජ සේවාවන්හි නියුක්ත වීමට බෝලෑපේ සෝමානන්ද මා හිමිපාණන් වහන්සේට නීරෝගි සම්පත්තියත්, චිර ජීවනයත්, තෙරුවන් සරණින් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


බණ්ඩාරබටවල සුමනවංස හිමි

අපවත් වී වදාළ ගම්පහ ඉහළගම ශ්‍රී විජයාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති, ශ්‍රී ඤාණානන්ද වංශාලංකාර ශාසන ශෝභන ශාස්ත්‍රවේදී, පණ්ඩිත බණ්ඩාරබටවල සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ සිව්වන ගුණානුස්මරණය නිමිත්තෙනි.

සිව් සතළිස් වසක් ගම්පහ ඉහළගම ශ්‍රී විජයරාමය ආලෝකවත් කරමින් මතකයේ රැඳෙන පින්කම්වල නිරත කරවූ අපවත් වී වදාළ බණ්ඩාරබටවල සුමනවංස නාහිමියන්ගේ ශ්‍රී නාමය ජන හදවත් තුළ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ ගමක් බබළන, ගුණ දහම් වඩන සංකලාංගයන්ගෙන් සමලංකෘත විහාරස්ථානයක් ගොඩනැංවීමෙනි. අත්‍යුදාර කැප කිරීම නිසාවෙනි. පින්සරු දේහ විලාශයකින් හෙබි ලොකු හාමුදුරුවෝ ගැඹුරු දහම් කරුණු විචිත්‍රව ගෙනහැර දක්වන කථිකත්වයෙන්ද අසූමහ ශ්‍රාවක පූජා, තෙසැත්තෑ ඥාන පූජා වැනි දුර්ලභ පූජාවන් පැවැත්වීමෙන්ද ජන ප්‍රසාදයට පාත්‍ර වූහ.

ගම්පහ දිසාවේ බෙම්මුල්ල බණ්ඩාරබටවල ග්‍රාමයේ 1925 ජූලි 10 වන දින උපත ලබා 1938 අපේ‍්‍රල් 09 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඤානෝදය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පණ්ඩිතාචාර්ය හේන්පිටගෙදර ඤාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බණ්ඩාරබටවල සුමනවංස හිමි නමින් පැවිදි බවට පත්ව 1948 ජූලි 16 දින උපසම්පදා සීලයෙහි පිහිටියේය. පිරිවෙන් අධ්‍යාපනයෙන් ප්‍රාචීන භාෂා අධ්‍යයනය කොට පණ්ඩිත උපාධියත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් හිමිකර ගෙන ගුරු වෘත්තියෙහි නිරතවීමට සුදුසුකම් සපුරා කලක් ගුරු සේවයෙහි යෙදී ශාසනික සේවයෙහි දැක් වූ රුචිකත්වය නිසාම ගුරු වෘත්තියෙන් ඉවත් වූහ.

මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ මාදෙල්ගමුවේ ශ්‍රී විජය ශ්‍රී ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් භාරකාරත්වය හිමි වූ වන රොදින් වට වූ ලෑලිවලින් තැනූ ආවාසයක් සහිත විජයාරාමය සුපසන් පරිසරයක් බවට පත් කළේ දානපතීන්ගේ නොමසුරු දායකත්වයෙන් හා දිවා රෑ දෙකෙහි ශ්‍රමදායකත්වය සැපයූ සුපින්වතුන්ගේ කැපවීමෙනි. නෙත ඇදී යන සිත පහන් වන සුපිරිසුදු පුදබිමක් බවට පත් කොට විහාර මන්දිරයෙහි බුද්ධ ප්‍රතිමාවෙහි නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කිරීමත්, දාගැබෙහි කොත පැළඳවීමත් සිහිපත් කොට සෑම වසරකම පිරිත් දේශනාකොට දාන පින්කම් කළේ සැමට ආශිර්වාදාත්මක පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටය. භේදයකින් තොරව ස්වකීය දායක නිවසක ආගමික කටයුත්තක් වූයේ නම් අන් කිසිඳු ආරාධනාවකට ප්‍රමුඛත්වය නොදී ඒ සියල්ල ඉටුකරනු ලැබුවේ සැමට එක ලෙස සැලකීමේ ගුණය ප්‍රකට කරමිනි.

අධ්‍යාපනයෙහි ඇති වටිනාකම මනාව වටහාගත් ලොකු හාමුදුරුවෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහි ශිෂ්‍යයන්ට ඉගෙනීමෙහි අවස්ථා සලසා දුන්නේ පිය සෙනෙහසිනි. පැවිදි උපැවිදි ශිෂ්‍යයන් අතර මහාචාර්ය,කථිකාචාර්ය, ප්‍රවීන දේශක, පාඨශාලාචාර්ය , පරිවෙනාචාර්ය වැනි අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි මහඟු සේවයක් කරන පිරිසක් තැනීම රට දැය සමය වෙනුවෙන් කරන ලද උතුම් කටයුත්තකි. වෙහෙර විහාර තැනීම පමණක් ශාසනයේ චිරස්තිථිය සඳහා හේතු නොවන බව දත් ලොකු හාමුදුරුවෝ බණ දහමින් සුපෝෂිත ගුණ දහමින් යුතු ශාසනික ලැදියාවක් ඇති ශිෂ්‍ය පිරිසක් තැනීමට මහත් පරිශ්‍රමයක් දැරූහ. ප්‍රාදේශීය මහා සංඝරත්නය අතරද ඉමහත් පිළිගැනීමක් ලබාගත හැකි වූයේ විනය ගරුක භික්ෂු ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් ආගමික කාර්යයන් නොපිරිහෙලා ඉටුකිරීම නිසාවෙනි. ගම්පහ ප්‍රාදේශීය සංඝ සභාවේ විවිධ නිලයන් දරමින් ස්ව නිකායේ ප්‍රගමනය වෙනුවෙන් මෙන්ම ප්‍රාදේශීය භික්ෂූන්ගේ ආරක්ෂාව හා ශාසනයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියහ. කිසියම් ගැටලුකාරි අවස්ථාවක දූරදර්ශීව කටයුතු කිරීමට හැකියාව තිබුණි. තනතුරු හා සම්මාන කෙරෙහි කැමැත්තක් නොදැක්වූ අතර මහතෙරුවරුනගේ ඉල්ලීම මත දිවි ගමනේ හැත්තෑ පස්වන වියෙහිදී “ශ්‍රී ඤාණානන්ද වංශාලංකාර ශාසන භෝභන’ යන ගෞරව නාමය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනැමුණි.

ස්වකීය ජීවිතයම ශාසනය වෙනුවෙන් කැප කළ ලොකු හාමුදුරුවෝ වසර ගණනාවක් තරමක රෝගී ස්වභාවයෙන් වාසය කළද කිසිඳු අවස්ථාවක ශාසනික කටයුත්තක් පැහැර හැරියේ නැත. පැවිදි දිවියෙහි හැත්තැ දෙවසරක් ඉක්ම යන කල 2010.05.17 දින ලොකු හාමුදුරුවෝ අපවත් වූහ. ලොකු හාමුදුරුවෝ අපවත් වීමෙන් පසු විහාරාධිපතිත්වයට පත් වූ ශිෂ්‍යවරයන් වහන්සේ රන්වැට,අටවිසි බුද්ධ මන්දිර සහිත බෝධි ප්‍රාකාරයත්, වැඩ අවසන් නොකර තිබූ තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් , කුඩා බුදු මැදුරක් ආදිය ඉදිකරමින් ආලෝකය වැඩි කිරීමට කටයුතු කිරීම ලොකු හාමුදුරුවන්ට කරන ලද ගෞරවයකි.